HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබට පිරිසිදු වාතය ලබා දෙන විස්මිත හෙඩ්ෆෝනයක්!

ඔබේ නැහැය හා කට ඉදිරියේ ඇති වාතය පිරිසිදු කළ හැකි විස්මිත හෙඩ්‌ෆෝනයක් දැන් නිපදවා තියෙනවා. ඩයිසන් සෝන් (Dyson Zone) කියා නම් කර ඇති අරුමපුදුම හෙඩ්ෆෝනය ඔබ අවට ඇති වායු දූෂණය විතරක් නොවෙයි, ශබ්ද දුෂණයෙනුත් ඔබව ආරක්ෂා කරනවා. මේ අමුතු විදියේ හෙඩ්ෆෝනය ඔබේ කනට අහිතකර මට්ටමට නිකුත් කෙරෙන ශබ්ද සියල්ල කපා හරින ගමන් නාසයත්, කටත්, ඉදිරියේ ඇති වාතය පිරිසිදු කර ඔබට හුස්ම ගැනීමට පිරිසිදු වාතය සපයා දෙනවා. 

ඩයිසන් සෝන් නම් මේ උපකරණය හෙඩ්ෆෝනයක් වගේ වුනත් 
මෙයින් කෙරෙන්නේ ඔබේ නාසය හා මුඛය ඉදිරියේ ඇති වායුව පිරිසිදු කර දීමයි.

පරීක්ෂණවලදී ඔප්පුවෙලා තියෙනවා, මේ ඩයිසන් සෝන් මගින් වාතයේ ඇති වයිරස වර්ග දෙකක් ඉතා සාර්ථකව විනාශ කරන බව. ඒත් තාමත් කොවඩ්වලට හේතු වූ වයිරසය ගැන තාම අත්හදා බලා නැහැ. 

මේ අපූරු උපකරණය තැනූ බ්‍රිතාන්‍ය සමාගම කියන්නේ ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ පරිසරයේ ඇති අප ද්‍රව්‍ය ඉවත් කිරීමට බවයි. 

"පරිසර දූෂණය ලොව පුරා කොහේ ගියත් අප හැමදෙනාටම මුහුණ දීමට ඇති ගැටලුවක්." මෙහෙම කියන්නේ ජේක් ඩයිසන් (Jake Dyson), මේ ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා. ඔහු මේ ආයතනයේ නිර්මාතෘ බ්‍රිතාන්‍යයේ කෝටිපති ව්‍යවසායකයකු වූ සර් ජේමස් ඩයිසන්ගේ පුත්‍රයායි. 

ලන්ඩනයේ උමං දුම්රිය මාර්ගය තුළ මෙය අත්හදා බැලූ එය නිපදවූ 
ඉංජිනේරු ජේක් ඩයිසන්

"අපේ ගෙදරදී, පාසලේදී, වැඩපළේ දී, අප යන හැම තැනකදීම, පයින් ගියත්, පොදු වාහනයක ගියත්, සයිකලයක් පදවා ගෙන ගියත් අපට මේ අපිරිසිදු වාතයට මුහුණ දීමට සිදුවෙනවා. මේ ඩයිසන් සෝන් උපකරණය, මුව ආවරණ වගේ නෙවෙයි, එය ඔබ ගමන් කරන අතරතුර දී, ඔබේ මුවේ නොගෑවී, ඉතා කාර්යක්ෂම පෙරහන් දෙකක් යොදා ගෙන, ඔබේ මුහුණ අවට ශ්වසනය කරන හරියේ ඇති වාතය පිරිසිදු කොට ඔබට එසැණ ලබා දෙනවා. ඒ සඳහා ඉතා කුඩා මෝටර් දෙකක් යොදා ගෙන තියෙනවා." ජේක් ඩයිසන් වැඩි දුරටත් කියනවා. 

සාම්ප්‍රදායික මුහුණු ආවරණ මෙන් නොව මෙය ඔබේ මුහුණේ නො ගෑවී 
ඔබට හුස්ම ගන්න පිරිසිදු වාතය සපයනවා.

ජේක් ඩයිසන්ට මේ උපකරණය තනන්නට ආහාසය ලැබුණේ අශ්ව සැදෑලයෙන් යයි කීවොත් ඔබ පුදුම නෙවා නිසැකයි. අශ්ව සැදෑලය තනා තියෙන්නේ ඒ මත පැටවෙන බර, අශ්වයාගේ කොන්ද මුදුනට නොව, හිස දෙපැත්තට බෙදී යන විදියටයි. මේ තාක්ෂණය අලුත් එකක් නොවෙයි. අපේ පැරැන්නන් තවලම් සඳහා යොදා ගත්ත එකක්.  

ඒ ආකාරයට මේ උපකරණයෙත් බර හිස දෙපැත්තට විසිර යනවා, හිසට බරක් නොදී. කන දෙපැත්තේ ඇති කුඩා සම්පීඩක (Compressors) මගින් එහි ඇති විශේෂ පෙරණ යොදා ගෙන වාතයේ ඇති අසාත්මකාරක ද්‍රව්‍ය වන අති සියුම් අංශු කැබලි හා දූවිලි කොටස් ඉවත් කර ලබා ගන්නා පිරිසිදු වාතය ඔබේ නැහැය හා මුව අසලට ලබා දෙනවා. 

ඒ උපකරණය වැඩ කරන හැටි පහත වීඩියෝවෙන් බලන්න 

මේ පෙරණවලට වාතයේ ඇති අපවිත්‍ර දෑවලින් සියයට 99ක් පෙරා ඉවත් කළ හැකියි. ඒවාට මයික්‍රෝන 0.1ක් තරම් කුඩා ඒවා පෙරන්න පුලුවන්. දැනට වයිරස වර්ග දෙකක් වූ MS2 bacteriophage හා H1N1 influenza යන වයිරස දෙක යොදා ගෙන පරීක්ෂණයට ලක් කර තියෙනවා. ඒවා සාර්ථකව ඉවත් කළ හැකි බව ඔප්පු වෙගා තියෙනවා. තවම කොවිඩ් වයිරසවල පරීක්ෂණවලට යොදා ගෙන නැහැ. 

වාතයේ ඇති නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු අංශු පෙරා ගත හැකි පොටෑසියම් මිශ්‍ර කාබන් ස්තරයක් පෙරණවලට යොදා තියෙනවා. 

ඩයිසන් සෝන් උපකරණයට වයිසරයක් සවි කර තියෙනවා. 
එයත් නහයත් අතරට පිරිසිදු කළ වාතය පොම්ප කරනවා.

මෙසේ පෙරා ගන්නා පිරිසිදු වාතය ඔබේ නාසය හා මුඛය ඉදිරියේ ඇති වයිසරය තියෙන කොටසට මෙහි අති සියුම් මෝටර මගින් තල්ලු කෙරෙනවා. සාම්ප්‍රදායික මුහුණු ආවරණ වගේ මේ උපකරණය ඔබේ මුහුණේ ගැවෙන්නෙවත් නැහැ. 

පරිසර විශේෂඥයන් පෙන්නා දෙනවා මිනිසාට හානිකර ප්‍රධාන ‍දූෂණකාරක ද්‍රව්‍ය හයක් ඇති බව. ඒවා අතරට විෂකාරක ඝන හා දියර කොටස් (අංශු), කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, බිම් මට්ටමේ ඇති ඔ්සෝන් වායු අංශු, ඊයම් ආදිය අයත් වෙනවා. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments