HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දින 90ක් තිස්සේ පවතින රුසියානු - යුක්‍රේන යුද්ධයට ලෝකයම පැටලෙයි!


රුසියානු යුක්‍රේන යුද්ධය දිගෙන් දිගටම දිග්ගැස්මෙන් යයි. මෙය සමස්ත ලෝකයම විවිධාකාරයේ අර්බූදවලට ලක් කළ හැකි තත්වයකි. මෙය තුන්වන ලෝක යුද්ධය නොවුවත් ඊට සමාන තත්වයක් මේ යුද්ධයෙහිත් තිබේ. පළමු වන හා දෙ වන ලෝක සංග්‍රාම දෙකටම එවකට ලෝකයේ පැවති යුද උපක්‍රම අනුව වෙනස් මුහුණුවරක් ලබා දුන්නේය. ලොව බලවත් රටවල් දෙපිලක් වෙමින්, තම භට හමුදා යවමින් කෙළින් ම ඒ යුද්ධවලට සම්බන්ධ වූ අතර මෙවර එසේ නොවේ. මේ යුද්ධය ඇවිලී ඇත්තේ රුසියාවත්, යුක්‍රේනයත් අතර වුවත් ලොව බලවත් රටවල් දෙපිලක් වෙමින්, ඊට අනියමින් සම්බන්ධ වී සිටිති. මෙවර යුද්ධය අවි ආයුධවලට එහා ගිය එකක් වී තිබේ. 

යුක්‍රේන හමුදා උතුරු යුක්‍රේනයේ දී ප්‍රතිප්‍රහාරදීමෙන් රුසියානු හමුදා පසුබැස්සවීමට සමත් විය. ඒ අතර දකුණේ මරියුපෝල් වාරය නගරයේ තැනින් තැන එල්ලවුණු යුක්‍රේන ප්‍රතිප්‍රහාර සම්පූර්ණයෙන් ම මැඩ පැවැත්වීමට රුසියානු හමුදාව සමත් වී තිබේ. ඉන් සිදුවූ ආලභයන් හෝ සිවිල් සහ හමුදා ජීවිත විනාශයන් ගැන නිශ්චිත කිව නොහැකිය. 

මරියුපෝල් (Mariupol) හා කාර්කීව් (Kharkiv)වල පැවති සටන්වලින් යුද්ධයේ බිහිසුණු ස්වභාවය ඉස්මතු කර පෙන්වයි. ඒ තත්ත්වය දැන් නැගෙනහිර යුක්‍රේනයට ද පැතිර යමින් තිබේ. රුසියානු හමුදාවේ ඉදිරි ගමනේ සාර්ථක ප්‍රගතියක් ලබා ඇත්තේ ඩොන්බාස් (Donbas) වලදී පමණි. එය ඉතා කුඩා ප්‍රදේශයකි. එහි ප්‍රහාර නව ගැම්මකින් දැන් අරඹා ඇතත් ආරම්භයේ දී සිවර්ස්කි ඩොනෙට්ස් ගඟ (Siversky Donets) තරණය කරද්දී රුසියානු සන්නද්ධඑ රථ දුසිම් ගණනක් යුක්‍රේන යුද උපක්‍රම නිසා විනාශයට පත් විය. 


දැන් නැගෙනහිර යුක්‍රේනයේ පැති දෙකකින් රුසියානු හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. ඔවුන් හදන්නේ යුක්‍රේන හමුදාව ආරක්ෂක ස්ථානවල ම කොටු කර පහර දීමටය. රුසියානු හමුදාවල අරමුණ වැඩි ජීවිත හානියක් ඇති කිරීමය. මෙහිදි දෙපාර්ශ්වය ම රොකට් ප්‍රහාර ද යොදා ගනිති. යුක්‍රේන හමුදාව ද ඩොන්බාස් නාගරික ප්‍රදේශවල සිට දිගින් දිගට ම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් රුසියානු හමුදාවේ ඉදිරිගමන වළක්වමින් සිටියි. තවදුරටත් ඇදී යා හැකි මේ සටන් නිසා ඉදිරි කාලයේ දී දෙපාර්ශ්වයට ම විශාල අලාභ හා ජීවිත හානිවලට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. 

බටහිර විශ්ලේෂකයන් කියන්නේ රුසියාවට හමුදා පිරිස් බලයේ, විශේෂයෙන් පාබල හමුදාවේ අඩුවක් ඇති බවය. රුසියාවට එහි ආරම්භක බලකායෙන් තුනෙන් එකක් පමණ දැනටමත් අහිමි වී ඇත. මෙතෙක් පැවැති සම්ප්‍රදායයන් වෙනස් කර අවුරුදු 40ට වැඩි අය හමුදාවට තාවකාලිකව බඳවා ගැනීම ගැන අවධානය දැනටමත් යොමු කර තිබේ. එසේ වුවත් ඔවුන් පුහුණු කර යුද බිමට එවන්නට යම් කාලයක් ගත වේ. 

එසේ ම රුසියාවේ සැපයුම් මාර්ග ද දැන් අවදානමට ලක් වී ඇත. ඒ යුක්‍රේන හමුදාවේ ප්‍රහාරයන් හේතුවෙනි. එම යුක්‍රේන ප්‍රහාර ද යම් ප්‍රමාණයකින් සීමා වී ඇත්තේ ඒ හමුදාවලින් වැඩි හරියක් ආරක්ෂක ස්ථානවලට බැඳී ඇති නිසාය. එසේවුවත් බටහිර ලෝකයේ රටවලින් ලත් ආධාරවල පිහිටෙන් යුක්‍රේන හමුදාව රුසියානු හමුදාවට ප්‍රතිප්‍රහාර දෙමිනි සිටියි. 

අනියම් ලෙස ලෝකයම යුද්ධයට පැටලෙයි! 

රුසියානු හමුදාවලට මුහුණ දීමට අවශ්‍ය බටහිර අවි ආයුධ මිලදී ගැනීමට මෙතෙක් දුන් ආධාරවලට අමතරව තවත් පවුම් මිලියන 100 ලබා දීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පසුගියදා ප්‍රකාශ කළේය. ඒ අනුව යුක්‍රේනයට යැවීමට එක්සත් රාජාධානියේ යුද අවිවලට අමතරව, චෙක් ජනරජයෙන් යුද්ධ ටැංකි ද ඇමරිකාවෙන් ස්විච්බ්ලේඩ් (switchblade) ඩ්‍රෝන යානා ද මිල දී ගනු ඇත. මෙයට මැසිටිෆ් නම් අති නවීන යුද අවිවලින් සමන්විත, රෝද හයටම බලය යෙදූ සන්නද්ධ රථ පවා අයත්ය. ඒ වගේ ම ස්ටාර්ට්‍රෙක් අධිවේගී ගගනයානාහාරක මිසයිල, යුද ටැංකි නාශක රොකට් සමග ඩ්‍රෝන යානා ද අයත් වේවි. 

යුද ටැංකි නාශක නවතම සැහැල්ලු මිසයිල 4000ක් පසුගිය ජනවාරියේ සිට මේ දක්වා යුක්‍රේනයට සපයා ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල පවුම් මිලියන 120කි. තනි සොල්දාදුවකුට භාවිත කළ හැකි මේ මිසයිලයක් අඩි 2,624ක් දුර යැවිය හැකිය. මේ මිසයිලයක් තනි පුද්ගලයකුට ගෙන හැකි අතර පහසුවෙන් ම අවශ්‍ය හැම තැනකදීම භාවිත කළ හැකිය. බ්‍රිතාන්‍යයෙන් හා ඇමෙරිකාවෙන් ජවලින් මිසයිල තොගයක් ද යවා ඇත. මීටර 2500ක් දුර යැවිය හැකි ඒ එක මිසයිලයක් පවුම් 130,000ක් (ඩොලර් 175,000ක්) වටිනා බව සඳහන්ය. ඒ මිසයිලයක් යැවූ විට ඉලක්ක යුද ටැංකිය සොයා ගෙන ගොස් එය විනාශ කිරීමට සමත්ය. 



ස්ටාර්ට්‍රෙක් අධිවේගී ගගනයානාහාරක මිසයිලයක් පැයට හැතැප්ම 2.300ක වේගයෙන් අඩි 22,965ක් දුර ඇති යුද ටැංකියක් විනාශ කිරීමට යැවිය හැකිය. ඒවා මෙහෙවන්නේ ලේසර් ක්‍රමයටය. ඊට අමතරව හාපූන් නෞකා නාශක මිසයිල ලබා දීමටත් බ්‍රිතාන්‍යය එකඟවී ඇත. 

ඇමරිකාවෙන් ස්ටින්ජර් ගගනයානාහාරක මිසයිල 1,400ක් යුක්‍රේනයට ලබා දි ඇත. ඒවා පහතින් පියාර කරන හෙලිකොප්ටර් හා ගුවන්යානාවලට එරෙහිව භාවිත කළ හැකිය. යුද ටැංකි නාශක AT-4 මිසයිල 6,000ක් ද සපයා ඇති අතර ඒවා ආධුනික සොල්දාදුවකුට වුවද පහසුවෙන් පාවිච්චි කළ හැකිය. 

