මේ ලිපියට පාදක වූ ග්‍රීන් ප්ලැනට් වැඩසටහනේ නිර්මාතෘ
සර් ඩේවිඩ් ඇටන්බරෝ
කාන්තාරවල සැඟවී පණ ලබන විස්මිත මල්ගොමු
උතුරු චීනයේ ටැක්ලිමාකන් (Taklimakan) කාන්තාරය වැලිවලින් පිරුණු නිතරම වෙනස් වන භූමි ප්‍රදේශයක්. එය පිහිටා ඇත්තේ ටියාන්ෂාන් කඳුවළල්ලෙන් වට වූ ටැරීම් සානුවෙහියි. එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තියෙනවා. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍන දෙකට අඩුවන අවස්ථා පමණක් නොව, සෙල්සියස් අංශක 40 ට වැඩි වන අවස්ථාත් තියෙනවා. වැදගත්ම කාරණාව වන්නේ ටැක්ලිමාකන් කාන්තාරයට වැසි වැටෙන්නේ නැති තරම් වීමයි. ඒත්, වැලි කඳු අතරේ එක් ගසක් දකින්නට ලැබෙනවා. එය හැඳින්වෙන්නේ ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ කියායි. ඒත් මේ ගස සිටින්නේ තනිවම නොවෙයි. ඈතට යද්දී එක් ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගසක් නොව; ගස් කීපයක්ම දකින්නට ලැබෙනවා. මේ ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගස්, වැසි නොවැටෙන ටැක්ලිමාකන් කාන්තාරයේ ජීවත්වන්නේ අවුරුදු 1,000 ක් තිස්සේයි.
'පේන්ටඩ් ලේඩි බටර්ෆ්ලයි' සමනලයෙක්
මේ ගස්වල මුල් පද්ධතිය, අසාමාන්‍ය ලෙස දිගින් යුක්තයි. මුල්වලට ඇත්තේ එක් අරමුණක් පමණයි. ඒ, ජලය එක් රැස් කර ගැනීමයි. මනුෂ්‍ය අප නොකරන, මනුෂ්‍ය අප කරන්නට වැඩිය කැමැත්තක් නැති, දෙයක් මේ ගස් කරනවා. ඒ, සම්පත් එකිනෙකා අතර බෙදාහදා ගැනීමයි. ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ බෙදා හදා ගන්නේ ජලයයි. එහි ඇති අසාමාන්‍ය ලෙස දිගින් වැඩි මුල් පද්ධතිය අසල්වැසි ගස් සමඟ සම්බන්ධ වෙනවා. ඒ අනුව, ගස් සියල්ල එකිනෙක සම්බන්ධ වී එක් පද්ධතියක් නිර්මාණය වෙනවා. ඒ නිසා එක ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගසකට ජලය ලැබුණොත් අනෙක් ‘යුෆ්‍රේටීස් පොප්ලර්’ ගස්වලටත් ඒ ජලය ලැබෙනවා.
කාන්තාර යනු ජීවයෙන් තොර තැනක් යැයි කීවොත් එය මුළුමනින්ම වැරදියි. කාන්තාර ජීවයෙන් පිරී පවතිනවා. ශාක පමණක් නොව, කාන්තාර ආශ්‍රිතව සතුන් ද ජීවත් වෙනවා. කාන්තාර ජීවිතයට සතුන් සහ ශාක හැඩ ගැසී ඇති ආකාරය විස්මිතයි. සතුන්ට වඩා ශාක කාන්තාර ජීවිතයට හැඩ ගැසී ඇති ආකාරය සැබැවින්ම විස්මයජනකයි. ශාක කාන්තාරවල දිවි රැක ගෙන ජීවත් වෙනවා පමණක් නොවෙයි, ඇතැම් ශාකවලට කාන්තාර වනාන්තර බවට පත් කිරීමටත් හැකියාව තියෙනවා.
අපි තවත් කාන්තාරයකට යමු. මේ කාන්තාරය පිහිටා ඇත්තේ මෙක්සිකෝව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතරේ ඇති සොරානා මහා කාන්තරයේ කොටසක් ලෙසයි. මේ 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරයේ වැලි අතරේ විවිධාකාරයේ බීජ වර්ග සැඟවී තිබෙන අයුරු දකින්නට ලැබෙනවා. කාන්තාරයේ යෝධ වැලි තට්ටු යෝධ, බීජ බැංකුවකට සමානයි. චීනයේ ටැක්ලිමාකන් කාන්තාරයට මෙන් නොව, 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරයට ඉතාමත් කලාතුරකින් වැසි වැටෙනවා. එසේ වැසි වැටෙද්දී ජීවය මතු වීමට පටන් ගන්නවා. ඒ වැස්ස එම කාන්තාරයට ඉතා වැදගත් එකක්. මේ විධියට වහින වැස්ස වැටෙන්නේ අවුරුදු දහයකට එක් වරක් පමණක් විය හැකියි. එය සමහර විට ඉතා කෙටි එකක්, එනම් මිනිත්තු කීපයක එකක් වන්නට පුළුවන්. ඒ නිසා වැලි යට සැඟවුණු බීජ ඉක්මනින් ඊට ප්‍රතිචාර දැක්විම කළ යුතු වෙනවා.
