සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට ප්‍රථම වරට ග්‍රහකයකු සොයාගෙන දැන් වසර තිහක් වෙනවා. ඒ වසර 30 තිස්සේ ම මේ වන විට සොයා ගෙන ඇති ග්‍රහයන් ගණන 5000 ඉක්මවනවා. ඒත් සියල්ල ඇත්තට ම සැබෑ ග්‍රහයන් ද? මේ ප්‍රශ්නය තාරකා විද්‍යාඥයන්ට වද දුන් එකක්. ඒ නිසා ඔවුන් ඒවා එකින් එක පරීක්ෂා කරන්න වුණා. දැන් සොයා ගෙන තියෙනවා එයින් ග්‍රහයන් තුන් දෙනෙක් තර බව. මේක සිද්ධ වුණේ කොහොමද?
මේ විමර්ශනය සඳහා පැරණි මිමි ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා අලුත් මිමි සොයා ගන්නට සිද්ධ වුණා. ඒ අනුව කේම්බ්‍රිජ්හී මැසචුසෙට්ස් තාක්ෂණික විශ්විද්‍යලයේ තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් සොයා ගත් ග්‍රහයන් ගැන දෙවරක් විමසන්න පටන් ගත්තා. මේ පරීක්ෂණයෙන් පස්සෙ ග්‍රහයන් තුන් දෙනෙක් ග්‍රහයන් නොව තාරකා බව දැන් හෙළි වි තියෙනවා.
ඒවා නම් කෙප්ලර් 854බී (Kepler-854b), කෙප්ලර් 840බී (Kepler-840b) හා කෙප්ලර් 899බී (Kepler-699b) යන තුනයි. ඒවා බෘහස්පතී ග්‍රහයාගේ අරය මෙන් දෙගුණයත් තුන්ගුණයත් අතර වන ඒවා බව දැන් හෙළි වි තියෙනවා. මේ වස්තූන්වල ස්කණ්ධය බෘහස්පතී ග්‍රහයාගේ ස්කන්ධය මෙන්න 200 ගුණයත් 300 ගුණයත් අතර වෙනවා. එහිදී විමර්ශනයට ලක්වී ඇති 4 වන ග්‍රහයා වු කෙප්ලර් 747බී (Kepler-747b) ගේ අරය බෘහස්පතීගේ අරය මෙන් 1.8 ගුණයක් යැයි සඳහන් වෙනවා. ඒවා දැනට ඉතා විශාල ග්‍රහයන් යැයි තහවුරු ව ඇති වස්තූන් හා සසඳන විට බොහෝ දුඹුරු වාමන තාරකාවලට වඩා ප්‍රමාණයෙන් විශාලයි.
එවැනි ග්‍රහවස්තුවක් තරුවක් හා ග්‍රහයෙක් අතරටයි, වැටෙන්නේ. එය අයත් වන තරුව සාපේක්ෂව ඉතාමත් දුරින් පිහිටන නිසා එවැනි විශාල වස්තුවේ පැවැත්මට ප්‍රමාණවත් සහයක් ඒ තරුවෙන් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා එය දිගටම ග්‍රහයකු ලෙස පවතින්නේ නැහැ.
මෙම අධ්‍යයනය කළ කණ්ඩායම නිගමනය කළේ කෙප්ලර් 747බී ග්‍රහකයකු ලෙස නොසැලකිය හැකි බවයි. "බොහෝ බහිර්ග්‍රහයන් බෘහස්පතී ප්‍රමාණයේ හෝ ඊට මඳක් කුඩා ඒවායි. බෘහස්පතී මෙන් දෙගුණයක් තරම් විශාල ඒවා ග්‍රහයන්දැයි සැක සහිතයි." කියා මේ අධ්‍යයනයේ මූලිකත්වය ගත් මැසචුසෙට්ස් තාක්ෂණික විශ්විද්‍යලයේ ප්‍රාජ්වාල් නිරවුලා (Prajwal Niraula) කියනවා.
මේ කණ්ඩායමේ මූලික අරමුණ රැවටිලිකාර ග්‍රහයන් සොයා ගැනීම නොවෙයි. නිරවුලා කියන්නේ ඔවුන් මුලින් ම උත්සාහ කළේ උදම් විකෘතීන් ඇති පද්ධති සොයා ගැනීමට බවයි. "ග්‍රහ වස්තූන් දෙකක් වඩාත් සමීප වූ විට ඉන් එකක ගුරුත්ව බලයෙන් අනික බිත්තර හැඩයක් හෙවත් ඉලිප්සාකාර හැඩයක් ගන්නවා. එයින් හිතා ගන්න පුලුවන්, බලපෑම කරන ග්‍රහයාගේ විශාලත්වය කෙබඳුද කියා" නිරවුලා කියනවා. "ඒ උදම් ආකර්ෂණය අනුව ඔබට තීරණය කරන්න පුලුවන් ඒක තරු-තරුවක්ද නැත්නම් තරු-ග්‍රහයෙක් ද කියා." ඔහු වැඩිදුරටත් කියනවා.
"පවත්නා තත්වයන් යටතේ දැනට ඇති ග්‍රහලෝක ලැයිස්තුව වඩාත් අංග සම්පූර්ණ එකක්. සමස්තයක් ලෙස සක්වළ ඇති ග්‍රහලෝක ගහනය ගැන අධ්‍යයනයන්ට යොදා ගන්නවා. එයින් දෙකතුනක් අරන් ඒවා ගැන පමණක් විමසා වාර්තාවක් නිකුත් කිරීමෙන් මුළු ලැයිස්තුවටම හානියක් සිදුවෙනවා." මෙහි සම කර්තෘ ඇවි ෂ්පෝර්ර් (Avi Shporer) කියනවා.
"මේ පර්යේෂණය ග්‍රහලෝකයක් යනු කුමක් ද? එවැන්නක ඉහළ පහළ මායිම් මොනවාදැයි සලකුණුු කිරීම අවශ්‍යයි. සක්වළ පිළිබඳ චිත්‍රය සම්පූර්ණ කිරීමට ඒ තොරතුරු උපකාරී වෙනවා." ඔහු වැඩිදුරටත් කියනවා.
කෙප්ලර් ග්‍රහලෝක නාමාවලිය හරහා තොරතුරු විමසමින් යන විට ඔවුන්ට කෙප්ලර් 854බී ග්‍රහ ලෝකයෙහි වෙනසක් දැක ගන්න ලැබුණා. "හදිසියේ ම අපට පෙනී ගියා ඒ ග්‍රහ වස්තුව ඉලිප්සාකාර ලක්ෂණ වඩාත් පැහැදිලිව පෙන්නුම් කරන බව. ඒ නිසා එය ග්‍රහලෝකයකින් එන්නක් නොවන බවට අපි තීරණය කළා." ෂ්පෝර්ර් කියනවා.
මේ නිසා පර්යේෂක කණ්ඩායම, තරුවකත්, වෙන්ට ග්‍රහලෝකයකත් අතර ඇති වෙනස්කම් දෙවැනි වරටත් විමසීමක් කරන්නට තීරණය කළා. කෙප්ලර් විසින් හඳුනා ගෙන තිබුණු සියලුම ග්‍රහලෝක අතරින් කෙප්ලර් 854බී ග්‍රහ වස්තුවෙන් ආ ආලෝකයෙහි වෙනසක් ඇති බව ඔවුන් හඳුනා ගත්තා. ඒ වෙනස ඇති වුණේ ඒ ග්‍රහයා ඊට අයත් තරුව ඉදිරියෙන් යාමේ දී බවයි. එහි ගැඹුර අනුව ඔවුන් ඒ ග්‍රහයාගේ ප්‍රමාණය මැන ගන්නට ඔවුන්ට හැකි වුණා. නිරවුලා සොයා ගත්තා, එය කෙප්ලර්ගේ ගලා මෙහෙයුමේ වැඩිදියුණු කළ දත්ත අනුව එය බෘහස්පතීගේ අරය මෙන් තුන් ගුණයක් හා 200 ගුණයක ස්කන්ධයක් ඇති එකක් බව.
"මේ විශ්වයේ ඒ ප්‍රමාණයේ ග්‍රහලෝකයක් ඇති විය නොහැකියි. එය සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ තරුවකට සමාන බව අපට වැටහුණා" යයි ෂ්පෝර්ර් කියනවා. "සසඳා බැලුවොත් බෘහස්පතී මෙන් 13-80 ගුණයක් තරම් වන, දළ වශයෙන් අරය 0.7 සිට 1.4 දක්වා ගුණයකින් වන, දුඹුරු වාමන තරුවකට සමානයි. කොසේ වෙතත් මීටත් වඩා කුඩා වාමන තරු තියෙනවා. ඒවා බොහොමයක් අරය තුනෙන් දෙකකට වැඩි ඒවායි. බෘහස්පතීගේ අරය අපේ සූර්යයා අරයෙන් දහයෙන් එකක් පමණයි.
අන්තිමේ දී පර්යේෂණ කණ්ඩායම, එය තරුවක් නොවන බවටත් දැවැන්ත තරුවක් වටා යන කුඩා තරුවක් බවටත්. තිරණය කළා.
ප්‍රාජ්වාල් නිරවුලා කෙප්ලර් ග්‍රහලෝක නාමාවලිය හරහා, එහි වැඩි දියුණු කළ අලුත් ගණනය කිරීම් අනුව ප්‍රමාණයෙන් වඩා විශාල ග්‍රහලෝක 2000කට වැඩි ගණනක් පරීක්ෂාවට ලක් කළා. අන්තිමේ දී ඔහු තහවුරු කර ගෙන ඇත්තේ තරුකා තුනක් පමණයි. දැන් ඒ ලැයිස්තුව සම්පූර්ණයෙන්ම වාගේ නිවැරදියි. ඉදිරියේදී වෙනස් වුණොත් අවසානයේ අවිනිශ්චිත තැබු කෙප්ලර් 854බී ග්‍රහයාත් තාරුකා ගොඩට එක් වේවි. එවිට වෙනස් වූ ග්‍රහ වස්තු හතර යුගල තාරුකා බවට පත් වෙනවා.
අභ්‍යවකාශය තුළ කැපීපෙනෙන ආකාශ වස්තූන් - තාරුකා
තාරුකා තමයි, අභ්‍යවකාශයේ පැතිර ඇති කැපී පෙනෙන ආකාශ වස්තූන් ලෙස සැලකෙන්නේ. නාසා ආයතනය කියන විධියට ගැලැක්සි හෙවත් මන්දාකිණි සෑදී ඇති ගොඩනැගුම් ගල් (building blocks) වන්නේ.
තාරුකාවල වයස, ව්‍යාප්තිය හා සංයුතිය තමයි, අපට ගැලැක්සියක ඉතිහාසය, ගතිකත්වය හා පරිණාමය ගැන කියා දෙන්නේ.
කාබන්, නයිට්‍රජන් හා ඔක්සිජන් වැනි බර මූල ද්‍රව්‍ය නිෂ්පාදනය හා ව්‍යාප්තිය සිදු කෙරෙන්නේ තාරුකා මගිනුයි.
ඒවායේ ගති ලක්ෂණ ඒ තරු වටා ඇති ග්‍රහලෝක පද්ධති සමග තදින් බැඳී තියෙනවා.
කුඩා තරු වන න්‍යුට්‍රෝන් තාරුකා පවා කුඩා වුනත් ඒවායේ ස්කන්ධය අති මහත්. සමහර ඒවා සැතැපුම් 30ක විෂ්කම්භය ප්‍රමාණයේ වුනත් අපේ සුර්යයා මෙන් දෙගුණයක ස්කන්ධයකින් යුක්තයි.
තරමක් විශාල තාරුකා හැඳින්වෙන්නේ සුදු වාමන තාරුකා කියලයි. ඒවා ප්‍රමාණයෙන් අපේ පොළොවට වඩා විශාල නොවුවත් ඒවායේ ස්කන්ධය සූර්යයා හා සමානයි.
විශාලතම තරු වන සුපිරි යෝධ තාරුකා අපේ සූර්යයා මෙන් 1500 ගුණයක් විශාලයි. විෂ්කම්භය සැතැපුම් මිලියන 2000කට වැඩියි.
කෙප්ලර් දුරේක්ෂ යානය යනු කුමක් ද?
කෙප්ලර් දුරේක්ෂය 2009 මාර්තු 7 වැනිදා ඇමරිකාවේ කේප් කැනවරල් තුඩුවෙන් උඩු ගුවනට යවනු ලැබුවේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති ග්‍රහයන් ගැන සොයන්නයි. දුරේක්ෂයක් සවි කළ කෙප්ලර් අභ්‍යවකාශ යානය බරින් කි. ග්‍රෑම් 1052ක්. එහි දිග පළල මීටර් 4.7ක් හා 2.7ක් වෙනවා.
එයට බාර වූ රාජකාරිය වූයේ පෘථිවියට සමාන ග්‍රහයන් පිට සක්වළ තුළ ඇද්දැයි සෙවීමටයි. ඒ අනුව 2014 පසුව බහිර් ග්‍රහයන් දහස් ගණනක් සොයා ගෙන තියෙනවා. ප්‍රමාණයෙන් පෘථිවියට සමාන වූ, එයට වඩා දෙගුණයකට අඩු, ග්‍රහයන් 30කට වඩා සොයා ගෙන තියෙනවා. ඒවාට අයත් තරු වටා ඒවා කක්ෂගතව ඇත්තේ පෘථිවිය මෙන් වාසය සුදුසු වටාපිටාවකයි.
ඈත එපිට සක්වළ හරහා ගිය කෙප්ලර්ගේ මුල් ගමනේ අවසාන ප්‍රතිබිම්බය ගත්තේ 2018 සැප්තැම්බර් 25 වැනිදායි. එයින් දින පහකට පසු ඉන්ධන අවසන් වුණා. ඒ කෙප්ලර් දුරේක්ෂ යානය සිය පළමු වන මෙහෙයුම ඒ වසර අට තුළ අවසන් කරන විට ග්‍රහයන් හා සමාන වස්තූන් 5000ක් පිළිබඳ තොරතුරු අපට එවා තියෙනවා. ඒවා ගැන දැනටමත් පර්යේෂණ රැසක් තාරකා විද්‍යාඥයන් විසින් ආරම්භ කරලයි තියෙන්නේ.
කෙප්ලර් යානය දැන් එහි දෙවැනි මෙහෙයුම වූ 'කේ2' අරඹමින් තවදුරටත් අභ්‍යවකාශයේ ඈතට යමින් තියෙනවා.
පෘථිවියට බොහෝ සේ සමාන ග්‍රහලෝකයක්!
2014 කෙප්ලර්ගේ ලොකුම මෙහෙයුම ලෙස සැලකෙන්නේ කෙප්ලර් 452බී ග්‍රහයා සොයා ගැනීමයි. එය 'පෘථිවිය 2.0' (Earth 2.0) කියා නම් කර තියෙනවා. මෙහි සිට ආලෝක වර්ෂ 1,400ක් ඈතින් ඇති මේ පෘථිවියට සමාන ග්‍රහ ලෝකයට හිරු එළිය වැටෙන්නේ අපට වැටෙන ප්‍රමාණයටයි. එහි කක්ෂයත් අපේ කක්ෂයට සමානයි. එහි අවුරුද්දත් අපේ අවුරුද්දට සමානයි.
එහි කිසියම් හෝ ජීවියක් ඇද්ද යන්න ගැන විශේෂඥයන්ට තාම නිශ්චිතව කිව නොහැකිව තියෙනවා. ඒත් ඔවුන් කියනවා අපේ ශාක එහි යැව්වොත් නිශ්චිතවම ඒවා එහි සුරැකිව වැඩේවි කියා.
තරු දෙකක් වටා යන ග්‍රහ වස්තුවක්!
කෙප්ලර් 2011 දී තවත් අපූරු සොයා ගැනීමක් කළා. ඒ තරු දෙකක් වටා භ්‍රමණය වන ග්‍රහලෝකයක්. කෙප්ලර් 16බී කියා හැඳින්වෙන එය ආලෝක වර්ෂ 200ක් ඈතින් පිහිටි එකක්. එය යුගල තාරතා පද්ධතියකට අයත් එකක් ලෙස හඳුනාගෙන තියෙනවා.
සෞරග්‍රහ මණ්ඩලයෙන් බැහැර වාසයට සුදුසු ග්‍රහයෙක්!
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට පළමු වාසයට සුදුසු වාතාරණයක් ඇති ග්‍රහයෙක් සොයා ගත්තා. 2011 දී සොයා ගත් එය කෙප්ලර් 22බී කියා නම් කර තියෙනවා. එය සෙල්සියස් අංශක 22ක (ෆැරන්හයිට් 72ක) මතුපිට උෂ්ණත්වයක් සහිත ග්‍රහයෙක්. ඒක පෘථිවියෙහි වසන්තයේ දී පවතින උෂ්ණත්වයට සමානයි.
සුපිරි පෘථිවියක් සොයා ගනියි!
2017 අප්‍රේල් මාසයේ දී කෙප්ලර් සුපිරි පෘථිවියක් යැයි සැලකෙන දැවැන්ත ග්‍රහයෙක් සොයා ගත්තා. ඒ ග්‍රහයා නම් කර ඇත්තේ 'එල්එච්ඇස් 1140බී' (LHS 1140b) කියායි. එය ආලෝක වර්ෂ මිලියන 40කට ඈතින් පිහිටියක්. එය ගමන් කරන්නේ රතු වාමන තරුවක් වටායි. විද්‍යාඥයන් විශ්වාස කරනවා එහි රතු ලෝදියෙන් පිරි සාගර ඇතැයි කියා.
කෙප්ලර් කළ විස්මිත සොයා ගැනීම
2017 වසරේ දී තමයි, කෙප්ලර් කළ විස්මිත සොයා ගැනීම ආවේ. ඒ ග්‍රහ පද්ධතිය හැඳින්වෙන්නේ 'ට්‍රැපිස්ට් -1' (Trappist-1) කියායි. එයට පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් ඇතුළත් වෙනවා. එය ඇත්තේ ආලෝක වර්ෂ මිලියන 39ක් දුරිනුයි. ඒ ග්‍රහයන් මතුපිට ජලය ඇතැයි විශ්වාස කරනවා. ඒ ග්‍රහයන්ගෙන් තුන් දෙනකු මත ජීවියක් පරිණාමය වී තිබිය හැකි යැයි කියවෙනවා.
කෙප්ලර් මුලින් ම මේ පද්ධතිය හඳුනා ගත්තේ 2016 දියි. මේ පිළිබඳ විද්‍යාඥයන් අධ්‍යයන වාර්තා ඉදිරිපත් කළේ 2022 වසරේ පෙබරවාරි මාසයෙදියි.
- පර්සි ජයමාන්න
0 Comments