HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙවර කාන්තා දිනයෙන් කාන්තාවන්ට වැඩක් වුණද?

තවත් කාන්තා දිනයක් ඉවර වුණා. ලෝක කාන්තා දිනය හැම අවුරුද්දෙම මාර්තු මාසෙ 8 වැනිදාට යෙදෙනවා. මේ වතාවෙත්, රජයෙනුත් පෞද්ගලික අංශයෙනුත්, දැන්වීම් කරුවනුත්,  ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍යකරුවනුත් කාන්තා දිනය මහ ඉහළින් සැමරුවා. කාන්තාවන්ට කෙසේ වෙතත් ප්‍රචාරණ මාධ්‍ය කටයුතුවල නිරත අයට නම් වාසිදායක දිනයක් වුණා නිසැකයි. ඒ වෙනුවෙන් වෛවර්ණ දැන්වීම් පළ වුණා. විශේෂ වැඩසටහන් විකාශය කෙරුණා. පත්තරවල පිටු ගණන් අතිරේක පළ වුණා. ඒත් මගේ නිරීක්ෂණවලට අනුව අඩු තරමින් ඒ කිසිවක මෙවර කාන්තා දිනයේ ‌තේමාවවත් දක්වා තිබුණේ නැහැ. මෙවර කාන්තා දිනයේ තේමාව වූයේ 'තිරසාර හෙටක් උදෙසා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව' (Gender equality today for a sustainable tomorrow) යන්නයි. 


මෙහි දී අවධානය යොමු වන්නේ, දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම, ඉන් ඇති වන හානි අවම කිරීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් නායකත්වය ගෙන කටයුතු කරන ලොව පුරා සිටින කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්ගේ දායකත්වය හඳුනා ගනිමින් ලොව සියල්ලන්ටම වඩා තිරසාර අනාගතයක් ගොඩනැගීම කෙරෙහියි. මේ සම්බන්ධයෙන් ලොව පුරා තරුණ කාන්තාවන්, විශේෂයෙන් තරුණියන්, පෙරමුණ ගෙන සිටීම සතුටට කරුණක්. 

මගේ අවබෝධයේ හැටියට කාන්තාවකගේ නැඟී සිටීමේ අධිෂ්ඨානය තරම් බලවේගයක් තවත් නැහැ. ඒ නිසා කාන්තාව මෙහිදී සැලකිලිමත් විය යුත්තේ තමන්ට ඉඩ දෙන්නේ කවුද යන්න ගැන නොව තමන්ව නවත්තන්න හදන්නේ කවුද යන්න ගැනයි. ඒ ගැන විමසිලිමත් වෙමින් ඒ බාධක ජයගෙන ඉදිරියට යාම තමයි, කාන්තාවන් විසින් කළ යුත්තේ. 

මෙවර කාන්තා දිනයේ උදෙන් ම අසන්ට ලැබුණු පුවත ආදරය ඉල්ලා අකමැති වූ පාසල් දැරියක කපා කොටා මැරූ පුවතක්. ඊට සම්බන්ධ වුණු තරුණයා කලින් දවසක ඇගේ දෙමාපියන්ගෙන් කසාද බන්දා දෙන ලෙස ඉල්ලා ඔවුන්ට ද පහර දී තියෙනවා. ඒ දැරියට එසේ කලින් අනතුරු හැඟවීමක් කර තිබියදී ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පොලිසියේ අසාර්ථකත්වය පළ කරන්නක්. 

ලෝකයේ බොහෝ රටවල කාන්තාවන්ට තවමත් හිමිවී ඇත්තේ සමාජයේ 'දෙවැනි පුරවැසි' තත්වයක්. විශේෂයෙන් ම ආසියාතික රටවල මේ තත්වය වඩාත් දරුණුයි. රැකියාවට යන කාන්තාවක් හැමවිට ම ඊට අමතරව ගෙදරදොර වැඩත් සම්පූර්ණයෙන් ම කරනවා. ඒ සඳහා වෙනත් කෙනෙක් වැඩට යොදා ගන්නේ නැහැ. සමහර සැමියන් ඇගේ ඒ කටයුතු වලට සහය දෙන්නෙත් නැහැ. මේ තත්වය අවබෝධ කර දෙන්නට යම් වැඩ පිළිවෙළක් යෙදීම අවශ්‍යයි. පිරිමියා ගෘහ මූලිකයා යන සංකල්පය මත ඔහු ගෙදර වැඩ සියල්ල කාන්තාවට බාර දී සිටීමෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව උල්ලංඝණය වෙනවා. 

කාන්තාව සමාජය තුළ දී නොයෙක් ආකාරයේ අපචාරයන්ට, අතවරයන්ට ලක්වෙනවා. පොදු ප්‍රවාහන වලින් ගමන් යාමේ දී, වැඩ කරන ස්ථානවලදී, මගතොට දී කාන්තාවන්ට කායිකව, වාචිකව, ලිංගික අතවර සිදුවෙනවා. සමහර විට ඒවා එතරම් ගණන් ගතයුතු නැතැයි අප සුළුවෙන් සලකතත් ඒවා නීතිය ඉදිරියේ බරපතල වැරදි බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වැරදි කරන අය පමණක් නොව වින්දිතයන් ද ඒ ගැන දන්නේ නැහැ. ඒ නිසා සමාජය තුළ ඒ පිළිබඳ දැනුවත් කිරීම විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. 

කාන්තාවන් වෙනුවෙන් කෙතෙක් නීති පැනෙව්වත් තවමත් නීතියේ සාධරණත්වය කාන්තාවනට ඉටු නොවූ අවස්ථා තියෙනවා. එකක් තමා ගබ්සාව නීති ගත නොකිරීම. තාමත් අපේ රටේ ගබ්සා කිරීම නීතියෙන් තහනම්. කාන්තාවකගේ ජීවිතය බේරා ගත යුතු අවස්ථාවක දී පමණක් වෛද්‍යවරුන්ට ඒ සඳහා අවසර තියෙනවා. ගබ්සා කිරීමට ඉඩ නොලැබීම නිසා ජීවිත කාලයම දුක් විඳින කාන්තාවන් බේරා ගැනීමට අපට පුලුවන්කමක් නැහැ. පිරිමියකුගේ බලහත්කාරකමක් නිසා ගැබ්ගන්නා දැරිකට ඉන් මිදෙන්නට අවසර නැහැ. ඒ වගේ ම අඩු වයසෙන් ගැබ් ගත්තොත් කසාද බඳින්නත් නිසි වයසට එනතුරු දැරියකට අවසර නැහැ. ඒ වෙනුවට ඒ ගැබ්ගැනීමට හේතුවූ තැනැත්තාට අපචාර චෝදනා එල්ල කරන්න නම් නීති පනවා තියෙනවා. 

කාන්තාවට නිසි තැන ලබා දීමට, කාන්තාවට නිසි ආරක්ෂාව සැලැසීමට, නීති පැනවීමෙන් පමණක් කළ නොහැකියි. ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවනට රැකවරණ සැලසීමට ප්‍රමාණවත් තරම් නීති රීති තිබුනත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී විවිධ ගැටලුකාරී තත්වයන් ඇතිවෙනවා. 

සැමියාට එරෙහි ව ගෘහස්ථ හිංසනයට අදාළව පොලිසියේ කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන්නට ආ කාන්තාවක් ඒ පැමිණිල්ල විභාග කිරීමෙන් පසු ආපසු යා යුත්තේ සැමියා සිටින ඒ නිවසටමයි. එහිදී එකී කාන්තාවගේ ආරක්ෂාව ගැන සහතික කරන්නට පොලිසියට පුලුවන්ද? පොලිසියේ දී වරද පිළිගෙන සමාදාන වී යහපත් ජීවිතයක් ගත කරන බවට පොරොන්දු වී නිවසට යන ඇගේ සැමියා යළි ඒ බිරිඳට අඩන්තේට්ටම් නොකරතැයි කියා සිතිය හැකි ද? 

පසුගියදාක වූ සිදුවීමක් ඊට නිදසුනක් ලෙස දක්වන්න පුලුවන්. නිතරම බී ගෙන ඇවිත් ගෙදරදී බිරිඳට තලාපෙළා කළ හිරිහැර තවදුරටත් ඉවසා සිටිය නොහැකිවූ කාන්තාවක් ඒ ගැන දැනුවත් වීම නිසා නීතියේ පිළිසරණ සොයා පොලිසියට ගියා. ඒ අනුව පොලිසියෙන් දැනුම් දුන්නා ඇගේ සැමියාටත්, බිරිඳටත් පොලිසියට එන ලෙසට. එහිදී සැමියා එවේලේ බීමත්ව නොසිටි නිසා පොලිස් ස්ථානාධිපති කී සියල්ල ඉස් මුදුනින් පිළිගෙන අලුත විවාහක යුවළක් මෙන් පොලිසියෙන් පිටව ගියේ ස්ථානාධිපති වරයා පුදුමයට පත් කරමිනුයි. 

ඒත් පසුවදා පොලිසියට ඒ නිවසට ආයිත් යන්නට සිදු වූයේ කපා කොටා මරා දැමූ බිරිඳගේත්, ගෙල වැල ලා ගෙන මියගිය සැමියාගේ මරණය ගැන විභාග කරන්නටයි. ඒ නිසා ගෘහස්ථ හිංසනයට අදාළ නීතිවලින් නිසි පිළිසරණක් නොලැබෙන මෙවැනි අවස්ථා දැක ගන්න පුලුවන්. ඒ සැමියා කළේ බිරිඳ නිවසට ඇරලා ගොස් හොඳින් කසිප්පුවලින් පදම් වී ඇවිත් ඇගේ පොලිසියට යාම ගැන ඇයට අවලාද නඟා එතැනින් නොනැවතී ඇය කපා කොටා අවසානයේ තමාත් ගෙලවැල ලා‌ ගෙන මියයාමයි. 

ඒ සිද්ධියට හේතුව බීමත්කමයි. ඔහු නොබී ඉන්නා තාක් යහපත් ලෙස ජීවත් වුනත් වෙනස් වන්නේ බීමත් වූ පසුවයි. මේ තත්වය මෙරට දිලිඳු පන්තියේ ජනතාව අතර බහුලව පවතින්නක්. ගම් මට්ටමින් නීති විරෝධී මත්වතුර භාවිතය එන්න එන්න ම වැඩි වෙනවා. උදේ ම වැඩක් පටන් ගන්නට පෙර අපේ ගම්වල තරුණයන් මේ සඳහා රංචු පිටින් යනවා අපට හැමදාම දැක ගන්න පුලුවන්. ඊළඟට වැඩට යන අය ඒ ගමන යන්නේ හැන්දැවටයි. වැඩිපුර ගෘහස්ථ හිංසනයට පෙළඹී ඇත්තේ ඒ පිරිසයි. නිවෙස්වලට ඇවිත් බිරින්දෑවරුනට හිරිහැර කරනවා. නීති කියා දීමෙන් හෝ දඬුවම් ලබා දීමෙන් හෝ පමණක් මේ හිංසනය පිටු දැකිය නොහැකියි. එයට හේතුවන හොර මත්වතුර ඔවුන්ගෙන් ඈත් කිරීමෙන් පමණයි, මෙය වළක්වා ලිය හැක්කේ. මෙසේ මත්වතුරට ඇබ්බැහි වීමට හේතුව සොයා බලා ඊට පිළියම් යෙදීමත් සිදු විය යුතුයි. එවැනි දේට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමටත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. 

කාන්තාවන්ට සම්මාන පිදීමත් කාන්තා දිනයේදී කාන්තාවන් වෙනුවෙන් ඉටු කෙරෙන තවත් කාර්යයක්. ඒක හොඳ දෙයක්. ඒත් එයින් ප්‍රබෝධයට පත් වෙන්නේ, ඒ වගේ ම දිරිමත් වන්නේ, කාන්තාවන් සුළු පිරිසක් පමණයි. ‌මෙවර කාන්තා දින තේමාව අනුව නම් දිරිමත් කිරීමේ දී විශේෂ අවධානයක් යොමු විය යුතු වන්නේ, අනාගතයේ සුරක්ෂිත භාවය උදෙසා කැපවී ක්‍රියා කරන, ඊට නායකත්වය දෙන, කතුන්ගේ හා ගැහැනු ළමුන්ගේ දායකත්වයටයි. ඔවුන් හඳුනා ගෙන සම්මාන පිදීමකින් හෝ දිරිමත් කළා නම් කාලෝචිත යැයි සිතේ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments