HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පාඨකයන් සතුටු කිරීමට මුල් තැන දුන් නිහඬ පත්‍රකලාගුරුවරයා

ලේක්වුසියේ සේවයට ආ මුල් කාලයේ දී උදෑසනින්ම වැඩට යන අප වැඩ අරඹන්නේ පුස්තකාලයෙනි. සිරිත් පරිදි එදාත් පුස්තකාලයට ගිය මම 'ලංකාදීප' පත්‍රයේ කාටුන් සොය සොයා ඒවා කියවමින් සිටියෙමි. අපේ පුවත්පත් මෙන් නොව ලංකාදීපය කාටූන් කීපයක් පිටු අතර පළ කළ නිසා ඒවා සොයා යාම අපේ පුරුද්ද විය. හෙන්රි තෙන්නකෝන්ගේ 'විහිළු තහළු', කරුණාදාසගේ 'කවටකම්', සේකරගේ 'ජරමර', කියවූ මම නැවතී සිටියේ අමිත අබේසේකරගේ 'විකට විට' ළඟය. එහි මොට්ටපාල රාළහාමි හමු වීමට ඇවිත් ආධාර ලැයිස්තුවක් දික්කරයි. 

"රාළහාමි අර අල්ලපු ගෙදර සංගීතකාරයා භාත්ඛණ්ඩේ යවන්න සල්ලි එකතු කරනවා. රාළහාමිත් රුපියල් දෙකක් දෙන්න" මොට්ටපාල කියයි. 

රාළහාමි දෙන්නේ මෙහෙම උත්තරයක්. "මං දෙන්නං රුපියල් පහක්ම බැරිද ඒ හාදයාව ඊටත් එහා තැනකට යවන්න." ඒක කියවූ ගමන් ම මට සිනා ගියත්, ඒ පුස්තකාලය නිසාත්, මා දකුණු පසින් ජ්‍යෙෂ්ඨ කතුවරයකු සිටි නිසාත් මම සිනාව ශබ්ද නොනඟා කරන්නට මහන්සි ගතිමි. ඒත් මම කිසිවකට සිනා වූ බව වම්පස පුවත්පත බලමින් සිටි තරුණ සහෝදර පත්‍රකලාවේදියාට දැනුණේය. ඔහු මගේ පුවත්පතට එබෙමින්, "ඇයි මචං හිනාවුණේ ?" කියා ඇසුවේ ය. මම කතා නොකර ඔහුට ඇඟිල්ලෙන් කාටූනය පෙන්වීමි. 

ඔහු මගේ පත්තරයට එබී එය කියවීය. කියවා බැරෑරුම් මුහුණක් මවාගෙන මගෙන් මෙසේ ඇසුවේ ය. "ඉන්දියාවෙ ඊට එහා තියෙන සංගීත විද්‍යාලය මොකක්ද මචං?" 

සුබසිංහ මහතා තනිකඩ දිවිය අවසන් කළ දා

ඒ කතාව අසා මගේ දකුණුපස පුවත්පත කියවමින් සිටි ජ්‍යෙෂ්ඨ කතුවරයා සිහින් හඬින් සිනාවක් නඟනු මට ඇසුණි. මා නවකයකු වූ නිසා ඔහු දෙස බලන්නට බිය වීමි. ඉන්පසු නිහඬව පුවත්පත කියවමින් සිටි මට ඔහු පිටත්ව යනු ඇස් කොණින් දැක ගත හැකි විය. 

පසුව මමත් මගේ සගයාත් පුස්කාලයෙන් නික්ම එද්දී ජ්‍යෙෂ්ඨ කතුවරයා ජනතා කර්තෘ මණ්ඩලයේ මැද තවත් අයකු සමග කතා කරමින් සිට එක්වරම මා දෙස බලා අතින් ඔහු දෙසට එන ලෙසට සන් කළේය. මිතුරාගෙන් සමුගෙන මම ඔහු වෙතට ගියෙමි.

"ඔයාගේ යාළුවට ඒ විහිළුව තේරුණේ නෑ නේද? ඒ වුණාට මිනිහා අමිතගෙ විහිළුවට වැඩි විහිළුවක් ඒකෙන් මතු කළානෙ." ඔහු මා ළඟට එත්ම කීවේය. 

"ඔයා ළඟදිද ආවේ?" ඔහුගේ ඊළඟ පැනය විය. 

