HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද අපට පලක් නැතත් මරු කැඳවන උණ්ඩුක පුච්ඡය

ඇපෙන්ඩික්සය (Appendix) හෙවත් උණ්ඩුක පුච්ඡය 

මිනිසා ඇතුළු ජීවීන්ගේ සිරුරු තුළ එක්තරා ආකාරයක 'කෞතුකාගාරය'ක් තියෙනවා. අප කලකට පෙර ප්‍රයෝජනයට ගත් නමුත්, දැන් ප්‍රයෝජනයට නො ගන්නා ශරීර කොටස් ඒ කෞතුකාගාරයෙහි තැන්පත් ව තියෙනවා. ඒවා අපට අපේ අතීතය සිහිපත් කර දෙනවා. මිනිසා‌ගේ කොඳු ඇට පෙළේ අග තියෙන, කුඩා ඇටය, අපට වල්ගයක් තිබී ඉතුරු වුණා වගේ එකක්. ඒ විතරක් නෙවෙයි, කනේ අක්‍රිය පේශියක් තියෙනවා, අතීතයේ දී කන් සෙලවීමට යොදා ගත්තේ යැයි සිතිය හැකි. මේ වගේ කොටස් සිරුරේ තවත් තැන්වලත් තියෙනවා.  ‍

උණ්ඩුක පුච්ඡය (කවය තුළ)

උදාහරණයක් වශයෙන් කුඩා බඩවැල (කුඩා අන්ත්‍රය) මහ බඩවැලට (මහාන්ත්‍රයට) එක්වෙන තැන අඟල් දෙකක් (සෙ.මී. 5ක්) හෝ තුනක් (සෙ.මී. 7.5ක්) විතර දිග පැසක් බඳු කොටසක් තියෙනවා. ඒ කොටස එක්තරා විදියකට අන්තය වැසූ පාරක් වගෙයි. (ගමන එතැනින් ඉවර වෙනවා.) ඒ කොටසට කියන්නේ 'සීකම්' (caecum) කියලයි. අන්ත්‍රවලින් පසු අවසාන පෝෂක උරා ගැනීම සිදු කෙරෙන්නේ එතැනින්. එයට සිංහලෙන් 'උණ්ඩුකය' හෙවත් 'අන්ධාශය' කියනවා. ලතින් බසින් 'caecus' කියන්නේ 'අන්ධ' යන අරුත දෙන වදනක්. මේ උණ්ඩුකයට බැඳී එල්ලෙන ව්‍යුහයක් තියෙනවා. ඒකට කියන්නෙ ඇපෙන්ඩිසස් (appendices) කියලයි. (ඒකෙ ඒක වචන පදය appendix යන්නයි) ඒ පදය බිඳී ඇවිත් තියෙන්නේ ලතින් බසෙහි එන ඇපෙන්ඩේජස් (appendages) යන පදයෙන්. ලතින් බසින් 'ad' හා 'pendere' යන වදන් එකතු වුණාම 'එල්ලා වැටෙන' යන අරුත් දෙනවා. එයින් කියැවෙන්නේ සිරුරේ 'එල්ලී තියෙන ව්‍යුහයක්' යන්නයි. 

දිගින් සෙ.මී. හතහමාරක් දහයක් විතර ඇති මේ සිහින් නාල කොටස හරියට පෙනුමෙන් පණුවෙක් (worm) වගෙයි. ඒ නිසා ඒකට 'වර්මිෆෝම් ඇපෙන්ඩිකස්' (vermiform appendix) කියලත් කියනවා. ලතින් බසින් 'vermis' කියන්නෙ පණුවා(worm)ටයි. 'forma' (form) යන්නෙහි අරුත 'හැඩය' යන්නයි. ඒ කියන්නේ 'පණුවකු හැඩයේ ඇපෙන්ඩික්සයක්' යන්නයි. 

කෙසේ වෙතත්, උණ්ඩුක පුච්ඡය නම් මේ සිරුරු කොටස වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඇපෙන්ඩික්සය (appendix) යන වදනින්. 

(ඒ වුණාට ඇපෙන්ඩික්ස් කීවාම ඉංග්‍රීසියේ අරුත් කීපයක් ම තියෙනවා. පොතක උප ග්‍රන්ථය හඳුන්වන්නෙත් ඒ පදයෙන්. අතිරේකය, පරිශිෂ්ටය, අනුබද්ධය යනු ඊට සමාන පදයි.) 

සමහර ශාක භක්ෂක සතුන්ට 'සීකම්' කියා හඳුන්වන උණ්ඩුකය විශාලව පිහිටනවා. ඒ කෑමට ගන්නා කොළ වර්ග බැක්ටීරියා මගින් පහසුවෙන් ජීර්ණය කර ගන්න තියෙන වෙන ම කුටියක් හැටියටයි. ඒ මගින් තමයි, ආහාරවල තියෙන පෝෂක කොටස් සිරුරට උරා ගන්නෙ. 

මිනිසාට හා වානරයන්ට තියෙන මේ උණ්ඩුක පුච්ඡය කියන කොටස මේ ආකාරයෙන් වෙනත් කිසිම සතකුට පිහිටලා නැහැ. මේ කාරණයෙන් අපට එකක් පැහැදිලි වෙනවා. මිනිසාත් වානරයනුත් ශාක භක්ෂකයන් බව. මෙසේ කුඩා වෙන්නට කලින් මේ උණ්ඩුක පුච්ඡය කලක් අපට ප්‍රයෝජනවත් ව තිබූ එහෙත් අද අපට අවශ්‍ය නො වන උපාංගයක් බව. 


ඇපෙන්ඩෙක්ටමි සැත්කමක් කරන අයුරු

ඒක අවයවයක 'සලකුණ'ක්. ඒක හැඳින්වීමට යොදන ඉංගිරිසි වදන footprint යන්නයි. එය බිඳී ආවේ 'vestigium' යන ලතින් වදනින්. එහි අරුත 'පිය සටහන' (පා සලකුණ) යන්නයි. පා සලකුණ කියන්නේ ගමනකදී අතරමග තබා එන සලකුණයි. මේකත් ඒ වගේ සලකුණක්, කලින් ප්‍රයෝජනවත් වුණු දැන් නිෂ්ඵල එකක් වෙලා තියෙන. 

මේ පලක් නැති උණ්ඩුක පුච්ඡය ඉඳහිට වතාවක දී වඩාත් අනතුරුදායක තත්වයක් උදා කරනවා. යම්හෙයකින් ඒක ආසාදනය වුණොත් සැත්කමකින් ඒක කපා ඉවත් කරන්නට සිදුවෙනවා. නැත්නම් බොහෝ විට එහි අයිතිකාරයාව මරා දමන්නත් එයට පුලුවන්. 

ඒක රෝගී තත්වයක්. ඊට කියන්නේ ඇපෙන්ඩිසයිටිස් (appendicitis) හෙවත් උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය කියලයි. එහි ඇති '-itis' යන උප ඈඳිය ග්‍රීක බසින් ආවක්. එහි අරුත 'ප්‍රදාහයට පත් වන' යන්නයි. –'ectomy' යන්නත් 'ektome' යන ග්‍රීක වදනෙන් ආවක්. එහි අරුත කපා ඉවත් කරන යන්නයි. ඒ නිසා ඒක ඉවත් කරන සැත්කම හඳුන්වන්නේ ඇපෙන්ඩෙක්ටමි (appendicectomy, appendectomy) හෙවත් උණ්ඩුකපුච්ඡ අපනෝදය හෙවත් අනුබද්ධ විච්ඡේදනය කියායි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments