HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විභාග ප්‍රතිඵල නිසා වසර 5ක් තිස්සේ නඩු කී සිසුවියක් හා මවක්.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බැලීම මේ දවස්වල සිදු වෙනවා. ඒ නිසා ටිකක් පමා වුනත් විභාගයට වාඩි වුණු දරුවන්ට මුහුණ පාන්නට වන ගැටලුවක වැදගත් පැත්තක් පෙන්නන්න හිතුන හින්දා මේ සටහන එක්කරනවා. මේ සටහන ලියන මොහොතේ ප්‍රශ්න පත්‍ර බලන සමීක්ෂකයන් වර්ජනයක් කරන්න තීරණය කරලා තියෙනවා. එ් වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒ අයට සේවයට වාර්තා කරන්න ඉන්ධන නිසි පරිදි ලබා නොදීම නිසා විරෝධයක් පෑමක් ලෙසයි. ඒ නිසා ඒ අය ඉන්නෙත් අසහනයෙන්. එය රාජකාරිය නිසි ලෙස කරන්න මානසිකව නොහැකි විය හැකියි. ඒ නිසා ඉක්මන් පිළියම් යෙදීම රජයට බාර කටයුත්තක්. 

නඩු විභාගය ජයගත් පසු සඳමිණිගේ මව අදහස් දක්වමින් කියා සිටියේ 
තමන් සටන් වැදුනේ මෙරට සමස්ත දෙමාපියන් වෙනුවෙන් බවයි.

මේ විභාග ප්‍රශ්න පත්‍රයක ප්‍රතිඵලයක් නිසා සිසුවියකට වූ අසාධාරණයක් ගැන කතාවක්. ඇය විශාකා සිසුවියක්. නමින් එම්. ඩී. කේ. සඳමිණි වීරසිංහයි. ඇය ඉදිරිපත් වූයේ 2013 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයටයි. ඇයට එහි ප්‍රතිඵල වශයෙන් A සාමාර්ථ 8 ක් හා B සාමාර්ථ එකක් ලැබුණු අතර, ඒ එකම B සාමාර්ථය හිමිව තිබුණේ ඉංග්‍රීසි භාෂාව විෂයයටයි. ඒ ප්‍රතිඵලය ඇයට අදහාගන්නට බැරි වුණා. ඇය හොඳටම දැන සිටියා, තමා ඉංග්‍රීසි භාෂාව විෂයයට A සාමාර්ථයක් ලැබිය හැකි මට්ටමින් විභාගයට පෙනී සිටි බව. ඇය තමා තුළ පැවති දැඩි විශ්වාසය නිසා විභාග ප්‍රතිඵල අභියෝගයට ලක් කළා. 

ඇය පමණක් නොව පාසල් ගුරුවරුන් පවා දැඩි විශ්වාසයක් ඇය පිළිතුරු දුන් ආකාරය ගැන තබා තිබුණා. ඒත් ඇගේ ප්‍රතිශෝධන ඇයදුම් පත්‍රය විභාග දෙපාර්තමේන්තුව පිළිගත්තේ නැහැ. ඇය ඉල්ලා සිටියේ ඇයට සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයයට ලැබිය යුතු වූ A සාමාර්ථය වෙනුවට B සාමාර්ථයක් ලබාදී සිදුවූ වරද හරිගස්සන්නටය කියායි. විභාග දෙපාර්තමේන්තුව ඒකට කැමති වුණේ නැහැ. 

විභාගයට ආසන්නව ඇය පෙනී සිටි පාසලේ වාර විභාගවලදී ලකුණු 80, 99 හා 86 ලෙස ඉංග්‍රීසි භාෂාව විෂයයට ඇය ලකුණු ලබා තිබුණා. ඒ නිසා ඇය හොඳ මානසික තත්වයකින් සාප‍ෙළට මුහුණ දුන්නේ A 9 ක් ලබාගැනීමේ අරමුණෙන්. ඒත් ලද ප්‍රතිඵලය ගැන ඇයත් ඇගේ ගුරුවරුන් මෙන්ම දෙමාපියනුත් කනස්සල්ලට පත් වුණා. මෙම ප්‍රතිඵලය වැරදි එකක් විය හැකි බවට ඇගේ මව අධ්‍යාපන අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කළේ එයින් පසුවයි. 

නමුත් ඇයට ලබා දුන් ප්‍රතිඵලය නිවැරදි බවත් කිසිදු ආකාරයක අත්වැරැද්දක් සිදුව නැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා එව්වා. ඒ සමග එම වසරේ A සාමාර්ථය නිර්ණය කළේ ලකුණු 72 හෝ ඉහළ අයට බවත් සඳමිණිට ලැබී ඇත්තේ ලකුණු 71 ක් බවත් දන්වා තිබුණා. 

කෙසේ වෙතත් එවැනි පිළිතුරකින් සෑහීමකට පත්වන්නට දෙමාපියන්ට සිදුවන තත්වයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒක සාමාන්‍යයි. ඒ නිසා එවැනි දෙයක් ගැන නැවත ප්‍රශ්න කරමින් නඩු මගට බැසීම දුෂ්කර මෙන්ම කාලය හා මුදල් කා දමන කටයුත්තක් ලෙසට පිළිගැනීමක් තිබුණා. අනෙක් අතට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි B එකක් ලබාගැනීම ඇගේ අනාගතයට කිසිලෙසකින් හෝ බලපාන ගැටලුවක් නොවීම මත එය අත්හළ යුතු කාරණාවක් ලෙස හැමෝම තර්ක කළා. එහෙත් සඳමිණි වීරසිංහත් ඇගේ මවත් මෙය හුදෙක් තමන්ගේ සිද්ධියක් කර නො ගෙන වෙනත් කාහට හෝ සිදුවිය හැකි අසාධාරණයක් නිසා ඒ වෙනුවෙන් සටන් වදින්නට තීරණය කළා. 

ඔවුන් සැකකළේ ඇගේ පිළිතුරුවල ලකුණු එකතු කිරීමේ කිසියම් ගැටලුකාරී තත්වයක් තිබිය හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සාමාන්‍ය පෙළ විභාගයක් අවසන් වූ පසු පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණයෙන්ද සඳමිණිට ලැබී ඇත්තේ B සාමාර්ථය බව දන්වා තිබුණා. එසේ වුවත් එම පිළිතුරු පත්‍රය නරඹා ලකුණු දුන් අයුරු විමසා බැලීමට දෙමාපියන්ට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. 

නමුත් ඇය ඇගේ මවත් සමග නීති උපදෙස් මත මානව හිමිකම් නඩුවක් ගොනු කළා. ඒ අනුව එම අවස්ථාවේ උසාවි නියෝග මත පිළිතුරු පත්‍ර ලකුණු ලබාදී ඇති පිළිවෙළ විමසීමට හැකි වුණා. එහිදී අනාවරණය වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ඇය බොහෝ උත්තර නිවැරදි ලෙස සපයා තිබූ බවයි. නමුත් ගැටලු සහගත කාරණාව ලෙස පෙනී ගියේ එසේ පිළිතුරු සැපයූ ඇයට රචනාවට ලබාදී ඇත්තේ 15 න් 0 ක් වීමයි. ඇයගේ මුළු ලකුණු ගණන 71 ක් වී ඇත්තේ ඒ නිසයි. රචනාව නැතිව සැලකීමේදී ඇය 85න් 71ක් ලබා තිබියදී රචනාවේ ලකුණු සියල්ලම අහිමිවීම සැකයට කාරණාවක් බව ඇයගේ පාර්ශ්වයේ නීතීඥයන් පෙන්වා දුන්නා. 

ඇතැම් විට 15න් 10ක් ලබාදී තිබෙන උත්තර පත්‍රයෙහි සටහන් දෝෂයක් නිසා 15න් 0ක් එකතුවූවාදැයි සැකය ක්ද පැන නැඟුණා. කෙසේ වෙතත් ඇයගේ රචනාවට ලැබෙන්නේ 15න් 0ක් ම බවත් ඒ ගැන කතාකිරීමෙන් පලක් නැති බවත් එවක විභාග කොමසාරිස්වරයා දන්වා තිබුණා. මේ නිසා මානව හිමිකම් නඩුවටද අධ්‍යාපන අමාත්‍යාංශය බුරුලක් ලබා නො දුන් අතර එය අසාර්ථක වුණා. ඒ අනුව සඳමිණි හා මව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කළේ සිදුව ඇති අසාධාරණය කෙසේ හෝ නිවැරදි කළ යුතු නිසයි. 

2015 දී ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගැන නඩුව ගොනු කළ ඇයට වසර 4 කට පසු 2019 දී පසුගිය සතියේ සාධාරණය ඉටුවුණා. එහිදී ත්‍රිපුද්ගල විනිසුරන් කියා සිටියේ රචනාවට ලකුණු ලැබිය යුතු බවයි. එයට එක ලකුණක් ලැබූ සැණින් ඇයගේ B සාමාර්ථය A එකක් වීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඉදිරියේ දී එය විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ඇති. 

ඇගේ එම එක ලකුණ වෙනුවෙන් 2014 සිට 2019 තෙක් වසර 5 ක් පුරා අරගලයක නිරත වන්නට ඇයටත් මවටත් සිදුවුණා. නඩු විභාගය ජයගත් පසු සඳමිණිගේ මව අදහස් දක්වමින් කියා සිටියේ තමන් සටන් වැදුනේ මෙරට සමස්ත දෙමාපියන් වෙනුවෙන් බවයි. 

මේ වන විට ඇය ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරා උසස් පෙළ විභාගයද ඉහළින් සමත්වූ සඳමිණි රුහුණු විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට සුදුසුකම් ලබා තිබෙන අතර පුද්ගලික විශ්ව විද්‍යාලයක රසායන විද්‍යා අංශයේ පාඨමාලාවක්ද හදාරමින් සිටිනවා. 

මේ නඩුව පිළිබඳ කතාව අප මෙසේ පළ කරන්නේ එක ලකුණක් නිසා ළමයකුට වූ අසාධාරණයක් නීතියෙන් විසඳා දුන් ආකාරය පෙන්වන්නයි. මේක නම් විභාග දෙපාර්තමේන්තුවට ම මුලදී ම විසඳිය හැකි ගැටලුවක් කියලයි මට හිතෙන්නෙ. නීතිරිතිවලට දැඩිව එල්බ නොගෙන විභාග කොමසාරිස් තම අභිමතය භාවිත කරමින් ඒ ප්‍රශ්න පත්‍රය නැවත සමීක්ෂණයට ලක් කළා නම් මෙච්චර දුර දිග යන්නේ නැහැ. මේ කතාව අප පළ කළේ මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට බොහෝ විට අපේ දරුවන්ට සිදු වන නිසා මෙවැනි විරල තීන්දුවක් පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතු නිසයි. 

 - පර්සි ජයමාන්න   


Post a Comment

0 Comments