"ඔව් ගිය සතියෙ" මම ඔහුට මා ගැන විස්තර කීවෙමි. 

"මම සුබසිංහ, අර මේසේ ඉන්නේ. වැඩ ඉවර වුණු වෙලාවක එන්න ටිකක් කතා කරන්න" ඔහු මට යන්න සමුදුන්නේය. 

මට පළමුවරට සුබසිංහ මහතා හඳුනා ගැනීමට ලැබුණේ ඒ අවස්ථාවේ දී ය. මීට දශක හයකට පෙර ඒ හමුවීම විහිළුවක් සමඟ සිදුවීම දෛවයේ සරදමක් දෝයි මට සිතේ. ජීවිතයේ හැම දෙයක් දෙස ම සිනා මුසුව බලන්නට ඔහු තුළ වූ හැකියාව මා තුළ ඔහු කෙරෙහි විශේෂ ළැදියාවක් ඇති වීමට හේතු විය. ඒ මිතුදම ඔහු අභාවයට පත් වන තෙක් ම පමණක් නොව, මේ දක්වාම පවතින මිහිරියාවෙන් පිරි එකක් බව කිවයුතුය. විජය පුවත්පත් ආයතනය බිහි වූයේ ද ඒ මිතුදමේ ප්‍රතිඵලයක් ලෙසය. 

ඇස්. සුබසිංහ මහතාගේ 90 වන ජන්ම සංවත්සරය පසුගිය මාර්තු 5 වැනිදාට යෙදිණ. මේ සටහන ලියන්නට මට සිත්වූයේ ඒ නිමිති කොට ගෙනය. 

සුබසිංහ මහතා විජය පුවත්පත් සමූහයේ 
ප්‍රධාන කර්තෘව සිටියදී

සුබසිංහ ආරච්චිගේ සිරිවර්ධන සුබසිංහ නමින් 1932 මාර්තු 5 වැනිදා වේවැල්දෙණියේ උපත ලැබූ ඇස් සුබසිංහ පවුලේ බාලයාය. ඔහුට ඉහළින් සොහොයුරියන් දෙදෙනකු ද සොහොයුරන් දෙදෙනෙකු ද විය. ඔහුගේ පියා වූ හේරත් සිංඤ්ඤෝ සුබසිංහ මහතා රජයේ ලිපිකරුවකු විය. මව වූ එමලින් නෝනා ගෘහිණියක වූවාය. පස්යාල එල්ලක්කල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සුබසිංහ මහතා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී ඇත. ඔහු ආනන්ද විදුහලේ අධ්‍යාපනය නිම කොට කෙළින් ම ආවේ ලේක්හවුස් ආයතනයට ය. 

ලේක්හවුස් ආයතනය විසින් 1953 වර්ෂයේ දී ආරම්භ කළ නව ආරක සවස පුවත්පතක් වූ 'ජනතා' කර්තෘ මණ්ඩලයට බැඳෙන විට ඔහු වයස අවුරුදු 21ක තරුණයෙකි. එවකට සිළුමිණ හා ජනතා කර්තෘ මණ්ඩල පිහිටියේ එකටය. එහිදී ඔහුට පත්‍රකලාවේදියකු ලෙස අත්දැකීම් ලැබීමට ඒ කර්තෘ මණ්ඩල දෙකෙහිම සිටි කීර්තිමත් පත්‍රකලාවේදීන් රැසකගේ ඇසුර ලැබිණ. මීමන ප්‍රේමතිලක, ඩෙන්සිල් පීරිස්, ධර්මපාල වෙත්තසිංහ, වෝල්ටර් සිරිමාන්න, රාජා තිලකරත්න, සයිරස් ඩබ්ලිව් සුරේන්ද්‍ර, තිස්ස ගුණතිලක, ජී. ටී. වික්‍රමසිංහ, සෝමපාල රණතුංග, ඒමන් කාරියකරවන, ඩබ්ලිව්.කේ.පී.ගුණවර්ධන, මහින්ද කරුණාරත්න, වේවි අබේගුණවර්ධන, විමලසිරි පෙරේරා, එච්.කේ. මහින්දදාස, ජැක්සන් සේනාරත්න, නිමල් පෙරේරා, ඇල්. ඊ. සමරරත්න, තලන්ගම ජයසිංහ ඉන් කීපදෙනෙකි. 

