HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඕස්ට්‍රේලියානු පිලට ජය ගෙනා ලංකා කොල්ලා

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු විස්සයි තරඟාවලිය පරාජයට ප්‍රධාන වශයෙන් දායක වුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ශ්‍රී ලාංකික මවකගේ පුතෙක්. ඔහු නමින් ඈෂ්ටන් චාල්ස් ඒගාර්. ඇය මහනුවර විසූ සෝනියා හේවාවිස්සයි. ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ 1974දියි. ඇය එහි දී ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන ජෝන් ඒගාර් සමග විවාහ වී තියෙනවා. සෝනියාගේ පියාත්, ඒ කියන්නෙ ඈෂ්ටන් ඒගාර්ගේ නුවර සීයා වූ නාල හේවාවිස්සත්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු කලකට පෙර මහනුවර ධර්මරාජ විදුහල් පිලට ක්‍රීඩා කළා. 
ඈෂ්ටන් ඒගාර්

ඈෂ්ටන් ඒගාර් කියන්නේ ජෝන් ඒගාර් හා සෝනියාගේ වැඩිමහල් පුතායි. ඔවුන්ට ක්‍රිකට්වලට හපන් තවත් පුතුන් දෙදෙනෙකුත් ඉන්නවා. ඈෂ්ටන් ඒගාර් උපන්නේ 1993 ඔක්තෝබර් 14 දා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේයි. ඒගාර් මුලින්ම ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට තේරුණු අවස්ථාවේ, අම්මා ඔහුව මෙල්බර්න් හි බෞද්ධ විහාරස්ථානයට ගෙන ගොස් විජිත හිමියන්ගෙන් ලබාගත් පිරිත් නූලක් ඒගාර්ගේ අතේ බැන්දා. ඔහුගේ මංගල තරඟය 2013 ජූලි මාසයේ පැවති අළු බඳුන තරඟාවලිය වූ අතර පළමු ටෙස්ට් තරඟය පුරාටම ඒගාර් පිරිත් නූල පැලඳ සිටියා. 

ඔහුගේ මංගල ටෙස්ට් තරඟය අමතක නොවන සුවිශේෂ එකක්. 2013 දී එංගලන්තය සමඟ පැවති අළු බඳුන ක්‍රීඩා තරඟාවලියටයි, ඔහු මුලින් ම සහභාගි වූයේ. සෙ.මී. 187ක් උස ඔහු කණ්ඩායමට බඳවා ගත්තේ වමත් දඟ පන්දු යවන්නකු ලෙස වුවත් ඔහු 11 වැනි ක්‍රීඩකයා ලෙස පිටියට එන විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 9කට ලකුණු 117ක් ලබා සිටියේ. ඔහු එතැන්සිට අන්තිම පිතිකරු ලෙස 98ක් රැස් කළේ සියලු දෙනාම මවිතයට පත් කරමින්. මිනිත්තු 134ක් විකට්ටුවේ රැඳී සිටි ඔහු ඒ ලකුණු 98 සඳහා හයේ පහර 2ක් හතරේ පහර 12ක් එල්ල කළා. අකාලයේ මියගිය හියු පිලිප්ස් සමග ඔහු අවසන් විකට්ටුවට 198ක් රැස් කළා. ඒ තරඟයේ දී ඔහු මංගල ටෙස්ට් විකට්ටුව ලෙස ඇලස්ටෙයාර් කුක් දවා ගත්තා. ඔහු ටෙස්ට් කඩුල්ලක් දවා ගත් ප්‍රථම නව යෞවන ඕස්ට්‍රේලියානුවා ලෙස වාර්තා අතරට එක් වුණා. 

මෙවර ඔහු ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේ දී ඕස්ට්‍රේලියාවට ජය ගෙන ඒමට ඔහු ලොකු දායකත්වයක් දුන්නා. ඔහුගේ මව පුතා නිසා ඔහු ක්‍රියාකාරී විට ඔහුට ජය පැතුවත් අනිත් හැමවේලාවේ ම ශ්‍රී ලංකාවේ ජය පතා කෑගැසුවත් ඔහුගේ පුතා නිසා අපට ජයගත හැකි වූයේ නෑ. විස්සයි විස්ස තරඟ 3ටම ඈෂ්ටන් ඒගාර් ක්‍රීඩා කළා. ඔහු ඒ තරඟ තුනේ දී ම ඕවර 12ක් යවා 47කට විකට් 3ක් ලබා ගත්තා. එහිදී ආබාධයක ලක් වූ ඔහුට එක් දින තරඟවලටත්, පළමු ටෙස්ට් තරඟයට සහභාගිවෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. දෙවැනි තරඟයේදී තමයි, ඔහුව යළි දැක ගන්නට ලැබෙන්නේ. 
ඈෂ්ටන් ඔහුගේ මව සෝනියා හා පියා ජෝන් සමඟ

