HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සියවසේ විස්මය වූ එංගලන්තයේ රෑ මනාලිය මෙන්න!

අපේ යටත් විජිත යුගයේ උද්භිද උද්‍යානවලට ආදර්ශය හා ගුරුහරුකම් ලැබුණේ එංගලන්තයේ කිව් (Kew) උද්භිද උද්‍යානයෙනි. අපේ මුල් ම රබර් පැල තොගය මෙරට පැළ කිරීම සඳහා ගෙනාවේ එම උද්‍යානයටය. ගම්පහ අස්ගිරියේ හෙනරත්ගොඩ උද්‍යානයෙහි රෝපණය කළ එහි පළමු ගස අද දක්නට නැතත් එහි විස්තර ඵලකයක් එහි සවි කර තිබේ.  ‍

එංගලන්තයේ කිව් උද්‍යානයේ ඇති මේ වික්ටෝරියා බොලිවියානා නම් ශාකය 
උද්භිද ලෝකයේ මහා පුදුමක් ලෙසයි සැලකෙන්නේ.

එංගලන්තයේ ලන්ඩනයේ රිච්මන්ඩ් හී මේ කිව් උද්‍යාන‍ය පසුගියදා හදිසියේ ම ලෝක අවධානයට ලක් වුණා. එයට හේතුව යෝධ ලිලී මලක් පිපීම නිසයි. අපේ මානෙල්, ඕලු ආදී මල්වලට නෑකම් කියන මේ මල මිනිස් හිසකටත් වඩා ලොකුයි. වසර 177ක් තිස්සේ ඒ උද්‍යානය තුළ සැඟවී තිබී අලුතින් සොයා ගන්න ලද මේ යෝධ ලිලී ශාකය, ඒ වර්ගයේ ලෝකයේ ඇති විශාලතම ශාක විශේෂයයි. මෙහි මල් පිපිනේනේ රාත්‍රි කාලයේ දී පමණය. ඒ නිසා ලෝකයේ විශාලතම රෑ මනාලිය ලෙස මෙය හැඳින්වෙයි. 

මෙය නව ශාක විශේෂය නම් කර ඇත්තේ වික්ටෝරියා බොලිවියානා (Victoria Boliviana) කියායි. එහි ශාක පත්‍රයක් මීටර් 2.7ක් පළලයි. මුලින් දෙමුහුන් (hybrid) ප්‍රභේදයක් යැයි විශ්වාස කළ මෙය පසුව වසර සීයක් විතර පැරණි යෝධ ලිලී විශේෂයක් ලෙස හඳුනා ගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ උද්භිද විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණයකින් පසුවයි, වසර 177ක් තිස්සේ කිව් උද්‍යානය තුළ සුරැකිව තිබුණු මේ යෝධ ලිලී ශාකය සම්පූර්ණයෙන් ම නව ප්‍රභේදයක් බවත් මෙය මේ වර්ගයේ ලෝකයේ ඇති විශාලතම ශාකය බවත් සොයා ගෙන ඇත්තේ. 

සියවසකට පසුව කරන ලද මේ අපූරු සොයා ගැනීම එහි උද්භිද විද්‍යාඥයන් ඉමහත් සතුටට පත්ව සිටින අතර මෙය ‘ලෝකයේ උද්භිද විද්‍යා මහිමයන් අතර විශිෂ්ටතම එකක්’ ලෙස ඔවුහූ හඳුන්වති. 

මේ ශාක විශේෂ‍යේ පත්‍ර වනාශ්‍රිතව වැඩෙන විට මීටර් 3.2ක් (අඩි 10ක්) පමණ පළල් වේ. පුෂ්පය සෙ.මී. 36ක් (අඟල් 14ක්) විශාලව වැඩේ. එය සාමාන්‍යයෙන් වැඩුණු මිනිස් හිසකට වඩා විශාලය. 

මේ ශාකයක ඇති පත්‍රයක විෂ්කම්භය අඩි 10ක් (සෙ.මී. 3.2ක්) වෙනවා. පිපුණු මලක් මිනිස් හිසකට 
වඩා ලොකුයි. කිව් උද්‍යානයේ මේ ශාකාගාරය තුළ විශාලව වැඩෙන්නේ නැති නිසා
මෙම ශාකයේ පත්‍රයක් අඩි 8.9කට වඩා ලොකු වී නැහැ.

මේ ශාක විශේෂය සොයා ගෙන ඇත්තේ 1845 පටන් කිව්හි ශාකාගාරය (Herbarium) තුළ වියළිව තැන්පත් කළ ශාක නිදර්ශනයක් තුළිනි. කෙසේ වෙතත් මේවායේ ජෛවී නිදර්ශකයන් කිව් ලිලී මල් රෝපණාගාරය (Kew's Water lily House) හා ප්‍රින්සස් ඔ‍‍ෆ් වේල්ස් ශාක සංරක්ෂණාගාරය (Princess of Wales Conservatory) තුළ දැනට වවා තිබේ. මේ විශේෂයන් ප්‍රමාණයෙන් කුඩාය. හොඳින් වැඩුණු කල පත්‍රය මීටර් 2.7කට (අඩි 8.9කට) වඩා නැත. 

මේ වික්ටෝරියා බොලිවියානා යන ශාකයෙහි බොලිවියානා යන කොටස ඇතුළත් කළේ එය දකුණු ඇමරිකානු නිවෙස්වල වවන ජනප්‍රිය ලිලී වර්ගයක් නිසාත්, මේ පර්යේෂණයට එක් වූ බොලිවියානු පර්යේෂකයන්ට ගෞරවයක් දැක්වීමටත්ය. 

කිව් උද්‍යානයේ විද්‍යාඥවරියක වූ නතාලියා ප්‍රසෙලොම්ස්කා මේ පිළිබඳව පැවසුවේ, “මෙවැනි නව විශේෂ සොයා ගැනීම ඉතා වැදගත්. දැනට ‍ජෛව විවිධත්වය වැනසී යන වේගය අනුව නව විශේෂ හඳුනා ගැනීමේ කාර්යය ඒ අතින් ලබන විශාල ජයග්‍රහණයක්.” කියාය. 

මේ නව ශාකය පිළිබඳව වසර දෙකක් තිස්සේ කළ සොයා ගැනීමට අදාළ විද්‍යාත්මක වාර්තාව Frontiers in Plant Science ජර්නලයේ පළ වී තිබේ. 

මේ ශාක ගණය වික්ටෝරියා යනුවෙන් නම් කර ඇත්තේ බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥයකු වූ ජෝන් ලින්ඩ්ලේ (John Lindley) විසිනි. මේ නව ශාකය සොයා ගන්නට පෙර ඒ ගණයට අයත් ශාක ප්‍රභේද වූයේ දෙකක් පමණය. ඒ වික්ටෝරියා කෘෘසියානා (Victoria Cruziana ) හා වික්ටෝරියා ඇමසෝනිකා (Victoria Amazonica) යන වර්ග දෙක ය.  ‍

මේ විශාල ශාකයේ මලක් සෙ.මී. 36ක් විතර වෙනවා. අනෙක් ශාක ද‍ෙකේ මල් සෙ. මී 30ක් 
විතර වෙනවා. අඳුර වැටුණු පසු විකසිත වී රාත්‍රිය පුරා පෙති විදහා සිටිමින් මද්දහන 
වන විට මැල වෙන මෙහි ආයු කාලය එපමණයි.

මේ නව වික්ටෝරියා බොලිවියානා ප්‍රභේදය බොලිවියාවේ ලයනෝස් ඩි මොක්සොස් ප්‍රදේශයේ ජලජ පරිසර පද්ධතිවල වැඩේ. ඒවායේ මල් පිබිදෙන්නේ රාත්‍රි කාලයට වන අතර මුල දී සුදු පැහැති වන මල් පසුව රෝස පැහැයට හැරේ. පාන්දර ජලය මතු පිටට විත් පිපිී පෙති විදහා මද්දහන වන විට පෙති හැකිළී යයි. 

බොලිවියානා ශාකයේ පත්‍ර එස් හැඩයක් ගන්නා අතර ඒවා දාරයෙන් උඩ අතට නැමී විහිදෙයි. ඒ පත්‍ර දාරය කෲසියානා පත්‍රයේ දාරයට වඩා උසින් අඩු වන අතර ඇමසෝනිකා ප්‍රභේදයට වඩා උසින් වැඩිය. පත්‍ර දාරය උඩු අතට විහිදෙද්දී රැලි වැටීම එම ශාකයේ විශේෂත්වයයි. පත්‍ර නටුව කටු සහිතය. එයින් මසුන්ගෙන් හා වෙනත් සතුන්ගෙන් වන හානි වළකාලයි. එහි මතුපිට හා ඇතුළත කොටස මෘදුය. පත්‍රයේ තැන් කීපයක කට්ට් කීපයක් විවරව ඇත්තේ මතු පිට එක්වන ජලය ඉවත්වීම සඳහාය. 

බොලිවියානා ප්‍රභේදයේ විශාල නිදර්ශනයක් බොලිවියාවේ ලා රින්කොනඩා උද්භිද උද්‍යානයේ ඇත. එහි පත්‍රයක ප්‍රමාණය මීටර් 3.2ක් (අඩි 10.5ක්) පළලය. මෙහි මල් සෙ.මී. 36ක් තරම් විෂ්කම්භයෙන් යුක්තය. 

ලෝකයේ ශාක එකතුවලට කිසිම තැනක මේ ශාකයේ මුලික නිදර්ශන නොමැති වීම නිසා මේ වික්ටෝරියා ශාක ගණයේ ගති ලක්ෂණ සකස් කිරීම අසීරු එකක් විය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ යෝධ ලිලී මල් විශේෂයන් වනගත පරිසරවලින් සොයා ගැනීම දුෂ්කර වීමය. 

මේ යෝධ ලිලී මල අයත් වික්ටෝරියා ශාක ගණයට වික්ටෝරියා නාමය දුන්නේ 
බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥ ජෝන් ලින්ඩ්ලේ විසින් එවකට බ්‍රිතාන්‍ය කිරුළ දැරූ 
වික්ටෝරියා රැජිනට ගෞරවයක් වශයෙනි.

වික්ටෝරියා බොලිවියානා ශාකය පිළිබඳ දත්ත එක් රැස් කිරීමේ දී මේ පර්යේෂණ කණ්ඩායම, මේ ශාකයට අදාළ ඓතිහාසික වාර්තා, උද්‍යාන විද්‍යාවට සම්බන්ධ තොරතුරු මෙන්ම ‍භූගෝලවිද්‍යාත්මක කරුණු හා ඔවුන් පර්යේෂණයට භාජනය කළ නිදර්ශක ගැන විස්තරද ඇතුළත් කෙරිණ. 

එපමණක් නොව ශාක හඳුනා ගැනීමට සැකැසූ ‘අයිනැචුරලිස්ට්’ (iNaturalist) නම් යෙදවුම හරහා ලිලී මල් ගැන සමාජ මාධ්‍යවල පළ වූ පෝස්ටුවලින් ද පුරවැසි විද්‍යාත්මක දත්ත එක්රැස් කර ගනු ලැබීය. 

මෙහිදී තහවුරු වූ වැදගත් කරුණක් නම් මේ වික්ටෝරියා බොලිවියානා ශාකය, අනික් ශාක දෙක වූ වික්ටෝරියා කෲසියානා හා වික්ටෝරියා ඇමසෝනියා ආදියට වඩා ජානමය වශයෙන් කැපී පේන වෙනස්කම්වලින් යුක්ත බවය. එහෙත් එය වික්ටෝරියා කෲසියානා ශාකයට වැඩි නෑකමක් ඇතැයි පෙනී ගියේය. 

විද්‍යාඥයන් විශ්වාස කරන හැටියට වික්ටෝරියා බොලිවියානා ශාකය වසර මිලියනයකට පමණ පෙර කාලයක වික්ටෝරියා කෘෘසියානා ශාකයෙන් වෙන් ව වැඩන්නට ඇත. 

කිව් උද්‍යානයට අනුබද්ධ විද්‍යා පර්යේෂකයකු, උද්භිද හා උද්‍යාන විද්‍යා විශේෂඥයකු වූ කාලෝස් මග්දලේනා, වික්ටෝරියා ගණයට අයත් තුන්වැනි ශාක වර්ගයක් තිබිය හැකියැයි විශ්වාස කරමින් වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල යෙදුනු අයෙකි. ඔහු මේ ගැන විපරම් කරමින් 2016 වසරේදී බොලිවියාවේ සාන්ත කෲස් ඩි ලා සියෙරා උද්භිද උද්‍යානයට හා ලා රින්කොනඩා උද්‍යානයට මේ තුන්වැනි ගණයට අයත් යැයි සැකකළ යෝධ ලිලී ශාකයේ බීජ එකතුවක් පරිත්‍යාග කළේය. 

මේ යෝධ පත්‍ර මත රැ‍‍ඳ‍ෙන ජලය ඉවත් කිරීමේ උපක්‍රමයක් ලෙස පත්‍රයේ දාරවල විශේෂ කට්ට කැපුම් ඇත.

එසේම කාලෝස්ද එම බීජරෝපණය කොට එක විලක එක ළඟ වැඩෙන්නට සැලැස්වීය. ඔහුට වෙනස්කම් පෙනෙන්නට පටන් ගත්තේ ඉන්පසුවය. ඒ සමගම ඔහු 2019 දී බොලිවියාවට ගියේ ය. ඒ වනගතව වැඩෙන ලිලී ශාකය පිරික්සා බලන්නටය. ඒ දසුන්වලින් ඔහු විස්මයට පත් විය. 

“මා 2006 දී මේ ශාකයේ පින්තූරයක් පළමුවරට ඔන්ලයින් එකෙන් දැක්කා. එවේලේ ම මට ඉතා පැහැදිලිව පෙනී ගියා, මේ නව ශාක විශේෂයක් බව. උද්‍යාන විද්‍යාඥයන් වන අපට ශාකයක් දුටු විගස එය හඳුනා ගන්න පුළුවන්. මට එක්වරම පැහැදිලි වුණා, ‍එතෙක් හඳුනාගෙන තිබූ වික්ටෝරියා ශාක විශේෂ දෙකට ම වඩා මේ ශාකය වෙනස් බව. ඒ නිසා මේ තුන්වැනි විශේෂය විය හැකි යැයි මං තීරණය කළා” ඔහු ඒ පිළිබඳව අදහස් දක්වමින් කිවේය. 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කීවේ, “මට දශක දෙකක් තිස්සේ අන්තර්ජාලය පුරා ඇති හැම ලිලී ශාකයක් ම නිරීක්ෂණය කරන්නට හැකි වුණා.. ඒ වාසනාව 18 වැනි 19 වැනි 20 වැනි සියවස්වල උද්භිද විද්‍යාඥයන්ට තිබුණේ නැහැ.” කියාය. 

“කිව් උද්‍යානය තුළ හැම ලිලී ශාකයක්ම එකම පරිසරයක් තුළ එකම තත්වයන් යටතේ සාර්ථකව වැවිය හැකියැයි මා දැරූ මතය වැරදි බව මට තේරුම් ගියේ වවන විටයි. පරිසර තත්වයන් යටතේ ලිලී ශාකවල හැඩය, වර්ණය හා ප්‍රමාණය වෙනස් වෙනවා. වනගත මේ වික්ටෝරියා ශාකය විශාල වපසරියක වැඩෙනවා. ඒ නිසා සන්සන්දනය කිරීම අපහසුයි.” 

“මේ නව ශාක විශේෂය නිල වශයෙන් නම් කිරීමේ ක්‍රියාවලිය සිදුවෙද්දී මට බොහෝ දේ ඉගෙන ගන්නට ලැබුණා. මේක මගේ කිව් උද්‍යානයේ විසි වසරක සේවා කාලය තුළ ලත් විශේෂ ජයග්‍රහණයක්.” කාලෝස් කියයි. 

ඒ අතර මෙහිදි කිව් උද්‍යාන පර්යේෂක කණ්ඩායමේ නිදහස් උද්භිද විද්‍යා චිත්‍රශිල්පිණී ලුසී ස්මිත් ද අදහස් දැක්වීමක් කළා. මුලින්ම හඳුනා ගෙන තිබූ වික්ටෝරියා ශාක විශේෂ දෙකෙහි විද්‍යාත්මක සන්නිදර්ශක චිත්‍ර සැකැසුවේ ඇයයි. ඇය නිතරම රාත්‍රි‍ කාලයේ ඒ මල් පිපී ඇුති කාලය තුළ ඒවා නිරීක්ෂණය කරන්න කිව් ශාකාගාරයට ගියා. ඒ ගමන්වලින් තමයි ඇය මුල් වික්ටෝරියා ශාක විශේෂ දෙකෙහි වෙනස හඳුනා ගත්තේ. 

“කිව් උද්‍යානයේ උද්භිද විද්‍යා චිත්‍රශිල්පිණිය හැටියට මට ඔවුන්ගෙන් උපදෙස් ලැබුණා මේ ශාකවල වෙනස් කම් නිසි ලෙස හඳුනා ගන්නා ආකාරය ගැන. මා ඉතාමත් සතුටු වෙනවා, තවත් ශාකයක් මෙයට එක්වීම ගැන.” යයි ලුසී පවසයි. ඇයත් මේ පර්යේෂණ පත්‍රිකාවේ එක් සංස්කාරිකාවක්. 

මේ ශාකය පිළිබඳ වීඩියෝව පහතින් නරඹන්න! 

කිව් උද්‍යානයේ පර්යේෂකයන්ට අමතරව එහි සේවය කරන ඇමරිකානු විශේෂඥ කණ්ඩායමක් ද මේ කටයුත්තට එක්විය. එහි පර්යේෂණ ප්‍රධානී ආචාර්ය ඇලෙක්ස් මොන්රෝ පවසන්නේ, “මේ නව වික්ටෝරියා ශාකය සොයා ගැනීම උද්භිද විද්‍යාවේ විශාල ජයග්‍රහණයක්. එසේම ශාක විවිධත්වයට අදාළව කරන ලද විශිෂ්ට පර්යේෂණයක්. මේ සඳහා අපට උද්භිද විද්‍යාඥයන්ට අමතරව, උද්‍යාන විද්‍යාව හා උද්භිද විද්‍යා චිත්‍රශිල්පය යන විෂයයන්ගේ විශේෂඥ පිරිසකුත් බොලිවියාවේ විශේෂඥයන් ගණනාවකුත් ද මීට සහභාගි වුණා.” මොන්රෝ කියයි. 

“කිව් ඉතිහාසයේ විශේෂ තැනක් මේ නව වික්ටෝරියා ශාකයට හිමි වෙනවා. 1830 ගණන්වල මේ කිව් උද්‍යානය වසා දමන්නට බලධාරීන් තීරණය කළත් එය නොවැසුණේ මෙහි එක් රැස් කර තිබූ ශාක සංරක්ෂණයේ වැදගත්කම නිසයි. ඒ සංරක්ෂිත ශාක අතර වසර 177ක් වැසී තිබී හමුවුණු මේ නව ශාක ප්‍රභේදය සොයා ගැනීම මේ සියවසේ පරිසරය හා සම්බන්ධව සිදු වූ සුවිශේෂ ජයක් ලෙස හඳුන්වන්න පුලුවන්.” ඔහු තවදුරටත් කියයි. 

නතාලියා ප්‍රසෙලොම්ස්කා අවසාන වශයෙන් කියන්නේ, “අපේ මේ විස්මිත සොයා ගැනීම නිසා, අප මේ අංශයෙන් යොදා ගත් විවිධ තාක්ෂණයන් නිසා, අනාගතයේ තවත් මෙවැනි නව සොයා ගැනීම් කරන්නට තවත් අය පෙල‍ඹෙන්නේ නම් එය උද්භිද විද්‍යා ක්ෂේත්‍රයට විශාල සෙතක් සලසන කරුණක් වේවි” යනුවෙනි. 

ලොව විශාලතම මෙම නව ශාකයත් ඒ ගණයට අයත් අනෙක් ශාක දෙකත් එංගලන්තයේ කිව් රාජකීය උද්භිද උද්‍යානයට එන අයට මේ ශාක තුනම එක තැනක මල්පිපී තිබෙනු දැකිය හැකියි. 

- පර්සි ජයමාන්න

 

Post a Comment

0 Comments