වරක් නස්රුදින් වෙළඳ ව්‍යාපාරිකයෙක් ළඟ රස්සාවක් කළා. නස්රුදින්ගේ සේවය ගැන හාම්පුතා වැඩිය සතුටු වුණේ නැහැ.
ඉතින් දවසක් නස්රුදින්ට කතා කළ, ඔහු මෙහෙම කිව්වා. "ඔහෙ එක එක බඩුව ගේන එක එක පාරට නගරයට යන්න එපා! කල්පනා කරලා එක පාර ලැයිස්තුවක් හදාගෙන ඒවා එකපාර ගේනවා. එතකොට වියදම අඩු කළෑකි නෙ. ඒ හින්දා අනිත් සැරේ එහෙම කරන්න! "
නස්රුදින් ඒ ගැන මොකුත් නොකියා හිස සලා යන්න ගියා.
ටික දවසකට පස්සේ හාම්පුතා ලෙඩ වුණා. ඔහු අමාරුවෙන් නස්රුදින්ට කතා කරලා මෙහෙම කිව්වා. " නස්රුදින් මට අමාරුයි! ඉක්මන් කරලා ගිහින් වෛද්‍යවයෙකු එක්ක එන්න!"
නස්රුදින් දුවලා ගිහින් වෛද්‍යවරයකු කැටුව ආවා. වෛද්‍යවරයා ආ සැණෙන් රෝගියා පරීක්ෂා කරන්න පටන් ගත්තා. ඒ අතර තවත් දෙදෙනකු නස්රුදින් එක්ක ඉන්නවා හාම්පුතා දැක්කා.
"නස්රුදින්, ඔය ඔහෙ ළඟ ඉන්න අනික් දෙන්නා කවුද?" රෝගියා කෙඳිරිලි හඬින් ඇහුවා.
"ආ ඒ අයද? ඔබතුමා මට කිව්වා නෙවැ එක එක දේ ගේන්න එක එක සැරේට යන්න එපා! හොඳට කල්පනා කරලා කරන්න කිව්ව නෙ. ඒ හින්ද වෛද්‍යතුමා එක්ක එන්න යන ගමන් මං කල්පනා කළා, වෛද්‍යතුමාගෙන් පස්සේ අවශ්‍ය වුණොත්, පූජකතුමාත්, ඊටත් පස්සේ අවශ්‍ය වුණොත්, මල්ශාලාකාරය්, කෝකටත් කියලා ඒ දෙන්නවත් එක්ක ආවා." නස්රුදින් ගත කටට ම කිව්වා.
- පර්සි ජයමාන්න
0 Comments