ඈෂ්ටන් ඒගාර් නිතරම තම ශ්‍රී ලාංකීය සම්භවය ගැන ආඩම්බර වෙනවා. සෝනියා ඒගාර් මෙන්ම අනෙකුත් පුතුන් දෙදෙනාත් ඇගේ ශ්‍රී ලාංකීය සිරිත් විරිත් සහ බෞද්ධ ජීවන රටාව මත ඇති දැඩි කරමින් හදාවඩා ගත්තා. මේ නිසා ඒගාර් බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර දැඩි ලෙස අනුගමනය කරනවා. ඔහුගේ පවුලේ අය පවා බොහෝ විට බත් සහ ව්‍යංජන වැනි ශ්‍රී ලාංකික ආහාර ගැනීමට ප්‍රිය කරනවා. පොල් සම්බෝල සහ ආප්ප පවුලේ අය වඩාත් ප්‍රිය කරන ආහාරයි. 

පල්ලේකැලේ තරඟවලට ඇවිත් සිටියදී ඉඩ ලද විටෙක ඔහු බිරිඳත් සමඟ ඔහුගේ මවගේ මහ ගෙවල් හා නෑදෑයන් බලන්න ගියා. “මට ආසයි ශ්‍රී ලංකාවට එන්න ලැබීම ගැන. මගේ සීයා නුවර උපන් අයෙක්. මං ඒ ගෙදරට ගියා. මෙහේට මගේ සම්බන්ධයක් තියෙනවා කිව්වා ම අමුතු හැඟීමක් දැනෙනවා.” ඔහු ඒ ගමනෙන් පසු මාධ්‍යයට කීවා. 

ටෙස්ට් තරඟ අවසන් වූ පසු, ජූලි 12දායින් පසු, ඔහු අරුගම්බේවලට යන්න ආසාවෙන් බලන් ඉන්නවා, සයුරු රළ මතින් පදින්න (surfing) යන්න පවුලේ අයත් එක්ක. 

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ක්‍රීඩාශීලීත්වය දැක් වූ ඡායාරූපයක්!

ලෝකයේ දැනට සිටින ප්‍රහාරාත්මක පිතිකරුවන් අතර ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්ට හිමිවන්නෙ මුල් පෙළ ස්ථානයක්. පන්දුවට පහර දීමේ දී ඔහුට ආච්චි වැහුණොත්, ප්‍රතිවාදී පිලට අබ සරණයි. පල්ලෙකැලේදි ම T20 තරඟයකදි මැක්ස්වෙල්ට ආච්චි වැහුණා කියන්නෙ 145 ක් ගහලයි නතර වුණේ. ක්‍රීඩා පිටියෙදි මොන තරම් විරුද්ධවාදියෙක් වුණත් ක්‍රීඩාවේ ජීව ගුණය වෙන්නෙ ක්‍රීඩාශීලීත්වයයි. ජය පරාජය උපේක්ෂාවෙන් විඳ ගැනීම. පල්ලෙකැලේ දි පෙරේදා නිමාවුණු පළමුවන සීමිත ඕවර් 50 එක්දින තරඟය අවසානයේදී ශ්‍රී ලංකාවේ ජය උදුරා ගත්තු මැක්ස්වෙල් මේ හිස අතගාමින් සුබ පතන්නෙ සිය පළමු අන්තර්ජාතික තරගයට සහභාගීවීමේ වරම ලැබූ 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ තරුණයාටයි. දුනිත්ට පැහැදිලි අනාගතයක් තියෙන බව ඔහුගේ පළමුවන කඩුල්ල විදියට ස්මිත්ගෙ කඩුල්ල දවා ගැනීමෙන් පෙන්නුම් කළා. ඒ වගේ ම එදා තරගයෙදි කඩුලු දෙකක් ම දවා ගත්තා. පසුවදා (16) දෙවැනි තරඟයෙදි මැද පෙළ පිතිකරුවන් දැවී යද්දී අංක 8 පිතිකරු ලෙස පැමිණ පන්දු 35කට ලකුණු 20ක් ලබා ගත්තා. ඊට හතරේ පහරක් හා හයේ පහරක් ඇතුළත් වුණා. පන්දු යැවීමෙදි තවත් කඩුලු දෙකක් දවා ගත්තා. දුනිත් අනාගතයේ ශ්‍රී ලංකා පිලට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බව දැනටමත් ඔප්පු කොට හමාරයි. මැක්ස්වෙල් වැනි පළපුරුදු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් මේ පුංචි කොල්ලගෙ හිස අත ගා සුබ පතන්නේ සැබැවින් ම දුනිත්ගේ ඉදිරි ගමන පිළිබඳ දැක්මකින් නොවේ ද? මේ ඡායාරූපය අපට පවසන්නේ එයයි. ශ්‍රී ලංකාව පරාජය වූ ඒ තරගයේ අප දුටු සුන්දර ම පින්තූරය මෙයයි. 

19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ මංගල තරඟයට ක්‍රීඩා කරමින්, මහිෂ් තීක්ෂණ සමඟ.

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments