HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රොහාන් පෙතියාගොඩ ලීනියන් පදක්කමින් සම්මාන ලබයි

ලොව පැරණිතම විද්‍යා සංගමයක් වූ එංගලන්තයේ ලන්ඩන් ලිනියන් සංගමය (The Linnean Society of London) සත්ත්ව විද්‍යාව උදෙසා වූ ලීනියන් පදක්කම පළමුවරට ශ්‍රී ලාංකිකයකුට පිරිනමා තියෙනවා. ඒ ගෞරවය හිමිකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ආචාර්ය රොහාන් පෙතියාගොඩයි. ඔහු ශ්‍රී ලංකාවේ වනජීවී ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ කීර්තිමත් විද්‍යාඥයෙක්. 

2022 ලීනියන් පදක්කම (සත්ත්ව විද්‍යාව) දිනූ ආචාර්ය රොහාන් පෙතියාගොඩ

වසර 234ක් තිස්සේ ස්වාභාවික ඉතිහාසයට කැප වී සිටින ලන්ඩන් ලීනියන් සංගමය ලොව පැරණිතම ක්‍රියාකාරී විද්‍යා සමාජයයි. විද්‍යාවට කරන සේවය සඳහා සංගමයේ ගෞරවය සහ අගය කිරීමේ ප්‍රකාශනයක් ලෙස ලෝකයේ විශිෂ්ට සේවයක් කළ විද්‍යාඥයින් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට (ඕනෑම ක්ෂේත්‍රයක) කවුන්සිලය විසින් වාර්ෂිකව මේ පදක්කම ප්‍රදානය කරනවා. 

මෙවර සත්ත්ව විද්‍යාව සඳහා පිරිනමන පදක්කම (Linnean Medal - Zoology 2022) රොහාන් පෙතියාගොඩට පිරි නමා තිබෙනවා. 2022 උද්භිද විද්‍යාව සඳහා ලීනියන් පදක්කම පිරිනමා ඇත්තේ ඉතියෝපියාවේ ප්‍රකට ජෛව විවිධත්ව සංරක්ෂකයකු වූ මහාචාර්ය සෙබ්සේබේ ඩෙමිසෙව් (Sebsebe Demissew)ටයි. 

ආචාර්ය රොහාන් වගා කළ වනාන්තරය පිරික්සමින

රොහාන් පෙතියාගොඩ උපන්නේ, 1956 නොවැම්බර් මස 19 වැනි දින පේරාදෙණියේදීයි. ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙක්. පියා තේ වතු කළමනාකරුවෙකු වූ නිසා විදුහලේ නේවාසිකව ඉගෙන ගන්නට ඔහුට සිදු වුණා. ඒ නිසා පියා සේවය කළ තලවකැලේ සහ ළිඳුල ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව ගත කරන්නට ලැබුණේ නිවාඩු කාලයට විතරයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු එංගලන්තයට ගිය ඔහු ලන්ඩන්හී කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා ගෙන තියෙනවා. අනතුරුව සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ගැන දර්ශන ශූරී (MPhil) උපාධිය ලබා ගත්තා. 

කුඩා කල සිට ම ගහකොළට, ඇළදොළට ඇලුම් කළ රොහාන් පෙතියාගොඩ 1981දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවකු ලෙසයි. පසුව ඔහු ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා රජයේ පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ උපදේශක වරයෙකු ලෙස ද ක්‍රියා කළා. තේ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන ඔහු ලෝක සංරක්ෂණ සංගමයට (IUCN) සම්බන්ධවී සිය පරිසර විද්‍යාත්මක දැනුම සංරක්ෂණය සඳහා යෙදවීමට කටයුතු කළා. එමෙන්ම ඔහු පර්යේෂකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ ද සේවය කර තියෙනවා. 

ආචාර්ය රොහාන් පෙතියාගොඩගේ ‘ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයෝ’ 
කෘතියේ කවරය

නව ජීව විශේෂ මෙන්ම ලොවින් වඳවී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ විදු ලොවට හඳුන්වාදුන් පර්යේෂකයෙකු, සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු, කළමනාකරුවෙකු මෙන්ම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වන රොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ උභයජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන් සහ සිවුපා උරගයින් ගැන පර්යේෂණ රැසකට දායකවී තියෙනවා. ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ඔහු පළ කර ඇති කෘති සංඛ්‍යාව 40කට වැඩියි. 

රොහාන් පෙතියාගොඩ ලොවට හඳුන්වාදුන් ජීවින් විශේෂ අතර මේ බන්දුල පෙතියා (Pethia bandula) සුවිශේෂී මත්ස්‍යයෙකු ලෙස සැලකෙනවා. ඊට හේතුව ඒ මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් වීමයි. එපමණක් නොව ශ්‍රී ලංකාවේද ඒ මත්ස්‍යයා දැක ගත හැක්කේ එකම තැනක විතරයි. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ, මිනීමරුකොලනිය ප්‍රදේශයෙන් ගලා යන දොළ පහර දෙකක් වැනි ඉතා සීමිත ප්‍රදේශයකයි. 

ඔහු මෙතෙක් සිදු කළ පර්යේෂණවලට අමතරව අංකුර පර්යේෂකයන් සහ ආධුනික විද්‍යාඥයන් නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට හා උනන්දු කර වීමට 90 දශකයේදී ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) පිහිටු වීමට ක්‍රියා කළා. ඒ හරහා ශ්‍රී ලංකාවට ආවේණික ජීව විශේෂ රැසක් විදු ලොවට හඳුන්වා දීමට ආධුනික විද්‍යාඥයන්ට හැකිවුණා. එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ දමන්නට හේතු වූ අතර වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් ද වුණා. 

ජල සම්පත් මණ්ඩලයේ සභාපති වශයෙන් සේවය කරමින් සිටි ඔහු 1987 දී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ ලොකුම අභිලාෂය වූ මිරිදිය මසුන් පිළිබඳ අධ්‍යයනය කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වූ නිසයි. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලය වූයේ ඔහු විසින් සම්පාදනය කරන ලද ‘ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්’ (Freshwater fishes of Sri Lanka) නමින් වූ 1991 දී ඉංග්‍රීසියෙන් පළ කළ විශිෂ්ට කෘතියයි. 

ලෝකයේ අති දුර්ලභ මත්ස්‍යයා - බන්ධුල පෙතියා 
(ඡායාරූපය - සමන්ත ගුණසේකර)

ඔහුගේ මංගල කෘතිය වූ එය තනි රටක ජීවත්වෙන සියලුම මත්ස්‍ය විශේෂවල ඡායාරූප සමග විද්‍යාත්මක තොරතුරු ඇතුළත්ව පළ කළ ලොව පළමු කෘතිය ලෙස සැලකෙනවා. එය ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ පළ කළ හස්තසාර ග්‍රන්ථයක් ලෙස විද්වතුන්ගේ ගෞරවයට පාත්‍ර වුණා පමණක් නොව, නව පර්යේෂණ සඳහා උත්තේජනයක් සැපයූ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් වූ බව ද පරිසරවේදීන්ගේ අදහසයි. 

ඒ හැරෙන්නට රොහාන් පෙතියාගොඩ විසින් අලුතින් විදු ලොවට හඳුන්වා දී ඇති ජීව විශේෂ සංඛ්‍යාව 100කට අධිකයි. ඔහු සත්ව විද්‍යාවට කළ මෙහෙය අගය කරනු වස් ඔහුට කරන ගෞරවයක් වශයෙන් දේශීය මෙන්ම විදේශීය විද්‍යාඥයන් රොහාන් පෙතියාගොඩ ගේ නමින් නව ජීව විශේෂ රැසක් නම් කර තියෙනවා. නිදසුනක් වශයෙන් ආසියාවේ සහ අප්‍රිකාවේ දක්නට ලැබෙන ගස් ගෙම්බන් විශේෂ අටක් ඇතුළත් සත්තව ඝනයක් Rohanixalus නමින් නම් කිරීමට දිල්ලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ඩී බිජූ ඇතුළු කණ්ඩායමක් ක්‍රියා කර තිබීම දැක්විය හැකියි. 

ඒ විතරක් නෙවෙයි, ලොව පුරා අලුතින් හමු වී ඇති මත්ස්‍යයන්, මැඩියන්, මකුළුවන් සහ බත්කූරන් විශේෂවලට ඒවා මුලින්ම හඳුනාගත් විද්‍යාඥයන් විසින් තබන ලද නම් මගින් රොහාන් පෙතියාගොඩට කොතරම් ගෞරවයක් දක්වා ඇද්ද යන්න පහත සඳහන් විද්‍යාත්මක නම් විමසා බැලීමෙන් ඔබට සිතා ගත හැකියි. නිද; Dawkinsia rohani, Rasboroides rohani, Uperodon rohani, Calotes pethiyagodai, Onomastus pethiyagodai, Macromidia donaldi pethiyagodai 

90 දශකයේ අග හරියේදී ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර විනාශය බරපතල ලෙසින් සිදුවුණා. ඊට පිළියමක් වශයෙන් ඔහු වනරෝපණය ආරම්භ කළා. ඒ සඳහා ඔහු තෝරාගත්තේ ආගරපතනේ අත්හැර දැමූ තේ වත්තක්. ඔහු ඒ වත්ත යළි ස්වාභාවික කැලයක් බවට පත් කිරීම ආරම්භ කළා. අද එය සාර්ථක වි තියෙනවා. පරිසර හිතකාමී ඒ මෙහෙවර වෙනුවෙන් ඔහුට Rolex Award for Enterprise නම් සම්මානය හිමි වුණා. 

ඔහු වගා කළ ඒ වනාන්තරය මේ වීඩියෝවෙන් බලන්න

ශ්‍රී ලංකාවේ සත්ත්ව හා ශාක සන්තතිය පිළිබඳව නව දැනුම සමාජගත කිරීම සඳහා ඔහු මෙන්ම වෙනත් පර්යේෂකයන් විසින් රචනා කරන ලද කෘති රැසක් වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) හරහා ප්‍රකාශයට පත්කිරීමට රොහාන් පෙතියාගොඩ ක්‍රියා කර ඇති අතර එම කෘති ඕනෑම අයකුට අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බාගත හැකියි. මෙහිදී ශ්‍රී ලංකාවේ වනජීවින් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් ඉංග්‍රීසි බසින් පළ වූ ග්‍රන්ථ රැසක් සිංහල බසින් ප්‍රකාශයට පත්කිරීමට ක්‍රියා කර ඇති රොහාන්ට අපේ ජාතියේ ප්‍රණාමය හිමි වියයුතු යයි මා සිතනවා. 

දැනට 66 වියේ පසුවන රොහාන් විද්‍යාඥයකු වශයෙන් මෙතෙක් කර ඇති මහ මෙහෙය වසර 100ක් ජීවත් වූ අයකුවත් කර ඇතැයි මා සිතන්නේ නැහැ. ඔහුට අපේ මව්බිමට, සකල ලෝකයට, මනුෂ්‍ය වර්ගයාට තවදුරටත් සේවය කරන්න චිරජීවනය ලැබේවායි පතනවා.

- පර්සි ජයමාන්න. 

Post a Comment

0 Comments