අපේ මෑත ඉතිහාසයේ ලොකුම වැරදීම ලෙස මා දකින්නේ මුළු රට ම එක රැයින් කාබනික පොහොර භාවිතයට හැරවීමට හා කෘෂි රසායනික භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට ගත් තීරණයයි. වසර 74කට පෙර පටන් අපට වැරදුණා කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැනයි. ඒත් අද තියෙන ගැටලුව ඇති වුණේ වර්තමාන ජනාධිපතිතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිරසායනික භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කර, කාබනික පොහොර භාවිතයට ගැනීමට ගොවීන්ට නියම කිරීමට ගත් තීරණය නිසයි. එසේ පාවිච්චි කරනු පිණිස, තමන්ගේ ම කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් පොහොර තනා ගන්නට ගොවීන්ට මුදල් දුන්නද ඒවා තනා ගන්නට අවශ්‍ය දැනුම හා කාලය බොහෝ ගොවීන්ට තිබුණේ නැහැ.
ගොවීන් කුඹුරුවලත් පාර දිගේත්, පැරණි ක්‍රමයට පොහොර ඉල්ලා උද්ඝෝණය කරන්න පටන් ගත්තා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් කීවේ දීර්ඝ කාලීනව මිස එවැන්නක් ක්ෂණිකව නොකළ යුතු බවයි. එයින් සහල් නිෂ්පාදනය කඩා වැටී උග්‍ර ආහාර හිඟයක් අනාගතයේ දී ඇති විය හැකියැයි අනතුරු ඇඟෙව්වා. ඒ අදහස අනුමත කළ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පහුවදාම ගෙදර යැව්වා. මේ විරෝධය විරුද්ධ පක්ෂ උසිගන්වා කරන බොරු එකක් ලෙස ජනාධිපතිට පෙන්වමින් කෘෂි ඇමති මහින්දානන්ද ගොවීන්ගේ හඬට කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සමඟ සටනට බැස්සා. තමාට අවශ්‍ය නම් හමුදාව යොදවා බලහත්කාරයෙන් මෙය කර විය හැකි වුවත් තමා එහෙම නොකරන්නේ යැයි ජනාධිපතිවරයාත් තර්ජනයක ස්වරූපයෙන් කීවා.
ගොවීන්ට වැටෙන්නම දුන්නු පහර!
ඒ වන විට ගොවීන් අත ගසා සිටියේ ලොකුම සහල් අස්වැන්න ලැබෙන මහ කන්නයටයි. ඒ නිසා කෘෂි ඇමතිවරයා කලින් විශාල මුදලක් ඉන්දියාවට යවා කඩිමුඩියේ නැනෝ දියර පොහොරක් ගුවන් මගින් ගෙනාවා. හදිසි මිලදී ගැනීම්වලදී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැති නිසා මේ කඩිමුඩි වැඩෙන් යම් යටිමඩි ගැහිල්ලක් සිදුවී ඇතැයි දැන් චෝදනා එල්ල වෙනවා. ඉන්දියාවේ ඒ නිෂ්පාදන ආයතනයට ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇති මිල ගණන්වලට වඩා තුන් ගුණයක මිලක් එකවර යවා තියෙනවා, නිෂ්පාදන කරන අතරතුර කොටස් වශයෙන් එවන ලෙස දක්වමින්. ඒ පොහොර දැමූ විට අස්වැන්න බෝම්බයක් ගැහුවා වගේ වැඩි වෙනවා කියා කටවාචාල රාජ්‍ය ඇමතියෙක් ගොවීන් රැවටුවා. ඒත් ඒ පොහොර තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන එකක්. ඒ නිසා පළමු තොගයෙන් ම අසාර්ථක බව පෙනුණා. ඊට පස්සේ ගෙන්නුවෙ නෑ. අර යැවූ විශාල මුදල් කන්දරාවට වෙච්ච දෙයකුත් නැහැ.
අපේ මහ කන්නයෙ අස්වැන්න අඩුකටත් වඩා අඩුවුණා. ඒ ටිකවත් ලැබුණෙ ගොවීන් ළඟ කලින් ගෙනා රසායනික පොහොර හා කෘෂි රසායනික ටිකක් හරි ඉතිරිව තිබුණ හින්දා. කලින් පොරොන්දු වුණු විදියට වගා හානිවලට වන්දි දුන්නෙත් නැහැ. ගොවීන් අනත්ත අසරණ තත්වයට පත්වෙලයි ඉන්නෙ. වීවගාවට විතරක් නෙවෙයි, තේ, මල්, එළවළු ඇතුළු හැම වගාවකට ම ඒ තත්වය උදා වුණා.
ජනාධිපතිතුමා අවසානයේ දී 'මට වැරදුණා' කියා ඒ වරද පිළිගත්තා. තහනම් කරමින් පනවපු ගැසට්ටුව ඉවත් කර ගත්තා. එ්ත් ඒ වැරදීම හදා ගන්න කරන්න යන්නේ කුමක්ද කියලා කිව්වේ නැහැ. අපේ කාටූන් ශිල්පියකු ඒක දුටුවේ සුප්‍රකට මහදැනමුත්තාගේ කතාවක ආ දෙයක් ලෙසයි. එහිදී ඔහු 'වැරදුණා' යන වදන මහදැනමුත්තාගේ කටට දෙමින් එළුවා මුට්ටියේ හිස හිර කර ගත් කතාවෙහි එන එළුවාගේ හිස ගසා දැමූ මොහොත නිරූපණය කරමින් ඒ කතාව උපහාසයට ලක් කළා.
ඒ වැරදීම එතැනින් නතර වුණේ නැහැ. හාල් නිෂ්පාදනය අඩුවුණ නිසා අතේ තිබුණු ඩොලර් වැය කොට හාල් පිටරටින් ගෙන්වන්න සිදුවුණා. ඒ නිසා තෙල් හා ගෑස් නැව්වලට ගෙවන්න ඩොලර් නැති වීමෙන් ගෑස් හා තෙල් හිඟයක් ඇති වුණා. අමාරුවෙන් ඩොලර් හොයා ගෙන ගොඩබාන ඒවා ගන්න රටපුරා පෝලිම් ඇති වුණා. පෝලිම්වල පැය ගණන් සිටි මිනිසුන් මැරී වැටුණා. පිටරටවලින් ණයට හා පිනට හාල් ටොන් ගණන් ගෙනාවත් සම්බා කිලෝවක මිල අදත් රුපියල් දෙසීයටත් වැඩියි. ඉන්දියානු ණයට ඉල්ලා ගන්නා මුදලින් ගේන රට සහල් ඉවර වුණා ම මෙරට හාල් මිල තවත් ඉහළ යාවි.
දැන් ගොවීන්ට මෙවර යල කන්නය වගා කරන්නත් හයියක් නැහැ. බිත්තර වී නැහැ. පෝර නෑ. කෘෂි රසායනික නෑ. අතේ සල්ලිත් නෑ. ඒ නිසා ඉදිරියේ දී කීයක් දීලවත් ගන්න හාල් වෙළඳ පොළේ තියේවි ද දන්නෙ නෑ. දැන් ඖෂධවල මිල ඉහළ යාමක් හා හිඟයකුත් ඇති වෙලා!
පහුගිය අවුරුදු දෙකක් තිස්සේ ඉවක් බවක් නැතුව පන්දාහෙ කොළ අච්චු ගහලා බෙදා දෙන්න පටන් ගත්තායින් පස්සෙ දැන් රටේ උද්ධමනය අහස උසට නැඟලා. අත්‍යවශ්‍ය බඩුවල මිලත් නොසිතූ විරූ ලෙස ඉහළ ගිහින්. මේ අප්‍රේල් මාසය අග වන විට ආහාර ද්‍රව්‍යවල උද්ධමනය සියයට 46.6ක් හා ආහාර නොවන ඒවායේ උද්ධමනය සියයට 22.0ක් ඉහළ ගිහින්. එසේම දැන් මිල පාලනයක් නැති නිසා වෙළඳුන් හිතූ හිතූ විධියට බඩු මිල ඉහළ දානවා. පෝසතුන් අතළෙස්ස ඇරෙන්න, අනික් පුරවැසියන් හැමදෙනාට ම ජීවිතය ගැටගහගෙන යන්න බැරි තත්වයක් දැන් උදාවෙලා තියෙන්නෙ. ආණ්ඩුව ඒවාට විසඳුම් දෙන්න මොනවත් කරන බවක් පේන්න නැහැ. ඒ නිසයි අපේ තරුණ පරපුරේ නායකත්වය යටතේ පාරට බැහැලා වැඩිහිටි පිරිසත් 'ගෝටා ගෝ හෝම්' කියා එක හඬින් කියන්නේ.
යුද්ධයෙන් පසු මහින්ද ගෙනා සුදු අලි!
යුද්ධය දිනාගෙන රටට සාමය ගෙනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්පසු ලද ජනවරම යොදා ගෙන තමන්ගේ සිතැඟි පරිදි කටයුතු කරමින් අධික වියදම් සහිත ව්‍යාපෘති ගණනාවක් ලෝකයේ පුද්ගලික බැංකුවලින් වැඩි පොළියට ණය ලබා ගෙන දකුණු පළාතේ තම ගම් ප්‍රදේශවල ක්‍රියාත්මක කළා. අන්තිමේ දී ඒවා රටට ඔරොත්තු නොදෙන සුදු අලි බවට පත් වී තියෙනවා.
ඒවා නම් ඇමරිකන් ඩොලර් මිලියන 2000කට අධික වියදමක් දරා ඉදිකර ඇති හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර වරාය, මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගනය, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව හා කොළඹ නගරය මැද පිහිටි ආසියාවේ උසම ඉදි කිරීම නෙළුම් කුලුන ද වෙනවා. මේවා සඳහා ඉදි කිරීම් පිරිවැයට අමතරව සියයට 20 ක කොමිස් මුදලක් ද වැඩිපුර ගෙවා ඇති බව සඳහන් වෙනවා.
රුහුණු මාගම්පුර ජාත්‍යන්තර වරාය ලෙසින් හැඳින්වෙන හම්බන්තොට වරාය, ගොඩබිමක් තුළ ඉදි කළ දකුණු ආසියාවේ විශාලතම වරාය ලෙස සැලකෙනවා. අක්කර 4,000ක තුළ පැතිරුණු මෙම වරායේ පළමු අදියරේ ඉදි කිරිම් සඳහා පමණක් ඩොලර් මිලියන 360ක් වැය කර තියෙනවා. කොළඹ වරායේ නෞකා තදබදය අඩු කිරීම පිණිස යැයි කියා ඉදි කළ මෙයට වසරකට නැව් 6000ක් හැසිරවිය හැකියි.
ආසියානු ජාත්‍යන්තර නැව් මාර්ගයෙහි මලක්කා සමුද්‍ර සන්ධියත් සුවස් ඇළත් අතර පිහිටි, වසරකට තෙල් නැව් 4,500ක් ඇතුළුව නැව් 36,000ක්, හම්බන්තොට වරාය පෙනි පෙනී යාත්‍රා කළත් ඒවා එහි සේවා ලබා ගන්නේ නැත. ඉන් ලබන ආදායම ගැන සුරංගනා කතා කී රජය එහි පළමුවන අදියරට චීනයේ එක්සීම් බැංකුවෙන් ඇමරිකන් ඩොලර් 360ක ණය මුදලක් සියයට 6.3කක පොලියකට ලබා ගත්තා. එහි මුල් අදියර විවෘත කිරීමේ උළෙලට පමණක් රජය රුපියල් මිලියන 188ක් වැය කළා.
එහි දෙවන අදියර නිම කිරීම සඳහා ද ඩොලර් මිලියන 810ක ණය මුදලක් ලබා ගත්තා. එය ලබා ගෙන ඇත්තේ චීනයේ ආනයන හා අපනයන බැකුවෙන් වන අතර ඒ අනුව චීන බැංකුවලින් මුළු ණය මුදල ඩොලර් මිලියන 1170ක්. මේ සියල්ල වියදම් කළ පසුවත් විශාල නැව්වලට වරායට ඇතුළු වීමට නො හැකි තත්වයක් උදා වුණා. ඒ වරාය සැලසුම් කරද්දී හෝ ඉදිකරමින් සිටියදී හෝ නුදුටු මහ ගල් කුළක් වරාය පිවිසුමේ මුහුද යට ඇති බව හෙළිවීමයි. අන්තිමේ දී එය ඉවත් කිරීමටත් ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වැය කිරීමටත් සිදු වුණා.
මෙහි යටිතල පහසුකම් හැටියට දිය කඩන දෙකක් ද, මීටර් 210ක් පළලැති පිවිසුම් මඟක්, මීටර් 17ක් ගැඹුරු, මීටර් 600ක් පළල හැරවුම් කවයක්, මීටර් 600ක පොදු කාර්ය නැංගුරම් පොළක්, මීටර් 610ක තොටුපොළක්, මීටර් 105 සේවා නැංගුරම් පොළක් සමග ඒවාට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරනු ලැබුවා. මෙහි නැව් අලුත්වැඩියාව, බංකරින්, ජල සැපයුම්, වෛද්‍ය පහසුකම් ඇතුළු විවිධ සේවා කටයුත ඇති බව විශාල වියදමක් දරා ලොවපුරා ප්‍රචාරය කළ ද එයින් පලක් වුණේ නැහැ.
රාජපක්ෂ පවුලේ අභිමානය චීනයට බද්දට!
රාජපක්ෂ පවුලේ සතුට උදෙසා පමණක් ම ඉදිකෙරුණු මේ දැවැන්ත වරායේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ තැන, ණය මුදල හා පොලියට හිලව්වට, එවකට පැවති රජය විසින් බදු පදනම යටතේ 2017 දී වසර 198ක චීනයට පවරා දෙනු ලැබුවා. හම්බන්තොට අවට 50,000ක් ජනයාට රැකියා අවස්ථා උදා වෙන බවට පම්පෝරිය ගැහුව ද, මේ වන විට ඒ පළාතේ එකදු වැසියකු එහි සේවයට බඳවා ගෙන නැහැ. සියලු අවශ්‍යතා සඳහා චීනයෙන් ගෙන්වා ගත් පිරිස් යොදා ගෙන තියෙනවා. මෙය අන්තිමේ දී චීනයට අයිති වී තියෙනවා.
රාජපක්ෂවරුන් විසින් විශාල මුදල් කන්දරාවක් වැය කොට නිම කළ දැවැන්ත ඉදිකිරීම් දෙකක් මේ හම්බන්තොටම තියෙනවා. එයින් එකක් තමයි, මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ. අනෙක හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවයි. මේ සඳහා මුදල් ණයට ගෙන ඇත්තේ 'කොයිකා' (කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය) ආයතනයෙන්. එය ඇමරිකන් ඩොලර් මිලියන 20කි. ඉතිරි මුදල් වැය කර ඇත්තේ නාගරික සංවර්ධන ආයතනයෙන්.
එයින් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා වැය කළ මුළු මුදල ඇමරිකන් ඩොලර් 2010ක්. 2009 දී ඉදි කිරීම් ආරම්භ කළ එය නිල වශයෙන් විවෘත කළේ 2013 දීයි.
හම්බන්තොට ඉදිකර ඇති අනෙක් මුදල් කාබාසිනියා කළ ව්‍යාපෘති අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රධානයි. නරඹන්නන් 35,000කට සියලු පහසුකම් සහිත මෙය ඉදි කිරීම සඳහා ලබා ගෙන ඇති ණය මුදල ඇමරිකන් ඩොලර් මිලියන 300ක් වෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අනුමත කළ ක්‍රිකට් ක්‍රීඩාංගන ප්‍රමාණවත් තරම් තිබියදී 2011 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා විශේෂයෙන් ඉදිකළ මෙහි පසුගිය වසර දහය තුළ ම තරග පවත්වා ඇත්තේ කීපයක් පමණයි.
ණය කන්දරාවේ විශාලත්වය ලෝකයට පාන නෙළුම් කුලුන
කොළඹට යන එන අයට ඈත තියා දැක ගත හැකි නෙළුම් කුලුන, රාජපක්ෂවරුන් විසින් පිහිටුවන ලද නව දේශපාලන පක්ෂයේ සංකේතයයි. මෙය දකුණු ආසියාවේ ඇති උසම කුලුන ඉදි කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104.3ක් වැය කර ඇති අතර එය ද චීන රජයේ ණය ආධාරයකි. මේ ණය ආපසු ගෙවීම සඳහා වසර 10ක් තිස්සේ වසරකට බිලියන 2.4ක් ගෙවීමට නියමිතව තියෙනවා. මේ කුලුන පිළිබඳ හෙළිදරවුවක් එය විවෘත කළ අවස්ථාවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා කළා අපට මතකයි.
මේ කුලුන ඉදිකිරීම වෙනුවෙන් සියයට විස්සක කොමිස් මුදලක්, එනම් රුපියල් බිලියන 2කක මුදලක්, ජපානයේ කිසියම් අද්භූත සමාගමකට ගෙවා ඇති අතර එවැනි සමාගමක් ඒ සඳහා දී ඇති ලිපිනයේ නැති බව ජපානයේ අපේ තානාපතිවරයා දන්වා තියෙනවා. මුදල් ගෙව්වේ කවුරුන්දැයි එ් ගනුදෙනුවට සම්බන්ධ කවුරුන්ද යන්නත් තවමත් හෙළි නොවූ අබිරහසක්. මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේ ගැන සොයා බලන්නට ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වූ බව ඔහු ඒ අවස්ථාවේ දී කීවා.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එතැනින් නතර වුනේ නෑ. තමන්ගේ දේශපාලන හෙංචයියලාට 'එක ගමට එක වැඩක්, ශ්‍රී ලංකාව පුරා ව්‍යාපෘති විශාල ගණනක්, මහාමාර්ග කි.මී. ලක්ෂයක්', ආදී නම්වලින් වැඩසටහන් අරඹා කොමිස් ගහන්න ඉඩ සලසා දුන්නා. ඒ ව්‍යාපෘති අසල ඒ සඳහා වැය කළ මුදල, ඊට සම්බන්ධ වූ අය ආදිය හෙළි කරන දැන්වීම් පුවරු පවා ස්ථාපිත කළා. ඒත් ඊට වෙන් කළ සම්පූර්ණ මුදල ඒ සඳහා වැය නොකළ බවත් එයින් වාසි ගත්තේ කවුරුන්ද යන්නත් ජනතාව දැන ගත්තේ ඒ පුවරුවෙන්මයි. ඒ නිසයි, ජනතාව අගමැතිවරයාටත්, ඔහුගේ පාර්ලිමේන්තු සගයන් 225 ටම ගෙදර යන්න කියන්නේ.
අපට මේ ආර්ථික අර්බූදය ආරම්භ වූයේ නිදහස ලබා ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාර්ලිමේන්තුවක් ලැබුණු දා සිට ම නෙමෙයි. අපේ රටින් පිටතට යන දෙයින් ලැබෙන ආදායමට වඩා අපට පිටරටින් ගේන දෙයට කරන වියදම වැඩි වෙන්නට පටන් ගත්තා දා සිටයි. එනම් ඒ පරතරය පියවීමට ණය ගන්නට පටන් ගත් දා සිටයි. අනාගතයේ ලැබෙතැයි බලාපොරෙත්තු වන විදේශ විනිමය කල්තියා වියදම් කිරීම නිසයි. ඒවා අපේක්ෂිත විදියට නොලැබුණා ම කඩා වැටෙන බව නොරහසක්.
පාර්ලිමේන්තු අයවැය විවාදවලදී මේවා පෙන්වා දී රජය හරි මග ගෙන යාම අපි අපේ නියෝජිතයන් හෙවත් මන්ත්‍රීලාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම අපේ ආරක්ෂාවට හා යහපැවැත්මට හේතු වන නීති අනපනත් සම්මත කර ගැනීමත් අප ඔවුන්ගේ බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවට ඔවුන් කළේ ඔවුන්ට වාසි වන විදියට අනපනත් සම්මත කර ගැනීමයි. වංචාව, අල්ලස, දූෂණය නැති කරනු වෙනුවට ඔවුන් ඒවායේ යෙදෙන්න පටන් ගත්තා. අන්තිමට තමන් පත් කර යවන අයට 'කොකා' පෙන්නන්නත් පටන් ගත්තා. ඒකයි ජනතාව 225 ටම ගෙදර යන්න කියන්නේ.
නීතියෙන් ඔවුන්ට ලැබෙන ආරක්ෂාව අවසන් කළ යුතුයි. ඔවුන්ට ඔවුන් විසින් ම හිමිකර ගෙන ඇති වරප්‍රසාද සියල්ල අහෝසි කළ යුතුයි. මන්ත්‍රී වරප්‍රසාද මගින් ධනවත් වීමට ඇති ඉඩකඩ නීතියෙන්ම වැළැක්විය යුතුයි. මන්ත්‍රීවරයකු පමණක් නොව, අගමැති, ජනපති පවා නියමිත සේවය ඉටු කරන්නේ නැත්නම්, වෙනත් රටවල තියෙන විධියට 'ආපසු කැඳවීමේ බලය' ඡන්දදායකයාට ලබා දිය යුතුය. එය නොමැති නිසා තමයි, මේ විධියට ජනතාවට වීදි බැස අරගල කරන්නට සිදු වී ඇත්තේ.
සුද්දා අපට ලබා දී ගිය ව්‍යවස්ථාවේ සිට මේ දක්වා හැම ව්‍යවස්ථාවක් ම අපට කවුරුන් හෝ සිතා ඒ දැන් අනුව ලියා අපට දුන්නා මිස අපේ ජනතාව එක්වී අපේ අවශ්‍යතාවලට ගැළපෙන ව්‍යවස්ථාවක් සෑදීමක් සිදු වුණේ නැහැ. දැන් මේක අවස්ථාව කර ගෙන අපි හැමෝම එක්වී සුදුසු ව්‍යවස්ථාවක් ඒ කියන්නේ අදට ගැළපෙන ජනතාවගේ ව්‍යවස්ථාවක් නිර්මාණය කළොත් නරකද?
0 Comments