HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආර්ථිකය ආලාපාලු කළ දේශපාලුවෝ අරගලය අල කරන්න හැදූ හැටි

ගාලුමුවදොර අරගලයට දින 40කට පසු පසුවිපරමක් 

ගාලුමුවදොර මීට මාසයකට පෙර ආරම්භ වූ සාමකාමී නිර්පාක්ෂික අරගලය දේශපාලන ලෝකයේ මෙතෙක් නොවූ විරූ එකක් ලෙස ලෝක අවධානය දිනා ගත්තා. අපේ ඉතිහාසයේ මීට දවස් 40කට පෙර 'ගෝඨා ගෝ හෝම්' කියා එක් මුඛ්‍ය සටන් පාඨයකින් ආරම්භ වූ එයට දිනෙන් දින එකින් එක සටන් පාඨ එක්වුණා. 'අගමැතිත් එපා! 225ත් එපා!', 'ක්‍රමයේ වෙනසක් ඕනෑ.' අපිත් වෙනස් වෙමු - රටත් හදා ගමු', 'හොර කාපු සල්ලි දියව්!', 'ප්‍රචණ්ඩත්වය එපා!', 'හිංසනය එපා!' ආදී වශයෙන් ඒවා විවිධ වුණා. 
ගාලුමුවදොර අරගලය අද 40 දිනටත් පැවැත්වෙනවා

ෙඑදිනෙදා ජීවිතය ගෙන යාමට අත්‍යවශ්‍ය දේ නොලැබී යාම, බඩු මිල ඉහළ යාම, ජනතාවට දරා ගත නොහැකි වුණා. ගෑස් නෑ! ලයිට් නෑ! ඉන්ධන නෑ! ජනතාව තැන තැන මැසිවිලි නැඟුවත් වගකිවයුතු අයට ඒවා පෙනුණේ නැහැ. ඒවාට පිළියම් යෙදීම කෙසේ වෙතත් පිළියම් සෙවීමටවත් උනන්දුවක් ඒ අයට තිබුණෙ නෑ. ඔහොම තියෙද්දි තමයි, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර තවත් අම්මලා පිරිසක් එක්ක ගිහින් මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිටට ගිහින් කුස්සියේ පීඩනය ගැන උද්ඝෝෂණයක් කළේ. ඒත් එයට ජනපතිගේ අවධානය යොමුවුණේ නැහැ. මිරිහාන ප්‍රදේශයේ තරුණ පිරිසක් අම්මලා වෙනුවෙන් දෙවැනි වර උද්ඝෝෂණයකට යොමු වුණේ ඒ නිසයි. 

ස්මාට් ජංගම දුරකථන හරහා දුන් එක් කෙටි පණිවිඩයකින් හදිසියේ ම මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිටට ආ තරුණ පිරිස් ජීවත්වීමේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණයක් කළා. ඒ අවට ප්‍රදේශවලින් එහි එක් රැස් වූ දහසක් තරුණ පිරිස් මර්දනය කරන්නට පොලීසිය ගත් උත්සාහය නිසා තරුණයන් කුපිත වුණා. අහිංසක ලෙස විරෝධය පාන්නට ආ තරුණ පිරිස්වලට මාර්ග බාධක දමා, ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර එල්ල කළ පොලීසියත්, විශේෂ කාර්යබලකායත්, එතැනින් නොවැතී භට පිරිස් ගෙන ආ බස් රථයක් ඇතුළු වාහන ගිනි තබමින් එහි වරද සාමකාමීව උද්ඝෝෂණයට ආ තරුණ පිරිස් පිට පටවන්නට උත්සාහ කළා. ජංගම දුරකතනවලින් ගත් දර්ශන නිසා එය අසාර්ථක වුණා. තරුණයන් කීප දෙනකු අල්ලා පහර දී උසාවියට ඉදිරිපත් කළා. වීඩියෝ තිබුණත් ගිනි තැබූ අය අඳුනා ගන්නට බැරි වුණා. පොලිසිය හදිසි නීතිය දැම්මා. ඇඳිරි නීතිය දැම්මා. පහුවදා ඒවා ඉවත් කර ගත්තා. භාෂණයේ නිදහස හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය වෙනුවෙන් නීතිඥ ප්‍රජාව හය සිය ගණනක් තරුණයන් වෙනුවෙන් නොමිලයේ පෙනී සිටියා. චෝදනා සම්පූර්ණ කර නොතිබීම නිසා තරුණයන්ට ඇප ලැබුණා.

'ආදරය පමණක් රැගෙන එන්න' කියූ කෙටි පණිවිඩය

මේ සිදුවීමට විරෝධය පාන්නට නිර්පාක්ෂික උද්ඝෝෂණයක් සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ පරපුරට ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයට අප්‍රේල් 9 වැනි ඉරිදා උදේ 9ට එන්නැයි පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ඒ 'සාමකාමී තරුණ අරගලය සඳහා ආදරය විතරක් අරන් එන්න!' කියන ඒ කෙටි පණිවිඩය අනුව එදා උදේ පටන් තරුණ තරුණියන් ගාලුමුවදොරට එක් රොක් වෙන්න පටන් ගත්තා. එදා සිට අද වන තෙක් ඔවුන් එතැන සිට 'ගෝටා ගෝ හෝම්' කියා උද්ඝෝෂණය කරනවා. ඒ ස්ථානය ඔවුන් 'ගෝඨාගෝගම' කියා නම් කර තියෙනවා. ඔවුන් ගාලුමුවදොර උද්ඝෝෂණය අද මේ කරන්නේ 40 වැනි දිනයටයි. මෙහි ශාඛා දිවයින පුරා නගරවල පමණක් නොව ලොවපුරා ප්‍රධාන නගරවල ඉන්න ශ්‍රී ලාංකිකයන් විසින් ද ආරම්භ කර තියෙනවා. 

දැන් 'ගෝඨාගෝගම' මා දකින්නේ පරමාදර්ශී පුරයක් ලෙසයි. එහි නායකයෙක් නැත. තනි පාලකයෙක් නැත. අධීක්ෂකයන් නැත. ඉන්නේ පුරවැසියන් පමණය. ඔවුන් නියෝජනය කරන කුඩා කමිටු 80ක් පමණ එහි තියෙනවා. එහි අවශ්‍යතා සපුරා ලන්නේ ඒ කමිටු මගිනුයි. ඒ හැම දෙනාම තමන් විසින් ම පවරා ගත් කටයුතුවල ‌යෙදෙනවා. ඔවුන් උදේ සවස අවට පරිසරය පවිත්‍ර කිරීමෙහි යෙදෙනවා. තමන් විසින් ම කළයුතු දේ සොයා බලා ඉටු කරනවා. එකිනෙකාට උදවු කර ගැනීම මෙහි කැපී පෙනෙන්නක්. මෙහි ස්ත්‍රී පුරුෂ හේදයක් නැහැ. උස් පහත් බේදයක් නැහැ. හැමෝම සහයෝගයෙන් උද්ඝෝෂණයේ යෙදෙනවා. 

මෙහි උද්ඝෝෂණය කරන තරුණයන් ඉල්ලන්නේ කුමක් ද? 

මෙහි උද්ඝෝෂණය කරන තරුණයන් ඉල්ලන්නේ කුමක් ද? සමාජයේ වෙනසක් නම් එ් කුමනාකාරයේ එකක්ද? ඊට පිළිතුරු මේ ගම්මානයම සපයනවා කියලයි මට හිතෙන්නෙ. මෙතැනට විත් ඇවිදලා බලන්න. මෙය හැම දෙයකින් ම සම්පූර්ණ ගම්මානයක්. ගම්මානයකට වඩා පුරවරයක්. එහි හැම පහසුකමක් තියෙනවා. එක තරුණයෙක් පොත් කීපයක් අරන් ආවා. ඔහුට කූඩාරමක් ලැබුණා. ටික දවසක් යන විට ඒ කූඩාරම පුස්තකාලයක් බවට පත් වුණා. පොත් රාක්ක, පොත්පත් හැම එකක්ම ඔහුට එතැනට එන අය ගෙනත් දුන්නා. ඒ විදියට එතැනට අවශ්‍යතාව අනුව විවිධ සේවාවන් එකතු වුණා. රතු කුරුස සමාජයත්, සාන්ත ජෝන් සත්කාරයත් ඉල්ලුම් නොකරම ආවා. ආයුර්වේද සත්කාරක සේවයක් ආවා. නීති ආධාර සේවයත් ආවා. රංග පීඨයක්, සංවාද විසංවාද මණ්ඩපයක් ඇති කළා. චිත්‍ර අඳින්නට කලාගාරයක් පිහිටෙව්වා. විවෘත විශ්ව විද්‍යාලයක් පිහිටෙව්වා. මේ සියල්ලෙහි ප්‍රමුඛත්වය ගත්තේ තරුණ තරුණියන්. ඔවුන් සමග ගැටුම් ඇති කර ගෙන මේ උද්ඝෝෂණය කඩා කප්පල් කරන්න ආණ්ඩුවට පක්ෂ සමහරුන් උත්සාහ කළා. පොලිසියත් එවැනි අවස්ථා සොයමින් සිටියත් ඒ කිසිවකුට මේ සාමකාමී උද්ඝෝෂණය නවත්වන්න හැකිවුණේ නැහැ. එය දිගට ම ගලාගෙන ගියා. රටපුරා කැකෑරුණු ජනතා ආවේගයන් සංකේතවත්ව පිටවුණේ මෙතැනින්. 
මහින්ද හිතවාදීන් 'ගෝඨාගෝගම'ට පහර දුන් අවස්ථාව

ඔවුන්ගේ මේ ප්‍රයත්නයට ආශිර්වාද කරන්න, අනුග්‍රහය දක්වන්නට දස දෙසින් ජනතාව ජාතිබේදයෙන් තොරව ගලා ආවා. විශේෂඥ වෛද්‍යවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්, බුද්ධිමතුන්, විද්වතුන්, ගුරුවරුන්, නීතිඥවරුන්, ලේඛක ලේඛිකාවන්, විවිධ කලාකරුවන්, විවිධ වෘත්තිකයන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, ඔවුන් බලන්නට ආවේ නෑගම් එනවා වාගෙයි. වැඩ අවසන් වූ පසු බොහෝ දෙනා ඔවුන් සොයා ආවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පවා ඔවුන් හා එක්ව සාමකාමී උද්ඝෝෂණවලට යොමු වුණා. හවසට හැමදාම ලක්ෂයකට අධික පිරිසක් මුළු රාත්‍රිය පුරාම එහි ඇවිත් ගියා. උද්ඝෝෂණය දිවා නො බලා නො කඩවා කෙරුණා. 

තරුණයන්ගේ මේ සාමකාමී උද්ඝෝෂණය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති භාෂණයේ නිදහස අභ්‍යාස කිරීමක් ලෙස ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ජනතාවත්, සමස්ත ලෝක ජනතාවමත් පිළිගෙන තිබුණත් අගමැති මහින්ද රාජපක්ෂ පිළිගන්නේ නැහැ. එතුමා හිතන්නේ කාලයට පෙර යන්න කියන එකෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වෙනවා කියලයි. එයින් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් යදිනවා කියලයි. 

අගමැතිවරයා තුන්හිතෙන් මොන හිතකින් කළ එකක්ද? 

දශක පහකටත් වැඩි කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී කටයුතුවල යෙදුනත් මහින්ද රාජපක්ෂ මහතාට තවමත් 'ප්‍රජාතන්ත්‍රවාදය' යන වදනවත් හරියට උසුරුවන්ට බැහැ. එහෙත් එතුමා ප්‍රජාතන්ත්‍රවාදයත් ත්‍රස්තවාදයත් හොඳින් හඳුනනවා. ඒ වගේම කල්ලිවාදයත්, ගෝත්‍රවාදයත් පෝෂණය කරනවා. උපතින් බෞද්ධයකු වුවත් ඔහු තුළ බොදු ඇවතුම් පැවතුම් තිබුණේ නැහැ. ඔහු බෞද්ධකම යොදා ගත්තේ ඔහුගේ පැවත්මට විතරයි. බුද්ධාගම ඔහුට ආභරණයක් හා ආරක්ෂක ආවරණයක් පමණක් වුණා. 

ඔහු අගමැතිකම අත්හරින්නට කලින් දා, වීඩියෝ කැමරාකරුවන් පිරිවරාගෙන අනුරාධපුරයට ගියා. ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, වැඳ පුදා ගත්තා. පසුදා ඒ උණුහුම යන්නටත් කලින්, සිය අනුගාමිකයන් 'නාලාගිරියන්' කොට, පොලු මුගුරු අතට දී ගාලුමුවදොර සාමකාමී උද්ඝෝෂණයේ යෙදෙන නිර්පාක්ෂික නිරායුද පුරවැසි පිරිස් වෙත යවන්නට කටයුතු කළේ තුන්හිතෙන් මොන හිතකින් දැයි අපට සිතා ගත නොහැකියි. 

මේ ලෝකයේ උපදින හැමෝටම මව්බිමක් උරුමයි. අපටත් මව්බිමක් තියෙනවා. එහෙත් අපේ ඒ මව්බිම, 'පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම' කියා ශපථ කොට ඔහු අපෙන් උදුරා ගත්තා. ඔහු මහත් අසීරුවෙන් බිම දණගසා අනතුරුව හිස ඔසවා කැමරාකරුවන් හරිදැයි බලා පහත් වී පොළොව ඉඹිනවා. අපිත් ලක් පොළොවට ආදරෙයි. ඒත් අපි ඔහු මෙන් පොළොව ඉඹ ඉඹ යන්නේ නැහැ. ඔහු එසේ කරන්නේ අප රවටන්නටයි.

'රුහුණේ සිංහයා'ගෙන් ලැබුණුු සාටකය 

ඔහුගේ සාටකයත් එවැනි රැවටිල්ලකි. මුලින් ම රතුපාට සාටකයක් පැලැන්දේ ඔහුගේ මහප්පා වූ ඩී. ඇම්. රාජපක්ෂයි. ඔහු රතු පැහැති සාටකයක් පැලන්දේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ නිසා ඒ බව කියා පාන්නටයි. ඔහු ඇස්. ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ආදීන් සමග පොදු ජන අයිතිවාසිකම් වෙනුවෙන් යටත්විජිත යුගයේ සටන් කළා. 'රුහුණේ සිංහයා' යනුවෙන් විරුදාවලී ලබා සිටි ඩී. ඇම්. රාජපක්ෂ මියගියේ පාර්ලිමේන්තුවෙ පුංචි කාමරයක නිදා සිටියදියි. ඒ දැන් ඔය 'අරගලය' ගෙන යන තැනට නුදුරින් පිහිටි තැනකයි. මියයන අවස්ථාවේ ඔහුගේ සාක්කුවේ තිබී ඇත්තේ රුපියල් දහයක් විතරයි. වර්තමාන රාජපක්ෂලා මෙන් නොව ඔහු තමන් සතු ධනය වැය කරමින් ජනතා සේවය උපරිමයෙන් ම කළ අයෙක්. 

රුහුණේ සිංහයාගේ වූ ඩී. ඇම්. රාජපක්ෂගේ හදිසි අභාවයෙන් පසු ඒ අසුන නියෝජනය කරන්නට ඔහුගේ මල්ලී වූ ඩී. ඒ. රාජපක්ෂට සිදුවුණා. ඔහුත් අයියාගේ මල්ලී බව කියන්නට රතු සාටකයක් දැම්මා. පාර්ලිමේන්තුවේ දී රතු සාටකයට කොමියුනිස්ට්කාරයන් හිනා වුණාම ඔහු කීවේ තමා දමා ගෙන ඉන්නේ ගිරුවා පත්තුවේ ගොවීන් නියෝජනය කරන්නට කුරහන් සාටකයක් බවයි. පියාගේ හදිසි අභාවයෙන් පසු මහින්ද රාජපක්ෂට මැතිසබයට යන්නට මග පෑදුණේ ඔහුගේ දෙවැනි පුතා වූ නිසයි. ඔහු ඒ මගේ නොනැවතී ඉහළට ගියා විතරක් නොව මෙරට දේශපාලනය උඩුයටිකුරු කිරීමට තරම් සමත් වුණා. එ් කාලය තුළ මෙරට දේශපාලනය පාලනය කළ තවත් බලවතුන් එහි මුහුණුවර වෙනස් කරන්නට අඩු වැඩි වශයෙන් දායක වුණා. ඒ අනුව දැන් බිහි වී ඇත්තේ ජරාජීර්ණ වූ දේශපාලනයක්. කොමිස් ගැහිලි, අල්ලස, දුෂණය, ගසාකෑම් රජ වෙලා. වසර 40කට වැඩි පාර්ලිමේන්තු ඉතිහාසයක් ඇති සෑම නියෝජිතයකුම මේ වෙනස්වීම්ලට වගකියන්න ඕනෑ. පවතින ක්‍රමයට වැඩියෙන් වගකිවයුත්තේ මහින්ද රාජපක්ෂයි. ඒ ඔහු දෙවතාවක් ම ජනාධිපති පදවිය ඉසිලූ නිසා. අනතුරුව ඔහු ඔහුගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා යටතෙත් මේ ආණ්ඩුවේත් අගමැති පදවිය හොබවනවා. 


ලොවපුරා රටවල විරෝධය  - නවසීලන්තයේ අපේ අය විරෝධය පෑ අයුරු
ගාලුමුවදොර අරගලයේ බලපෑම නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දෙවරක්ම කැබිනට් එක වෙනස් කරන්න සිදු වුණා. ඒත් පලක් වුණේ නැහැ. අන්තිමේ දී අගමැති පදවියෙන් ඉවත්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා. එතුමා එයට එකඟ වෙන බව අඟවා පසුදා උදේ 9ට අරලියගහ මන්දිරයට පොහොට්ටු පක්ෂයේ හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ආධාරකරුවන්ගේ හදිසි රැස්වීමක් කැඳෙව්වා. 


අගමැති අස්වීමට පෙර පැවත්වූ රැස්වීම 

ඒ රැස්වීමේදී කතා කළ අගමැතිවරයා තමන් අභියෝග හමුවේ කිසිවිටෙකත් පලානොයන බවත්, දිවිහිමියෙන් ම ව්‍යවස්ථාව රකින් බවත්, කියමින් අරලියගහ මන්දිරයට ආ සිය අනුගාමිකයන්ගේ ලේ රත්කරන කථාවක් පැවැත්තුවා. තමන් අගමැති ධූරයෙන් අස්වෙනවාට කැමති ද කියා ඔවුන්ගෙන් ඇසුවා. ඔවුන් එක හඬින් එපා කීවා. ඉන් පසුව මහින්ද භක්තිකයන් ඇමතූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු ප්‍රබලයන් අගමැති ඉල්ලා අස්විය යුතු නැති බවත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවට අවධාරණය කළා. බස්වලින් ආ අනුගාමිකයන් අරලියගහ මන්දිරයට ඇතුළු වන අවස්ථාවේ ගියේ හිස් අතින් වුවත් ඔවුන් ඉන් පිටවන අවස්ථාවේ පොලු මුගුරු තිබූ බව සජීවී රූපවාහිනි වාර්තාවලින් අප දුටුවා. 

එතැන් සිට, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන් ම, රූපවාහිනී සජීවී විකාශ තුළින් ද අපට දැක ගත හැකි වූයේ, මාසයක් පුරා අවිහිංසාවාදී, සාමකාමී උද්ඝෝෂණයක් ගෙන ගිය තරුණ තරුණියන්ට අරලියගහ මැඳුරෙන් එළියට ආ මහින්දවාදී මැරයන් විසින් පොලු මුගුරුවලින් අමානුෂිකව පහර දෙන අන්දමයි. ගාලුමුවදොර 'අපේ කොල්ලන්' බේරා ගැනීමට මුලින්ම පාරට බැස්සේ ගෝල්ෆේස් අවට පෞද්ගලික බැංකු ඇතුළු පෞද්ගලික සමාගම්වල සේවය කළ තරුණ තරුණියන්. ඔවුන් වහාම අරගල ට භූමියට දිව ආවා. ගෝල්ෆේස් අවට වතුවල ආදරණීය සටන්කාමී ජනතාව අනෙක් පසින් 'අපේ කොල්ලන්' බේරා ගැනීමට එකාවන්ව දිව ආවා. මහ මග යමින් සිටි මෝටර් බයිසිකල්රුකවන් ද යූටර්න් ගෙන ගාලු මුවදොර බලා ආවා. වරායේ සේවකයන් එහි ආවේ ඔවුන්ගේ නිලඇඳුම් පිටින්මයි.

'අපේ කොල්ලන්' බේරා ගැනීමට හතරවටින් පිරිස ආවා 

හතරවටින් ආ මේ පිරිස නොවන්නට මහින්ද රාජපක්ෂගේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේ අරගල භූමියට කඩා වැදුණු පොහොට්ටු මැරයන් අරගල භූමියේ තරුණ, තරුණියන් මරා දමනවා නිසැකයි. 'අපේ කොල්ලන්' බේරා ගැනීමට ආ පිරිස පොහොට්ටු මැරයන්ට පහර දී ඔවුන් අරගල භූමියෙන් පන්නා දැමුවා. මේ අතර මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණ තරුණියන්ට ප්‍රතිකාර කිරීමට ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩල පිරිස් ද ගෝල්ෆේස් අරගල භූමියට දිව ආවා. අරගල භූමියේ මේ 'අපේ කොල්ලන්' බේරා ගැනීමට ආ පිරිස පැමිණියේ කිසිවෙකුගේ ඉල්ලීමක්, අනුදැනුමක්, මෙහෙය වීමක් යටතේ නොවෙයි. පොහොට්ටු මැරයන් අරගල භූමියේ තරුණ තරුණියන්ට පහර දෙන බව ඇසුණු විට ඔවුන්ට දැනුනේ තම දූදරුවන්ට පහර දෙන්නාක් වැනි හැඟීමක්. ඒ නිසයි නොපමාව ඔවුන් එහි ඇදී ආවේ. 

ඔවුන් සාමකාමී අවිහිංසාවාදී අරගලයට කඩා වැදුණු පොහොට්ටු මැරයන්ට පහර දී පලවා හැරියා පමණක් නොව, රාජපක්ෂ මැර දේශපාලන යාන්ත්‍රනයට ද අමතක නොවන පාඩමක් ඉගැන්නුවා. එදා සවස් වන විට අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යැව්වා. හදිසි නීතියත් ඇඳිරි නීතියක් නොතකා සෙනග අරලියගහ මැදුර වට කර උද්ඝෝෂණය කළා. එදා රෑම අගමැතිවරයා රහසිගතව හෙලිකොප්ටරයකින් පිටව ගියා. එය අරගලය ලත් තවත් එක් ජයග්‍රහණයකි. අරගලය එතැනින් නැවතුණේ නැහැ. විනාශ කළ කූඩාරම් පෙර පැවති අයුරින් ම නැවත ඉදිකර උද්ඝෝෂණය ආරම්භ කළා. අලුත් අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ 'ගෝඨාගෝගම' ආරක්ෂා කරන්න ඕනෑ කියලයි. ඒ අනුව 'ගෝඨාගෝගම'ට දැන් සදාචාරාත්මක සුජාතභාවයක් ලැබී තියෙනවා. එයත් අරගලය ලත් තවත් ජයක්. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments