HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගාලු මුවදොර අරගලයේ ලොකුම ජයග්‍රහණය කුමක් ද?

‍තවමත් අඛණ්ඩව ‍ගෙන යන ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලය අපේ රටේ හුඟක් දෙනෙකුගේ ඇස්කන් ඇරෙව්වා. මෙතෙක් අප නො දුටු දේ අපට පෙන්නුවා. සිංහ කොඩිය අතට ගන්න වැඩි කැමැත්තක් නැතිව හිටි අය හැමෝගෙ ම අතට සිංහ කොඩිය ගෙන ගියා. අද අපි සියලු පාට පක්ෂ, වර්ණ ජාතිභේද අත්හැර එක ධජයක් යටත්ට පිවිස එකම ශ්‍රී ලාංකික ජාතියක් බවට පත්ව සිටිනවා; යටත් වැසියන්ව සිටි සියලු දෙනාම පුරවැසියන් බවට පත් වී තියෙනවා. ජාතික සමගිය උපරිම තලයට ගෙනාවා. ඒ වුනත් අරගලයේ මුඛ්‍ය පාඨය වූ 'ගෝටා ගෝ හෝම්' යන්නත් 'අපට සිස්ටම් චේන්ජ් එකක් ඕනෑ' යන්නත් තවමත් ඉටු නොවුනත්, මේ අරගලයෙන් ලැබුණු දේ බොහොමයි. ඒ බව මං කලිනුත් කිව්වා. 

නව අමාත්‍ය මණ්ඩලය පත් කළ වේලේ ජනපති කතා කළ අයුරු

එයින් සිදුවුණු ලොකු ම දේ තමයි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපේ මුළු රටේ ම ජනතාවට ම බලපෑ ලොකු ම ගැටලුව වූ කාබනික පොහොර ප්‍රශ්නය ඇති කළ තමාගේ අත්තනෝමතික තීන්දුව ගැන 'මට වැරදුණා' කියලා පිළිගත්තු එක. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එයාගේ 'දූෂණය නැති කොට සිස්ටම්චේන්ජ් කරන්න දාපු' අලුත් කැබිනට් එක පත් කරපු වෙලාවෙ කළ කතාව ඇහුවාම මට මගේ අතීත අත්දැකීමක් මතක් වුණා. 

ඒක සිද්ධ වුණේ ගණේමුල්ලෙදි. අපි හවස වැඩ ඇරිලා එනකොට. ඒ වෙලාවෙ දුම්රිය පළ අසල හරිම කලබලයි. දුම්රියෙන් බහින අපිට දුම්රිය පිටත්වෙන කම් රේල්පාර හරහා යන්න බැහැ. ඒ හින්ද දුම්රියේ ගාඩ් පෙට්ටිය පාස් වෙනකම් ඉඳලා මමත් මිනිස් පොදියත් එක්ක පාර හරහා ගියා. දුම්රිය හරස් පාරට හිරවෙලා හිටිය වාහන මිනිස් පොදියත් එක්ක ම කන්ද නගින්න පටන් ගත්තා. 

සෙනග අතරින් රිංගා ගෙන අයින දිගේ රේල්පාර පනින කොට එකපාරටම මට ඇහැ ගැහුණේ පාර අයිනේ උන්නු පොලිස් රාළහාමිලා දෙන්නාට උස් හඬින් කතා කරමින් හිටි තරුණියක්. මට තේරුණු විදියට ඇය කීවේ ඇයට එවේලේ මොකක් හරි කරදරයක් කරන්න ආ තරුණයෙක් ගැනයි.

'කවුද මිනිහා?' එක රාළහාමි කෙනෙක් අහුවා.

'අර යන බස් එකේ එල්ලුණා.' 

'කොහොමද අඳුනා ගන්නේ?' 'රතු කමිසයක් ඇඳපු එකෙක්' 

රාළහාමිලා බස් එක නවත්තන්න කියලා කෑගැහුවත් රියැදුරාට ඇහුණෙ නෑ. රාළහාමිලත් පස්සෙන් එලෙව්වා. සෙනඟ හින්ද කන්ද උඩට යන කම් බස් එක නවත්ත ගන්න බැරි වුණා. මා යායුතු බසය කන්ද උඩින් පිටත්වෙන නිසාත් රාළහාමිලා කරන්න යන දේ ගැන තිබූ කුතුහලය නිසාත් මමත් රාළහාමිලා දෙස ඇහැ තියාගෙන කඩිනමින් ඒ පසුපස ගියා. 

කට පුරෝලා සෙනඟ අරන් අමාරුවෙන් කන්ද නැග්ග බසය බස්ටෑන්ඩ් එකේ නැවැත්තුවා විතරයි, ඒ වෙත දිව ගිය එක රාළහාමි කෙනෙක් ඇඟිල්ල උළුක්කල්ලා රියැදුරාට මොනවද කිව්වා. අනිත් රාළහාමි පාපුවරුවේ එල්ලිලා හිටිය මිනිස් පොදිය අතරින් රතු කමිසකාරයෙක් ඇදලා එළියට ගන්නවා මට පෙනුණා. ඒ එක්කම බස් එක ඇදලා යන්න ගියා. 

රාළහාමිලා දෙන්නා මොනවාදෝ කියමින් ඒ හාදයාට මෙලෝ සිහියක් නැතුව නෙලන්න පටන් ගත්තා. ඒ හාදයාගේ නාහෙන් කටෙන් ආ ලේ රතුපාට කමිසයේ පාට තවත් වෙනස් කළා. ඔහු 'ගහන්න එපා! ගහන්න එපා!' කීවා මිස වෙන කිසි දෙයක් කීවේ නෑ. අන්තිමේ දී ඒ කතාවත් නතර වෙලා බිම නිසලව වැතිරුණා. 

පස්ස හැරිලා බලපුවාම අර කෙල්ලත් හති දාගෙන දුවගෙන එනවා. මං අයිනට වෙමින් ඇයට ඉඩ දුන්නා. ඈ මා පසුකර ගියා. 

'අනේ රාළහාමි මෙයා නෙමෙයි, මිනිහා.' කෙල්ල ඒ අසලට යන ගමන් කිව්වා. 

'මොනවා!' රාළහාමිලා දෙන්නා එක විටම කීවා. 

'අනේ මල්ලි, අපට වැරදුණා. සොරි! උඹට අමාරු නෑනේද? නැඟිටලා ගිහින් අර ආණ්ඩුවෙ ඩිස්පැන්සරියෙන් බේත් ටිකක් දා ගනින්.' කී රාළහාමිලා යන්න ගියා. 

මං බිම වැටිලා හිටිය තරුණයා දිහා බැලුවා. ඔහුට නැඟිට ගන්න අමාරුයි වගේ. මං කෙල්ල දිහා බැලුවා. ඈ පේන්න හිටියෙ නෑ. මා යායුතු බසයත් පේන්න තිබුණේ නෑ. තරුණයා ළඟට ගිහින් අතින් අල්ලා නැඟිට්ටෙව්වා.

'ඔයාවත් මට කියල දෙනවද ඒ රාළහාමිලා මට ගැහුවෙ ඇයිද කියලා.' ඔහු කෙඳිරිලි හඬින් ඇහුවා.

'මං හිතන්නෙ ඔයාගෙ වැරැද්ද රතු කමිසයක් ඇඳලා හිටපු එක' යි කී මම ඔහු අතින් අල්ලා ගෙන අසල තිබූ බෝදරගම වෛද්‍යතුමියගේ ඩිස්පැන්සරියට කැටුව ඔහුගේ තුවාලවලට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළා. 

වසර පනහකට ඉස්සර මා අත්දුටු ඒ සිදුවීම මට අද වගේ මතක තියෙන්නෙ එහි තිබූ භයානක ස්වරූපය නිසයි. ඒ කාලේ මානව හිමිකම් තිබුණෙවත් එවැනි වැරැද්දකට පිළිසරණක් සොයා යන්න තරම් තැනක් තිබුණෙවත් නැහැ. 

එදා රාළහාමිලා කීවා වාගේ 'මට වැරදුණා!' කියලා අතහෝද ගන්න ජනාධිපතිතුමාට බැහැ. එදා එක මිනිහෙකුටයි බඩේ පාර වැදුණේ. මෙදා මේ තීන්දුවෙන් මුළු රටේ සමස්ත බත් කන ජනතාවට ම බඩේ පාර වැදුණා. ඒ නිසා ඒක නිවැරදි කරන හැටි සමාව ඉල්ලන ගමන් ම කරන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑ. කාබනික පොහොර ආපසු ලබා දීමෙන් ම පමණක් ඒක නිවැරදි කරන්න බැහැ. 

ගෝඨාගෝගමට විත් සෙල්ෆි ගහන කතුන් දෙදෙනෙක්

එදා මහ කන්නයේ අස්වැන්න සියයට හැටකින් විතර අඩු වීම හින්දා, ඒවා කෑමට ගත්තාම ඊළඟ යළ කන්නය වගා කරන්න බිත්තර වී ඉතුරු වෙන්නේ නැහැ. දැන් වගා කරන්න බිම් සකස් කරන කාලේ නිසා යළ කන්නය වගා කිරීමට පොහොර ගෙනත් දෙන එක හදිස්සියට කරන්නත් පුලුවන්කමක් නැහැ. ඒ නිසා තමයි, මේ තීන්දුව ගන්න කියලා හදන වෙලාවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු ප්‍රාමාණික උගතුන් කීවේ, එයින් 'ආහාර හිඟයක් ඇති වේවි, ඒ තීන්දුව ගන්න එපා' කියලා. වාචාල ඇමතියා කීවේ, 'මම බොහොම වගකීමෙන් කියනවා, එහෙම ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. බොරුවට ජනතාව බියවද්දනවා ' කියලා කෘෂිකර්ම අධ්‍යක්ෂ ගෙදර යැව්වා. 

දැනුත් හාල් හිඟයක් තියෙනවා. ඒ නිසයි හාල් පිටරටින් ගේන්න පටන් ගත්තේ. ඒවාට ඩොලර් වැය කළාම අත්‍යවශ්‍ය බේත් හා වෛද්‍ය උපකරණ ගේන්න ඩොලර් නැතුව යනවා. රුපියල් අච්චු ගැහුවෙ නැත්නම් තව මාස දෙකකින් රජයේ පඩි ගෙවන්නවත් සල්ලි නැති වේවි. අනිත් අතට ජනාධිපති පදවි ප්‍රාප්තය සිදු වූ ගමන්ම විශාල රජයේ බදු කප්පාදුවක් සිදු කළ නිසා රජයේ ආදායමෙන් විශාල කොටසක් අහිමි වුණා. සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශ රැකියාවලින් අපේක්ෂිත ආදායම ලැබුණෙත් නැහැ. 

අවුරුදු ගණනාවක් තිස්සේ ම ටිකෙන් ටික වැඩිවෙමින් ආ අයවැය පරතරය ඔරොත්තු දෙන්නෙ නැති තරමට වැඩි වුණා. මුදල් පරිපාලනය නිසි ලෙස කළමනාකරණය කරන්න සුදුසු අය පත් කර ගන්න ජනාධිපතිතුමා සමත් වුණේ නැහැ. ඒ නිසා ඩොලර් හිඟය උග්‍ර වුණා. එදිනෙදා ලැබෙන ඉන්ධනවලට ගෙවා ගන්න අවශ්‍ය ඩොලර් නිසි වෙලාවට සොයා ගන්න බැරි වුණා. ඒ නිසා නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවන්නත් සිද්ධ වුණා. එදිනෙදා ජීවිතය ගෙවා ගන්න එක මහජනතාවට විශාල ප්‍රශ්නයක් වුණා. 

කලින් පෝර ඉල්ලලා ගොවියන් පාරට බැස්සාම ඒක ගණන් නොගත්තා වාගේ ඉන්ධන හා ගෑස් ඉල්ලා මහජනතාව පාරට බැස්සාම ඒක ගණන් ගත්තෙත් නෑ. පැය ගණන් විදුලිය කැපුවා. බඩු මිල අහස උසට යන්නට පටන් ගත්තා. තරුණයන්ට රිදුණේ ගෙදර අම්මලා තාත්තලාට ජීවත්වෙන එක අසීරු වුනාමයි. 

ඊට පස්සෙ මිරිහාන අවට තරුණ තරුණියන් මිරිහානේ ජනාධිපති නිවස වට කර සිය විරෝධය පළ කරන්න එක් රොක් වුණා. ජීවත්වීමේ අයිතිය ඉල්ලා නිරායුදව උද්ඝෝණය කළ පිරිස්වලට පොලීසිය ජල ප්‍රහාර එල්ල කළා. කඳුළු ගෑස් ගැහුවා. කැරැල්ලක් බව පෙන්වන්න එතැනට ආ හමුදා බස්රථයකට ගිනි තිබ්බා. ඒ වුණාට බස් රියට ගිනි තිබ්බ වීඩියෝ තිබුණත් කළ අය අඳුනා ගන්න බැරි වුණා. ඒ උද්ඝෝණය කළ කොල්ලන්ට ගහලා එළෙව්වා. සමහර තරුණයන් අත් අඩංගුවට ගත්තා. හදිසි නීතිය දැම්මා. ඇඳිරි නීතිය දැම්මා. පහුවදා ඒවා ඉවත් කර ගත්තා. භාෂණයේ නිදහස හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය වෙනුවෙන් නීති ප්‍රජාව හය සිය ගණනක් තරුණයන් වෙනුවෙන් නොමිලයේ පෙනී සිටියා. චෝදනා සම්පූර්ණ කර නොතිබීම නිසා තරුණයන්ට ඇප ලැබුණා. 

මේ සිදුවීමට විරෝධය පාන්නට නිර්පාක්ෂික උද්ඝෝෂණයක් සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ පරපුරට ගාලුමුවදොරට 9 වැනි ඉරිදා එන්නැයි පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. 'සාමකාමී තරුණ අරගලය සඳහා ආදරය විතරක් අරන් එන්න!' ඒ අනුව එදා උදේ පටන් තරුණ තරුණියන් ගාලුමුවදොරට එක් රොක් වෙන්න පටන් ගත්තා. එදා සිට අද වන තෙක් ඔවුන් එතැන සිට 'ගෝටා ගෝ හෝම්' කියා උද්ඝෝෂණය කරනවා. ඒ ස්ථානය ඔවුන් 'ගෝඨාගෝගම' කියා නම් කර තියෙනවා. ඔවුන් ගාලුමුවදොර උද්ඝෝණය දැන් තරන්නේ 13 වැනි දිනයටයි. 

ජනාධිපති කාර්යාලය මතට පතිත කළ ලේසර් සංදර්ශනය

ඔවුන්ගේ මේ විරෝධය හරිම නිර්මාණශීලියි. උද්ඝෝණය යන අතර එහි බොහෝ වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. සාකච්ඡා මණ්ඩප පවත්වනවා. පසුගියදා මහජන විශ්ව විද්‍යාලයක් පවා විවෘත කෙරුණා. ඒ විශ්ව විද්‍යාලය විවෘත කරමින් කතා කළ සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ කීවේ, 'මෙවැනි අරගලයක් ඔහුගේ ජීවිතකාලය තුළ කිසිදාක නුදුටු බවයි. මේ තරුණ තරුණියන්ගේ දේශපාලන සවිඥනකත්වය ඉතා උසස් බවත් අප මේ විශ්ව විද්‍යාලය පිහිටුවන්නේ ඔවුන්ට උගන්වන්නට නොව අපට ඔවුන්ගෙන් ඉගෙන ගන්නටය' කියායි. දිවයිනේ නන් දෙසින් එන සමාජයේ සෑම තරාතිරමක අය මේ නිර්පාක්ෂික උද්ඝෝෂණයට දිනපතා එක් වෙනවා. 

'දැන් ගාලු මුවදොර යාලු මුවදොරක් වෙලා. මේ අරගලය දිගටම ගෙන යන්න. මෙය පාලු මුවදොරක් වෙන්න ඉඩ හරින්න එපා!' අපේ ජනප්‍රිය රංගන ශිල්පී රොඩ්නි වර්ණකුළ තරුණ පෙළට සුබ පතමින් කීවා. 

මේ උද්ඝෝණය තුළ දිනපතාම නිර්මාණශීලි දේ සිදු වෙනවා. පෙරේදා ජනාධිපති කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල මතට උද්ඝෝෂණයේ සටන් පාඨ පතිත කරමින් ලේසර් සංදර්ශනයක් ද පැවැත්තුවා. එය ව්‍යර්ථ කරන්නට ආරක්ෂක අංශ ක්‍රියාකළත් කෙටි කාලයක් තුළ එය සාර්ථකව කරන්න තරුණයන් සමත් වුණා. 

මේ ගාලුමුවදොර අරගලයට සහය පළ කරමින් දිවයිනේ ප්‍රධාන නගර ගණනාවකම 'ගෝඨාගෝගම' ශාඛා පිහිටුවාගෙන මේ උද්ඝෝණය අඛණ්ඩව කර ගෙන යනවා. මේ තරුණයන් අපට හොඳ දේශපාලන පාඩමක් කියා දුන්නා. ඡන්දය දී පැත්තකට වෙන ඡන්දදායකයාට එසේ නොකර තමන්ගේ නියෝජනය හරි හැටි වන්නේ දැයි බලන්නට, තමන් පත් කරන නියෝජිතයා අතින් සිදුවන දූෂණය නවත්වන්නට ඉදිරියට එන්නැයි කියා පණිවිඩයක් දුන්නා. තවත් දේ ඔවුන් අපට ඉදිරියේ දී කියා දේවි. අපි අපේ ආශිර්වාදය ඔවුන්ට පිරිනමමු. 

 - පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. ඒත් තරුණ පරපුර වැඩේ කරලා දෙනතුරු බහුතරයක් වැඩිහිටි පරපුර තමන්ගේ වැඩක් කරගෙන පැත්තකට වෙලා බලාඉන්න විදියක් තමයි පේන්න තිබෙන්නේ.

    ReplyDelete
  2. වැඩිහිටියන් ඇහැරෙන්නට පරක්කුයි අපි බලමු

    ReplyDelete