මෙයට අමතරව ස්විච්බ්ලේඩ් ඩ්‍රෝන යානා 100ක් කලින් යැවූ ඩොලර් මිලියන 800යේ ඇමරිකන් යුද සහය පැකේජයට ඇතුළත් කෙරිණ. එසේම Mi-17 හෙලිකොප්ටර් පහක් ද පසුගිය අවුරුද්දේදී ආරක්ෂක මුර යාත්‍රා තුනක් ද ඊට ඇතුළත් විය. කාලතුවක්කු ප්‍රහාර හා රුසියානු ඩ්‍රෝන ප්‍රහාර ආවේක්ෂණ රේඩාර් පද්ධති හතරක් ද ඒ සමග සපයා ඇත. බහුකාර්ය භාවිතය සඳහා සකසන ලද හම්වී (Humvees) යානා ඇතුළු විශේෂ යුද වාහන 70ක් මේ වන විට යවා තිබේ. 


රුසියානු ප්‍රහාරවලින් විනාශ වූ යුක්‍රේනයේ ගොඩනැගිලි

මෙයට අමතරව චෙක් ජනරජය, ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, බෙල්ජියම, නෙදර්ලන්තය, පෘතුගාලය, කැනඩාව ඇතුළු රටවල් 30ක් පමණ විවිධ යුද උපකරණ, විශාල වශයෙන් යුක්‍රේනයට සපයා ඇත. 

2022 මාර්තුවේ දී රුසියාව ඔවුන් සතු කින්සාල් නම් හයිපර්සොනික් මිසයිලයක් යුක්‍රේනයට එරෙහිව ප්‍රහාරයක් සඳහා මුල්වරට යොදාගත් බව හෙළි කළේය. එවැනි අවි යුක්‍රේනය සතුව නැතත්, ඉදිරියේ දී යුක්‍රේනයට ලබා දීමට ඒවා එක්ව අත්හදා බැලීම් කරන ඇමරිකාව, එක්සත් රාජධානිය හා ඔ්ස්ට්‍රේලියාව යන රටවල් බලාපොරොත්තු වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. 

යුද ක්‍රියාමාර්ගවලට අමතරව යුක්‍රේනයට හැකි තාක් හානි කිරීමට රුසියාව ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ග ද ගනිමින් සිටියි. කළු මුහුද අවහිර කිරීම මගින් ද රුසියාව යුක්‍රේනයට දැනටමත් හානියක් කර තිබේ. ඒ අතර බටහිර සම්බාධක නිසා රුසියානු ආර්ථිකයට බලවත් පහරක් එල්ල වී තිබේ. යුක්‍රේනයටත් එහි ප්‍රති විපාක විඳින්නට සිදු වී තිබේ. 


අනාගතයේ දී යුද්ධය එක් විය හැකි හයිපොසොනික් මිසයිලයක්

ලබන වසරේ රුසියාවේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 12ක් පහත වැටෙනු ඇත. යුක්‍රේනයේ දළ ජාතික නිෂ්පාදිතය හරි අඩකින් අඩුවනු ඇත. මේ දෙරටට සිදුවන හානිය අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද කීප අයුරකින් බලපානු ඇත. මේ යුද්ධය හේතුවෙන් බටහිර රටවලට ආර්ථිකයන්ට ද අර්ධ වශයෙන් හෝ බලපෑම් සිදුවනු ඇත. ඒ වායේ උද්ධමනය ද වැඩි වනු ඇත. ගෑස් හා තෙල් මිල ද වැඩි වනු ඇත. ඒ අනුව ලෝකට ම ආර්ථික කුණාටුවකට මුහුණ දීමට සිදුවනු නියතය. 

මෙම යුද්ධයේ ප්‍රතිඵලය හමුදා බලය මත පමණක් තීරණය වන්නක් නොවේ. යුක්‍රේන ජනාධිපති කියන විධියට නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශය රුසියානුවන් සහමුලින් ම විනශ කර ඇති අතර එහි ජීවත්වීම අපායක් කර ඇති බවය. එය තවදුරටත් නරක අතට හැරෙනු ඇත. 

මේ යුද්ධය නිසා යුක්‍රේනයේ ජනතාව විශාල වශයෙන් පීඩාවටට පත් සිටිති. මිලියන ගණනක් යුරෝපයේ අවට රටවලට සරණපතා ගොස් සිටිති. යුක්‍රේනයේ ගොඩනැගිලි, කර්මාන්ත, ව්‍යාපාර විශාල වශයෙන් විනාශ වීමේ තර්ජනයට ලක්ව තිබේ. සාම සාකච්ඡා පැවැත්වුවද ඒවා අසාර්ථක වී තිබේ. අවසානයේ දී විනාශයට පත් වන ඒවා තිබූ අයුරින්  ප්‍රතිසංස්කරණය සඳහා යුරෝපයේ හා අනෙකුත් බටහිර රටවල ඇති රුසියාව සතු සම්පත් යොදා ගතයුතු යැයි යෝජනාවක් ද ඉදිරිපත් තිබේ. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments