HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපි 'කාක් කාක් කාක්' කියනවාට විරෝධය පෑ කපුටා!

ලෝක කපුටු දිනය අප්‍රේල් 27 වැනිදාට යෙදුණා. ලෝකයේ රටවල් අතරින් මෙවර කපුටු දිනය මහ ඉහළින් සැමරූ රට ලෙස ශ්‍රී ලංකාව දක්වන්න පුලුවන්. ගාලු මුවදොරින් බිහි වූ අලුත් ගම්මානය වූ 'ගෝඨා ගෝ ගම' ඔස්සේ තමයි, මේ කපුටා සමරමින් 'කාක් කාක් කාක්' කියන මේ හඬ මුලින් ම අසන්ට ලැබුණේ. එතැන් පටන් 'කාක්' හඬින් මුළු ශ්‍රී ලංකාව ම ගිගුම් දුන්නා; තවමත් ගිගුම් දෙනවා. ජනතාව නඟන කාක් හඬට අමතරව යානවාහනවල නළා හඬටත් මේ කාක් හඬ කවලා. දස දෙසින් ම ඇසෙන්නේ මේ 'කාක් කාක් කාක්' හඬයි. ඒ සමගම 'බැසිල් බැසිල් බැසිල්' යන හඬයි. 


'ගෝඨා ගෝ හෝම්' සමග ඇසෙන මේ 'කාක් කාක් කාක් - බැසිල් බැසිල් බැසිල්' යන මේ හඬ මතු වුණේ මීට මාසයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුල් පාලනය පලවා හරින්නට ආරම්භ කළ නිර්පාක්ෂක ජනතා විරෝධය තුළින්. එයට සහය දක්වමින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද සති අන්තවල ඒ ඒ රටවල නගරවල වීදි බැස උද්ඝෝෂණයේ යෙදෙනවා. 

මට මතකයි, අම්මලා අප කුඩා කාලයේ සෙනසුරාදා දවස්වලට ගිතෙල් මුසු කිරිබතක් හදාගෙන උදේ පාන්දර කාක්කා කෑගහන්නට පෙර කාක්කන්ට කන්නට දෙන්න 'කාක් කාක්' කියා කෑ ගහනවා. ඒ හඬ දැන් ඇහෙන්නේ නෑ. මෙදා අවුරුද්දට වුනත් අපට ඇහුණේ උද්ඝෝෂකයන්ගේ මේ 'කාක් කාක් කාක්' හඬයි. 

මේ කපුටු කතාව ආවේ වර්තමානයේ අපේ රටේ ආර්ථික අර්බුදයට මුල් වූ මුදල් ඇමති  වූ බැසිල් රාජපක්ෂට සමච්චල් කරන්නටයි. 

මීට දින කීපයකට පෙර 'සිරි ලංකාවේ කොන්කිරිත්තු රජතුමාගේ උපමා කතාව' අප වෙත එවූ අපේ සුමිතුරු තිලක නවමිණි ඉතාලියේ සිට තවත් ඔහුගේ අපූරු නිර්මාණයක් එවා තියෙනවා.

කපුටා කළ පැමිණිල්ල 

ඉතාලියේ කපුටන් බහුල ව නෑ. ලංකාවේ කපුටන් බහුල වගේ ඉතාලියේ බහුල පරෙවියනුයි. ඒ කපුටකු කලාතුරකින් දක්නට පුළුවන්. අද කපුටෙක් හදිසියේ ම ඇවිත් මගේ හිස වටා ඉගිල්ලුණා. ඉතින් මා කලබල වී "මේ මොකද බං?" කියලා උගෙන් ඇහුවා. කපුටා උගේ රළු හඬින් මෙ සේ කීවා. 

"ඔබේ උපමා කතාවකින් අප අගයා කපුටු වර්ගයාට සාධාරණයක් කළා. ඒ අද මුළු ලංකාව ම කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් කියා අසාධාරණයක් කරනවා. 

කපුටා විසින් මීට වසර 32කට පෙර (1990 දී) ම විසින් පැබැඳුණු 'හිතලුගේ චාරිකාව' නම් උපමා කතා පොතේ එන 'බෙදා ගෙන කෑම' නම් කතාව සිහිපත් කළා. 

කපුටා සහ කඩල වෙළෙන්දා 

එකමත් එක නගරයක කඩල වෙළෙන්දෙක් හිටියා. ඔහු තම්බන ලද කඩල වෙළෙඳාමෙන් හොඳ ආදායමක් ලැබුවා. මේ අතරේ ඒ විදියටම තැම්බූ කඩල බේසමක් රැගත් තවත් අලුත් වෙළෙන්දෙක් පැමිණියා. මේ පැමිණීම නො ඉවැසූ පැරණි වෙළෙන්දා අලුත් වෙළෙන්දාට පහර දුන්නා. 

අසල වීදි ලාම්පු කණුවක වසා සිටි කපුටෙක් මේ රණ්ඩුව බලා සිටියා. 

දෙදෙනා ගුටි ඇණ ගනිද්දී කඩල බේසම් පෙරළී කඩල හැමතැන විසිරුණා. 

මිනිසුන් දෙදෙනා හෙම්බත්ව, කඩල ද නැතිව, මුදල් ද නැතිව, හිස් අතින් ගෙවල්වලට ගියා. 

ඉවසීමෙන් බලා සිටි කපුටා 'කාක් කාක් කාක්' කිය කියා තම නෑ මිතුරන් සියලු දෙනා ම කැන්දා ගෙන කඩල ‌බේසම බෙදා ගෙන කෑවා. 

(ආප්ත වැකිය - මිනිස්සු ‍බදාගෙන කද්දී කපුටෝ බෙදා ගෙන කති.) 

"බෙදා ගෙන කන අපේ සුසිරිත, බැසිල්ලාගේ බදාගෙන කන කුසිරිත හා සම කිරීම අපට කරන බලවත් නිගරුවක්." කපුටා කියද්දී උගේ ඇසට කඳුලක් ද ඉනුවා. 

- තිලක නවමිණි 

ප.ලි.: සුමිතුර, ඔබ වසර 32කට පෙර ලියූ උපමා කතාවත්, ඊට ඌණපූරණයක් ලෙස ගෙතූ කතාවත් දෙක ම ඉතාමත් අපූරුයි. එයට ඔබට බොහෝ පින්! ඒත් ඔබේ කපුටු මිත්‍රයා ආයිත් ආවොත් කියන්න ඔහුට, බැසිල් හා සම කිරීමෙන් ඒ කපුටු ගෝත්‍රයට හානියක් වී නැති බවත්. බැසිල් කළේත් ඒ සිරිත කපුටන්ගෙන් ඉගෙන ගෙන මිනිස් සමාජයට එක් කර ගැනීම බව. බැසිල් කළේත් සිය නෑ පරපුර සමග ජනතාවගේ මුදල් දේපල බෙදා ගෙන කෑම බව. 

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. බැසිල්ට පිටරට මිනිස්සුත් කියන්නේ මිස්ට 10% කියලා ...

    ReplyDelete