රුසියාව යුක්‍රේනයට ගහපු මේ 'රික්ත බෝම්බ' කියන්නේ මොකක්ද? රුසියාව තවමත් පිළිගෙන නැතත් යුක්‍රේනය ස්ථිරව කියනවා, ඔවුන් ඒ අමානුෂික අවිය කිහිපවතාවක් පාවිච්චි කළ බව. මේ භායානක ගිනි අවිය, බිහිසුණු අති ප්‍රබල බෝම්බයක්. එයට පුළුවන් පිපිරූ සැණෙන් ඒ අවට වාතයේ ඇති ඔක්සිජන් ඒ වෙතට අද්දවා ගෙන ඒ පිපිරුම අති දැවැන්ත එකක් බවට පෙරළා ගන්න. ඒ පිපිරුම කෙතරම් ප්‍රබල එකක් ද කියනවා නම් එහි ශක්තිය විහිදෙන ප්‍රදේශය තුළ සිටින මිනිසුන් වාෂ්ප කර හරින්නට. බෝම්බයේ කේන්ද්‍රයේ සිට පිටතට ව්‍යසනය එසැණ විහිදෙනවා. මඳ දුරකින් සිට අයගේ සිරුරු තුළ ඇති අවයව පුපුරා යන්න ඉඩ තියෙනවා.
'තාපමෝචක බෝම්බ' (thermobaric weapons) කියාත් හඳුන්වන මේ බෝම්බයක් දැමූ විගසම සිදුවන්නේ විශාල ගිනි ජාලාවක් හටගැනීමයි. ඒත් එක්ක ම අවට පරිසරයේ ඇති ඔක්සිජන් ඒ වෙතට ඇද ගෙන ඒ පිපිරුම තවත් විශාල එකක් කරමින් අධි තාපයක් නිකුත් කරනවා.
රුසියාව පොකුරු හා රික්ත බෝම්බ (cluster and vacuum bomb) එල්ල කරමින් ප්‍රහාරය වඩාත් බියජනක තත්වයට පත් කළ බවත් රුසියානු ජනාධිපති පුටින්ගේ ඒ ක්‍රියාව යුද අපරාධයක් යැයි යුක්‍රේන ජනපති චෝදනා කරනවා. මෙය නිල වශයෙන් පිළිගෙන නැතත් ඒවා දියත් කරන රුසියානු යානා (TOS-1 vehicles) රොකට් ලෝන්චර පටවා ගෙන යන දර්ශන පෙන්වමින් එක්සත් ජනපද යුක්‍රේන තානාපති ඔක්සානා මාකරෝවා පසුගියදා චෝදනා මුඛයෙන් කීවා. මේ දර්ශනවලට පොකුරු බෝම්බ ගෙන යානාත් ඇතුළත් වුණා. ඒ යානා දුටු බව සීඑන්එන් වාර්තාත් තහවුරු කරනවා. ඒවා පොකුරු යුද අවි පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (Convention on Cluster Munitions) මගින් තහනම් කරලයි තියෙන්නෙ.
තාපමෝචක හෙවත් රික්තක බෝම්බයක් පුපුරන විට සිදු වන දේ!
2. එහි පළමු පිපිරීම සිදුවන්නේ අඩි 100 ඉහළ අහසේ දීයි. එහිදී වලාවක් සේ නිකුත් වන්නේ අධි ජ්වලන තත්වයකින් යුතු එයරසෝල ඉන්ධනයක්.
3. ඊළඟට ඒ වලාව දැල්වෙනවා. ඉන් දැවැන්ත කම්පන තරංග මාලාවක් හාත්පසට විහිදවනවා.
4. බෝම්බය පුපුරන කේන්ද්‍රය අසල ඇතිවන රික්තය දෙසට අවට ඇති වායුව වේගයෙන් ඇදී යනවා. 5. ඒ සමග පිපිරුම ඇති කරන දැවැන්ත ගිනිජාලාව හාත්පස විහිද යනවා. මෙය සාමාන්‍ය ගිනි බෝම්බයකට වඩා වැඩි කාලයක් පවතිනවා. ඉන් ඇති වන විනාශය අතිමහත්.
මේ 'තාපමෝචක බෝම්බ' හෙවත් 'රික්ත බෝම්බ' න්‍යෂ්ටික නොවන බෝම්බ අතර මෙතෙක් තනා ඇති වඩාත් ප්‍රබල අවිය ලෙසයි, සැලකෙන්නේ. මේ අවියත් ජිනීවා සම්මුතිය යටතේ තහනම් කළ එකක්. මේ අධිබලැති පුපුරන අවිය වායුගෝලයත් හවුල් කර ගෙනයි, මේ පිපිරුම තීව්‍ර කරන්නේ. ඊට හසුවන මිනිසුන්, සතුන් පමණක් නොව ගොඩනැඟිලි ආදියත් පස් ගොඩවල් බවට පත් වෙනවා.
පොකුරු බෝම්බ නම් ගිනි අවිය මගින් කෙරෙන්නේ කුඩා බෝම්බ රැසක් ඒ පළාත පුරා විසුරුවා හැර පිපිරුවා හැරීමයි. ඒ බෝම්බ ගණනාවක් ඛාකීව් (Kharkiv) නගරයේ සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට හෙළා තියෙනවා. ඒ නගරයේ ඔක්ටියාකා පාසල එවැනි බෝම්බ ප්‍රහාරයකින් විනාශ වුණු බවත් එහිදී එක ළමයකු ජීවිතක්ෂයට පත් වූ බව එහි කටයුතු කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ කණ්ඩායමක් කියනවා.
මේ 'තාපමෝචක බෝම්බ' හෙවත් 'රික්ත බෝම්බ' මුලින් ම නිපදවනු ලැබුවේ 1960 ගණන්වලදී සෝවියට් සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය විසින්. 2007 සැප්තැම්බරයේ දී එතෙක් නිපදවූ ප්‍රබලතම 'තාපමෝචක බෝම්බය' රුසියාව විසින් පුපුරවා අත්හදා බලනු ලැබුවා. එයින් ටොන් 39.9ක සමාන පිපිරුමක් ජනිත වී යැයි කියැවෙනවා. ඇමරිකාව තනා ඇති එවැනි බෝම්බයකට යන වියදම ඩොලර් මිලියන 16කට වැඩියි.
වාර්තා වෙන අන්දමට රුසියාව යුක්‍රේනයට පහරදීමට 'ගිනිවිදින්නා' නමින් හැඳින්වෙන තාපමෝචක රොකට් අවි විශේෂයක් (TOS-1 Buratino) යොදා ගෙන තියෙනවා. (බුරතිනෝ කියන්නේ, රුසියානු පරිවර්තනයේ පිනෝකියෝගේ නමයි.)
ඇමරිකාව විසින් රාත්තල් 21,000ක් බරැති 'තාපමෝචක බෝම්බ'යක් 2017 දී ඇෆ්ඝනිස්තාන් තලේබාන් සටන්කරුවන්ට එරෙහිව පාවිච්චි කළා. ඉන් මීටර 300ක (අඩි 1000ක) විෂ්කම්භයක් ඇති ආවාටයක් සෑදී තියෙනවා.
එක්සත් රාජධානියේ හිටපු ඒකාබද්ධ හමුදා ප්‍රධානි සර් රිච්ඩ් බැරොන්ස් පසුගිය ඉරිදා කීවේ, 'මෙවැනි නියෝගයක් පුටින් දුන්නාද නැද්ද අපි හරියට දන්නේ නැහැ. එහෙම කළා නම් ඉන් වන හානිය අති භයානකයි. තාපමෝචක බෝම්බ හා බර අවි මුදා හැරියාම තරාතිරම නොබලා, අනවශ්‍ය හා අනවසර ලෙස මානුෂ්‍ය ඝතන සිදුවෙන එක වළක්වන්න බැහැ. අපිවත් වෙන කවුරුන්වත් තාම හරියට දන්නේ නැහැ, මේ ප්‍රහාරයේ අරමුණ මොකක්ද? පුටින්ගේ ඔළුවෙ මොනව තියෙනවද කියලා කවුද දන්නෙ?'. කියායි.
සාමාන්‍යයෙන් තාපමෝචක බෝම්බයක් පුපුරුවා හැරෙන්නේ පොළොවට අඩි 100ක් විතර ඉහළින්. එවැනි බෝම්බයකින් ඒ ආසන්නයේ සිටින හැම දෙනෙක් ම, තියෙන හැම දෙයක් ම විනාශ වෙනවා. බෝම්බයේ බල සීමාවේ දාරයේ ඉන්නා අයගේ සිරුරුවල නොපෙනෙන තුවාල සිදු වීමට ඉඩ තියෙනවා. සිරුරේ ඉන්ද්‍රියයන්, තැලී පොඩිවී යන්න පුලුවන්. පෙණහලු ගර්තවලට, හෘද කන්තුකවල, අක්මාපටක වලට, වකුගඩුවලට අතුන් බහන්වලට හා ඇතුළු කනහෙි පටකවලට හානි විය හැකියි. ඒ බව මිලිටරි හා හමුදා ප්‍රවීණයන්ගේ සඟරාවෙහි (Journal of Military and Veterans' Health) දක්වා තියෙනවා.
සාමාන්‍ය බෝම්බයකින් නිකුත් වන්නේ බයිසිකල් බෝල වැනි යකඩ ගුළි වුවත් මෙවැනි තාප බෝම්බ පිපිරීමක දී ඉන් නිකුත් වන්නේ ඇසට නොපෙනෙන තරම් කුඩා ලෝහ අංශු, ගිනිගෙන දැවිය හැකි ධූලි අංශු හා රසායන අංශුයි. අධි වේගයෙන් ඈතට විහිදෙන ඒවා සමේ සිදුරුවලින් සිරුරු තුළට, වගේ ම ගොඩනැඟිලිවල සිදුරු තුළට ද කා වදිනවා. ඒ සමගම බෝම්බය පුපුරන කේන්ද්‍රය හරියේ විශාල රික්තයක් ඇති වෙනවා. අවට තියෙන වාතය ඒ රික්තය දෙසට වේගයෙන් ඇදෙනවා. එවිට වාතයේ ඇති ඔක්සිජන් ගිනිගෙන විශාල ගිනිජාලාවක් හට ගන්නවා. ඒ ගිනි ජාලාව බල ප්‍රදේශය තුළ ඇති සියල්ල විනාශ කර දමනවා.
දැන යුද්ධයේ හත්වැනි දවසත් අවසන් වෙලා. තාම අගනුවර අල්ලා ගැනීමට රුසියාවට හැකි වි නැහැ. දැනටමත් අට ලක්ෂයකට වැඩි ජනගහනයක් දිවි බේරා ගැනීම පිණිස යුරෝපයට පලා ගිහින් ඉවරයි. මෙතෙක් යුද්ධයෙන් මියගිය ගණන තවම හරියට කියන්න බැහැ. මේ වගේ භයාකන බෝම්බ යාදා ගත් විට එවැනි යුද්ධයේ දී මියයන්නේ අවි ගත් අයට වඩා අහිංසක ජනතාවයි. රුසියාව යුක්‍රේන දැන් නිතර කියන්නේ යුද්ධය අවසන් වන තෙක් ආරක්ෂක ස්ථානවලට ගොස් සැඟවෙන්න කියායි. රුසියන් සෙනෙවියන් කියන්නේ වත්මන් යුක්‍රේන පාලනය පෙරළා දැමූ පසු යුද්ධය නතර කරන බවයි.
යුක්‍රේනයේ රුසියානුවන් විශාල පිරිසක් වාසය කරනවා. සෝවියට් සංගමය පැවති කාලයේ මෙහි කර්මාන්තශාලාවට, තෙල් කැනීම්වලට වෙනත් ප්‍රදේශවලින් රුසියන් විශාල වශයෙන් ගෙනාවා. ඔවුන්ගෙන් පැවත රුසියන් ජාතිකයන් යුක්‍රේන හමුදාවේත් ඉන්නවා. ඉතින් රුසියන් හමුදා අතින් ඔවුන්ගේ ම මිනිසුන් මරා දමන්නට සිදුවීම එක අතකින් දෛවයේ සරදමක් වාගෙයි. යුද්ධයට අප කවුරුත් කැමති නැහැ. නවීන ලෝකයේ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි ප්‍රශ්නවලට අවි අමෝරා ගන්නා එක කොයි තරම් අනුවණකමක් ද?
- පර්සි ජයමාන්න
0 Comments