HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනිස් පෙණහැල්ලේ සැඟවී සිටි නව සෛලයක් සොයා ගනිති!

මිනිසා අද ඈත එපිට සක්වළ ජීවීන් සොයා ගියත් මිනිස් සිරුර තුළ තවමත් මිනිසා සොයා නොගත් විස්මිත අභිරහස් තිබෙන බව ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ පිරිසක් ඔවුන්ගේ නව අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙනවා. එම විශ්ව විද්‍යාලයට අයත් පෙරල්මාන් වෛද්‍ය පීඨයේ මහාචාර්ය එඩ්වඩ් මොරිසේ එ් වාර්තාව ඉදිරිපත් කරමින් කියන්නේ ඔවුන් මිනිස් සිරුරේ මෙ‍ෙතක් සැඟවී තිබුණු නව සෛලයක් සොයා ගත් බවයි. 

මේ අලුත් සෛල නම් කර ඇත්තේ 'ශ්වසන මාර්ගයේ ඇති 
ස්‍රාවී සෛල' හෙවත් RAS සෛල කියායි.

මෙම නව සෛලය සොයාගෙන ඇත්තේ පෙණහලුවලට වාතය ගෙන යන සියුම් ක්ලෝම නාළිකා වලිනි. මේ නව සෛලය පෙණහලු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට විශාල කාර්යභාරයක් ඉටු කරන බව මේ සොයා ගැනීම කළ විද්‍යාඥයන් ඒ අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තියෙනවා. 

විද්‍යාඥයින් විසින් මෙසේ සොයා ගෙන ඇත්තේ මිනිස් පෙණහලුවල සියුම් අතු බෙදී යන ශ්වසන මාර්ග තුළ සැඟවී ඇති නවතම සෛල වර්ගයකි. මිනිස් ශ්වසන පද්ධතියේ නිදර්ශන ලෙස ලබා ගත් සෛලවල ඇති යම්යම් වෙනස්කම් නිසා ඊට හේතු සොයා වෙහෙසුණු විද්‍යාඥයන්ට මේ නව සොයා ගැනීම කිරීමට මග පෑදී තියෙනවා. මිනිස් පෙණහලු පිළිබඳ මෙතෙක් ලබාගෙන ඇති දැනුමේ පැවති හිඩැස් පියවා ගැනීමට හැකිවී තියෙනවා. 

සෛල මට්ටමින් මෙම වෙනස්කම් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා, විද්‍යාඥයන් පිරිස, නිරෝගී මානව පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගත් පෙණහලු පටක සාම්පලවල ජාන විශ්ලේෂණය කළ අතර ඒ පර්යේෂණයේ දී තමයි, මේ නව හෙළිදරවුව කර ගැනීමට හැකිවී ඇත්තේ. 

කලින් එකම සෛල වර්ගයක් යැයි සිතා සිටි සෛලයක ඇති සුළු වෙනස්කම් සියුම් ලෙස පරීක්ෂා කිරීමේ දී තමයි නව සොයා ගැනීමට මග පෑදී තියෙන්නේ. අලුතින් හඳුනාගත් සෛලය මෙතෙක් හඳුනාගෙන නොතිබුණු එකක් ලෙස දැන් අලුතින් නම් කර ඇත්තේ ශ්වසන මාර්ගයේ ඇති ස්‍රාවී සෛල (Respiratory Airway Secretory cells) කියලයි. ඉංග්‍රීසියෙන් ලුහු කර RAS කියායි කියන්නේ. 

නව RAS සෛල පෙණහැල්ලේ ප්‍රධාන කාර්යභාරයන් දෙකක් ඉටු කරනවා.

"අප කලෙක සිට ම දන්නවා මිනිස් පෙණහලුවල ශ්වසන මාර්ග මීයන්ට වඩා වෙනස් බව. අපි මේ පර්යේෂණාගාරවල දී බොහෝ විට ඒ සඳහා යොදා ගන්නේ මීයන්. ඒත් අද අප දියුණු කර ගෙන ඇති තාක්ෂණය නිසා, ජාන මට්ටමෙන් අති සියුම් ලෙස ඒවා පරීක්ෂාකර බලන්න අපට හැකියාව ලැබී තියෙනවා. අපේ කණ්ඩායම මුගටියන්ගේ සිරුරුවල මේ RAS සෛල ඇති බව සොයා ගෙන තියෙනවා. ඔවුන්ගේ ශ්වසන පද්ධති මීයන්ගේ ඒවාට වඩා මිනිසුන්ට සමාන වෙනවා. බොහෝ ක්ෂීරපායීන්ගේ ප්‍රමාණයට සමාන හෝ ප්‍රමාණනේ විශාල RAS සෛල ඔවුන්ගේ පෙණහලුවල තිබිය හැකි යැයි පර්යේෂකයන් සැක කළ අතර පර්යේෂණයේ දී ඒ බව තහවුරු වුණා." යයි මහාචාර්ය එඩ්වඩ් මොරිසේ පවසනවා. 

මේ නව RAS සෛල පෙණහැල්ලේ ප්‍රධාන කාර්යභාරයන් දෙකක් ඉටු කරනවා. මුලින් ම ඒවා කරන්නේ පෙණහැල්ලේ ඇති ක්ලෝමිකාවල ඇතුළු ද්‍රව ආස්තරණය පවත්වා ගෙන යාමට අවශ්‍ය සූක්ෂමාණු ස්‍රාවය කිරීමයි. එයින් සියුම් වා මං අවහිරවීම වළක්වනවා. දෙවනුව ඒවා ප්‍රජනක සෛලවල තැන ගනිමින් ගර්ත විශේෂයකට අදාළ රසායනිකයක් ස්‍රාවය කරනවා, විනාශයට පත් වන ගර්ත පිළිසකර කළ හැකි වන ආකාරයට. ප්‍රජනක සෛල කියන්නේ වෙනත් සෛලයක් වෙනුවට ආදේශක සෛලයක් ලෙස ක්‍රියා කළ හැකි, කඳ සෛලවලට සමාන සෛලයකටයි. 

"RAS සෛල තමයි පෙණහැල්ල හා එහි වා මං නිරෝගීව තබන්නට විශාල ම කාර්යභාරය ඉටු කරන්නේ. අප ඒවාට විකල්ප ප්‍රජනක සෛල කියා කියන්නේ ඒ නිසයි." මහාචාර්ය එඩ්වඩ් මොරිසේ වැඩිදුරටත් කියනවා. ඒ වාගේ ම දුම්පානය සම්බන්ධ රෝග ගණනාවක් පාලන කිරීමට ඒවා උදවු වෙනවා. ඇදුම, එම්පිසීමාව, ක්ලෝමීය ප්‍රදාහයන්, වාත කෝෂ ඉදිමීම වැනි ශ්වසන සංකූලතා ඒ අතර ප්‍රධානයි. මේ නව සෛල සොයා ගැනීම පෙණහලු ආශ්‍රිත රෝග සඳහා නව ප්‍රතිකාරක ඔසු තනන්නට හේතු වේවි. 

- පර්සි ජයමාන්න‍ 


Post a Comment

0 Comments