අපේ සිංහල සිනමාවේ අත්තම්මා වයස 95ක් සපිරූ බව පසුගියදා ‘මල්කැකුළු’වලින් ඔබට කීවා මතකද? ඇය ‘රේඛාව’ චිත්‍රපටයේ කතිරිනා, ‘සංදේශය’ චිත්‍රපටයේ යසෝහාමි, ‘බක්මහ දීගේ’ චිත්‍රපටයේ ලමාතැනී, ‘යශෝරාවය’ ටෙලි මාලාවේ සුදු හාමිනේ, ‘දූදරුවෝ’හි ඩල්සි ආච්චි යන චරිත ඔබට මතකද? මේ සියලු චරිත එකට කැටි කොටගත් කල, ඈ අප දන්නා හඳුනන රුවැත්තිය අන් කවරෙකුවත් නොව අයිරාංගනී රොක්සානා මීදෙනියයි. රංගන ක්ෂේත්‍රයේ හැඳින්වෙන ආකාරයට නම් අයිරාංගනී සේරසිංහයි.
ඇය තවමත් රංගනයෙන් ඉවත් වී නැත. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට කීපයක් ම ඉදිරියේ දීත් තිරගත වීමට නියමිතයි. ඇය මෙතෙක් රඟපා ඇති චිත්‍රපට ගණන 37ක්. ‘ගම්පෙරළිය’ හැර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සෑම චිත්‍රපටයකම ඈය රඟපෑවා. එසේ ම ටෙලි නාටක රැසක ඇය රංගන කුසලතා දක්වා තියෙනවා.
මුල් ම වෘත්තාන්ත චිත්‍රපටය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’යි. ඇය එහි රඟපෑවේ සේන (සෝමපාල ධර්මප්‍රිය) ගේ මව (කතිරිනාහාමි) ලෙසයි. ඒ චිත්‍රපටයේ අවසානයට රූගත කළ ජවනිකාව එයයි. ඒ අවස්ථාව සිය රංගන ජීවිතයේ කිසිදාක අමතක කළ නොහැකි එකක්. ඇය එම අවස්ථාව දකින්නේ මෙහෙමයි.
"රේඛාවේ පටිගත කිරීම් සිදු කළේ අලව්වේ වෑවල කියන ගමේ. ලෙස්ටර් වාගේම අයිරාංගනීටත් ඒ ගම්මානයේ වැසියන් හුරුපුරුදුයි. මීට කලින් අපි දෙන්නාම ‘නෙළුම්ගම’ කියන වාර්තා චිත්‍රපටයේ වැඩ කළා. ලෙස්ටර් තමයි, රජයේ චිත්‍රපට අංශයේ නිෂ්පාදනයක් වූ එහි සහාය අධ්‍යක්ෂ වුණේ. රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා වූ රැල්ෆ් කීන් නම් කීර්තිමත් බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා තමයි එහි අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළේ. එංගලන්තයේ සිටි ලෙස්ටර් මෙරටට ආවේ ඔහුගේ බලවත් ඉල්ලීම මතයි. ඒ නිසා පසුව ලෙස්ටර් අපට ලැබුණු හැමදෙයකටම අපි ඔහුටත් ණය ගැතියි
“අපේ පටිගත කිරීම් කළ අවසාන දවස මට කිසිදාක අමතක වන්නේ නෑ. සියලු පටිගත කිරීම් අවසන් කොට අපි බලා හිටියා මෝසම් වැස්ස එනකං අවසාන වැසි ජවනිකාව පටිගත කරන්න. වැස්ස පමා වූ නිසා සිනමා කණ්ඩායමට වෑවල ගමේම ඉන්න සිද්ධ වුණා. ඒ ඉන්න අතර ලෙස්ටර් කොළඹ ගියා ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සිනමාකරු ඩේවිඩ් ලීන් සහභාගිවූ රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වෙන්න. ඒ දවස්වල ඩේවිඩ් ලීන් ‘බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ රූගත කිරීම් කරමිනුයි සිටියේ.
“ලෙස්ටර් දුටු ගමන් ම ලීන් අහලා තියෙන්නෙ ‘කොහොමද චිත්‍රපටයේ වැඩ?’ කියලා. මෝසම් වැස්ස එනකං ඉන්නවා අවසාන ජවනිකාව ගන්න කියලා. ඒ අවස්ථාවේ දි ඔහු කියලා තියෙනවා, ‘ලෙස්ටර්, වහිනකං නිකං බලා ඉන්න එක තේරුමක් නෑ. ඔබේ රටේ ගිනි නිවන හමුදාවෙ දක්ෂ අය ඉන්නවා. ඒ අය පුදුම මිනිස්සු. මටත් කෘත්‍රිම වැස්සක් මවලා දුන්නා. ඔවුන්ට කියන්න ඔවුන් ඔබට වැස්සක් මවලා දේවි. ඔවුන්ට තියෙනවා අඩි 60ක් ඉහළට වතුර විඳින පොම්පයක්. ඒකට කියන්නේ ‘ලන්ඩන් රසල්’ කියලයි. යන්න ඔවුන්ට කියන්න. හෙටම ෂූටිං පටන් ගන්න.’ ලීන් කිව්වා. “ලෙස්ටර් පහුවදාම ගිනි නිවන හමුදාවත් එක්ක වෑවලට ආවා. ඔවුන් වැස්සක් මවලා දුන්නා. මමත් සෝමපාලත් ඒ කෘත්‍රිම වැස්සේ තෙමි තෙමී රඟපෑවා. ඒ දර්ශනය රූ ගත කරන්න බොහෝ වේලා වැස්සේ ඉන්න සිද්ධ වුණා. වැඩේ ඉවර වුණාට පස්සේ දියෙන් ගොඩදාපු මාළුවන් වගේ ගැහෙමින් හිටියෙ. අපිට විටෙන් විට උණු උණු කෝපි බිව්වත් රෑ වෙන කොට අපි දෙන්නටම සහලෝලා උණ.
“කොත්තමල්ලි වගේ දේවල් බිව්වට හරි ගියේ නෑ පහුවදා අපිව අලව්වෙ රෝහලටත් එතැනින් පොල්ගහවෙල රෝහලටත් අපව අරන් ගියා. ආසත්මිකතාවක් නිසා අපට ප්‍රතිකාර ගන්න සිදුවුණා. ගිනි නිවන හමුදාව ඒ පැත්තේ අපිරිසිදු ළිඳකින් ද කොහෙද වතුර අරන් තමයි ඉහළ තියෙන්නෙ.” අයිරාංගනී ඒ සිදුවීම විස්තර කළේ එහෙමයි.
තවත් අයිරාංගනීගේ තවත් අමතක නොකළ හැකි අත්දැකීමකට ලෙස්ටර්ගේ දෙවැනි චිත්‍රපටය වූ ‘සංදේශය’ රඟපාද්දී මුහුණ දීමට ඇයට සිදු වුණා. ‘රේඛාව’ අද වෙන කොට අති සාර්ථක නිෂ්පාදනයක් ලෙස වාර්තා තබා ඇතත්, එදා වානිජ වශයෙන් එතරම් සාර්ථක වුණේ නැහැ. දකුණු ඉන්දියානු ආභාසයෙන් නිපදවනු ලැබූ සිංහල චිත්‍රපටවලට වඩා වෙනස් වූ නුහුරු නව අත්දැකීමක් වූ නිසා ප්‍රේක්ෂක පිළිගැනීම රේඛාවට ලැබුණේ නැත. ඒ නිසා ඔහුට ඊළඟ චිත්‍රපටයට කලක් යනතුරු අතගැසීමට නොහැකි වුණා. හින්දි නළු රාජ් කපූර් රුසියානු චිත්‍රපටේ උළෙලකදි ‘රේඛාව’ ගැන පැහැදී ඉන්දියාවේ දී සිනමාස් අධිපති කේ. ගුණරත්නම්ට කියලා තියෙනවා, ලෙස්ටර් දක්ෂයෙක් ඔහුට චිත්‍රපටයක් කරන්න මුදල් ආයෝජනය කරන්න කියලා. එහි ප්‍රතිඵලයක් නිසා තමයි, ‘සංදේශය’ චිත්‍රපටය බිහිවුණේ.
සංදේශය චිත්‍රපටයේ අයිරාංගනී රඟපෑවේ යසෝහාමි නම් බිත්තර වෙළෙන්දියගේ චරිතයයි. ඇය එහිදී එක් අවස්ථාවක බිත්තරයක් ඇතුළේ දමා ගෙන සිංහල කැරලිකරුවකුට පණිවිඩයක් ගෙන යනවා. බිත්තර කූඩය ඇතුළේ අනෙක් බිත්තර අතර ගෙන ගිය මේ බිත්තරය පරංගි භටයකුගේ උකුසු ඇසට හසු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයව දියේ ගිල්වා මරා දමන්නට පරංගි නායකයා තීරණය කරනවා.
“මට මරණ දඬුවම අනුව මාව දියේ ගිල්වා මැරීමට ගඟක් ගාවට අරක් යනවා. මේ දර්ශනය සඳහා සියලු කටයුතු සූදානම් කළේ සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියයි. මේ රූප ගත කරනවා බලන්න මගේ අම්මාත් ඇවිත් හිටියා. මගේ අත් දෙක කඹයකින් බැඳලා ඒකට කළු ගලක් ගැටගහලා තිබුණා. මගේ ජීවිතාරක්ෂාවට පස් දෙනෙක් යොදවලා තිබුණා.
“වධකයා ලෙස රඟපෑවේ එන්. ආර්. ඩයස්. ගඟ අද්දරට මාව අරන් ගිය ඔහු එක්වරම මාව ගඟට තල්ලු කළා. කියා දුන්න විධියට මර ළතෝනි තියාගෙන මමත් දියට පැන්නා. මම දිය යට යද්දී මගේ හුස්ම හිර වුණා. අතේ බැඳපු කළු ගල ගලවා ගන්න බැරි වුණා. කඹය තෙත් වුණු නිසා අතට තවත් හිර වුණා. ඒ ගලේ බරට මාව දිය යටට ගෙන ගියා. වැඩි වේලාවක් ගියා. මතු වුණේ නැති හින්දා ආරක්ෂකයන් මාව ගලවා ගත්තා.
“ගොඩට ආ ගමන් ලෙස්ටර් මට කිව්වේ මොකක්ද දන්නවද? ‘අයිරාගනී ඒ සීන් එකේ ඔයා ගඟට පැනලා ගිලුණාම බබල්ස් (දිය බුබුළු) මතු වුණේ නෑනේ. ඒ හින්දා ඒ ෂොට් එක ආයිත් ගම්මු’ කියලා කිව්වා.
“අම්මා ඒ වෙන කොටත් හොඳටම බය වෙලයි හිටියෙ. ඒ කතාවට අම්මාට කේන්ති ගියා. ‘මොන බබල්ස් ද? යමු ගෙදර. උඹ මැරෙන්නද හදන්නේ? ඔය ඇඳුම් ඉක්මනින් මාරු කර ගනින්. උඹට නිව්මෝනියාව හැදේවි.’ කියලා ටිකක් සැරෙන් කිව්වා.
“මම අම්මාව සන්සුන් කළා. ‘අම්මා කලබල වෙන්න එපා! කරන්න ආපු වැඩේ කරන්න එපායැ. අම්මා බය වෙන්න එපා! මං මැරෙන්නේ නැහැ. මං දෙවැනි පාරටත් ගඟට පැන්නා. ඒ පාර නම් දියට වැටුණු ගමන් ම කඹය යාන්තම් ගලවා ගත්තා. ඒත් මං ගොඩට ආවෙ තරමක් අපහසුවෙන්. ඒ වගේ අවදානම් ගන්න මං බය නැහැ.”
“ 'ඕකේ අයිරාංගනී, මේ පාර සීන් එකේ බබල්ස් හොඳට ආවා.’ ලෙස්ටර් බොහොම සතුටින් කිව්වා. අයිරාංගනී සේරසිංහ සිය ජීවිතයේ මතක අතීතයෙන් කොටසක් අප වෙත ගෙනාවේ එහෙමයි.
- පර්සි ජයමාන්න
0 Comments