HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විදු වදන් හැදුණු හැටි - ඩයිනොසෝර් (Dinosaur) හා ටී. රෙක්ස් (T. Rex)

මේ මහ පොළොවෙහි පැවති ජීවීන්ගෙන් මුළුමනින් ම වඳ වී ගිය සියලු සතුන් අතරින් දැවැන්තම සතුන් ලෙස සැලකිය හැක්කේ මීසොසොයික යුගයේ ජීවත් වූයේ යැයි සැලකෙන යෝධ උරගයින් විශේෂය තමයි. එහෙත් වර්තමානයේ අපට දක්නට ලැබෙන උරගයන් අතරින් විශේෂයෙන් කැපී පෙනෙන්නේ සර්පයන් තමයි. ඔවුන්ගේ පොදු සංචරන විලාසය නිසයි, ඔවුන්ට ඒ නම ලැබී ඇත්තේ. 

ඩයිනොසෝරයන් අතුරෙන් බිහිසුණුම සත්වයා ලෙස සැලකෙන 
ටයිරන‍ොසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex)

සර්පයන්ට භාවිත කරන ඉංග්‍රීසි වදන වූ රෙප්ටයිල් (reptile) යන්න බිඳී ආවේ ලතින් බසෙහි එන ‘බඩ ගා යන’(to creep) අරුත් දෙන රෙපෙයා’(repere) යන වදනිනුයි. ඒ වගේ ම ලතින් බසෙහි ‘බඩ ගා යන’ අරුත් දෙන තවත් වදනක් තියෙනවා. ඒ ‘සර්පියර්’ (serpere) යන්නයි. එයින් තමා සර්පයා (serpent) යන්න බිඳී අවුත් ඇත්තේ. උරගයන් යන අරුත් දෙන රෙප්ටයිල් (reptile) යන වදනෙන් හැඳින්වෙන සතුන් අතරට සියලු ම චලතාපී (cold-blooded) සතුන් ද අයත් වෙනවා. එවැනි සතුන්ට කොරපොතු සහ අස්ථි තියෙනවා. ඉන් ඇතැම් සතකු බඩගා යනවා; ඇතැමකු පිහිනා යනවා; පනිනවා; එපමණක් නොවෙයි, පියාඹන අයත් ඉන්නවා. ‍

දැනට වඳ වී ගොස් ඇති යෝධ උරගයන් පොදුවේ හැඳින්වෙන්නේ ඩයිනෝසෝර යන වදනින් වුනත් විද්‍යාත්මකව බලන විට මේ ගණයට වැටෙන කුඩා සතුන්ද ඉන්නවා. ඇතැම් සතකු ප්‍රමාණයෙන් කිකිළියකට වඩා ලොකු නැහැ. ඒ වගේ ම දැවැන්ත නිසා ඩයිනෝසෝරයන් ලෙස හැඳින්වුවද විද්‍යාත්මකව එසේ වර්ග කළ නොහැකි සතුන් ද ඉන්නවා. ඩයිනෝසෝර වදන තැනී ඇත්තේ බියකරු (terrible) යන අරුත් දෙන ‘ඩීනෝස්’ (deinos) හා කටුසු යන අරුත් දෙන සෝ‍රෝස්’ (sauros) යන වදන් එක් වීමෙනුයි. එහි අරුත බියකරු කටුස්සන් (terrible lizards) යන්නයි. මේ ‘ඩයිනෝසෝර’ (Dinosaur) යන වදන මුලින් හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ රිචඩ් ඕවන් (Richard Owen)ටයි. ‍ 

ඩයිනොසෝරයන් අතුරෙන් බිහිසුණුම සත්වයා ලෙස සැලකෙන්නේ ටයිරන‍ොසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) හෙවත් ටී. රෙක්ස් නම් දැවැන්ත ඩයිනෝසෝරයායි. හොඳින් වැඩුණු සතෙකු අඩි 45ක් (මීටර ක්) පමණ දික් වෙනවා. උස ජිරාෆයකු තරම් ඇති. හිස් කබල අඩි හතරක් (මීටර ක්) තරම් දිගයි. මාංශ භක්ෂකයකු වූ උගේ දැවැන්ත මුඛයේ දතක් අඩියක් (සෙ. මී. 30ක්) තරම් දිගයි. මේ මිහිමත ඇවිද ගිය සතුන් අතරින් දැවැන්තම මාංශ භක්ෂකයා ඌයි. උගේ නමෙනුත් ඒ බව කියැවෙනවා. 

කුඩාම ඩයිනොසෝරයාගේ ඔබට මේ පින්තූරයෙන් සිතා ගන්න පුලුවන්.

ග්‍රීකයන් අතර ටයිරනෝස් (tyrannos) යන වදන භාවිතයට ආවේ රජ පෙළපතක උරුමයක් නොමැතිව, භීතිය පතුරුවමින් ආ, සාමාන්‍ය මිනිසුන් අතරින් මතු වූ මිනිසකු තනි පාලකයකු ලෙස, අත්තනෝමතිකව අණසක පතුරුවමින් පාලනය ගෙන යන අයකු (වර්තමානයේ ඒකාධිපතියකු) හැඳින්වීමටයි. මේ වදනෙන් බිඳි ආ ඉංග්‍රීසි වදන වූ ටයිරන්ට් (tyrant) යන්නෙහි අරුත ‘ අත්තනෝමතික පාලකයා’ යන්නයි. 

ග්‍රීකයන් විසින් ටයිරනෝස් යනුවෙන් හැඳින්වූ පාලකයා රජකුට වඩා දුෂ්ට පාලකයකු වුණේ නැහැ. ඔවුන් ක්‍රිස්තු පූර්ව 510 විසූ ‘ටයිරන්ට් හිපියාස්’ (tyrant Hippias) කියා හැඳින්වූ පාලකයා බලයෙන් පහ කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති කර ගත්තා. එදා සිට ග්‍රීකයන් පොදුවේ ඒ නම ‘දුෂ්ට’ පාලකයන් හැඳින්වීමට යොදා ගත්තා. එවැනි අන්වර්ථ නාමයන් රජවරුන්ට යෙදීම අපේ රටෙත් සිදු වුණා. ගැමුණු රජතුමා දුෂ්ට ගාමිණී හෙවත් දුටුගැමුණු කියා හැඳින්වූයේ එතුමා දුෂ්ට පාලකයකු වූ නිසා නෙමෙයි. ද්‍රවිඩ පාලකයාට එරෙහිව යුද වදින්නට එපා කී පිය රජුට කාන්තා ඇඳුම් කට්ටලයක් යැවීම නිසයි. ඒක අපේ ඉතිහාසය ලියූ යතිවරුන් කළ දෙයක්. 

ටයිරන්ට් යන වදන අද පොදුවේ භාවිතවන්නේ නපුරු, දුෂ්ට, කුරිරු යන අරුතෙන්. එහෙත් එය වඩාත් නිවැරදිව දක්වතොත්, ප්‍රධානියා, නායකයා, මුදුනා, මූලිකයා යන වදන් තමයි, වඩාත් සුදුසු වන්නේ. ලතින් වදනක් වූ රෙක්ස් (rex) යන්නේ අදහස් කෙරෙන්නේ ‘රජ’ (king) යන්නයි. ඒ අනුව ටයිරනෝසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) යන්නෙන් අදහස් කෙරෙන්නේ ‘කටුස්සන්ගේ රජු’ (King Master-Lizard) යන්නයි. එයයි, ඒ දැවැන්ත සත්වයා හැඳින්වීමට වඩාත් සුදුසු පරිවර්තනය. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments