දේදුනු මාළු විශේෂයට අයත් නව ප්‍රභේදයක් මාල දිවයින් මුහුදෙන් සොයා ගෙන තියෙනවා. මේ වර්ණවත් මසුන් විශේෂය හමු වී ඇත්තේ මාල දිවයින් වෙරළාසන්න මුහුදේ මන්දාලෝක කලාපය (twilight zone) තුළිනුයි. හිරු එළිය නිශ්චිතව නො වැටෙන මේ සාගර කලාපය පිහිටා ඇත්තේ ගැඹුර අඩි 131ත් 229ත් අතර මුහුදේයි. මේ නව මත්ස්‍ය ප්‍රභේදයට නම් තබා ඇත්තේ මාල දිවයිනේ ජාතික පුෂ්පය වන රෝස මල සිහිවීම පිණිස සිර්හිලබ්‍රස් ෆිනිෆෙන්මා (Cirrhilabrus finifenmaa) කියලයි. මාල දිවයින් විද්‍යාඥයකු වන අහමඩ් නජීබ් (Ahmed Najeeb) විසින් පළමුවරට හඳුන්වා දෙන ලද මත්ස්‍ය විශේෂය මෙයයි.
මාල දිවයින් බස වූ දිවෙහි බසෙන් 'ෆිනිෆෙන්මා' කියන්නේ රෝස මලටයි.
මේ මත්ස්‍ය විශේෂය ගැන පළමුවරට හෙළි කළ මාල දිවයින් සාගර පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යාඥ අහමඩ් නජීබ් ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියනවා.
"මෙතෙක් කලක් මාල දිවයිනේ මසුන් හඳුනාගෙන හෙළිදරවු කරනු ලැබුවේ විදේශ විද්‍යාඥයන් විසින්. මාල දිවයිනටම ආවේණික වූ මසුන් පවා විද්‍යාත්මකව ලොවට හඳුන්වා දී ඇත්තේ විදේශිකයන් වන අතර දේශීය විද්‍යාඥයන් එවැනි අවස්ථාවල කැපී පෙනෙන දායකත්වයක් දක්වා නැහැ" තවදුරටත් සඳහන් කරන ඔහු කියන්නේ, "මේ වෙනස් තත්වයක්. පළමු වතාවට මෙවැනි දෙයකට එක් වීමට ලැබීම සතුටට කාරණයක්. විශේෂයෙන් ම මෙවැනි අලංකාර මසුන් සමඟත් ඉහළ පෙළේ මත්ස්‍ය විද්‍යාඥයන් සමඟත් අපට කටයුතු කරන්නට ලැබුණා." කියායි.
මේ මත්ස්‍ය විශේෂය මුලින් හඳුනාගෙන තිබුණේ වසර 30කට පෙරයි. ඒ කාලේ මේ මාළුවා හැඳින්වුණේ සිර්හිලබ්‍රස් රුබ්‍රිස්කුවේමිස් (Cirrhilabrus rubrisquamis) කියායි. ඉංග්‍රිසියෙන් හැඳින්වෙන්නේ රතු වෙල්වට් රැසී (red velvet fairy wrasse) කියායි. එදා සිටියේ මාල දිවයින්වලට දකුණෙන් පිහිටි චාගෝස් කොදෙව් ආශ්‍රිතව හමු වූ එකම එක තරුණ මත්ස්‍යයෙකු විතරයි.
චාගෝස් කොදෙව් ආශ්‍රිත සාගරයේ දුරස්ථව මෙහෙයවූ යානයකින් ගන්නා ලද දසුන් පෙළක් දුටු පසුවයි පර්යේෂකයන් හඳුනා ගත්තේ මේ නව රැසී මත්ස්‍ය විශේෂය කලින් හඳුනාගෙන සිටි සිර්හිලබස් රුබ්‍රිස්කුවේමිස් නොව වෙනත් විශේෂයක් බව. හොඳින් වැඩුණු පසු නව මත්ස්‍ය විශේෂය වන සිර්හිලබ්‍රස් ෆිනිෆෙන්මා දීප්තිමත් මැජෙන්ටා පැහය ඇතුළු, පීච් පැහැය, ඔරෙන්ජ්-පින්ක් හා තද දම්පැහැය යන අද්විතීය වර්ණවලින් යුක්ත වෙනවා.
මොකක්ද මන්දාලෝක කලාපය (twilight zone) කියන්නේ මොකක්ද?
පෘථිවියේ සාගරවල මැද ස්තරය තමයි, මන්දාලෝක කලාපය නමින් හැඳින්වෙන්නේ. මේ මුහුදු කලාපයට හිරු එළිය වැටෙන්නේ ඉතාමත් අල්ප වශයෙනුයි. මෙය 'මිසෝපෙලජික් (mesopelagic zone) කලාපය' කියා විද්‍යාත්මකව හැඳින්වෙනවා. එය පිහිටා ඇත්තේ මීටර් 35ත් (අඩි 115ත්) මීටර් 70ත් (අඩි 230ත්) අතර මුහුදු ප්‍රදේශය තුළයි.
සාගර ජලය තුළට හිරු එළිය ප්‍රමාණවත් ලෙස නොලැබෙන නිසා මේ කලාපයේ ප්‍රභාසංශ්ලේෂණය සිදු වන්නේ නැහැ. ඒ නිසා මුහුදු ශාක කිසිවක් මේ කලාපයේ වැඩෙන්නේ නැහැ. මෙහි ජීවත්වන සතුන් ඒ පරිසරයේ දැඩි ශීතල ජලයටත්, අධි පීඩනයටත් ඔරොත්තු දෙමින් අඳුරේ ජීවත්වෙන්නට හැඩගැසී තියෙනවා.
මේ කලාපයේ බොහෝ සතුන්ට අඳුරේ හා ගැඹුරේ පෙනීම සඳහා ලොකු ඇස් තියෙනවා. ඒ වගේ ම ලොකු හකුපාඩා හා දත් තියෙනවා. ඔවුන් වැඩි දෙනෙක් ප්‍රමාණයෙන් කුඩයි, වෙස්වළා ගැනීම පහසු වනු පිණිස සිහින් සිරුරවලින් යුක්තයි.
මේ රැසී මසුන්ට දර්පණයකින් තමන්ව හඳුනා ගන්න පුලුවන්!
මේ සොයා ගැනීම විස්මයජනක එකක් වුණා විතරක් නොවෙයි, සතුන්ගේ බුද්ධිය මනින ක්‍රම ගැන යළි සලකා බලන්නත් විද්‍යාඥයන්ට දැන් සිදුවෙලා තියෙනවා.
මතකය අඩු නිසා මසුන් සත්වලෝකයේ මෝඩයන් ලෙසයි, සැලකෙන්නේ. ඒත් මසුන් ඒ තරම්ම මෝඩ නැහැ. නව අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනවා මසුන්ට මූණ බලන කණ්ණාඩියකින් තමාගේ රූපය අඳුනා ගන්න පුලුවන්කම තියෙනවා කියලා.
කණ්ණාඩියකින් තමාගේ රූපය අඳුනා ගන්න පුලුවන් ද බලන එක සතුන්ගේ බුද්ධිය මනින්න යොදා ගන්නා මූලීක පරීක්ෂණයක්. අවුරුදු එක හමාරක් වෙන කොට ළමයින්ගෙන් තුනෙන් දෙකකට ඒක කරන්න පුලුවන්. චිම්පන්සින්ටත්, අලි ඇතුන්ටත් ඒ බුද්ධිය තියෙනවා. ඒත් බල්ලන්ට, බළලුන්ට විතරක් නොවෙයි, ඒ හැකියාව බුද්ධිමත් යැයි කියන වඳුරන්ටත්, ගිරවුන්ටත් ඇත්තේ නැහැ.
මේ රැසී මසුන්ටත්, උන්ගේ මොළය කුඩා වුනත්, ඒ හැකියාව තියෙනවා කියලා හෙළිවුණාම විද්‍යාඥයන් මවිතයට පත් වුණා. ඒ මසුන් උන්ගේ ඔඵවේ ඇති වර්ණ පැල්ලම් මුහුණු බලන කණ්ණාඩියෙන් දුටු විට ඒවා හඳුනා ගෙන පසුව ඒවා ඉවත් කරන්නට උන් රඳවා සිටි ටැංකිය තුළ වූ ගල්වල හා බොරලුවල අතුල්ලා ඒවා ඉවත් කර ගන්නට උත්සාහ ගන්නා අයුරු විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර තියෙනවා.
මේ අධ්‍යයනය කළ, ජපානයේ ඔසාකා විශ්වවිශ්ව විද්‍යාලයේ හා මත්ස්‍ය විද්‍යාව පිළිබඳ මැක්ස් පලෑන්ක් ආයතනයේ ආචාර්ය ඇලෙක්ස් ජෝර්ඩන් මෙහෙමයි, ඒ ගැන කියන්නේ. "ඒ මත්ස්‍ය චර්යාවන් ගැන පරීක්ෂා කරද්දී අපි කණ්ණාඩි පරීක්ෂණය ඔවුන්ට යොමු කළේ දෙගිඩියාවෙන්. මේ පරීක්ෂණයට අදාළව මේ චර්යාව වෙනත් බොහෝ සතුන් තුළ ස්වයං-අවබෝධය ලෙස අර්ථ දක්වා ඇතත්, මසුන්ට අදාළව ස්වයං-අවබෝධය ඇති බවට මේ චාර්යාව සාක්කි ලෙස සැලකිය යුතුද යන්න තවමත් පැහැදිලි නැහැ."
මේ රැසී මසුන් කසළශෝධකයන් වන නිසා නිවර්තන කලාපීය කොරල් පරවල ජීවත්වෙමින් එහි ඉන්නා ලොකු මසුන්ගේ සිරුරූවල වෙසෙන පරපෝෂිතයන් කා දමා සුද්ධ කරනවා. කණ්ණාඩි පරීක්ෂණයේ දී ඔවුන් හඳුනා ගන්නවාදැයි බලන්න විද්‍යාඥයන් කළේ උන්ගේ ඔළුවට හා බෙල්ලට ඒ පරපෝෂිතයන් ලෙස පෙනෙන්නට සායම් වර්ගයක් විදීමයි. උන් ඒ සලකුණු කණ්ණාඩියෙන් දුටුවාට පසුව, ඒවා ඉවත් කර ගන්න තැත් කරනවා විද්‍යාඥයන් නිරීක්ෂණ කළා.
- පර්සි ජයමාන්න
.
0 Comments