HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබ රිදෙව්වේ වැරදි පරපුරට! ජන උද්ඝෝෂණය යන්නේ කොහාටද?

ඔබ රිදෙව්වේ වැරදි පරපුරට! දැන් අපට මොකද වෙන්නේ? ජන උද්ඝෝෂණය අපේ රට ගෙන යන්නේ කොහාටද? 

රටේ නන් දෙසින් ගාලුපිටිය කරා ගලා ආ විරෝධය

මීට වසර 74කට පෙර අප නිදහස ලබන්නට කලින් සිංගප්පූරුවේ අනාගතය හැදූ නායකයා කීවේ 'කවදා හෝ සිංගප්පූරුව ලංකාවේ කොළඹ වගේ තත්වයට ගෙන එන බව'යි. ඒ කතාව බොරුවක් කියල හිතෙන තරමට අප අද කොයිතරම්, නම් පහළට වැටිල ද? 

මේ රටේ අපි හර්තාල්, සත්‍යග්‍රහ, වැඩ වර්ජන, පාද යාත්‍රා, විරෝධතා, උපවාස, උද්ඝෝෂණ ගණනාවක් අත් වින්දා. උතුරේ දකුණේ අරගල දෙකකට මුහුණ දුන්නා. ඒත් මේ වතාවේ අප අත්දකින්නේ මෙතෙක් නුදුටු අමුතු අත්දැකීමක්. ඒ සාමාන්‍ය ජනතාව, නායකත්වයක් නැතිව, වීදි බැස කරන විරෝධයක්! පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන මේ පිරිස් පාර්ලිමේන්තුවත්, රටේ නායකත්වයත්, ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අපේ පක්ෂ දේශපාලනය විතරක් නොවෙයි, ඒ පක්ෂවල පාටත්, ඒවායේ සංවිධාන ක්‍රමයත්, ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා පාට, පක්ෂ භේද නැති දේශපාලනයක් ඔවුන් පතන්නේ. 

අපේ ඡන්ද ක්‍රමයට පාට ආවේ අකුරු කියවන්න බැරි අයට ඡන්දය දාන්න පහසුවෙන්නයි. ඡන්ද ක්‍රමය අපට හඳුන්වා දුන් ඉංග්‍රීසින් ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් පාට පෙට්ටි යොදා ගත්තා. ඡන්දදායකයාට කළ යුතුව තිබුණේ තමන් කැමති කෙනාගේ පාටින් යුත් පෙට්ටියට තම ඡන්ද පත්‍රිකාව දැමීමයි. දැන් හැම දෙනකු ම අකුරු ඉගෙන ගෙන ඇති අය නිසා පාට අවශ්‍ය නැතත් අපේ අයට බෙදී සිටින්නට ඇති ආසාව නිසා තාමත් පාට අත්හැර නැහැ. බෙදීම් නැති කර එක්සත් වෙන්නට නම් පාට අත් හැරීමත් අවශ්‍යයි. 

අපේ රට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය දිගු කලක් තිස්සේ අත් විඳින රටක්. අපි මේ ක්‍රමය හඳුන්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලයි. මන්ත්‍රීන් බිහි වූයේ ඒ නිසයි. ඒ කියන්නේ අප හැමෝටම එකවිට පාර්ලිමේන්තුවට යන්න බැරි නිසා අප වෙනුවෙන් නියෝජිතයකු එහි කටයුතු කිරීම සඳහා පත් කර යැවීමයි. ඒ මන්ත්‍රීවරයාට අපි මහජන මුදලින් පඩි දෙනවා‍, සේවක මණ්ඩලයක් දෙනවා, වාහන දෙනවා, ඉන්ධන දෙනවා. ආරක්ෂකයන් දෙනවා. අපේ මුදල් පාලනය කරන්නට හා අපට අවශ්‍ය නීතිරීති සම්පාදනය කර දෙන්නට, අපට සතුටින්, සාමයෙන්, ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නට, තමයි ඔහුට පැවරූ රාජකාරි වන්නේ. ඔහු ඒ කටයුතු ඉටු කිරීමට බාර ගන්නේ දීවුරුම් දීමෙන් පසුවයි. ජනාධිපතිවරයාත් මේ දිවුරුමම දෙනවා. 

විරෝධයට එක් වූ නවසීලන්ත‍යේ ශ්‍රී ලාංකික යුවතියක් ක්‍රයිස්චර්ච්හිදී

එහෙත් ඇත්ත වශයෙන් ම මන්ත්‍රීවරයා හෝ ජනාධිපතිවරයා ඇත්තෙන් ම අපව නියෝජනය කරනවාද? මුලදී නම් අපේ පරම්පරාවේ අය සිතා සිටියේ එහෙම තමයි. එහෙත් දැන් තරුණ පරම්පරාව සිතන්නේ ඔවුන් අපට සේවය කරන්නට, පහසුකම් සපයන්නට, අපේ ආරක්ෂාවට අවශ්‍ය නීති සම්පාදනය කරනු වෙනුවට, අපේ වියදමෙන් ජීවත්වෙමින්, ආරක්ෂකයන් පිරිවරා ගෙන, තමාගේ සුඛ විහරණයට මුල් තැන දෙමින්, හිතමිතුරන්ට අපව සූරාකන්නට ඉඩ සලසා දෙන අපේ 'සතුරු පිරිසක්' ලෙසයි. ඔවුන් එවැනි තීරණයකට එළඹ ඇත්තේ ඔවුන්ට තමන්ගේ දෑස් ඉදිරිපිටට පෙනෙන දේ අනුවයි. 

ඒ නිසයි, පක්ෂවලට බෙදී තට්ටු මාරුවට බලය ලබා ගෙන තමන්ගේ නියෝජිතයන් කරන මේ විගඩම තවදුරටත් බලා සිටින්නට තරුණ පරපුරට බැරි වුණේ. හදිසියේ ම ඔවුන්ට ලයිට් නැතිවුණා. පෙට්රල් නැති වුණා. ඩීසල් නැති වුණා. භූමිතෙල් නැති වුණා. ගෑස් නැති වුණා. කෑම බීම හිඟ වුණා. දරුවන්ට කිරි පිටි නැති වුණා. එදිනෙදා ජීවිතය ගෙන යාම ප්‍රශ්නයක් වුණා. ඔවුන්ට එයින් තදින් රිදුණා. ඔවුන්ගේ ඇස් ඇරුණේ එවිටයි. ඔවුන් තමන්ම අතින් ලියා ගත් බෝඩ් අතින් ගෙන පාරට බැස්සා. ඒ වගේ ම දේශපාලනය ඔහේ කර ගෙන යන්නට ඉඩ හැර තමන්ගේ පාඩුවේ ජීවත් වූ පොදු ජනතාවටත් ඒ අමාරුව දැනුණා. ඒ නිසා ඔවුනුත් පාරට ආවා. එ්ක සාමකාමීව ඇරඹූ උද්ඝෝෂණයක්; ව්‍යවස්ථානුකූලව පැවැත් වූ එකක්. 

දින හතක් තිස්සේ මේ උද්ඝෝෂණ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රධාන නගර හැම එකක ම ඉන්නා ශ්‍රී ලංකිකයන් එකාවන්ව නැඟී සිට තවමත් අඛණ්ඩව කර ගෙන යනවා. 9 වැනිදා දිවයිනේ නන් දෙසින් ලක්ෂයක් පමණ ජනයා කොළඹ ගෝල්ෆේස් පිටියට රැස් වෙන බව දැන ගත් මෝඩ පාලකයන් ඊට බාධා කරන්න කළේ ගෝල්ෆේස් පිටිය හදිසි ප්‍රතිසංස්කරණයක් සඳහා වසා ඇතැයි කුඩා බෝඩ් ලෑල්ලක් එල්ලීමයි. ඒ නිසා ආ පිරිස් ගාලුපාර දෙපසත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටත් රැස් වී විරෝධය පළ කිරීමයි. ඒ අය මහ වැහි මැද මේ වන විටත් දෙවැනි දවසටත් නොකඩවා උද්ඝෝෂණය කරනවා. 

 අපේ කලාකරුවන්ගේ විරෝධය

ඒ අතර සෙනසුරාදාත් ඉරිදාත් කොළඹ නිදහස් චතුරස්‍රයටත් රැස්වුණු මේ විරෝධතා කරුවන් ඔවුන්ගේ විරෝධය පළ කළා. එහි රැස් වූ සාමාන්‍ය ජනතාව දැනුවත් කළා. ඒ වගේ ම අපූරු දෙයක් එහිදී සිදුවුණා. එහි විරෝධයට එක් වූ සහෝදර මුස්ලිම් ජාතිකයන්ගේ උපවාසය අවසානයේ දී ඉෆ්තූර් දානය සිංහල තරුණ පිරිස් අතින් පිරිනැමුණා. මේ විරෝධතා දැක්වූ හැම තැනක ම, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා හැම නගරයක ම අපට දකින්නට ලැබුණේ ශ්‍රී ලාංකිකයන්ගේ සමගියයි. තරුණ පරපුරේ සහභාගිත්වයේ කැපී පෙනීමයි. 

අපේ තරුණ පරපුර නො සලකා හැරීමට ලක්වෙලා! 

ලෝකයේ අනිත් රටවල තරුණ පරපුර මෙන් නොව අපේ තරුණ පරපුර වැඩි හරියක් නො සලකා හැරීමට ලක්වෙලයි තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයක් දීලා ඉදිරියට අරන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට තෝරා ගන්නා සොච්චම් ප්‍රතිශතයටවත් රජයෙන් නිසි සැලකිල්ලක් හා අවධානයක් ලැබෙන්නේ නැහැ. ඒ අයත් අද අසහනයෙන් ඉන්නෙ. ඊළඟට සියයට 80කටත් වැඩිය ඉන්නා උසස් අධ්‍යාපන වරම් නො ලබන තරුණ පරපුරට ඒ සැලකිල්ලවත් නැහැ. රජයේ පාලක පැළැන්තියේ ඉහළ තැන්වල ඉන්නා අයත්, සමාජයේ ඉහළ තැන්වල ඉන්නා අයත්, තමන්ට තරුණ දරුවන් ඉන්නා බව දන්නා නමුත් ඔවුනුත් විදෙස් රටවල උසස් අධ්‍යාපනය ලබන නිසා මෙරට අනෙක් තරුණ ප්‍රජාව ගැන තැකීමක් ඒ අයට නැහැ. 

අපේ පාලන බලය අල්ලා ගන්නා අයටත් අනාගත පරපුර ගැන සිතන්නට අවශ්‍යතාවක් නැහැ. අනික් අතට වසර ගණනාවක් තිස්සේ අපට හැමදාම පාලනයේ ඉන්නවා පෙනෙන්තෙන් එකම මුහුණු ටිකමයි. දැන් වැඩිහිටි අපටත් ඒ මුහුණු එපා වෙලයි තියෙන්නෙ. ඔවුන්ට අලුත් අදහස් නැති බව අපට විතරක් නෙවෙයි, දැන් ඉන්නා තරුණ පරපුරටත් තේරිලා. මෙච්චර කලක් අපි හිතුවෙ ඡන්දෙ දීලා බලයට පත් කළාට පස්සෙ ඒ අයට ඕනෑ විදියට කර ගන්න ඇරලා 'බකං නිලන්' ඉන්න ඕනෑ කියලයි. බලයට එන අයත් හිතනව එහෙම ම. ඒකයි ගෙයක් ඉඩමක් බදු ගත්තම වගේ 'තව බද්ද ඉවර නෑ කට පියා ගෙන ඉඳපල්ලා කියලා' ජොනාලා රත්තරන්ලා අපට තර්ජනය කරන්නෙ. ඒක වැරදි බව අපේ තරුණ පරපුරට තේරිලයි අපේ කෙල්ලො කොල්ලො පාරට බැහැලා තියෙන්නේ. 

තෝරා පත් කර ගත්තට පස්සෙ අපට ඕනැ විදියට, මහජන සුවසෙත සැලසෙන විධියට, අපේ වගකීම් බාර ගත්ත අය ඒවා ඉටු කරන්නෙ නැත්තන් ඒකට එරෙහි අපේ කටහඬ අවදිකරන එක අපට තියෙන අයිතියක්. අපේ ම දේපළවලට හානි කර ගන්නේ නැතුව සාමකාමීව කරන මේ උද්ඝෝණය කඩාකප්පල් කරන්න එන පාලකයන්ගේ ගැත්තන් වගේ ම බොරදියේ මාළු බාන්න එන වහලුනුත් පලවා හරින්න අපේ තරුණයන් පියවර ගන්නවා අප දුටුවා. ඒ ගැන වැඩිහිටි අපේ ආශිර්වාදය ඔවුන්ට හිමිවෙන්න ඕනෑ. පාලකයන්ගේ ඇස් අරෙනතුරු විරෝධය ගෙනියන්න ඕනෑ. 

නායකත්වයක් නැති උද්ඝෝණයක් කියලා මේ පිබිදීම සමහරු හඳුන්වනවා මට ඇහෙනවා. ඒත් ඒක බොරුවක්. මෙහිදී නායකත්වය ලබා දී ඇත්තේ චින්තනයකටයි. 'උඹලා මෙතෙක් ආ මග වැරදියි! දැන් යන මඟත් වැරදියි! මේ යන විධියට අපට රටක් ඉතුරුවෙන්නේ නැහැ. ඒකයි, නායකයාටයි 225ටමයි ඉවත් වෙන්න කියලා ඒ චින්තනය හමුවේ, උතුරු -දකුණු භේද, ජාතිභේද කුලභේද, පක්ෂභේද, ආගම්භේද, භාෂාභේද, හිරු දුටු පිනි සේ අතුරුදන්ව ගියා විතරක් නොවෙයි, රටේ ප්‍රජාව එකම එක චින්තනයක් යටතට එක් වෙලා, එකම ජාතියක් බවට පත් වෙලා තියෙනවා. 

 
'ඔබ රිදෙව්වේ වැරදි පරම්පරාවටයි!'

තරුණයන්ගේ උද්යෝග පාඨ අතර එක් විශේෂ පාඨයක් කෙරෙහි අපේ අවධානය යොමුවුණා. වත්මන් පරපුරේ මතයක් කැටි කොට ඉංග්‍රීසියෙන් ලියා තිබූ ඒ පාඨය මෙරට විතරක් නොවෙයි, විදේශ රටවල තරුණියක් අතේත් තිබෙනවා අප දුටුවා. එහි සටහන්ව තිබුණේ You F**k the Wrong Generation කියායි. සැර ඉංග්‍රීසි වදනක් සහිත වූ එය ම මෙරට තරුණ පරපුර අත තිබුණේ You Hurt the Wrong Generation කියායි. එහි සිංහල අරුත 'ඔබ රිදෙව්වේ වැරදි පරම්පරාවටයි!' යන්නයි. ඒ නිසා ඔවුන්ගේ මේ ප්‍රකාශනය හෑල්ලුවට ගන්න හොඳ නෑ කියලයි මට හිතෙන්නෙ. තවත් පාඨයකින් කියැවුණා, 'මින් ඉදිරියට පාරේ යා යුතු එකම VIP වාහනය ඇම්බියුලන්ස් එක විතරයි' කියලා. ඒකත් පාලකයන්ගේ අවධානයට ලක්විය යුත් දෙයක්. 

වර්තමාන පාලනයට වැරදුණේ කොතැනද? 

පාර්ලිමේන්තුවෙන් මුදල් පාලනය ගලවාගෙන කැබිනට් එකට පවරා ගෙන කැබිනට් එකේ ප්‍රධානියා හැටියට ජනාධිපතිවරයා අතට ගැනීම බොහෝ වැරදීම්වලට මඟ පෑදුවා. බලයට පත් වූ ගමන් ම ජනාධිපතිතුමා කළේ ව්‍යාපාරිකයන්ට බදු සහන දීමයි. එයින් මිලියන 600ක් ආදායම රජයට එක රැයෙන් අහිමි වුණා. ඊළඟට දස වසරක් පියවරෙන් පියවර කිරීමට ඔහුගේ 'සෞභාග්‍යයේ දැක්මෙ'න් යෝජනා කළ රසායනික පෝරවලින් කාබනික පොහොරවලට හැරවීමත් එක රැයෙන් තීන්දු කළා. රසායනික පෝර හා කෘෂිරසායනික හා පළිබෝධ නාශක තහනම් කළා. 

ඒ අවදානම් පියවර ගැන අදහස් දක්වමින් එයින් අනාගතයේ ආහාර හිඟයක් ඇති විය හැකි යැයි කී කෘෂිකර්ම අධ්‍යක්ෂක පමණක් නොව කෘෂි විශේෂඥ උපදේශකයන් ද ගෙදර යැව්වා. ගොවීන්ට කාබනික පෝර හදා ගෙන වගා කරන්නැයි බල කළා. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඔවුන්ට දුන්නේ නැහැ. ඉදිරි අස්වැන්න ගැන සැක පහළ කළ ගොවීන්ට කාබනික පෝර කෙසේ හෝ ලබා දෙන බව කීවත් ඒවා සාර්ථක වුණෙ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම විරෝධය පළ කරමින් පාරට බැස්සේ ගොවීන්. ඒත් පාලකයන් විවිධ බොරු කියමින් ඔවුන්ගේ ඒ විරෝධය නොසලකා හැරියා. 

විරෝධයට එක් වූ නවසීලන්ත‍යේ ශ්‍රී ලාංකික පිරිස්

ඇත්ත වශයෙන් මේ ක්ෂණික පියවර ගත්තේ විදේශ සංචිත, ඩොලර් හා ණය අර්බූදය හේතුවෙන්. ඒත් ඒ බව ජනතාවට කීවේ නෑ. විරුද්ධ පක්ෂය ඒ ගැන අනතුරු හැඟවුවත් එවැනි ගැටලුවත් නැතැයි ඇති තරම් ඩොලර් ඔවුන් සතුව ඇති බවත් මුදල් ඇමතිත්, මහ බැංකු අධිපතිත්, මැති ඇමතිවරුනුත් පුන පුනා කීවා. ජනතාවට ඔවුන් කියන්නේ බොරු බව තේරුම් ගැනීමට වැඩි කලක් ගියේ නෑ. එකපාරට තෙල් හා ගෑස් ගෙනා නැව්වලට ගෙවන්න ඩොලර් නැතුව ගියා. තෙල් හා ගෑස් නැතිවුණු ගමන් ජන ජීවිතය කඩා වැටුණා. සතියෙන් දෙකෙන් ඒ ගැටලු විසඳන බව කීවත් ඒවා නිකම් හිස්ප්‍රලාප විතරක් වුණා. තවමත් ඒවා එහෙමමයි. තරුණ පරපුර පාරට බැස්සේ බැරිම තැනයි. අපේ රටේ ඉන්නා ඥාතීන්ට මුහුණ පාන්න සිදු වූ මේ අර්බුදය දැන ගත් ලොව පුරා ලාංකිකයන් පාර බැස්සා. 

මෙවැනි තත්වයක් යටතේ අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමෙන් පලක් වන්නේ නැහැ. මෑත කාලයේ එනම් 2020 හා 2021 වසරවල විතරක් 44 වතාවක් ඇමති පදවි වෙනස් කර තියෙනවා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේ 28 වතාවක් ද මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගේ කාලයේ 9 වතාවක් ඇමති කුට්ටම අනලා තියෙනවා. ඒවායින් වෙන්නේ සේවාවන් අඩාල වීමයි. ඇමතිවරුන් විතරක් නොවෙයි විෂය පථයන් වෙනස්වීමෙන්, දෙපාර්තමේන්තු වෙනස් වීමෙන් ඒවා යළි සැකසීමට අනවශ්‍ය වියදමක් වැය කරන්න සිද්ධ වෙනවා. හෙට (11 දා) ආයිත් වතාවක් ඇමති කුට්ටම අනන්නයි යන්නේ. එහි දී වචාලයන් කියන්නේ ඔවුන් පසෙකට වී විපක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දුන්නත් ඉන් පලක් නූනු බවයි. ඊළඟට ජනාධිපතිතුමා කීවේ අඩු ආසන සංඛ්‍යාවක් ඇති විපක්ෂයේ අයට ඕනෑම කෙනෙකුට ඉදිරියට විත් ඇමතිකම් බාර ගෙන කරන්න කියායි. ඒ කිසිවක් විපක්ෂය විශ්වාස කරන්නේ නැහැ. තාමත් දෙගොල්ල අවලාද නඟා ගන්නවා මිසක් සාකච්ඡාවලින් පලක් වුණේ නැහැ. 

පාරට බැස්ස අපේ තරුණ පරපුර ඉල්ලන්නේ ක්‍රමවේදයේ (System Change) වෙනසක්. අපේ රට යන අත ගැන ඔවුන් තුළ විශ්වාසය බිඳ වැටිලා. ආණ්ඩුවේ මුදල් පාලනයෙන් වැඩි පංගුවක් (සියයට 72ක්) අතට අරන් සිටි රාජපක්ෂ පවුලේ අය ගැන ඔවුන් තැබූ විශ්වාසය බිඳ වැටිලා. ඒකයි ඔවුන් මෙසේ ඔවුන්ට ගෙදර යන්නැයි උද්ඝෝෂණය කරන්නේ. 

ඉදිරියේ දී කළ යුත්තේ කුමක් ද? 

දැනට ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මේ අර්බූදයට ඉක්මන් විසඳුමක් ගෙනා යුතුයි. කෙසේ හෝ සති කීපයක් ඇතුළත ඩොලර් සොයා ගෙන මේ අත්‍යවශ්‍ය ආනයන, තෙල්, ගෑස්, බේත් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනා යුතුයි. (නැත්නම් කොවිඩ්වලින් සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවකට මුහුණ දිය යුතුයි.) ඒ සමග ම පාර්ලිමේන්තුවත් හවුල් කර ගෙන ඉදිරියේ දී දූෂණ මඟ හරවා ගැනීම සඳහා ව්‍යවස්ථාව තුළ යම් යම් සාධනීය වෙනස්කම් කරමින් නැතිවූ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කළ යුතුයි. 

එය කළ නොහැකි වුවහොත් ඊට හේතුව පාලකයන් තරුණ පරපුර තේරුම් ගැනීමට අසමත් වීමයි. නැති නම් සමහර විට අපේ නායකයන් නියම රාජතන්ත්‍රිකයන් නොවීමයි. එ්ත් නැතිනම් ඔවුන් තරුණ පරපුර තේරුම් ගැනීමට තරම් වයස් පරතරයෙන් වැඩි වීමයි. 

මේ තත්වය එක රැයෙන් වෙනස් කළ හැක්කක් නොවේ. අනාගතයේ තරුණ ප්‍රශ්න තේරුම් ගත හැකි වයස්වල රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරින් නායකයන් ‍තෝරා ගැනීමට හැකි වන අයුරින් ව්‍යාවස්ථාව වෙනස් කළ හැකියි. එවිට අපේ රටේ තරුණ පරපුරටත් අපේ රටේ පාලනය අතට ගත හැකි වේවි. 

දැන් ලෝකයේ රටවල පාලනය තරුණ පරපුරට අතට පත් වෙමින් තියෙනවා. මේ මොහොතේ අවුරුදු 40ට අඩු රාජ්‍ය නායකයන් රැසක් ඉන්නවා. නවසීලන්තයේ අගමැතිනි 39 හැවිරිදි ජසින්ඩා ආඩන් (Jacinda Ardern) ප්‍රශස්ත ලෙස එරට පාලනය ගෙන යන බව පසුගිය වසර කීපය තිස්සේ ම ප්‍රකට කළා. පසුගියදා පින්ලන්තයේ අගමැති පදවියට පත් 34 හැවිරිදි සානා මාරන් (Sannar Marin) මේ තරුණ පාලකයන් අතරට එක් වූ අලුත් ම මුහුණයි. දැන් යුද්ධය පවතින යුක්‍රේනයේ අගමැති පදවිය හොබවන ඔලෙක්සියි හොන්කරුක් (Oleksiy Honcharuk) 35 වියේ පසුවන්නෙක්. උතුරු කොරියාවේ රාජ්‍ය නායකයා ජනාධිපති කිම් ජොන් උන් (Kim Jong Un) 35 හැවිරිදි අයෙක්. මේ ලැයිස්තුව හරි දිග එකක්. මා එයින් කීපයක් දැක්වුයේ නිදසුනක් හැටියටයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments