අපේ රට ලොකු අර්බූද ගොඩක පැටලිලයි තියෙන්නෙ. දේශපාලන විලේෂකයන් කියන්නේ එවාට අපි හැමදෙනා ම අඩු වැඩි වශයෙන් වගකිවයුතු බවයි. ඒ කොයික වෙතත් දැන් රට ගොඩ ගන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හය වැනි වරට අගමැතිකමත් පළමුවන වරට මුදල් ඇමතිකමත් යන දෙක ම බාරගෙන තියෙනවා. එතුමා ලොව පුරා මිත්‍ර රටවලින් ආධාර ඉල්ලුවා. ඒ රටවල් අපට ආධාර දෙන ගමන් හිලව්වට යම් යම් දේ ඉල්ලන්න ඉඩ තියෙනවා.
මුලින්ම ඉන්දියාව තමයි ඉල්ලන පරක්කුවට ආධාර දෙන්න පෙලඹුණේ. එහිදී ඉන්දියාවේ මහ ආණ්ඩුවට අපට ආධාර එවන්න කියලා වැඩි බලපෑමක් හා සම්මාදමක් කළේ තමිල්නාඩුවයි. ඒ අනුව පසුගියදා බිලියන දෙකක මානුෂීය ආධාර එව්වා. ඒ අතර එම්. කේ. ස්ටාලින් කියා තමිල්නාඩු මහ ඇමතිගෙ නම ගහපු කිලෝ දහයෙ හාල් මලු තොගයකුත් තියෙනවා මා දුටුවා.
මුලදී මට හිතුණේ මේක එයාට උතුරේ හා වතුකරයේ ඉන්නා එයාගෙ සහෝදර දෙමළ ජනතාව ගැන අනුකම්පාවෙන් කරන දෙයක් කියල වුනත් දවස් කීපයක් ගියාට පස්සෙයි තේරුණේ එයා බොර දියේ මාළු බාන්න හදනව කියලා. ඒ තමිල්නාඩුවේ පැවති ඩ්‍රෝන උත්සවයට ආව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් කච්චතිවු ඉන්දියාවට පවරා ගෙන ඉන්දීය ධීවර ජනතාවට සහන සලසන්න කියලා තදින් ම ඉල්ලා සිටිය විටයි. කච්චතිවු පවරා ගන්න කියන්නෙ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන දේශසීමාව වෙනස් කරන්න කියන එකයි. අපේ දුර්වල අසරණ තත්වයෙන් ප්‍රයෝජනය ගන්නයි, මහ ඇමති ස්ටාලින් හදන්නේ. අපට දැන් තියෙන අර්බුද මදිවාට තව දේශ සීමා අර්බුදයකුත් අපට ඇති කරන්නයි, ඔහු මේ හදන්නේ.
ඔහු මේ කියන කච්චදූව කියන්නේ කුමක්ද? එහි අපට තියෙන වැදගත්කම කුමක්ද?
කච්චතිවු හෙවත් කච්ච දූව ශ්‍රී ලංකාවට හිමි වූ කතාව වසර 48ක් ඈතට දිව යන එකක්. යාපන අර්ධ ද්වීපයට ආසන්නව පිහිටි ඩෙල්ෆ්ට් දූපත අසල පිහිටි කච්ච දූව කලක් ප්‍රසිද්ධව තිබුණේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර හොර බඩු ජාවාරමේ යෙදුණු නීති විරෝධී කල්ලිවල තෝතැන්නක් ලෙසයි.
දෙරට අතර පිහිටි මේ දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයක් තියෙනවා. එහි සිදු වන්නේ වාර්ෂික මංගල්‍යයක් විතරයි. එය ඉදිකර ඇතැයි සැලකෙන්නේ මුහුදේ අනතුරකට පත් ව ඒ දූපතට ගොඩ වී දිවි ගලවා ගත් ධීවරයන් විසින් දෙවියන්ට කරන උපහාරයක් හැටියටයි. පෙර රජ දවස පටන් ශ්‍රී ලංකාවට අයත්ව තිබූ මේ දූපත පිළිබඳ වගකීම ගැන උනන්දුවක් නොදැක්වූ නිසා නීති විරෝධී ජාවරම් මේ දූපත ඔස්සේ සිදු වුණා. මේ ජාවාරම් නිසා වැඩිපුර පාඩු සිදුවූයේ ශ්‍රී ලංකාවටයි. ඒ අතර ඉන්දියාවේ තමිල්නාඩු පාලකයන් මේ දූපතට අයිතිවාසිකම් කීවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ බලයට පත් විවිධ රජයන් කච්ච දූව යළි ශ්‍රී ලංකාවට ලබා ගන්න උත්සාහ ගත්තත් හරි ගියේ නැහැ.
1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය බලයට පත් වීමෙන් පසු ලංකාවේ විශාල වෙනස්කම් සිදු කරනු ලැබුවා. යටත් විජිත යුගයේ දී සුදු ජාතික පාලකයන් විසින් වතුකරයට ඉන්දියාවෙන් ගෙන්නා ගත් ඉන්දියානුවන් මෙරට පුරවැසිභාවය ඉල්ලා කළ උද්ඝෝෂණයට පිළිතුරක් ලෙස මෙරට වතුකරයේ සිටි රට නැති ඉන්දියානුවන්ගෙන් කොටසක් (150,000ක්) ඉන්දියාවට බාර දීමට බණ්ඩාරනායක අගමැතිනිය සමත් වුණා. එය සිදුවූයේ ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ කාලයේ වුවත් ඒ පිළිබඳව ගිවිසුම ඇති කර ගත්තේ 1964 දී ඉන්දියානු අගමැති ලාල් බහාදූර් ශාස්ත්‍රී සමගයි. එය සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම කියා හැඳින්වුණේ ඒ නිසයි. කලක් තිස්සේ පැවති එම ගැටලුව විසඳා ගත් ඇය ඊළඟට අත ගැසුවේ ශ්‍රී ලංකාවේ උතුරේ යාපන අර්ධද්වීපයට අයත් දුපත් සමූහයට ඇතුළත් දෙරටේ මුහුදු තීරයේ තිබියයුතු දේශ සීමා නිර්ණය කර ගැනීමටයි.
අගමැතිනි සිරිමාවන්ට අවශ්‍ය වූයේ දෙරටේ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය සඳහා තම තමන් සතු ස්වාභාවික සම්පත් නිශ්චය වශයෙන් හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමටයි. ඒ නිසා ඇය ඉන්දීයාවත් සමග සහයෝගයෙන්, සුහදව කටයුතු කරමින් පෝක් සමුද්‍රසන්ධිය හා ආදම්ගේ පාලම අතර ඓතිහාසික සමුද්‍ර තීරයේ මුහුදු මායිම් නිර්ණය කිරීමට පියවර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළා. කච්චතිවු පිළිබඳ ගැටලුව යළි මතුවුණේ එහිදියි. උතුරේ දුපත් අතරින් ඉන්දියාව දෙසට වෙන්නට පිහිටි අපේ අවසාන දූපත එයයි.
සිරිමාවෝ 1974 දී කළ ඉන්දීය සංචාරයේ දී එවකට ඉන්දීය අගමැතිනිය වූ ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි සමග නිල සාකච්ඡාවල දී කච්චතිවු පිළිබඳ ගැටලුව ඉන්දීය අගමැතිවරියගේ අවධානය යොමු කළා. කච්චතිවු හෙවත් කාච්ච දූව ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවට අයත්ව තිබූ සාධක සහිත පෙන්වා දීමට ඇය එහිදී සමත් වුණා. ඒ අනුව මුහුදු සීමා පිළිබඳ ප්‍රශ්නය තවදුරටත් නිලධාරි මට්ටමේ සාකච්ඡා මගින් නිරවුල් කර ගැනීමට එකඟ වුණා. මේ කටයුතු සම්බන්ධීතරණය කළේ එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජස්ටින් සිරිවර්ධන මහතායි.
දෙරටේ අගමැතිවරියන් අතර සාකච්ඡාවලින් පසු මතබේදයට ලක් වී තිබූ කච්චතිවු දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි යැයි ගාන්ධි මැතිනිය පිළිගත්තා. සාකච්ඡා නිම කර යළි ලංකාවට ආ අපේ අගමැතිනිය 1974 ජුනි 26 වැනිදා විදේශ අමාත්‍යාංශයේදී එම ගිවිසුමට මෙරටදී අත්සන් කළා. ඉන්පසු ඒ ගිවිසුම විදේශ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. ටී. ජයසිංහ මහතා විසින් නවදිල්ලියේ විදේශ අමාත්‍යාංශයට බාර දී ඇති අතර ඉන්දීය අගමැතිනිය ඊට අත්සන් තබා ඇත්තේ ජුනි 28 වැනිදායි. මේ පුවත පසුවදා 'දිනමිණ' පත්‍රයේ පළ වූයේ 'සිරිමාවෝ කච්චදූව දිනා ගනී' යන සිරස්තලය යටතේයි.
සිරිමාවෝ කච්ච දූව යළි දිනා ගැනීමෙන් පසු අගෝස්තු 15 දා ‘දිනමිණ’ පුවත්පතට “කච්ච දූවෙන් මතුවන තුන්වැනි නිදහස” මැයෙන් ලිපියක් ලියමින් අරිසෙන් අහුබුදුවන් එහි නමේ අරුත දක්වා තිබූ අයුරු මෙහිදී මගේ මතකයට එනවා. කච්ච දූව හෙවත් කච්ච තිවු (දූව) අතීතයේ හැඳින්වූයේ 'කැස්බෑ දිවයින' කියායි. පාලි බසින් 'කච්ඡක' යනු කැස්බෑවායි. එය දෙමළ ඌරුවට 'කච්ච' කියා උච්චාරණය කිරීම නිසා ඒ දූපත 'කච්චතිවු වූ බව ඒ ලිපියෙන් දක්වා තිබුණා.
'කච්චතිවු දිනා ගැනීම'ත් සමග මුලින් ම එහි ගිය පත්‍රකලාවේදියා වූයේ 'සිළුමිණ' පත්‍රයේ බෙනඩික්ට් දොඩම්පෙගමයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහය ඇතිව ගිය ඒ ගමන ගැන ඔහු ලියූ ගවේෂණාත්මක විශේෂාංගය පළ වූයේ 1974 ජුනි 30 දා 'සිළුමිණ' පත්‍රයේයි. ඒ ලිපිය ඇතුළත් පිටුව සැකසීම පැවරුණේ එවකට 'සිළුමිණ' උපකතුවරයකුව සිටි මටයි. මා එයට සිරස්තලය ලෙස යෙදුවේ “ඉතින් කච්චදූවත් අපේ” කියායි. ඒ විශේෂාංගයට පින්තූර ගත්තේ ඡායාරූප ශීල්පී වොලී පෙරේරා හා චන්ද්‍රගුප්ත වීරවර්ධන යන දෙදෙනායි. ස්ථිර මිනිස් වාසයක් නැති ඒ දූවේ පිහිටි එකම ගොඩනැගිල්ල වූයේ සාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ඉදිකළ කතෝලික දේවස්ථානයයි. එහි උපත පිළිබඳව තොරතුරු ද, දෙවන ලෝක සංග්‍රාම අවදියේ ඉදිකළ බව කියැවෙන ප්‍රදීපස්ථම්භයක නටබුන් ද එහි දකින්නට තිබු බව ඔහු එම ලිපියේ ලියා තිබුණා. එහි දී ඔහු දුටු එකම ජීවියා මුහුදු වතුර බොමින් සිටි බළලකු බවද බෙනඩික්ට් ඒ ලිපියෙහි විශේෂයෙන් සඳහන් කර තිබුණා මට මතකයි.
කච්චතිවු යනු ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළාසන්නයේ පිහිටි ඩෙල්ෆ්ට් දූපතට කි.මී. 20ක් පමණ ඈතින් සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් සිට කි. මී 22ක් පමණ මෑතින් පිහිටි කුඩා දූපතක්. මෙහි දැන් ස්ථිර පදිංචිකරුවන් කිසිවකුත් නැත. එනමුත් අතීතයේ සිට ධීවර කටයුතු මුවාවෙන් ජාවාරම්කරුවන් දෙරට අතර හොර බඩු හුවමාරුව සඳහාත් මෙම දූපත උපයෝගී කරගෙන තියෙනවා. එහි නැගෙනහිර වෙරළේ ගල්තලාවක් ද බස්නාහිර පෙදෙසේ කුඩා පඳුරු සහිත වැලිතලාවක් ද දක්නට ලැබුණා. ඊට අමතරව එහි තිබූ වනරොදේ සියඹලා ගස් දෙකක් ද, පොල් ගසක් හා සූරිය ගසක් ද තිබූ බව සඳහන් වුණා. 1935 දී පමණ රෝපණය වූයේ යැයි සැලකෙන ඒ පොල් ගස දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ දී එම දූපතේ රැඳී සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ සොල්දාදුවන් වෙඩි පුහුණුව සඳහා භාවිත කර ඇති බවත් කියැවෙනවා.
ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව පිහිටි කච්චතිවු අද ශ්‍රී ලංකා නාවික හමුදා ආරක්ෂාවට පත්ව ඇති නිසා ඒ හරහා නීති විරෝධී කිසිවක් සිදුවන්නේ නැහැ. සෑම වසරකම එහි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික දේව මංගල්‍යය සඳහා දෙරටේ ම බැතිමතුන් එහි එනවා. මෙවර එම උත්සවය 2022 මාර්තු 12 හා 13 දෙදින තුළ සිදු කෙරුණා. මෙවර දේව මෙහෙය පැවැත්වුයේ යාපන දියෝකිසිය භාර අනුනායක ජෝෂප් ජෙබරත්නම් පියතුමායි. ඒ සඳහා ශ්‍රී ලාංකික හා ඉන්දීය බැතිමතුන් පිරිසක් සහභාගි වුණා. ඊට ලාංකික හා ඉන්දියානු පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිරිසක් ද අයත් වුණා.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් උතුරු නාවික හමුදා විධානයත් එක්ව මෙවර මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය ආහාර පාන, ජලය හා සනීපාරක්ෂක පහසුකම් සියල්ල සපයනු ලැබුවා. මංගල්‍යයට කලින් දේවස්ථානය පින්තාරු කොට, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම, විදුලිය පහසුකම් සලසා දීම ඉටු කෙරුණේ නාවික හමුදාවෙන්. මේ දූපතේ පානීය ජලය නැහැ. ඒ නිසා නාවික හමුදාව උත්සව කාලයට විතරක් ජලය ගැලුම් ලක්ෂ ගණනක් කන්කසන්තුරේ වරායේ සිට ගෙනාවා.
ඔවුන් ඊට අමතරව බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායමක් ද වෛද්‍ය පහසුකම් සැලසීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද යොදවා තිබුණා.
දැන් කච්ච දූව ඇත්තේ යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා හා අපේ නාවික හමුදාවේ රැකවරණය යටතෙයි. ඒ නිසා ඉන්දීය හොර ජවාරම්කාරයන් මෙහි ඉන්නා ජාවාරම්කරුවන් සමග පරණ පුරුදු නීති විරෝධී කටයුතුවල යෙදෙන්න ඉඩක් නැහැ. දැනට සුරක්ෂිත වුනත් මේ කොයි මොහොතේ හෝ අපට කච්ච දූපතත් අහිමි වෙන්න ඉඩ තියෙනවා. මොකද දැනටමත් දූපත් තුනක් ඉන්දියාවේ කොම්පැනියකට බදු දීලා ඉවරයි. වරායේ ඒක ජැටියක් ඉන්දීය සමාගමකට දුන්නා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා අපට අර්බුදවලට මුහුණ දෙන අතර ආණ්ඩුව කරන දේවල් ගැන අවදියෙන් ඉන්න සිදු වෙනවා.
0 Comments