පුංචි පැල වර්ගවලින්, මල් වර්ගවලින්, කාන්තාරවල සුන්දර මල් ගොමු මැවෙනවා. 'සෑන්ඩ් වබීනා' යනු 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරය මල් ගොමුවක් කරවන ශාකයක්. 'සෑන්ඩ් වබීනා' මල් ළා රෝස පැහැයක් ගන්නවා. පුංචි බීජවලින් ජීවය ලබන 'සෑන්ඩ් වබීනා' මල් ඉතාමත් මිහිරි සුවඳකින් යුක්තයි. වැසි වැටී, පැල වර්ධනය වී, සති කීපයක් තුළ මල් පිපීම සිදුවෙනවා. 'ප්‍රිම්රෝසස්' ඇතුළු තවත් ශාක කීපයක් ද මෙහිදී තරගයට එක් වෙනවා. එම ශාක ද හරිහරියට 'සෑන්ඩ් වබීනා' ශාක සමඟ වර්ධනය වීමට පටන් ගන්නවා. මේ ශාක සියල්ලට ම ඇත්තේ එක් අරමුණක් පමණයි. කාන්තාරයේ වැල්ල වියළී යෑමට පෙර මල් පිපීම සිදු කිරීමයි.
කාන්තාරයක මේ අයුරින් මල් පිපෙනු දකින්ට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. 'ග්‍රෑන් ඩෙසියේටෝ' කාන්තාරය අවසන් වරට මල් ගොමුවක් දකින්න ලැබුණේ වසර 20 කට පමණ පසුවයි. මල්වල ඇති විවිධ දීප්තිමත් වර්ණ මෙන්ම ඒවායේ මිහිරි සුවඳ, පරාගනය සඳහා අවශ්‍ය ආධාරකරුවන් ආකර්ෂණය කර ගන්නවා. 'පේන්ටඩ් ලේඩි බටර්ෆ්ලයි' සමනලයන් ඒ අතරින් කැපී පෙනෙනවා. මල් සුවඳට ආකර්ෂණය වී, මල් සොයාගෙන මේ සමනල්ලු කාන්තාරය මැදට ඇදී එනවා. ඒත් සමනලයන් පැමිණෙද්දී, නිසරු කාන්තාරය තවදුරටත් කාන්තාරයක් වගේ පේන්නේ නැහැ. දැන් එය මල්වලින් පිරි ලස්සන උයනක්.
හැමදේම, හැම කෙනකුම, ජීවත් වීම සඳහා තරගයක පැටැලී සිටිනවා. කාන්තාර වැල්ලේ ඇති තෙතමනය වියැකී යෑමට පෙර සියල්ල අවසන් විය යුතු වෙනවා. මල් පරාගනය සිදුවිය යුතුයි. සමනලුන් ද වර්ගයා බෝ කළ යුතුයි. බිත්තරවලින්, දළඹුවන් ද, දළඹුවන්ගෙන් යළි සමනලුන් ද බිහි විය යුතුයි. මේ ජීවන චක්‍රය සම්පූර්ණ විය යුතුයි. මේ අයුරින්, කාන්තාර සුන්දර පරිවර්තනයකට ලක්වීම ලොව බොහෝ අවස්ථාවලදී සිදුවෙනවා. දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයේ සිට දකුණු අප්‍රිකාවේ දූවිලිවලින් පිරුණු කාන්තාර තෙක් එය සිදුවෙනවා. කලාතුරකින් වැසි වැටෙන කාන්තාරවල ස්වාභාවය ඉක්මනින්ම වෙනස් වෙනවා. වැලි අතරේ ඇති ජලය අවසන් වුණු සැණින් මල් පරවෙනවා. පැලෑටි වියළී මියයනවා. ජීවය අවසන් වෙනවා. ඒත් එසේ වීමට පෙර, ඒ පැලෑටි ඔවුන්ගේ පරම්පරාව රැක ගැනීමට අඩිතාලම දමා අවසන්. බීජ වැලි අතරේ සැඟවෙනවා. එසේ සැඟවී කල් වෙන්නේ යළි වර්ෂාවක් ලැබෙනතුරුයි.
- ලුසිත ජයමාන්න
මේ ලිපියත් බලන්න http://www.mawitha.com/2021/05/David%20Attenborough.html
0 Comments