HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අරගලයේ සටන මෙතැනින් අවසන් නොවේ. ඉදිරියට කළ යුතු මොනවාද?

දින සීයකට ආසන්න කාලයක් තිස්සේ සංත්‍රාසයෙන් හා දෙගිඩියාවෙන් වෙළී සිටි අපට ජූලි 9 වැනිදා සැනසුම් සුසුමක් හෙළන්නට ඉඩක් ලැබු‍ණේ ගාලුමුවදොර පැවති අරගලයේ කූටප්ප්‍රාප්තිය සිදු වූ නිසයි. ‘ගෝටා ගෝ හෝම්’ යන සටන් පාඨය පෙරටුකොට ගෙන මුහුණුපොතෙන් මතුව ඉදිරියට ආ #අරගලය සමස්ත ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අනුමත කළේ අප අද මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයට ‍දිය හැකි ‘හොඳම බෙහෙත’ එය බව තේරුම් අර ගෙනයි. 

රටපුරා සිට කොළඹට ගැලූ ජන ගඟ අරගලකරුවන් සමග ජනාධිපති මැඳුර අල්ලා ගෙන..

ඒ වන විට අප ජාති, ආගම්, ජනවර්ග, කුලමල, භාෂා, පක්ෂ, පාට, ගැහැනු පිරිමි ආදී වශයෙන් බෙදී සිටියා පමණක් නොව එකිනෙකා කෙරෙහි සැකයෙන්, අවිශ්වාසයෙන් බලන්නට පුරුදුව සිටියෙමු. ‘#අරගලයෙන්’ මුලින් ම සිදු වූයේ මේ බෙදීම් සියල්ල නැති කර අප එකම ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කිරීමයි; ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා විසිරී සිටින සියලු දෙනාම එකම සිංහ ධජය යටතේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ඇති විශ්ව පුරවැසියන් බවට පත් කිරීමයි. මේ අරගලයේ මුල්ම ජයග්‍රහණය ලාංකික ජනතාව තුළට නව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයක් එන්නත් කිරීමයි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වී නොබෝ දිනකින් ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටවූ ‘උද්ඝෝෂණ කලාපය’ට ආ අරගලකරුවන් එය ‘ගෝටා ගෝ ගම’ කියා නම් කරමින් සිය අරගල භූමිය කර ගත්හ. දැන් ගූගල් ලෝක සිතියමේ පවා සලකුනු කළ ඇති ඒ ‘ගෝටාගෝගම’ අරගලකරුවන්ගේ විශ්ව පුරවැසි සංකල්පය පෙන්වන පරමාදර්ශ ගම්මානයකි. එහි බේද කිසිවක් නැත. හැමෝම එක හා සමානය. එක් නායකයෙක් නැත. ඇත්තේ එක් අධිෂ්ඨානයක්, එක් පුරවැසි සංකල්පයක් පමණි. රටක පුරවැසියකුට ලැබිය යුතු හැම පහසුකමක්ම එහි ඇත. පසුගිය දින සියයකට ආසන්න කාලයක් තිස්සේ එහි ආ ගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව සිය අදහස් ඒ අනුව හැඩගස්වා ගත්හ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාපරමාධිපත්‍යය බව තේරුම් ගත්හ. 

ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කර ඇත්තේ ජනතාව උදෙසා ජනතාව විසින් පිහිටුවා ගන්නා ලද ජනතා ආණ්ඩුවක් සහිත පාලන ක්‍රමය කියායි. කෙටියෙන් කීවොත් ජනතාව තමාගේ භූමිය හා ඉරණම තමන් වෙතම පවරා ගත් ස්වයං පාලන ක්‍රමයක්. ජනගහනය සංඛ්‍යාත්මකව විශාල නිසා ජනතාව තමන් විසින් ම තෝරා ගත් කුඩා පිරිසකට තමන් වෙනුවෙන් ඒ පාලන කාර්යය පැවරීම තමයි මෙහිදී සිදු වන්නේ. ඒ අනුව තමයි, රාජ්‍යනායකයා ඇතුළු නියෝජිතයන් පත් කරගන්නේ. 

අපේ ව්‍යවස්ථාවට අනුව ජනතාවට අයිති මූලික අයිතිවාසිකම් රකිමින්, සුබ සිද්ධිය සඳහා තමන් සම්පූර්ණයෙන් ම කැප වෙන බවට දිවුරා පොරොන්දු වෙමින් ආ රාජ්‍ය නායකයා ඇතුළු පිරිස තම වගකීම හා පොරොන්දු ඉටු නොකිරීම නිසා සංවේදී වූ තරුණ කොටස් අවදිවී පටන් මේ සාමකාමී අරගලය ඒකාරාශී කළ මහාජන බලයට අවසානයේ රාජ්‍ය නායකයා පන්නා දමන්නට හැකි වී ඇත. අරගලය ලද ලොකු ම ජයග්‍රහණය එයයි. හෙට (13 වැනිදා) ගෝඨාභයගේ අස්වීම සිදු වනු ඇත. 

නමුත් මෙයින් අරගලය නිම වන්නේ නැත. මේ අරගලයට එක් වූ දශලක්ෂ සංඛ්‍යාත ජනකායගේ බලාපොරොත්තු ඉටු වීමට නම් දූෂණයෙන් තොර, වචනයේ පරිසමාප්ත පිරිසිදු අවංක පාලනයක් ඇති කළ යුතුය. මේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරින් වැඩි දෙනකු දූෂිතයයි පිළිගැනීමක් තිබේ. ඒ ගැන සොයා බලා හොරුන්, මංකොල්ලකරුවන්, කුඩු බෙදන්නන්, කුඩු ගහන්නන්, රජය සමග ව්‍යාපාර කරන්නන්, නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන්, නීතියෙන් දඬුවම් ලැබූ අපරාධකරුවන්, බාර් අයිතිකරුවන්, කැසිනෝ පවත්වාගෙන යන්නන්, සූදු පොළවල් හා එවැනි ව්‍යාපාර හිමිකරුවන්, වත්කම් හෙළි නොකළ අය, ආදී විවිධ පන්නයේ ඩීල් කාරයන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමිය යුතුය. මෙවැනි අය මැති සබයට නුසුදුසු බව නීතියේ ම සඳහන් වන්නකි. නිසි ලෙස විනිශ්චය කළ හොත් දැන් ඉන්නා අය වැඩි දෙනකු මැතිසබයෙන් පන්නා දැමිය හැකිය. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී එවැනි අයට නාම යෝජනා නොදෙන ලෙස පක්ෂවලට බල කළ යුතුය. ඒවා නො තකා ක්‍රියාකරන පක්ෂවලටත් ජනතාව සංවිධානය වී ඡන්දය නොදී සිටිය යුතුය. 

ජනතාව අතුරුසිදුරු නැතිව ජනපති මැඳුරේ මැද උයනේ රැස්වී...

ඊළඟට මහජන නියෝජිතයන් අතර පමණක් නොව රජයේ නිලධාරින් අතර ද දූෂිතයන් සිටින බව නොරහසකි. බොහෝ අයට විරුද්ධව ඇති චෝදනා යට ගසා ඔවුන්ට රැකවරණ හා උසස් වීම් ලබා දී දූෂිත රාජපක්ෂලා ඔවුන් තමන්ගේ දූෂණවලට හා අපරාධවලට යොදා ගෙන ඇත. ඒ අයටද එල්ල කර ඇති චෝදනා යළි මතු කොට ගෙන දඬුවම් කළ යුතුය. සියලුම දූෂිතයන්ට එරෙහිව කටයුතු කළ නොහැකිය. ඒ නිසා චෝදනා ඇති සමහරුන් පුනරුත්ථාපනයට යොමු කළ යුතුය. අද දූෂණය සාමාන්‍යකරණයට ලක් වී සමාජය පුරාම පැතිර තිබේ. ඒ නිසා ඉහළ මට්ටම්වලින් දූෂණය පිටු දකින විට පහළ මට්ටමින් ඒවා ඉබේම පහව යනු ඇත. 

දැන් තරුණ පරපුරේ අදහස්වලට´හා ක්‍රියාකාරම්වලට අවස්ථාව ලබා දිය යුතු බව වැඩිහිටි පරපුර පවා එකහෙළා පිළිගෙන ඇත. එසේ නම් නියෝජිතයන් තේරීමේදී තරුණයන්ගෙන් සියයට 25ක්වත් නාමයෝජනා සඳහා ඇතුළත් කළ යුතුය. එපමණක් නොව සමාජයේ සෑම කටයුත්තකට ම තරුණ පිරිස් සහභාගිකරවා ගතයුතු බවට නීති සම්මත කර ගතයුතුය. කාන්තාවන්ටද ඒ ආකාරයට ම සභාගිවීමට ඉඩකඩ සැලැසිය යුතු යැයි නීති සම්මත කර ගත්තත් එය ඉටුවූයේ නැත. 

පොලිස් වාර්තා අනුව ලක්ෂ 20කට අධික ජනකායක් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ....

අරගලකරුවන්ටත්, රටපුරා යෙදුණු තරුණ තරුණියන්ට හා ඊට අනුග්‍රහය දැක්වූ වැඩිහිටි පරපුරටත් ආරක්ෂාව සැලසූ නීතිඥ සංගමයටද අපේ කෘතඥතාව හිමි විය යුතුය. රටේ ජනතාව ලත් පීඩාව තේරුම් ගෙන ඔවුන් පෙරට ආ නිසා නිදහස් අදහස් සාමකාමීව වුවත් ප්‍රකාශ කිරීමට ජනතාව නොබියව ඉදිරියට ආ හැකි විය. ජනතා හඬ යටපත් කිරීමට ජන පීඩක රජය නොයෙක් අයුරින් බාධා කළේය. එහෙත් 9 වැනි දා කොළඹට ගැලූ ඒ මහාජන ගංගාව දුටු, ඔවුන් ජනපති මැඳුර කරා යන එක වැළැක්වීමට දැමූ බාධක ළඟ රැකවල් ලූ නියෝජ්‍ය පොලිස්පතිලා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිලා අනීතික නියෝග දීමට ඉදිරිපත් නොවූහ. සමහර විට ඔවුන් හිරි වැටී සිටින්නට ඇත. 

අරගලකරුවන්ද හදිසි ඉල්ලීම් 10ක් ඉදිරිපත් කර තිබේ. ඒවා ඉදිරියේ දී කළ හැකි වුවත් ඉහත දැක්වූ දූෂිත තත්වයන් හා දූෂිතයන් ඉවත් කිරීමට ඒ කිසිවක් ප්‍රමාණවත් නොවේ. අප හැම විට ම ඒ ගැන අවදියෙන් සිටිය යුතුය. දැන් අප අතර ඇති වී ඇති ප්‍රබෝධය තවදුරටත්, දූෂණය, වංචාව හා අසාධාරණය තුරන් කිරීම කෙරෙහි නොනැසී පවත්වා ගෙන යායුතුය. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

2 Comments

  1. අරගලයේ අරමුණු සාර්ථක වන්නට නම් සාක්ෂාත් කරගත යුතු එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ තමන් එකඟ නොවන අනෙකුත් මතවාද හා අදහස් ඉවසීමේ හා ඒවාට ඇහුම්කන් දීමේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයයි. එසේ නොවුන හොත් කාම්බෝජය, උතුරු කොරියාව, බුරුමය වැනි පාලනයක් අපට උරුම වීමට පුළුවන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත! ඕනෑම දෙයක් සාර්ථක කර ගන්න නම් පොදු කටයුතුවල දී අනෙක් මතවලටත් ඇහුම් කන් දෙන්න ඕනෑ නේද?

      Delete