HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැමරාවෙන් ලෝක ඉතිහාසය ලියූ සේන අද අවසන් ගමන් යයි.

ඉතිහාසය ලියන්නේ ඉතිහාසඥයන් පමණක් නොවේ. ඡායාරූප ශිල්පීන් ද ඉතිහාසය ලියනවා. එවැනි කීර්තිමත් ඡායාරූප ශිල්පියකු අද (2022 ජූනි 9 වැනිදා) අවසන් ගමන් යනවා. ඔහු සේන විදානගමයි. ඔහු ලෝක ඉතිහාසය ලිව්වේ මේ සමග පළ වන ඡායාරූපයෙන්. මේ ඡායාරූපය ඔහුගේ කැමරාවට හසු වූයේ 1987 ජූලි මාසයේ 30 වැනිදා උදේ වරුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මැඳුර ඉදිරිපිටදියි. ඉන්දියානු අගමැතිවරයා වෙනුවෙන් එහි පැවති උත්තමාචාර පෙළපාලියේදී ඊට සහභාගිව සිටි නාවික භටයකු හදිසියේ ම සිය රයිපලය ඔසවා පහර දුන්නා. ඒ සුවිශේෂ මොහොත සේනගේ කැමරාවේ සටහන් වුණා. 


සේන විදානගම ලෝක ඉතිහාසය ලිව්වේ මේ ඡායාරූපයෙන්.

සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවක දී විශේෂ අනපේක්ෂිත සිදුවීමකට කිසිසේත් ම ඉඩක් නැහැ. ඒ නිසා එම අවස්ථාවට සහභාගිවීමට, එදා සේවයට වාර්තා කළ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ඉදිරිපත් වුණේ නැහැ. සේනට ඒ සඳහා යාමට අවස්ථාව සැලසුණේ ඒ නිසයි. ඒ ඔහුගේ වාසනාවයි. ඔහු එයින් උපරිම ප්‍රයෝජන ගත්තා. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ඒ පින්තූරය නිසා ඔහු එක රැයෙන් ලෝක ප්‍රකට කැමරා ශිල්පියකු බවට පත් වුණා. ලේක්හවුසියේ අනෙක් කිසිම ඡායාරූප ශිල්පියකු එවැනි ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ.


සේනට ජගත් කීර්තියක් ගෙන දුන් එම සිදුවීම පිළිබඳව මාධ්‍යවේදියකුගේ හා සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු ගත් ඒ ඡායාරූපය එහි දැක්වෙනවා.

ඔහු ගත් ඒ ඡායාරූපය ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සලකුණු කරනවා. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයකුට ඒ විධියේ පිළිගැනීමක් දුන් අවස්ථාවක් තවත් නැහැ. රජීව් ගාන්ධි ඉන්දීය අගමැතිතුමාත් ඒක ගැන කෝපයට පත් වුණේ නැහැ. එතුමා අප සමග එදා අත්සන් කළ ගිවිසුම අනුව ඉන්දියානු සාම සාධක හමුදාවක් ශ්‍රී ලංකාවේ උතුරුකරයට එව්වා. අපත් ඒ ගිවිසුම අනුව 13 වැනි සංශෝධනය සම්මත කර ගෙන පළාත් සභා පිහිටෙව්වා. උතුරේ ගැටුම් නිසා අපේ හමුදාවේ සාමාජිකයන්ගේ ජීවිත අහිමි වීම නතර වුණා. ඒ වෙනුවට ඉන්දීය සාම සාධක භටයන්ට උතුරේ එල්ටීටී භටයන්ගේ ප්‍රහාරවලට ලක්වීමට සිදු වුණා. 


රජීව් ගාන්ධි ඉන්දීය අගමැතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපති ජයවර්ධන 
සාම ගිවිසුම අත්සන් කළ අවස්ථාව

මේ සියල්ලට ම කලින් සිදු වූයේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ බලපෑම නිසා රජීව් ගාන්ධි අගමැතිතුමා උතුරේ පැවති අපේ යුද්ධය හේතුවෙන් යාපනයේ වැසියන්ට ආහාර හිඟවී ඇතැයි කියා අපේ ගුවන් සීමාව ආක්‍රමණය කරමින් අහසින් අවුත් පරිප්පු ඇතුළු වියලි ආහාර පාර්සල් දැමීමයි. අපේ එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හිටපු ඇමතිවරයකු වූ ගාමිණි දිසානායක මහතා ඉන්දියාවට යවා සාම කතා බහට ළුළඹුණේ. එහි ප්‍රතිඵලයක් ලෙසයි, ඉන්දීය අගමැතිවරයා මෙහි ඇවිත් සාම ගිවිසුමකට අත්සන් කළේ. ඉන්දීය සාම සාධක හමුදාව මෙරටට ආවේ ඒ අනුවයි. එයට එවකට මෙරට අගමැතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා පමණක් නොව අපේ රටේ ජනතාවගෙන් වැඩි කොටසක් කැමති වුණේ නැහැ. 

එදා රයිපල් ප්‍රහාරය එල්ල කළ නාවික සෙබළ විජිතමුනි විජය රෝහණ ද සිල්වාගෙන් පිළිබිඹු වුණේ ඒ අකමැත්තයි. එදා ඔහු වෙනුවෙන් නීතීඥවරුන් කීප දෙනෙකු ම නොමිලයේ පෙනී සිටියා. නඩු විභාගයෙන් පසු ඒ වරද සඳහා ඔහුට වසර හයක සිර දඬුවමක් නියම වුණා. වසර දෙක හමාරකට පසු ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඔහුට ජනාධිපති සමාව දී නිදහස් කරනු ලැබුවා. 


සේනගේ ජායාරූපය පසුවදා දිනමිණ පත්‍රයෙහි පළ වූ අයුරු.

මේ ඓතිහාසික ඡායාරූපය නිසා ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේනට ජාත්‍යන්තර ප්‍රංශ පුවත් සේවයට එක් වීමට පාර කැපුණා. ඔහු එතැන්පටන් දශක ගණනාවක් එහි සේවය කර විශ්‍රාම ගත්තා. අද ඔහුගේ පුත් සංඛ එහි සේවය කරනවා.

අද අවසන් ගමන් යන සේනට අපේ ආචාරය පුද කෙරෙනවා. ඔහු වෙනුවෙන් සොවට පත් ඔහුගේ පුතුට, දියනියට හා බිරිඳට අපේ බලවත් ශෝකය මෙයින් පිරි නැමෙනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments