'මිනිස් පොතක්' කියවන්න මානව පුස්තකාලයට (Human Library) යන්න. සාමාන්‍යයෙන් පුස්තකාලයක් කරා අප යන්නේ මිනිසා විසින් ලියන ලද පොතපත කියවන්නයි. ඒත් මේ මානව පුස්තකාලයේ ඇත්තේ 'මිනිස් පොත්' (Human Books) හෙවත් (Living Books) තමයි. මේ මානව පුස්තකාලය විසි එක් වන සියවසේ බිහි වූ නව සංකල්පයක්. දුරස්ථව අනුමාන කරන දැනුමට වඩා, මුහුණට මුහුණලා හිඳ ලබන, ප්‍රත්‍යක්ෂ දැනුමෙහි වැදගත්කම පෙන්වා දීමයි, මානව පුස්තකාලයේ අරමුණ වන්නේ.
මානව පුස්තකාලය සැලසුම් කර ඇත්තේ සාම්ප්‍රදායික කියවීම් අනුව පොත් කියවීමෙන් බැහැරව සත්‍ය ප්‍රකාශනයට වඩාත් සමීපවෙමින් ලෝකය හා සමාජය තේරුම් ගන්නට 'පාඨකයනට' ඉඩ සලසා දීමටයි. ඒ සඳහා අවබෝධය දෙන්නට වෙන ලිඛිත ප්‍රකාශන තියෙනවා. යමකුගේ වෘත්තිය, ඔහු අයත් වන ප්‍රජාව, ජීවන මාර්ගය, ජිවන රටාව, කුසලතාව, චර්යාව, වීරත්වය, සූරත්වය, ලබ්ධිය, කැප වී ඇති කාර්යය, සමාජ තත්වය, සමාජ සේවය, දර්ශනය, ඔහු නියෝජනය කරන සමාජය, ඔහුගේ විනෝදංංශය, යමකු සතු ලෝලිත්වය ආදි විවිධ මාතෘකා යටතේ මේ මානව කෘති වර්ග කර තියෙනවා.
ඒ පොත්වලටත් සාමාන්‍ය පොත්වලට වගේ කවරයක් යොදා විස්තරයක් ඇතුළත් කර තියෙනවා. ඒ ඔබ මානව පුස්තකාලයේ පාඨකයකු නම් ඔබට ඔබේ තෝරා ගැනීම පහසු වෙන්නයි. ඇත්ත වශයෙන් ම සාමාන්‍ය පොතක කවරයකින් ඇතුළේ ඇති දේ හරියට ම මනින්න බැහැ. එසේ ම මානව කෘතියක වුනත් පිට පෙනුමෙන් එය මනින්න බැහැ. මානව පොත් කියවීම සාර්ථකව කරන්නට හැකිව පරිදි මූලික ලේඛන පුස්තකාලයේ තියෙනවා. ඒ වගේ ම පුස්තකාලයාධිපතිවරුන් මේ සඳහා අවශ්‍ය සෑම සහයක් ම ඔබට ලබා දෙනවා.
2000 වසරේ ඩෙන්මාකයේ අගනුවර වූ කෝපන්හේගන් නගරයේ දී තමයි. නව සංකල්පය බිහි වුණේ. එහි නිර්මාතෘන් වන්නේ රොනී ඇබර්ගල් (Ronni Abergel) හා ඔහුගේ සොහොයුරා වූ ඩැනී සමග ඇස්මා මෝනා හා ක්‍රිස්ටෝෆ්ර් එරික්සන් යන සගයන් දෙදෙනායි. ඔවුන්ගේ මේ මානව පුස්තකාලය පිහිටුවා ඇත්තේ ලාබ නොලබන අන්තර්ජාතික සංවිධානයක් ලෙසයි. එහි මූලස්ථානය ඇත්තේ කෝපන්හේගන් නුවරයි. එහි අරමුණ, මෙම ක්‍රියාවලිය ලොව පුරා සාධාරණව, උසස් තත්වයෙන්, ලොව පුරා හැම දෙනකුට ම සමානව සේවාව ලබා ගැනීමට හැකි වන සේ පවත්වා ගෙන යාමට ආධාර කිරීමයි.
මෙම මානව පුස්තකාලය ආසියාව, අප්‍රිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව, උතුරු සහ දකුණු ඇමෙරිකාව යන මහාද්වීපවල රටවල් 85ක ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ පමණක් මානව පුස්තකාල නවයක් දිල්ලිය, මුම්බායි, හයිද්රාබාද්, චෙන්නායි ඇතුළු නගරවල ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රී ලංකාවේ පුස්තකාලවල අංශයක් ලෙස තවම මේ මානව පුස්තකාලය පත් වෙලා නැහැ. ඒත් මේ අත්දැකීම අවස්ථා කීපයක දී අපේ අයටත් ලබා ගත හැකි වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් විශ්වවිද්‍යාලයීය පුස්තකාලය මගින් 2019 මාර්තු මාසයේ 27 වැනිදා මානව පුස්තකාල සැසියක් පැවැත්තුවා. එහි දී මානව කෘති හැටියට විවිධ ක්ෂේත්‍රවල පුමුඛ චරිත තෝරා 'මානව කෘති' ලෙස මානව පුස්තකාල සැසියකට කැඳවා තිබුණා.
ඒ 'මානව කෘති' අතරට, අධිකරණ සංඝනායක හිමිනමක් (පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි), ආදිවාසී නායකයා (ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ), ප්‍රවීණ රංගන ශිල්පිනියක් (කෞශල්‍යා ප්‍රනාන්දු), ජනකලා ශිල්පියෙක් (සහන් රන්වල), ප්‍රාසාංගික කලාකාරිනියක් (ඉන්දිකා උපමාලී), පරිසරවේදියෙක් (තිලක් කන්දෙගම), ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (මහාචාර්ය නාරද වර්ණසූරිය), අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් (මහාචාර්ය මුදිත විදානපතිරණ) ආදීන් ඇතුළත් වුණා.
2019 ජූලි 10 වැනිදා නීති විද්‍යාලයේ අනුග්‍රහය ඇතිව එහි ප්‍රධාන පුස්තකාලයේ දී මානව පුස්තකාල ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවුණා. එහි දී සිදුවුණේ නීති සිසුන්ට ඒ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් ඇති විශේෂඥයන්ගේත්, සම්මානනීය අයගේත් අත්දැකීම් ඔවුන්ගෙන් කෙළින් ම අසා දැන ගන්නට හැකිවීමයි. ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හය දෙනකු සහභාගි කරවා ගත් අතර සිසුන්ට ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරු ගත හැකිවුණා.
ඒ වගේ ම යම් පුස්තකාලයකට මානව පුස්තකාල අංශයක් පිහිටුවා ගන්න අවශ්‍ය නම් මුලින් ම කරන්න අවශ්‍ය වන්නේ වර්ගීකරණයක් සකසා ගැනීමයි. ඊට පස්සේ එකී වර්ගීකර'ණයට අනුව, එක්වීමට කැමති සම්පත්දායකයන් හඳුනා ගැනීම අවශ්‍යයි. ඔවුන් ලැයිස්තු ගත කරගෙන වේලාවන් වෙන් කර පාඨකයන්ට දැනුම් දී ඒ දෙගොල්ලන් මුණ ගැස්වීම සිදු කරනවා. මෙහි දී එක්වන 'මිනිස් පොත්'වලට ගෙවීමක් පවා මහජන පුස්තකාලයෙන් සිදු කෙරෙනවා.
නවසීලන්තයට ගිය අවස්ථාවක මා එහි නගර සභා පුස්තකාලයකදී දුටුවා, මේ ආකාරයේ සේවාවක් කරන බව දැක්වෙන දැන්වීමක්. එහි කියා තිබුණේ 'ඔබට දැනුම ලබා ගැනීම අවශ්‍ය ක්ෂේත්‍රවල ප්‍රවීණ හා වගකීමක් ඇති අය මුණ ගස්වන සේවාව' එහිදී ලබාගත හැකි බවයි. කෙළින්ම විශේෂඥයන්ගෙන් දැනුම ලබා දෙන ඒ සේවාවෙනුත් සිදු වන්නේ මානව පුස්තකාලයක කාර්යය ම තමයි.
මේක නව සංකල්පයක් ලෙස සංවිධානාත්මකව පුස්තකාලයකට ඇතුළත් කෙරුණත් පොත්පත් එන්න පෙර අපට දැනුම ලැබෙන්න ඇත්තේත් 'මිනිස් පොත්'වලින් වෙන්න බැරිද? දඩයමේ ගිය අපේ මුතුන්මිත්තන් වූ ආදිවාසීන් ඔවුන්ගේ අත්දැකීම් අපට ලබා දෙන්නට ඇත්තේත් මේ විදියට ම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ.
- පර්සි ජයමාන්න
0 Comments