HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලක්වැසි අපට එකම දවසකට යෙදෙන ශෝක දින දෙකක්!

මින් වසර හැත්තෑපහකට පෙර, 1952 මාර්තු දෙවැනිදා 'ලංකාදීප පත්‍රයේ 'වගතුග' තීරුවේ එකම දිනකට යෙදෙන ජාතික ශෝක දින දෙකක් ගැන අපූරු ලිපියක් පළ විය. ඒ තීරු ලිපියෙන් අවධාරණය කළ පරිදි ඒ ශෝක දින දෙක යෙදෙන්නේ මාර්තු දෙවැනිදාටය. මේ 'වගතුග' තීරු ලිපිය එදා ලීවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. එතුමන් කවදත් හැම දෙයක් දෙස ම අමුතු විදියකට බැලූ අයෙකි. පහත පළ වන මේ ලිපියෙනුත් ඒ බව තහවුරු වෙයි. 

කුමරතුඟු මුනිදසුන් 

ජාතික ශෝක දිනය 

ඉංගිරිසි කිරුළට යට වීමෙන් සිංහල කිරුළේ උරුමය අවසන් වරට අහිමි වූයේ මාර්තු දෙවන දාය. ඉන් අවුරුදු එකසිය ගණනකට මොබ දී කුමරතුංග මුනිදසුන් පරලෝ සැපත් වූයේ ද මාර්තු දෙවන දාය. අවුරුද්දකට වරක් එළඹෙන කුමාරතුංග සමරු දිනය වූ කලී අපේ ජාතිය දෙස හෙලන පිරිපුන් බැල්මකි. 

මුනිදසුනැයි කියන්නේ අපේ ජාතියේ මුළු මහත් උවමනාවක් කැටි වී මැවුණු පිළිරුවකට ය. ඔහු දිවි ගෙවූයේ ජාතියේ උවමනාවන් සමග ය. බස සකස් වන විට හදවතෙහි ඇද මැකෙන බව ඔහු දැන ගෙන සිටියහ. ඔහුගේ දිවිය බස සමග වෙලී ගිය ද, ජාතියේ අන් හැම උවමනාවක් ම ඔහුගේ පැවැත්මෙන් නොයෙක් විට පළ වූයේ ය. අදීන බව ඒ සියල්ල පිළිබඳ පැහැදිලි ලකුණ වූයේ ය. 

ගති පැවතුම් සිරිත් විරිත්, සිතුම් පැතුම් හා උගැන්ම ද අදීන බවට පත් කිරීම ඔවුන් දැරූ තැත මෙ තෙකැයි කිව නො හැකි ය. අපේ යයි කියන හැම දෙයක් ම අනුන්ගේ හැම දෙයකට ම වඩා ඉදිරියෙන් තැබීමට ඔහු වෙහෙසුනා හ. මහ තැන් වලින් ඉස් මුදුනින් පිළිගැනුණු මහ ඉහළ යයි සිතා සිටි දෙය, පොදි පිටින් බිම ඇද දමා, පා පහර දී විසුරුවා හැර, අවට සිටියවුන්ගේ නැහැ හකුළුවා ලීමට ඔහු සමත් වූහ. 

අවසන් හුස්ම හෙලීමට කලින් වුන් දැකීමට ගිය වියතකු සමග පිළිසඳරක දී "තව සියවස් තුන හතරක දී මා කළ කී දෙයෙහි පලගැන්වෙනවා ඇති" යි කී බව අද මෙන් මට මතක ය. එය එසේ ම ය. බසට නියම තැන ලැබූ දා කවර දා හෝ ඔවුන් හැඳින ගැනීමට ඉඩ ලැබෙනු නො අනුමාන ය. 

ඔවුන් දුටු දෙයෙහි අගය මුළු මනින් නිදහස ලැබුණු රටකට විනා අනුන්ගෙන් සිඟා ගත් දෙයින් යැපෙන රටකට කිසි සේත් නො දැනෙන බව පිළිගත යුතු ඇත්තකි. 

සිංහල ඌරුව යම් තැනක ද මුනිදසුන් එ තැන ය. 

කුමරතුඟු මුනිදසුන් මතු වූයේ ඔවුන් මැඬලීමට ඉදිරිපත් වුනට පින් සිදු වන්නට ය. පහර වැදුණු තරමට ම දිලිසෙන ගුණයක් ඔවුන් තුළ තිබුණේ ය. මුනිදසුන් ගිය මඟෙහි යන්නෝ අද ඔවුන් ගුරු දෙවියන් කොට දකිති. විකුමට කඳ දෙවියා මෙන්, නුවණට ගණ දෙවියා මෙන්, මුුනිදසුන් හෙලයට ගුරු දෙවියා යයි සුබැසියෝ කියති. කඳ දෙවියනට මුහුණු සයකි. පිරික්සුම, විවරණය යනාදී මුහුණු ගණනාවෝ ඔවුන් ගෙන් ද දැකිය හැකි ය. සුබැසියෝ අද ඔවුන් ගේ හෙළ දෙවියන් ගේ අනුහස මහ විදුහල් තුළ ද පහළ කෙරෙති.

'ලංකාදිපයේ' වගතුග තීරුවට කුමරතුඟුවන් ගැන මින් වසර හැත්තෑපහකට පෙර මානවසිංහයන් ලියූ ඒ ලිපියෙහි අකුරකුදු වෙනස් නොකොට මෙහි පළ කෙළෙමි. අදට වඩා ඒ බසෙහි යම් යම් වෙනස් කම් ඔබට දකින්නට ලැබෙන්නට ඇති. ඒ මානවසිංහයන්ගේ රචනා ශෛලියයි. 

එහි දී මානවසිංහයන් දක්වන මුල් ශෝක දිනය ඉංගිරිසින් විසින් 1815 මාර්තු 2 වන දා ය. දෙවන ශෝක දිනය කුමරතුඟු මුනිදසුන් අභාවයට පත් වූ 1944 මාර්තු 2 වන දා ය. කුමරතුඟු මුනිදසුන් අප රට නිදහස ලබනු නො දුටුවහ. සිංහලය රජ බස වනු නො දුටුවහ. ඔහු කල මෙරට රජ බස ඉංගිරිසිය විය. සිංහලය මතු රජ වනු ඇතැයි සලකා එය ඊට සුදුසු පරිදි සකසන්නට එතුමන් සිය කෙටි ජීවිත කාලය තුළ කළ මෙහෙය අපමණ ය. ඒ ගැන වෙනම ඉදිරියේ දී කතාබහ කරමු. 

- පර්සි ජයමාන්න -

Post a Comment

0 Comments