HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජන උද්ඝෝෂණය නව මගකට! පවත්නා ක්‍රමයේ වෙනසක් ඕනෑ!

පසුගිය නව වැනිදා ඇරඹුණු නිර්පාක්ෂික උද්ඝෝෂණයට මේ වන විට සතියක් සම්පූර්ණ වෙලා! එ් තරුණ පිරිස් දිවා රෑ නොබලා අඛණ්ඩව උද්ඝෝෂණයේ යෙදෙනවා. ඔවුන් පටන් ගත්තේ 'ගෝටා ගෝ හෝම්' (Gota Go Home) කියලයි. ඉන්පසුව ඒ උද්ඝෝෂණයට 'ආණ්ඩුවත් එපා!', '225ත් එපා!' කියා එක් වී දැන් ඔවුන් අපේ අනාගත පරපුරට රටක් ඕනෑ, 'මේ තියෙන ක්‍රමයේ වෙනසක් ඕනෑ.' (We Want System Change) කියන තැනට ඇවිල්ලා! 

තමන්ගේ දරුවාටත් රටක් ඕනෑ කියා උද්ඝෝෂණයට එක් වූ යුවළක් සිය නොදරුවාට ජාතික ධජයේ ආරක්ෂාව ලබා දී තිබුණු අන්දම.

දැන් සමාජයේ විවිධ ස්තරවල පුරවැසියන් ඔවුන්ව දිරිමත් කරන්න එනවා. ඒත් ඔවුන් දිරිමත් කරන්න ආ දේශපාලන පක්ෂවල අයව ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කළා. ඔවුන් තුළ පක්ෂ, පාට, භාෂා, ජාති ආගම් හේද කිසිවක් නැහැ. ඒවා කවදත් නොතැකූ අපේ කලාකරුවන්, බුද්ධිමතුන්, ඔවුන් සාදරයෙන් පිළිගත්තා. ඒ අතර පස් වන දිනයේ දී 'අපේ දේශයේ මහා ගායිකාව' නන්දා මාලිනි හා පවන ගීත රචනා තුළින් ජාතිය අවදි කළ මහාචාර්ය සුනිල් ආරියරත්නත්, රංගනවේදිනි ස්වර්ණා මල්ලවාරච්චිත්, අපේ කවිය නව මඟකට යොමු කළ බුද්ධදාස ගලප්පත්තිත්, ඒ මොහොතේ ඔවුන් දිරිමත් කරන්නට එක්ව සිටියා. නන්දා මාලිනී සමග තරුණපෙළ ඇගේ නිදහස් ගායනා සමග එක් වූ ඒ් අවස්ථාථාවමරණීය එකක්. 

ඒ විඩියෝව පහතින් නරඹන්න 

අපේ මිතුරු උපුල් සාන්ත සන්නස්ගල මේ තරුණ පෙළ වෙනුවෙන් ඔහුගේ යූ ටියුබ් චැනලය හරහා විශේෂ මෙහෙයක් කරන බව පේනවා. මා හිතනවා ඔහු ඒක අවංක හිතින් කරන එකක්ය කියා. ඔහුගේ බස සමහර විට මේ අරගලයට පන්නරයක් වේවි. විද්‍යා විෂයයන්ට විතරක් ටියුෂන් දෙන යුගයක් වෙනස් කරමින් ඔහු ආරම්භ කළ 'සිංහල පන්තිය' ඔස්සේ අධ්‍යාපනයේ පෙරළියක් කළ ඔහු තරුණ පරපුරට සවියක් වෙනවා සිකුරුයි. ඔහු විතරක් නොවෙයි, ඔතැනට එන්න නොහැකි ව සිටින මුළු ශ්‍රී ලංකා ජනතාව ම ඔවුන්ගේ ‌අරගලයට හදවතින් ම ආශිර්වාද කරන බව මම දන්නවා.. 

දෛවයේ සරදමකට වාගේ ඔවුන් මේ උද්ඝෝෂණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙසට පත්වී උද්ඝෝෂණ කරන අය සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, 'උද්ඝෝෂණ කලාපය' කියා විශේෂ නාමපුවරුවක් ද සහිතව වෙන් කරන ලද විශේෂිත ස්ථානයේදියි. අද ඒ ස්ථානය ඔවුන් විසින් 'ගෝටාගෝ ගම' කියා අලුතින් නම් කරලා තියෙනවා. එතැන ලිපිනය, 'ගෝටාගෝ ගම, කොළඹ 16' කියා යොදා ගෙන, අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට සාකච්ඡාවකට එන්නැයි කළ ඇයුරුම ප්‍රතික්ෂේප කර පිළිතුරු ලිපියකුත් යැව්වා. එහි අස්සනක් හෝ අස්සන් හෝ තිබුණේ නැහැ. සාකච්ඡාවකට යන්න නායකත්ව කණ්ඩායමක් එතැන නැහැ. 

අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හා සංවිධාන තවමත් මේ 'අරගලය' හරි හැටි තේරුම් අරගෙන නැහැ. මේ තරුණයන් 'අරගලය' කියන වචනයටත් අලුත් තේරුමක් දීලා. එතැන අවි ආයුධ නැහැ: වාදබේද නැහැ: ගැටුමක් නැහැ: තියෙන්නේ එකම එක අවියයි, ඒ අපේ ජාතික කොඩියයි. අපේ රටේ සියලුම තරුණ තරුණියන් සියලු භේද අතර හැර දමා ඒ ජාතික කොඩිය අතට අරගෙනයි, 'අපට අලුත් රටක් ඕනෑ' කියලා එක හඬින් අද උද්ඝෝෂණය කරන්නේ. ඒකයි ඔවුන් මුලදිම මේක පටන් ගනිද්දී කීවේ 'අරගලයට එකතු වෙන්න - 'ආදරය' අරන් එන්න' කියලා. මේක තේරුම් නො ගත් අය තමයි, නායකත්වය දෙන්න එන්න හදන්නේ. 

ජවිපෙ එකත් මේ අරගලයට සහය දෙන්න දැවැන්ත පා ගමනක් සංවිධානය කරන්න යනවා. ලේකම් ටිල්වින් සිල්වා කියන්නේ, 'නායකත්වයක් නැති අරගලයක් තියෙන්න බැහැ. දේශපාලන ප්‍රශ්නයකට කරන අරගලයකට දේශපාලන නායකත්වයක් ඕනෑ.' කියලයි. අවුරුදු පනහක් තිස්සේ මෙරට දේශපාලන කරලියේ සෙල්ලම් දාලා ජනතාවට දේශපාලන නායකත්වයක් දෙන්න බැරි වූ ඔහෙලා මේ තරුණයන්ගේ අරගලයට එක් වෙන්න ඇවිත් ඒ වැඩ 'අල' කරන්න නම් එපා! ඒ තරුණයන් ඔබේ යල්පැන ගිය කතාවලට හිනා වේවි. මේක අපේ සංස්කෘතික හා සමාජ විප්ලවයක්. ලෝකයේ කොහේවත් තියා ඔබේ පොතේ වත් තිබුණු එකක් නෙවෙයි. ඒ නිසා ඒ අයට ඒක අප වෙනුවෙන් කරන්න ඉඩ හරින්න. ඔවුන් කරන මේ විශිෂ්ට කටයුත්ත අවසන් වුණාම ඊට මුහුණ දෙන්න පුලුවන් වෙන්න ඔබේ පක්ෂය ප්‍රතිසංවිධානය කර ගන්න බලන්න. 

විශාරද නන්දා මාලිනීත්, මහාචාර්ය සුනිල් ආරියරත්නත්, බුද්ධදාස ගලප්පත්තිත් රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චිත් උද්ඝෝෂක තරුණ පිරිස් දිරිමත් කිරීමට ආ අවස්ථාව

උද්ඝෝෂණය පටන් ගනිද්දී ඔවුන්ට ඇතුළු වීමට තහනම් කළ ගෝල්ෆේස් පිටියට ජන ගඟ ගලන එක නවත්වන්නට  පාලකයන්ට බැරි වුණා. දැන් තරුණ පරපුර එහි කූඩාරම් ගසා ගෙන අඛණ්ඩව උද්ඝෝෂණය ගෙන යනවා. දැන් හැම පහසුකමක් එහි ඔවුන් ඇති කර ගෙන තියෙනවා. ආරාධනය නොකරම රතු කුරුස සමාජය, ඉලෙක්ට්‍රොනික සේවා, පුස්තකාල පහසුකම්, උපදේශන සේවා, ස්වේච්ඡා සංවිධාන, වෛද්‍යවරුන්, නීති ප්‍රජාව පවා විශේෂ කුඩාරම් ගසා ගෙන ඔවුන්ගේ සහයට ඇවිත් ඉන්නවා. මේ සියල්ල සිදු කෙරෙන්නේ නොමිලයේයි. සියලු දෙනාම ස්වේච්ඡාවෙන් ඒ කටයුතු කරනවා ඒ වගේ ම, ඉඩක් ලද විට ගිහින් උද්ඝෝෂණයේත් යෙදෙනවා. සවසට හා රාත්‍රියට විඩා නිවා ගන්න සිංදු කියනවා. ඒ විතරක් නොවෙයි, මෙවර සිංහල අවුරුදු උත්සවය පවා චාරිත්‍ර වාරිත්‍ර පමණක් නොව අවුරුදු ක්‍රීඩා ද සහිතව අපේ රටේ වෙන පළාත්වල වගේ මේ 'ගෝටාගෝ ගමෙහි'ත් පැවැත්තුවා. ඒ මදිවාට කොළඹ එන්න අපහසු අය දැනටමත් මහනුවරත්, ගාල්ලේත් 'ගෝටාගෝ ගමේ' ශාඛා පිහිටුවා ගෙන තියෙනවා.

මේ තරුණ තරුණියන් 'ගෝටාගෝ හෝම්' කියන්නේ නිකන් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කළ නිසයි. ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ සුදුසුකම් රාශියක් ඇතැයි කියා ගෙනයි. හමුදා විනය හා පළපුරුද්ද, ආරක්ෂක ලේකම් ලෙස දසවසරක පරිපාලන අත්දැකීම් පමණක් නොව 30 වසරක යුද්ධය නිමා කිරීමේ වගකීම ද, 'ගෝටාස් වෝ' කියා  ඔහු විසින් ම ඉංග්‍රීසි සිංහල දෙබසින් ලියූ ග්‍රන්ථයකින් තමා වෙත පවරා ගෙනයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සමයේ සිදුවූ පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා උද්ගත වූ තත්වය අනුව රටේ ආරක්ෂාව තහවුරු කිරීමත් ඔහුගේ ප්‍රමුඛතාව වුණා. ඒ ආසන්නයේ පැවති ජනපතිවරණයෙන් ඔහු 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් ගනු ලැබුවා. තරුණ පිබිදීමක් ඇතිවුණා. ඔවුන් ඒ බව දැන් වගේ නායකත්වයක් නැතිව තැන චිත්‍ර ඇඳීමෙන් තම අදහස් පළ කළා. 

එතුමා පත්වුණු විගසම, අර්ධ රාජ්‍ය ආයතනවල පාලන තනතුරුවලට උගත් බුද්ධිමත් අය පත් කරන බව කියා, ප්‍රසිද්ධියේ ඉල්ලුම් පත් කැඳෙව්වා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. එසේ පත් කළ අයත් අසාර්ථක වන විට නිතර නිතර මාරු කළා. පරිපාලන කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග හමුදා නිලධාරීන් බද්ධ කිරීමෙන් ඔවුන්ගේ රාජකාරි අඩපණ කළා. 'එක රටක් එක නීතියක්' කියා, සමූහ මිනිස් ඝාතනයක් කිරීම ගැන චෝදනා ලැබ අධිකරණය මගින් මරණ දඬුවම දුන් අයකු අධිකරණයට නොදන්වා ඔහු රණවිරුවකු යැයි කියා සමාව දී නිදහස් කළා. එතැනින් නොනැවතී අධිකරණය මගින් මරණ දඬුවම ලබා සිටි තවත් අයකු ද ඒ අයුරින්ම නිදහස් කළා. 

එතුමාගේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තුව සිටි තරුණයන්ට වසර දෙකක් යන තෙක් ම කිසි ම වැඩ පිළිවෙළක් ඉදිරිපත් වුණේ නෑ. ඒ ගැන තරුණයන්ගේ නොසතුට සමාජ මාධ්‍යවල පළ වුණා. ඒ ගැන පාලකයන්ගේ ඇස් ඇරුණේ නෑ. ඒ වෙනුවට ඔවුන්ට පුරන් කුඹුරු අස්වද්දන්නට කතා කළා. ඒ සියල්ල තරුණ පරපුර ඉවසා සිටියත් ඔවුන්ට ජීවත් වීමට නොහැකි වන තත්වයට ආර්ථිකය පත් වෙද්දී ඔවුන්ට රිදුණා. ප්‍රභූන්ගේ ලයිට් තිබියදී ඔවුන්ගේ ලයිට් කැපුවා. පැට්රල්, ඩීසල්, බූමිතෙල්, ගෑස් තාමත් ඔවුන්ට ගන්න නැහැ. එයින් සමාජයට සිදු වූ බලපෑම රටේ සමස්ත ජනතාවට ම විවිධ පැතිවලින් එල්ල වුණා. රස්සා කර ගන්න අපහසු වුණා. කෑම බීම ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ ගියා: සල්ලි තියෙන අයටත් ඒවා ගන්න දිගු පෝලිම්වල වරු ගණන් ගත කරන්න සිදුවුණා. ඉවසන්නට බැරි ම තැනයි, තම වැඩිහිටියන් වෙනුවෙන් ඔවුන්ගේ තරුණ දූපුතුන් පාරට බැස්සේ. 

'ගෝටාගෝ ගමෙහි' පැවැත්වූ සිංහල අවුරුදු උත්සවයෙන්.

නිදහස ලත් සිට ම  අපේ රටේ හැම දෙයක් ම නිසි වෙලාවට සිදු කෙරුනේ නැහැ. නිසි වෙලාවට නිවැරදි තීන්දු ගත්තේ නැහැ. හැම පාලකයෙක් ම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දුන්නත් ඒවාට පටහැනිවයි හැමවිටම ක්‍රියා කළේ. උතුරේ ඇතිවූ ප්‍රශ්නයට වුණෙත් ඒකයි. නිසි කල නිවැරදි තීන්දු නොගත් නිසා, අවස්ථාවාදීව ක්‍රියා කළ නිසා, ඒවා ටිකෙන් ටික බරපතල වුණා. අන්තිමේ දී උතුරේ භාෂා අරගලය 30 අවුරුදු යුද්ධයක් බවට පෙරළුණා. ඒ යුද්ධය ජයගත්තේ එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදියි. එයින් ලත් ජනප්‍රසාදය නිසා එතුමාට තවත් වාරයක් ජනාධිපති වෙන්නට ඉඩ ලැබුණා. පැවති ව්‍යවස්ථාව වෙනස් කර දිගටම ජනාධිපති පදවියේ සිටින්නට තැත් කිරීම නිසා දෙවැනි වාරය අවසන් වන්නට කලින් පරාද වුණා. 

එතුමාට යන්නට සිදුවුණේ කාලයක් තිස්සේ පැවති ප්‍රශ්න රාශියකට ප්‍රමුඛතාව දී කටයුතු නොකිරීම නිසයි. රාජ්‍ය මුල්‍ය කටයුතු කළමනාකරණයේ පැවති දුර්වලතා නිසයි. අපනයන ආනයන පරතරයත්, රාජ්‍ය අයවැය පරතරයත් පියවීම ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසයි. විදේශ බැංකුවලින් අධික පොළියට ණය අරගෙන, ආදායම් ඉපැයීමට මුල්තැන නොදී, ඒවාට අනවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට යාම නිසා ඉසිලිය නොහැකි ණය බරක් ඇති වීමයි. අපට විදේශ විනිමය ලැබෙන මාර්ග වැඩි දියුණු කර ගැනීමට තබා ආරක්ෂා කර ගැනීමටවත් මුදල් ඇමති පදවිය හොබවද්දී ක්‍රියා නොකිරීම නිසයි. මහින්ද රාජපක්ෂ වසර හතළිහකට වඩා පාර්ලිමේන්තුවේ බලවත් තනතුරු හොබවලා තියෙනවා. ඒ වගේ .තවත් ප්‍රවීණයන් රැසක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහත් එවැනි එක් කෙනෙක්. ඔවුන් මේ වසර ගානක් තිස්සේ අවංකව වගකීම් හා වගවීම් ඉටු නොකළ බවයි, තරුණ පරපුර කියන්නේ. ඔවුන් පාර්ලිමේන්තුව 225ම එපා කියන්නේ මේ නිසායි. ඔවුන් කියන දේ දුරින් සිට අසා ඊට අනුරූප වන වෙනස්කම් කරන්න පාර්ලිමේන්තුව තුළින් පියවර ගත්තොත් සමහර විට මේ විරෝධයෙන් බේරෙන්නට ඔවුන්ට හැකි වේවි කියලයි මට හිතෙන්නෙ. 

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ අපේ මිතුරන්ගේ විරෝධය

දැන් ඔවුන් පාර්ලිමේන්තුව 225ම එපා කියන්නේ විධායකය වූ ජනාධිපතිවරයා වගේම, ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් පැහැර හැරීම නිසයි. අද ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවන්න බැරි බව ප්‍රසිද්ධ ක ර තියෙනවා. තරුණයන් කියන්නේ ඔවුන් හා අම්මලා තාත්තලා විධායකයට හා ව්‍යවස්ථාදායකයට බලය පැවරුවේ ඒ ආකාරයට රට බංකොලොත් කරන්න නොවෙයි කියායි. ඔවුන් මේ ආකාරයට සාමකාමී අරගලයකට බැස්සේ ඒ නිසායි. ඒත් ඔවුන්ගේ මේ හඬට විධායකය හා ව්‍යවස්ථාදායකය කන් නොදෙන පාටයි; ඒ අය අකර්මන්‍ය වූ බවක් පෙනෙනවා. 

ඒ නිසා අපේ රටේ නීති ප්‍රජාවට හැකියාවක් ඇතොත් මේ අර්බුදය ගැන   අපේ අධිකරණය ඉදිරියට ගොස් මේ ගැන එහි අවධානය යොමු කරන්න, ජනතා පරමාධිපත්‍ය බලය ගැන තීන්දුවක් ඉල්ලා සිටින්නට, මේ තරුණ හඬට වටිනාකමක් ලැබේවි කියලයි මට හිතෙන්නෙ. තරුණ පුරපුරේ මේ නිහඬ විරෝධය සාධාරණ එකක් ලෙස අපට පෙනෙන නිසා ඒ ගැන ගත හැකි හැම පියවරක්ම ගැනීම වැඩිහිටි අපේ යුතුකමක්. 

 - පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. ගඟක් ගලන්නට ගත්තම ඉදිරියට
    නවත්තන්න බෑ බැඳලා එයට වැට
    වේලි ඉදි කළොත් විතරක් නිසි තැනට
    සෙතක් කර ගලනු ඇත ගඟ සයුරකට

    ReplyDelete