 'ජනතා' කර්තෘ මණ්ඩලයේ වැඩ කරද්දී ඔහුට 'සිළුමිණ'ට විශේෂාංග සම්පාදනය කරන්නට ද සිදුවිය. ඔහු ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා සමග එක්වී විශ්ව සාහිත්‍ය කෙටිකතා, ඡායාරූප කතා බවට පෙරළීය. එය ලංකාවේ පුවත්පතක එවැන්නක් පළ වූ පළමු වතාව විය. එවකට පාසල් සිසුවකු වූ මා මුලින් ම සුබසිංහ මහතා නමින් හඳුනා ගත්තේ ඒ විශේෂාංගයෙනි. ඒ විශේෂාංගය හදිසියේ ම නතරවිය. ඊට හේතුව මට දැන ගැනීමට හැකි වූයේ මා ලේක්හවුසියේ සේවයට ගිය පසුවය. ඒ කාලයේ ඔහු විදේශ ශිෂ්‍යත්වයක් ලබා බ්‍රිතාන්‍යයට ගොස් එහි පුවත්පත් ආයතනයක විශේෂ පුහුණුවක් ලැබීමට ගොස් තිබුණි. 

ධර්මපාල වෙත්තසිංහ, ආනන්ද ජයරත්න (සිනමා නළු), එල්මෝ ගුණරත්න, ඇස්. සුබසිංහ. ඔවුන් සියලු දෙනාම අද අප අතර නැත.

1965 වසරේ සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක මහතාගේ හදිසි අභාවයෙන් පසු 1965 වසරේ දී ඇස්. සුබසිංහ මහතා එම කර්තෘ පදවියට පත් කෙරිණ. ඒ පිළිබඳව සුබසිංහ මහතා 1980 මාර්තු 3 නිකුත් කළ සිළුමිණ ස්වර්ණ ජයන්ති අතිරේකයට මෙසේ ලියා තිබේ. 

“1965 අවුරුද්දේ දී සිළුමිණ පත්‍රයේ කර්තෘ ලෙස මා පත්කරනු ලැබූ අවස්ථාවේදී එවකට ලේක්හවුස් අධිපතිව සිටි රංජිත් විජයවර්ධන මහතා මට කෙටි එහෙත් අරුත්බර උපදෙසක් දුන්නේය. එය මෙසේය. ‘මාව සතුටු කරන්න වුවමනාවක් නැහැ. ඔබේ පාඨකයන් සතුටු කරන්න. මට කියන්න ඇත්තේ එපමණයි.’ මේ උපදෙසට අනුකූල වන අයුරින් පාලක පක්‍ෂය ද කටයුතු කළේය. අපිදු එම උපදෙස අකුරටම පිළිපැදීමට හැකි සෑම උත්සාහයක්ම දැරුවෙමු. එපමණක් නොව ඉන් ලද ප්‍රතිඵල අපේ ඉමහත් සොම්නසට හේතු විය. අප ගිය ගමනේදී ගිරිදුර්ග, වනදුර්ග ආදී බාධක හමු නොවූයේ නොවේ. එහෙත් ඒවායින් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය අපට නොමඳව ලැබුණේ අප අතර පැවැති අසාමාන්‍ය සමගිය හා අධිෂ්ඨානය තුළිනි. එදා කර්තෘ මණ්ඩලයේ සිටි බෙනඩික්ට් දොඩම්පෙගම, ලක්ෂ්මන් ජයවර්ධන, පර්සි ජයමාන්න, පී.බී. ඉලංගසිංහ, එස්.ආර්. හේමපාල කිහිපදෙනකු නොව එක් අයකු යයි සිතෙන තරම් එකා මෙන් වැඩ කළ යුගය සිහිවන විට ඔවුන් හා එක්ව වැඩ කිරීමට ලැබීම කොතරම් වාසනාවන්ත දැයි උදම් නොවී සිටිය හැකි ද?” 

1970 දී සුබසිංහ මහතාට දිනමිණ ප්‍රධාන කර්තෘවරයා ලෙස මාරුවක් ලැබිණ. එදා දිනමිණ කර්තෘ මණ්ඩලයේ සිටියේ පසු කාලයේ පත්‍ර ලෝකයේ පෙරැළි කළ පිරිසකි. එඩ්මන්ඩ් රණසිංහ, සිසිරකුමාර මාණික්කආරච්චි, ජයවිලාල් විලේගොඩ, ජී.ඇස්. පෙරේරා, එඩ්වින් ආරියදාස, දයාසේන ගුණසිංහ, බන්දුල මෙත්තානන්ද, එන්.ජී. ධර්මවර්ධන, ඇල්බට් වැලිවිට, බන්දුල ශ්‍රී සරච්චන්ද්‍ර, හේමා වික්‍රමාරච්චි, යූ. ඇල්. ඩී. චන්ද්‍රතිලක, ඩී.සී. කරුණාරත්න, ඊ.ඒ. අමරසේන, ආනන්ද වීරවර්ණ, කපිල පියදාස, ධර්මදාස බොතේජු, සොලමන් රණසිංහ, එන්.ටී.පී ද සිල්වා, පරනදු ජිනදස් වැනි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද, අජන්තා රණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රභාත් මානවසිංහ, බිනෝයි සුරේන්ද්‍ර, තිස්ස එදිරිසිංහ, සිරි රණසිංහ, එම්. ඩී. එච්. සිරිසේන, උපාලි අයි. ද සිල්වා, සරත් ප්‍රේමතිලක, උදය මානවසිංහ ඇතුළු කනිටු පිරිසක් ද ඊට අයත් වූහ. 

1964 දී එංගලන්තයේ පුහුණුවක් සඳහා ගිය ගමනේ දී සුබසිංහ මහතා ලන්ඩන් වරාය නරඹන්න ගිය අවස්ථාව. මෙකල මෙන් බහාලුම් නැති එකල නවසීලන්තයෙන් මස් ගොඩබෑවේ මෙසේ ය.

ඇස්. සුබසිංහ මහතා 1965 සිට 1970 දක්වා සිළුමිණ ප්‍රධාන කර්තෘ පදවිය දැරීය. ‘සිළුමිණ’ පත්‍රයේ ස්වර්ණමය යුගය වූයේ ඔහු එහි ප්‍රධාන කර්තෘ පදවිය දැරූ සමයයි. එකල එහි සතිපතා අළෙවිය පිටපත් 3,65,000ක් විය. ඒ ගැන ජාත්‍යන්තර සමාගමකින් ලද නිල සහතිකය අනුව සිළුමිණ පත්‍රයේ මුල් පිටුවේ සිරසට යටින් ‘අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පත’ යන පාඨය මුද්‍රණය කිරීමට ද අපට හැකි විය. එදා සුබසිංහ මහතා සමග සිළුමිණේ වැඩ කළ බෙනඩික්ට් දොඩම්පෙගම, ලක්ෂ්මන් ජයවර්ධන, පී. බී. ඉලංගසිංහ, රාජා පෙරේරා, ඇස්. ආර්. හේමපාල, ඇස්. ජයසිංහ ඇතුළු පිරිස හා එක්වන්නට තරම් මම ද භාග්‍යවන්ත වීමි. 

1963 වසර අග දී විමලසිරි පෙරේරා මහතා කතු පදවිය දැරූ 'සරසවිය' සමග එක් වූ මම 1965 ඇස්. සුබසිංහ මහතා සිළුමිණ කතු පදවිය බාර ගත් පසු ඔහු හා එක් වුවද විමලසිරි පෙරේරා මහතාගේ 'සරසවිය'ටත් 'නවයුගය'ටත් මගේ සහය පෙර පරිදිම ඔහු ලේක්හවුස් ආයතනයෙන් 1977 දී ඉවත්ව යන තෙක්ම නොපිරිහෙළා ඉටු කෙළෙමි. 

1970 දී සුබසිංහ මහතා දිනමිණ කතු පදවියට පත් කළ ද 1973 දී ලේක්හවුසිය රජයට පවරා ගැනීමෙන් පසු ඔහුගේ වගකීම කුඩා පත්තර දෙකකට (මිහිර ළමා පත්‍රය හා සතුට චිත්‍රකතා පත්‍රය) සීමා කරනු ලැබීය. සුබසිංහ සුපුරුදු උපහාසයෙන් යුතුව එය බාර ගත්තේය. එහිදී ද සිළුමිණ රාජකාරියට අමතරව මම ඔහුගේ සහයට ඉදිරිපත් වූයෙමි. ධර්මපාල වෙත්තසිංහ මහතා සිළුමිණ කතුවරයා ලෙස පත්ව ආ නිසා මට එය ගැටලුවක් නොවීය. 

ලේක්හවුසියේ සේවය කළ කාලය තුළ දෙවරක් ම 'දිනමිණ' ප්‍රධාන කර්තෘ පදවිය දැරූ ඇස්. සුබසිංහ මහතා 'දිනමිණ - 75 ජයන්තිය' උදෙසා 1984 දෙසැම්බර් 17 වැනිදා පළ කළ විශේෂ කලාපයට ලිපියක් සපයමින් ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ සිද්ධිය මෙසේ ආවර්ජනය කළ ආකාරය මට මතකය. “1973 ජුලි 18 වැනිදා මට පමණක් නොව එවකට ලේක්හවුසියේ සියලුම පත්‍ර කලාවේදීන්ට කිසිදා අමතක නොවනු ඇත. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් වූයේ එදාය. අධ්‍යක්‍ෂ මණ්ඩලයට ගෙදර යන්නට සිදුවිය. සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සියලුම සේවකයන්ගෙන් සමුගෙන නික්ම යනු අපි උඩුමහලේ ජනේල තුළින් ශෝකීව බලා සිටියෙමු. මහ භාරකාරතුමාගෙන් කලින් ලබාගත් විශේෂ අවසරයක් පිට විජයවර්ධන මහතා තම කාර්යාලය සැරැසූ පිත්තල කැටයම් සහිත කළුවර පෙට්ටගම පමණක් ගෙදර ගෙන ගියේය.” 

රජයට පවරා ගැනීමෙන් පසු ලේක්හවුසියේ පත්තර කලාව අමුතුම තැනකට තල්ලු විය. එතෙක් පැවති පාඨකයන් දැනුවත් කිරීමේ හා සතුටු කිරීමේ පත්‍රකලාව, දේශපාලකයන්, විශේෂයෙන් ම පාලකයන්ගේ හෙන්චයියන් සතුටු කිරීමේ කලාවක් බවට පත් විය. දේශපාලන පක්ෂවල සටන් (උද්යෝග) පාඨ පුවත්පත්වල සිරස් තල බවට පත් විය. 

නිදසුනක් ලෙස 1970 දී පේසාලේ තෙල් සොයා කැනීම් ආරම්භ කළ අවස්ථාව දැක්විය හැකිය. 'අපේ මැතිනිනි'ගේ කාලේ මව්බිමෙන් තෙල් මතුවුනොත්! හෙන්චයියලාට 'ඇඟේ මයිල් කෙළින් වෙන' පුවතකි. විශේෂ වාර්තාකරුවකු පේසාලේ වෙත පිටත්කර හරිනු ලැබීය. 'පළවෙනි සාම්පලය ගොඩගත් වහාම පින්තූරයි විස්තරෙයි අරන් එන්න' කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි මහතා ඔවුන්ට දුන් උපදේශය විය. 

ඔහු දින කීපයක් පේසාලේ ගත කර, ජෑම් බෝතලයකට සාම්පලයක් ද රැගෙන ජයග්‍රාහී විලාසයෙන් ආවේය. එවකට සිළුමිණ කතුවරයා වූ විමලසිරි පෙරේරා මහතා මා කාමරයට කැඳෙව්වේ ඒ පුවත සිළුමිණේ මුල් පිටුවේ පළ කරන්නටය. ධර්මසිරි ජයකොඩි මහතාත්, දිනමිණ කර්තෘ පෙරමුණේ තිලක මහතාත් ඔහු සමග සිටියහ.

"මේක ලීඩ් එකට ගන්න" ප්‍රවෘත්තිය මා අතට දෙමින් කීවේ ය. "අවුරුද්දට අපේම තෙල්" එහි සිරස්තලය විය. "මේකෙත් ෆෝටෝ එකක් අරන් දාන්න! පරිස්සමෙන්! බිඳින්න එහෙම එපා! මේක වටිනා කෞතුක වස්තුවක්" ජයකොඩි මහතා කීවේය. 

"සිංහල අවුරුද්දට තව මාස තුනයි, තියෙන්නෙ. මෙතන 'අවුරුද්ද' කියල දාපුවාම මිනිස්සු රැවටෙනවා. 'පේසාලෙන් තෙල් මතුවෙයි!' කියල දමපුවාම මදිද?" මම විමලසිරි පෙරේරා මහතාගෙන් හෙමිහිට ඇසුවෙමි. 

"සිංහල අවුරුද්ද - අපේකම, මතක් වෙන්න තමයි එහෙම දැම්මෙ." ජයකොඩි මහතා කීවේය. 

"ප්‍රශ්නයක් කර ගන්න එපා ඔය කියන විදියට කරන්න" කතුතුමා කීවේය. 

පිටුව සකස් කරගෙන එන අතරමගදී සුබසිංහ මහතාට එය පෙන්වීමි. 'කැවුම් කොකිස් බදින්න' කියලා මුලට නොදැම්මට කියවන අය ඒකත් දා ගෙන කියවයි.' සුබසිංහ මහතා සිනාසෙමින් කීවේය. මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 50කටත් වැඩියි. තාමත් ඒ තෙල් ආවේ නැත. 

දිනමිණ, සිළුමිණ හා ජනතා කතුමඬුලුවල සේවය කළ පුවත්පත් කලාවේදීන් එක් වූ අවස්ථාවක්. වමේ සිට දකුණට (වාඩි වී) එල්. ඊ. සමරරත්න*, ජී. එස්. පෙරේරා*, ඇස්. සුබසිංහ*, බෙනඩික්ට් දොඩම්පෙගම*, ජී. ටී. වික්‍රමසිංහ*, එඩ්මන්ඩ් රණසිංහ (පසු පෙළ) පී. බී. ඉලංගසිංහ, එන්.ජී. ධර්මවර්ධන, උපාලි තෙන්නකෝන්, තලන්ගම ජයසිංහ, ගාමිණී සුමනසේකර, අතුල මංචනායක*, රාජා පෙරේරා*, ලක්ෂ්මන් ජයවර්ධන, සිරි රණසිංහ, ඩී. බී. ලියනගේ*, රොහාන් පෙරේරා. (ඉදිිිරි පෙළ පර්සි ජයමාන්න හා සුනිල් මාධව ප්‍රේමතිලක*. (*අද ජීවතුන් අතර නැත.)

1977 දී යළිත් ආණ්ඩු මාරුවක් සිදු විය. ලේක්හවුසිය නැවතත් කණපිට පෙරළිණ. සුබසිංහ මහතා යළිත් දිනමිණ මහ පුටුවට ආවේය. එහෙත් පාඨකයන් සතුටු කිරීමේ කලාව ලේක්හවුසියට යළි ආවේ නැත. අපේ පත්‍රකලා ජීවිතය නිසරු ඒකාකාරී ලෙසින් ගලා ගියේය. සුබසිංහ මහතාගේ සියුම් උපහාසයට පවා මගේ නො සතුට පහ කළ නොහැකි විය. 

1979 මුල හරියේ දවසක මම අපේ දුක්ගැනවිලි කියන්න සිටි එකම තැනැත්තා සොයා ගියෙමි. ඔහු එවකට ලේක්හවුසියේ බෙදා හැරීමේ කළමනාකාර තනතුර හෙබ වූ රෝලන්ඩ් අබේසිංහ මහතා ය. "අබේසිංහ මහත්තයො, මම ලේක්හවුස් එකෙන් අස්වෙන්නයි ඉන්නෙ. මට නම් මේ විකාර බලබලා තවත් ඉන්න බැහැ." මගේ කතාවෙන් අබේසිංහ මහතා ගල් ගැසී ගියේය. 

"ඔයාට ප්‍රශ්නයක් නැහැ නෙ. ඔයා අකමැති දේවල් දැක්කේ නෑ වගේ, නෑහුනා වගේ ඉන්න. අපට දැන් ඒවා හදන්න බැහැ නෙ." ඔහු මා අස්වසන්නට තැත් කළේය. 

"රංජිත් විජයවර්ධන මහත්තයා හම්බවෙලා මට ප්‍රින්ටර්ස් එකෙන් සඟරාවක් ගහන්න කතා කරලා දෙන්න. දෙවැනි කලාපය ගහන්න ඉස්සෙල්ලා පළමුවෙනි කලාපෙ ගනුදෙනු බේරනව කියලා කියන්න." මම ඔහුට කීවෙමි. 

"ඒ වගේ එකක් බෙදා හැරීම ලේසි නැහැ. " ඔහු කිවේය. 

"ලෝක ප්‍රකට රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව ආරම්භ කරපු ඩීවිට් වොලස් මහත්තයා වගේ මමත් මගේ සඟරාව අරගෙන පාඨකයන්ගේ කකුල් දෙක ළඟට යනවා. මට ඒකෙන් පිටපත් 2000ක් විතර විකුණ ගත්තම ඇති." මම කීවෙමි. 

පහුවදා උදෙන්ම අබේසිංහ මහතා මා සොයා ආවේය. "ඔයාගේ වැඩේ හරි! මං ඊයෙම ගියා මිස්ට විජයවර්ධන හම්බවෙන්න. එයා කැමති වුණා." අබේසිංහ මහතා කීවේය. සුබසිංහ මහතා පුදුමයෙන් මා දෙස බැලීය. මම ඔහුට කලින්දා වූ සිද්ධිය කෙටියෙන් කීවෙමි. 

"ඔයා යනවා නම් මං විතරක් මෙහෙ ඉන්න එකේ තේරුමක් නැහැ. මට පඩිත් එපා! මං නිකං වැඩ කරන්නම්." සුබසිංහ මහතා කීවේ මඳක් සැලෙන ස්වරයකිනි. ඒ අවස්ථාවේ දී අබේසිංහ මහතා කීවේ "සුබෙත් එනව නම් මමත් අස්වෙලා එන්නම්. අපි පත්තරයක් ම පටන් ගනිමු" යි කියාය. 

මගේ සඟරා සිහිනය බොඳ වී ගියේය. ඒත් මම නොවැම්බර අවසානයේ ඉල්ලා අස්වීම බාර දුනිමි. සුබසිංහ මහතාත් අබේසිංහ මහතාත්, ඔහු සමග බෙදාහැරීම් අංශයේ සහකාර කළමනාකරු සරත් ටෙනිසන් මහතාත් විශ්‍රාම ගෙන අප සමග එක් වූහ. 1980 ජනවාරි පළමු වැනිදා හුණුපිටිය හරස් හරස් පාරේ පරණ තේ ස්ටෝරු ගොඩනැඟිල්ලක එක මේසයක් වටා හිඳගෙන පළමුවන රැස්වීම පැවැත්වීමු. මා සමග එදා නාලන්ද විදුහලේ ආචාර්යවරයකු වූ අතුල මංචනායක ද එම රැස්වීමට සහභාගි විය. ඔහු පසුව රජයේ සේවයෙන් ඉවත්ව අප සමග එක් විය. 

සුබසිංහ මහතා ප්‍රධාන කර්තෘ තනතුරේ තබාගෙන අපි විජය පුවත්පත් ආයතනය ආරම්භ කෙළෙමු. රංජිත් විජයවර්ධන මහතා අපට සිය හැකි පමණින් අපට හැම පහසුකමක් දුන්නේය. කිව් පරිදි සුබසිංහ මහතාත් අබේසිංහ මහතාත් මාස කීපයක් පඩි නොගෙන වැඩ කළහ. 

1980 ජනවාරි 21 වැනිදා 'සතුට' පත්‍රය පළ කරමින් ‍ආරම්භ කළ ඒ ගමන, වසර 42කකට පසු විජය පුවත්පත් ආයතනය දෙස බලා සතුටු වන්නට, පසුගියදා 90 වැනි ජන්ම දිනය සැමරූ සුබසිංහ මහතා අප අතර නැත. එපමණක් නොව ඒ මුල් හමුවට එක් වූ අනෙක් මගේ සහෘදයන් ද නැත. ඉතිරිව සිටින්නේ මා පමණය. 

- පර්සි ජයමාන්න 


 

Post a Comment

2 Comments

  1. පැරණි මතක නැවත මතකයට ගෙනඒම ගැන මගේ සතුට! හැටේ දශකයේ නවයුගය සඟරා ගොන්න මා තවමත් වරිනවර රස විඳිනවා. නවයුගය පුවත්පත් එකතුව තබාගැනීමට බැරිවීම ගැන තවමත් කණගාටුයි.

    ReplyDelete
  2. ඔබට තුති! හැටේ අග හරියෙදිත් මං නවයුගයට සහය දුන්නා. කවරවල වෙනසින් ඔබට ඒවා හඳුනා ගත්තෑකි

    ReplyDelete