HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තිලක දුටු අපේ සිංහයාට වූ සැන්තෑසිය

අපූරු නිර්මාණ කුසලතාවලින් හෙබි අපේ සුමිතුරු තිලක නවරත්නයන්ගේ නවතාවයෙන් යුත් උපමා කතාවක් පසුගිය දාක ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ශ්‍රී ලංකාවේ ඉන්නා කාලේ ජාතික පුවත්පත් දාරාවේ කර්තෘවරයකු වශයෙන් කැපී පෙනුනු ඔහු අද ජීවත්වන්නේ ඉතාලියේ නිසා අපට ඔහුගේ නිර්මාණ දැක ගන්න ලැබෙන්නේ අන්තර්ජාලයෙන්. 'තිලක ගේ උපමා කතාව' යන සිරස යටතේ පළ කළ මේ අපූරු උපමා කතාවේ යටි පෙළෙන් ඔහු ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය සියුම් ලෙස උපහාසයකට ලක් කරනවා. 

'තිලක ගේ උපමා කතාව' - සිංහයාගේ අකරතැබ්බය 

මා බියෙන් බියට පත්වුණා. මා ඉදිරියට සිය හිස රෝගියකු සේ රෙද්දකින් වසා ගත් සද්දන්ත වූ කිසිවකු පැමිණියා. ඒ ගමන කලබලකාරී වග පෙනුණා. මා දෙ ඇස් පිස දමා ගෙන බැලුවේ මේ ඇත්තක් ද නැති නම් හීනයක් ද කියා යි. මා හිත දිරිමත් කරගෙන ගැඹුරු හඬක් මවා ගෙන "ඔබ කවුරු දැ" යි ඇසුවා. 

"කලබල වෙන්න එපා! මා ආවේ ඔබෙන් උපකාරයක් බලාපොරොත්තුව යි. අතමාරුවක් හෙම නො වේ. බලන්න මගේ කඩුව උදුරා ගත්තා. දෑත බිඳ දැමුවා. දෙ කනේ ඇබ ගැහුවා. වලගයේ ලොම් උදුරා දැමුවා. නාසය විද්දා. වලග නමා පසු ගාත් අතරේ හැංගුවා.

" මේ කතාවෙන් මට තේරුණා, මේ නම් මිනිසකු නො වේ ය කියා. පොරවා සිටි වැස්ම ඉවත් කළ පසු මා දුටුවා, ඒ සිංහයකු බව. එයා පෙරොවාගෙන සිටි ජාතික කොඩියේ සිංහයා හිස් ව ඇති බව මට පෙනුණා. 

 "බය වෙන්න එපා තිලක! මා තමයි ජාතික කොඩියේ හිටි සිංහයා. ඔබ සොයාගෙන මේ ආවේ ඔබ සමඟ ජිනීවා ගොස් මට අහිමි වූ මූලික හිමිකම් ගැන පැමිණිලි කරන්නට යි" 

"කවුරු ද ඔබට ඔය හිංසාව කෙළේ?" 

"අර මෝඩ ලකිසුරුවා. මිනිහා මා ගැන හෝ මා ජීවත්වන කොඩිය ගැන හෝ දන්නේ නෑ. ඒ ගැන දන්නවා නම් රට පාලනය කරන හැටිත් දැන ගන්නවා." 

" ඉතින්" 

"මගේ හිස කියන්නේ පාලකයා. වලග තමයි, මහ ජනතාව. වලග ද හිස ද සම මට්ටමේ තියෙන්නේ පාලකයා ද පාලිතයා ද සමාන වග සංකේතවත් කරනු පිණිස යි. වලගය ඇත්තේ මගේ දෙ කන ළඟ ම යි. ඒ කියන්නේ පාලකයා ජනතාවට කන් දිය යුතු වග කියන්නට යි. මේ පාලකයා මගේ දෙ කන් ඇබ ගසා වැහුවා. ඒ කියන්නේ පාලකයා ජනතා ගේ දුක් කරදරවලට කන් වසා ගෙන බිහිරකු සේ ඉන්නා බව යි. 

"මගේ කඩුව උදුරා ගත්තා. එයින් ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයා ගේ බලපරාක්‍රම යි, යුක්තිය යි සංකේත වත් වුණේ. කඩුව ඉවත් කැර ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයා ගේ බලපරාක්‍රමය ද යුක්තිය සහ සාධාරණත්වය ද සුන් කළා. 

"සිංහයා වූ මා සිංහල ජනවර්ගය සහ ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය යි. මා නොමරා මරා ඒ උදාරත්වය ද ශක්තිය ද හීන කළා. 

"මගේ කඩුවේ ඇති මිට නම් වාතය, ජලය, ගින්දර සහ පොළොව යනාදියෙන් රට සමන්විත බව යි. රට කෑලි කෑලිවලට විකුණා දමමින් මිට පලුදු කළා.

"මගේ ඉදිරි පාද දෙක බින්ඳා. ඒ කියන්නේ සම්පත් පරිහරණයේ නිවැරදි බව නැති කළා. නාසය බුද්ධිය යි. නාසය විද්දා. 

"බුද්ධිමත්කම මොට කළා. 

"මගේ රැවුල, පවිත්‍ර වචන යි. සත්‍යය යි. රැවුල් ගස් උදුරා දමා බොරුවට තැන දුන්නා. 

"මගේ හිසෙහි ඇති රැලි ගැසු කෙස් ආගමික පිළිවෙත්, ප්‍රඥාව සහ ධ්‍යානය යි. ඒ සියල්ල බූ ගෑවා. කෙස් අටක් ඇති මා ගේ වලිගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒවා කපා දැමුවා. හතර වටේ තිබුණු බෝ කොළ හතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණය යි. ඒවා උදුරා දමා ඒ වෙනුවට වෛරය, ප්‍රචණ්ඩත්වය, කෲරත්වය, පළිගැනීම යන මාර පාක්ෂික ධර්ම ආරෝපණය කළා." සිංහයා කඳුළු සලමින් කීවා. 

 - තිලක නවමිණි විසිනි

Post a Comment

0 Comments