HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චීනයෙන් එන අනාගත රොබෝ ටැක්සිය මෙන්න!

චීනයේ තාක්ෂණික යෝධයකු වූ බයිදු (Baidu) කුලී රථ සේවාවේ පෙරළියක් කළ හැකි විද්යුත් මොටෝරියක් නිපදවා තියෙනවා. ඒ විදුලි රිය හඳුන්වා ඇත්තේ ඇපලෝ ආර්ටී6 (Apollo RT6) කියායි. මේ නව විදුලි රියේ මූලික නිෂ්පාදනය සඳහා ඩොලර් 37,000 (රුපියල් 10,946,720ක්) වැය වන බවයි ඔවුන් කියන්නේ. ඒ රිය පදවන්න රියැදුරකු නැහැ. වාහනය පැදවෙන්නේ ඉබේමයි. ඔබ කළ යුත්තේ යායුතු තැන දැනුම් දීම පමණයි. ඔබට අවශ්‍ය තැනට රථය ඔබව ආරක්ෂිතව ගෙන ගොස් ඇරලනවා. 

ඇපලෝ ආර්ටී 6 කාරයේ සුක්කානම ඉවත් කළ විට මගීන්ට වැඩි ඉඩක් ලැබෙනවා. මෙය ඇපලෝ ගෝ 
ඇප් එක සමග දැනටමත් සක්‍රියව ඇති නගරවල හොඳින් භාවිතයට යොදා ගත හැකි වේවි.

මෙහි සුක්කානමක් නැහැ. ඒ වෙනුවට ඒ ඉඩකඩෙහි ඩෙක්ස්ටොප් පරිගණක ආදිය සවි කරලා තියෙන්නේ ඔබේ පාවිච්චිය සඳහායි. ගමන අතරතුර ඔබට පරිගණක ක්‍රීඩාවක හෝ වෙනත් කාර්යයක නිතර වෙන්න පුලුවන්. මෙහි සියලු කටයුතු ඉටුවන්නේ විදුලි රිය මඟ සොයා යන්නට සංවේදක 38ක් යොදා ගන්නවා. ඒවා වසර 20ක රිය පැදවීමේ පලපුරුද්ද ඇති රියැදුරකු කරන සේවයට සමාන සේවයක් කරනවා. 

මේ විදුලි කුලී රථය 2023 දී මහජන සේවයට යොදවන්නයි, ඒ සමාගම බලාගෙන ඉන්නේ. ඔවුන් ඒ වන මොටෝ රථ ලක්ෂයක් නිපදවීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් කියන විධියට මෙය සත්‍ය වශයෙන්ම ස්වයංක්‍රීය වාහනයක්. එහෙම නැතිව සාම්ප්‍රදායික කාරයකට විදුලියෙන් ක්‍රියාකරන උපකරණ හා උපාංග සවි කිරීමක් නොවෙයි. 

බයිදු ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු කියන්නේ, “මේ බයිදු ආයතනය ලෝක ප්‍රකට ගූගල් ආයතනයට ආ චීන විකල්පය කියායි. බයිදු ආයතනය අපේක්ෂා කරන්නේ 2023 වසරේ මැද හරියේ දී පමණ මෙය වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නයි. ඔවුන්ගේ ‘ඇපලෝ ගෝ’ ප්‍රවාහන සේවයේ කොටසක් හැටියටයි.” 

2022 බයිදු වර්ල්ඩ් තාක්ෂණික ප්‍රදර්ශනයට මේ ඉදිරිපත් කරමින් බයිදු ආරම්භක හා ප්‍රධාන විධායක වූ රොබින් ලී කීවේ, “මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන විට ඉතාමත් අඩු වියදමකින් තැනිය හැකි මේ විදුලි රිය නිසා මුළු මහත් චීනය පුරා මේ සේවාව ව්‍යාප්ත කරන්න අපට හැකි වේවි” කියායි. “මේ රෝබෝ ටැක්සි සේවාව ආරම්භ කළ විට දැන් වැය වන මුදලට වඩා බාගයක් විතරයි, ‍යන එන අයට ගමනට වැය කරන්නට සිදු වන්නේ.” ඔහු වැඩිදුරටත් කියනවා. 

මෙහි පැති දොරවල් ඇරෙන්නේ විදුලියෙන්. ඒක මුර පදයක් යොදා ගෙන බ්ලූ ටූත් එකක් හෝ ස්මාට් ෆෝන් එකක් මගින් කළ හැකියි.
මෙහි බැටරිය මගින් අතර ඉඩකඩකයි තැන්පත් කෙරෙන්නේ.

ඇපලෝ RT6 තමයි, බයිදු ආයතනය තැනූ හය වැනි පරම්පරාවට අයත් විදුලි රිය. කලින් විදුලි රිය හැම එකකටම වඩා මෙහි පිරි වැය හරිම අඩුයි. නිදසුනක් වශයෙන් ඔවුන් කලින් තැනූ පස් වැනි පරම්පරාවට අයත් මාදිලිය වූ ඇපලෝ මූන් නම් මූලික විදුලි රිය 2021 ජූනි මාසයේදි තනන්නට ඩොලර් 71,000ක් (රුපියල් 25,071,520ක්) වැය වුණා. 

මෙහි මගීන් හතර දෙනකුට යන්න පුලුවන්. බැටරිය තැන්පත් කර ඇත්තේ එහි මැද මගී ආසන අතරයි. ප්‍රමාණයෙන් එය SUV වාහනයකත් මිනිවෑන් එකකත් අතර ප්‍රමාණයටයි වැටෙන්නේ. දෙපා තැබීමට සෙ.මී. 105ක ඉඩකඩක් තියෙනවා. විදුලියෙන් ඇරෙන වැහෙන දොරවල් ක්‍රියා කරන්නේ බ්ලූ ටූත් එකක් මගින් හෝ ස්මාට් ‍ෆෝන් යොමුවක් මගින්. 

මෙහි සුක්කානම ඉවත් කර ඒ වෙනුවට අතිරේක අසුනක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් 
හෝ වෙනත් දෙයක් සවි කළ හැකියි.

පදවන විට මේ විදුලි රිය, සංවේදක 38ක් පාවිච්චි කරනවා. එයට ආලෝක ධාරා මගින් හඳුනාගැනීමේ සංවේදක 8ක්, අතිධ්වනික රේඩාර් 12ක්, කැමරා 12ක්, මිලිමීටර එකක රේඩාර් තරංග හයක් ඇතුළත් වෙනවා. මේවා නිසා මේ විදුලි රියට සංකීර්ණ නාගරික ප්‍රදේශවල වුනත් හාත්පස මීටර් 200ක දුරක් ආවේක්ෂණය කරන්න පුලුවන්. 

මුලින් ම ඔවුන් හැදුවේ පවතින කාරයකට ස්වයං පැදවීමක් සඳහා විශේෂ කට්ටලයක් එකතු කරලයි. ඒත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ ස්වයංක්‍රීය පැදවුම් කට්ටලය හැඳින්වුණේ ෂිංන්හේ (Xinghe) කියලයි. ඒ හතර වැනි පරම්පරාවේ ස්වයංක්‍රීය රථය එහි කලින් මාදිලියට වඩා ප්‍රබලයි. හතර වන පරම්පරාවේ ස්වයංක්‍රීය රථයකට රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි වුවත් ඊට සවිස්තරාත්මක සිතියමක් ඇතුළත් කළ යුතු වෙනවා. ඒ වගේම ඒ වාහනය යායුතු මාර්ග සීමා කළ යුතු වෙනවා. 

ඒත් මෙවර ඔවුන් කළේ එවැනි දෙයක් නෙවෙයි, මේ විදුලි රිය සඳහා සමඅතිරික්ත පද්ධති හතක් යොදා තියෙනවා. එක පද්ධතියක් අක්‍රිය වුවහොත් වෙනත් එකක් ඒ වෙනුවට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම බයිදු කියන ආකාරයට ඔවුන් මේ විදුලි යානයේ ආරක්ෂක තත්වය මේ වන විටත් කිලෝමීටර් මිලියන 32ක දුරක් සඳහා අත්හදා බලා තිබෙනවා. 

කෙසේ වෙතත් චීන රාජ්‍යයේ නීතියට අනුව ස්වයංක්‍රීය වාහනයක් මහ මඟ දුවන්නට නම් ආරක්ෂක රියැදුරකු එහි සිටිය යුතු වෙනවා. ඒ වගේ ම බයිදු ආයතනය තවමත් කියා නැහැ වරක් සම්පූර්ණ ආරෝපණයක් කළ පසු කොතරම් දුරක් එයට ධාවනය කළ හැකිද කියා. 

 මේ කාරයෙහි යොදා ඇති එක් ආරක්ෂක උපක්‍රමයක් අක්‍රිය වුවහොත් වෙනත් විකල්ප උපක්‍රම හයක් තියෙනවා.

මෙහි ආරක්ෂක අත්හදා බැලීම් දැනටමත් කි.මී. මිලියන 32ක් පුරා කරලා තියෙනවා.

බයිදු ආයතනය විසින් 2020 දී ආරම්භ කරන ලද ‘ඇපලෝ ගෝ’ වැඩ සටහන චීනයේ ශෙන්සෙන්, ෂැංහයි, බෙයිජිං ඇතුළු ප්‍රධාන නගර 10ක දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම මිලියන ගණනක් මේ මගින් ගමන් බිමන් ගොස් තියෙනවා. මෑත දී කරන ලද වැඩි දියුණු කිරීම් නිසාත්, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම නිසාත් මේ කුලී රථ සේවාව 2025 දී නගර 65කටත්, 2030 වන විට නගර 100කටත් ව්‍යාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

මේ බයිදු ආයතනය වඩාත් ප්‍රසිද්ධ පරිගණක සෙවුම් යන්ත්‍රය සඳහා වුනත් එය ඔන්ලයින් දැන්වීම් ප්‍රචාරණයත් විශාල වශයෙන් කරනවා. මෑත වසරවල ඔවුන් විශාල වශයෙන් ආයෝජනය කළේ රියැදුරු නොමැතිව ස්වයංක්‍රීයව පැදවිය හැකි වාහන සංවර්ධනය කිරීමට මෙන් ම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීමටයි. කාර්යාලයීය පුද්ගල සහකාර වශයෙන් යොදා ගත හැකි රොබෝලා තැනීමටත්, කෘත්‍රිම බුද්ධි චිප නිෂ්පාදනයෙහිත් ඔවුන් චීනය තුළ ප්‍රසිද්ධියක් උසුලනවා. 

මේ හැරෙන්නට චීනය මේ ස්වයංක්‍රිය වාහන තාක්ෂණය පිළිබඳ ව තමන් ලබා ඇති දැනුම ලෝකය පුරා බෙදා දෙනවා. ඒත් ඇමරිකා එක්සත් ජනපදයට ඔවුන්ගේ සේවය ලබා දීම ගැන එතරම් ලොකු උනන්දුවක් නැහැ. ඒත් 2020 දී ඇරිසෝනාවේ ෆීනික්ස්හී ඇල්ෆබට් ආයතනයේ වේමෝ ස්වයංක්‍රීය කුලී රථ ව්‍යාපෘතියට ඔවුන්ගේ සහය දුන්නා. එය ගූගල් ආයතනයට අයත් සේවාවක්. 

මේ පහත වීඩියෝවෙන් ස්වයංක්‍රීය රිය ධාවනය වන හැටි බලන්න! 

ස්වයංක්‍රීයව පදවන කාරය වැඩ කරන්නේ මෙහෙමයි. 

ස්වයංක්‍රීයව පදවන කාරයට යොදා ගන්නේ සාමාන්‍ය ද්විමාන කැමරා සහ ගැඹුර හඳුනා ගැනීමට අවශ්‍ය ලිඩාර් (LiDAR) නමින් හැඳින්වෙන සංවේදක ඒකකයි. ඒවායින් තමයි අවට ලෝකය හඳුනා ගන්නේ. ඒ එකකවලට ඉමහත් තොරතුරු රැසක් ඇතුළත් චිප රාශියක් ඇතුළත් කරලා තියෙනවා. කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන ඒ තොරතුරු සසඳමින් මිනිසුන් හඳුනා ගන්නට, සංඥා කියවන්නට ඒවාට පුලුවන්. ඒ වගේම අනතුරු බාධක ආදිය කල්තියා හඳුනා ගන්නත් පුලුවන්. ලිඩාර් මගින් යැවෙන ආලෝක ධාරාවලින් යැවෙන කෙටි ස්පන්දක යම් වස්තුවක වැදී ආ විට ඒ බාධක මඟ හැර යන්නට කාරයට පුලුවන්. මේ සංවේදක කාරය ගමනේ යද්දී අවට හැම දෙයක් ම ස්කෑන් කර බලනවා. එහි ඇති පරිගණක ජීපීඑස් භාවිතයෙන් ඒ මොහොතේ පරිසරයේ පවතින තත්වය, චලනය වන වස්තූන් මෙන් ම අචල වස්තු ගැන ‍විස්තර ලබා දෙනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments