HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සොළොස්සිස් ඇති ධම්ම වේදිකාවට හා රූපවාහිනියට කළ විස්මිත මෙහෙය

අපේ සුමිතුරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ 'කීර්තිශේෂ' නම් අභිනන්දන කෘතියෙහි එක් ලිපියක් පටන් ගන්නේ අපූරු සඳහනකින්. "ජීවිතයක සාර්ථකත්වය මිනිය යුත්තේ ගත කළ ආයුකාලයෙන් නොව සමාජයට සිදු කළ සම්ප්‍රදානයෙනි." (The measure of life is not it's duration, but it's donation) පීටර් මාෂල්ගේ මේ කියමන අනුව වැදගත් වන්නේ ධම්ම ජාගොඩගේ 47 වසරක ආයු කාලය නොව, නාට්‍ය ක්ෂේත්‍රය - රංගන ක්ෂේත්‍රය - සිනමා ක්ෂේත්‍රය - අධ්‍යාපන ක්ෂේත්‍රය හා රූපවාහිනී ක්ෂේත්‍රය අරබයා කළ මාහැඟි සම්ප්‍රදානයයි. ඒ වූකලී පුද්ගලයකුට 47 වසරකදී තබා සියවසක දීවත් ඉටු කළ නොහෙන අන්දමේ සුවිශාල සේවාවකි." 

ධම්ම ජාගොඩ

කවදත් විශේෂාංග ලිපියක් සම්පාදනය කිරීමේ දී පළමුවන ඡේදයෙන් ම පාඨකයා ආකර්ෂණය කර ගන්නා තිලක් මෙවර ධම්ම ජාගොඩ ගැන කිවයුතු සියල්ල ඒ එකම ඡේදයෙන් ම කියා තිබීම හරිම අපූරුය. ඇමරිකන් පූජකයකු හා දාර්ශනිකයකු වන පීටර් මාෂල්ගේ ඒ කියමන ධම්ම වෙනුවෙන් ම කී දෙයක් දෝයි හිතෙන තරමට ඔහුට එය ගැළපෙන්නේය. 

අප හැම කෙනකුම මෙලොව උපදින්නේ, මෙලොවට කිසියම් ආකාරයක සේවාවක් ඉටු කිරීමටය යන්න මගේ විශ්වාසයයි. මා හැම දෙයක් ම කරන්නේ, කියන්නේ ඒ හැඟීම සිතෙහි දරා ගෙනයි. ඒ කාර්යය වෙනුවෙන් තාන්නමාන්න, මුදල්, තනතුරු, මේ කිසිවක් කිසිවිටෙක මම කිසිවකුගෙන් බලාපොරොත්තු නොව‍ෙමි. මගේ මේ අදහස සියයට සියයක් පිළිගත් අය මට මේ ලෝකය තුළ හමුවූයේ දෙතුන් දෙනකු පමණය. ඉන් පළමුවැන්නා ධම්ම ජාගොඩයි. ඔහු එය පිළිගත්තා පමණක් නොව ක්‍රියාවෙන් ම ඔප්පු කර පෙන්වූයේය. 

ඔහු මට මුලින්ම හමු වූයේ ජාතික අධ්‍යාපනය සැකසීමට මුල් වූ විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේ දීය. නාට්‍ය හා රංග කලාව පාසල් විෂයයක් කිරීමට රජය ගත් තීරණය අනුව ඒ සඳහා නිර්දේශ හා පාඨමාලාව සකස් කරමින් සිටියදීය. මා ලිපියක් ලියන්නට ඒ පිළිබඳව තොරතුරු සොයන්නට ගිය විටය. "ඔයා බලන්නකො, මේ නාට්‍ය හා රංග කලාව පාසල් විෂයයක් කළා ම සමාජයෙත් ලොකු වෙනසක් වේවි." එදා ධම්ම කීවේ විශාල බලාපොරොත්තු තියාගෙනය. අද නාට්‍ය හා රංග කලාව පාසල්වල පමණක් නොව විශ්ව විද්‍යාලවල ද හදාරන සිසුන් සිසුවියන් දස දහස් ගණනක් සිටිිති. අද ඒ වෙනස දකින්නට ඔහු නොසිටීම ගැන මට දුකක් ඇති විය. 

ධම්ම ජාගොඩ, කලහේ ජාගොඩ ධර්මපාල නමින් 1941 ජනවාරි 28 වැනිදා හික්කඩුවේ දී උපන්නේය. හික්කඩුව රජයේ පාසලෙන් අධ්‍යාපනයට පිවිසි ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම සඳහා ගාල්ලේ මහින්ද විදුහලට ගියේය. අනතුරුව කොළඹ නාලන්දා විදුහලට ඇතුළු වී ජ්‍යෙෂ්ඨය සමත් විය. දිගටම කොළඹ ජීවත්වීමට අවශ්‍ය වූ නිසා ඔහු රැකියාවක් සෙව්වේය. 1958 දී මිනුම් දෙපාර්තමේන්තුව, සැලසුම් ශිල්පී තනතුරු සඳහා පුහුණු කිරීම පිණිස අවසාන වරට බඳවා ගත් ආධුනික පිරිස අතරට එක්වීමට ඔහුට හැකි විය. ඒ පිරිස අතර සිටි උසින් වැඩි ම, එහෙත් වයසින් අඩු ම, පුද්ගලයා ධම්ම විය. 

රැකියාවේ යෙදෙන අතර, ගමේ සිටියදී ධම්මගේ හිත ගිය ටීටර් මඬුව හා දෙවොල් මඬුව ඔහුට අමතක කළ නොහැකිවිය. ඒ‍‍‍ අනුව ඔහු අගනුවර රඟහල් සොයා ගියේය. ඒ ගමනේ දී නාට්‍යලැදි ඔහුට, ඔහුගේ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ සගයන් කීප දෙනෙකු හමුවිය. ආධුනිකයන් අතරට එක්ව සිටි මේ ළා බාල තරුණයාගේ නිතර මුව'ග රැඳි සිනහවත්, උස පෞරුෂයත් ඔවුන්ගේ, සිත්ගත් බව ප්‍රාම් දෙල්දෙණිය වරක් මා හමු වූ විටෙක කීවා මට මතකය. ධම්ම හා එක්වූ අනෙක් ජ්‍යෙෂ්ඨයන් වූයේ කෙරමිණියේ සෝමපාල හා ආර්. එල්. ලාල්ප්‍රේමය. ඔවුන්ගේ නාට්‍යලෝලීත්වය ඉක්මනින් ම සංගමයක් බවට පෙරළිණ. 

රෝහණ බද්දගේ හා මැණිකේ අත්තනායක 
ධම්මගේ 'පළිඟු මැණිකේ' ටෙලි නාට්‍යයේ

ඒ සංගමයේ මුල් ම ප්‍රයත්නය වූ 'කැකිල්ලේ රජ්ජුරුවෝ' නාට්‍යයේ රජුගේ ආරක්ෂකයකු ලෙස ධම්ම කළ රංගනය නිසා ඔවුන්ට රාජ්‍ය නාට්‍ය උළෙලට සහභාගිවීමට අවස්ථාව සැලසූ බව ධම්මගේ මුල්ම වේදිකා අත්දැකීම ගැන සටහනක් තබමින් එවකට ඔහු සමග මිනින්දෝරු දෙපාර්තමේන්තු කලා සංගමයේ ආර්. එල්. ලාල්ප්‍රේම විසින් සඳහන් කර ඇත. 

එය ඔහු ලියූවේ ධම්මගේ 16 වැනි ගුණ සමරුව වෙනුවෙන් 2004 ප‍ෙබරවාරි 4 වැනිදා ධම්මගේ උපන් ගම වූ හික්කඩුවේ දී ධම්ම ජාගොඩ පදනම ඉදි කළ ස්මාරකයක් විවෘත කිරීම නිමිත්තෙනි. 

"ධම්මට නාට්‍ය කලාව ගැන විශාල උනන්දුවක් තිබුණා. ඒ නිසාම ඔහු කොන්ස්ටන්ටින් සියල්කොවුස්කිගේ නාට්‍ය පිළිබඳ පොත නිතර බ්‍රිතාන්‍ය කවුන්සලයේ පුස්තකාලයෙන් ගෙනවුත් කියෙව්වා. ඒ නිසා ම බ්‍රිතාන්‍ය කවුන්සලයෙන් එයාට ශිෂ්‍යත්වයක් ලැබුණා, එංගලන්තයේ රාජකීය ඇකඩමියට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න. එහි කාලය ඉවර වෙන කොට එයාට ඇමරිකාවේ නිව්යෝක් කලා ඇකඩමියට යන්න අවස්ථාව ලැබුණා රංගන වේදය ගැන ඉ‍ගෙන ගන්න." යයි ලාල්ප්‍රේම ඒ සටහනෙහි ලියා තිබුණා. 

ධම්ම එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, හංගේරියාව, අමෙරිකාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයකට යමින් නාට්‍ය හා රංග කලාව පිළිබඳව අධ්‍යයනය කර ශ්‍රී ලංකාවට පැමිණ 70-80 දශකවල ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව පිහිටුවා එමගින් මෙරට වේදිකා නාට්‍යයට, රූපවාහිනී නාට්‍යයට, සිනමාවට දායාද කළ විශිෂ්ට නළු නිළි පරපුර ගැන මෙහිදී නම් වශයෙන් සඳහන් කිරීම අපහසුය. 

ධම්මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ 'වෙස්මුහුණු' ය. මිනිසා පතන සැපය හා ප්‍රීතිය එක් එක් ජීවිතයෙන් ජීවිතයට, පරිසරයෙන් පරිසරයට වෙනස් වන දෙයක්ය යන්න තේමා කොට ගත්, ඇමරිකන් ජාතික ටෙනිසි විලියම්ස්ගේ 'අ ස්ටීට්කාර් නේම්ඩ් ඩිසයර්' (A Streetcar Named Desire) නම් නාට්‍යය ඇසුරෙන් ඔහු අනුවර්තනය කර නිෂ්පාදනය කළ “වෙස්මුහුණු” නාට්‍යය, 1966 වර්ෂයේ හොඳම නාට්‍යය ලෙස ජාතික නාට්‍ය උළ‍ෙලේ දී සම්මානයට පාත්‍ර විය. ධම්මගේ කුළුඳුල් නිර්මාණය වූ එයට හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා (ධම්ම ජාගොඩ) හා හොඳම නිළිය (සුනේත්‍රා ජාගොඩ) ඇතුළු සම්මාන රැසක් හිමි විය. 

ඉන් අනතුරුව වේදිකා නාට්‍ය කිහිපයක් ම සඳහා ධම්ම දායක විය. 1971 “මළවුන් නැගීටියි” නමින් නාට්‍යයක් කොළඹ විශ්වවිද්‍යාලයේ කලා සංගමය සමග එක්වී නිර්මාණය කළේය. 1971 තරුණ පිබිදීම අත්දැකීමක් කර ගනිමින් ඔහු නිෂ්පාදනය කළ එම නාට්‍යය මහජන ප්‍රදර්ශනයට තහනම් වුවද විශ්ව විද්‍යාලය තුළ පමණක් ප්‍රදර්ශනයට අවස්ථාව ලැබිණි. 

ධර්මසේන පතිරාජයන් ලියූ 'කොරා සහ අන්ධයා' ධම්මගේ තවත් විශිෂ්ට නිෂ්පාදනයකි. 'මොස්කව් ගිනි ගනී', 'සකලජන”‍, 'හොටබරි යුද්දේ' යන නාට්‍යද ඔහුගේ නිර්මාණ ගොන්නට එක්වූ අතර ඇන්ටන් චෙකෝෆ්ගේ 'ද ප්‍රොපෝසල්' ඇසුරෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් පරිවර්තනය කළ 'පරස්තාව' හා 'ද බෙයා' ඇසුරෙන් අනුවර්තනය කළ 'පොරිසාදයා' ද ධම්මගේ නිෂ්පාදන විය. 

වේදිකාවේ දී ඔහු රංගනයෙන් දායක වූ නාට්‍ය අතර හෙන්රි ජයසේනයන්ගේ 'කුවේණි', මහචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ', 'සිංහබාහු', 'කදා වළලු', 'එලොව ගිහිං මෙලොව ආවා', ගුණසේන ගලප්පත්තිගේ 'සඳ කිඳුරු', 'දේවතා එළි', 'මුහුදු පුත්තු', 'මහ හේනේ රීරි යකා', ජී.ඩී. එල්. ප‍ෙරේරාගේ 'රතුරෝස', 'සක්කරවට්ටං', සුගතපාල ද සිල්වාගේ 'දෑවැද්දෝ', ප්‍රේමරංජිත් තිලකරත්නගේ 'කෝන්තරේ' ආදිය ද වෙයි. ඊට අමතරව 'නැට්ටුක්කාරී', 'කැළණි පාලම',‍ යන සිං.හල නාට්‍යවලටද ඔහු රංගනයෙන් දායක විය. 

1983 දී ඔහු අර්නස්ට් මැකින්ටයර් නිෂ්පාදනය කළ ආතර් මිලර්ගේ 'ද ඩෙත් ඔෆ් අ සේල්ස්මන්' (The Death of a Salesman) හා රසල් බෝඩ්න් නිෂ්පාදනය කළ ඊ. එම්. පෝස්ටර්ගේ 'පැසේජ් ටු ඉන්ඩියා' (Passage to India) නම් ඉංග්‍රීසි නාට්‍යවල ද රඟපෑවේය. චිත්‍රපට නළුවකු වශයෙන් ඔහු 'මහගෙදර', 'මඩොල් දූව', 'මංමුලාවැල්' යන චිත්‍රපටවලද රංගන කුසලතා දැක්වීය. 

ධම්මගේ වෙස්මුණු වේදිකා නාට්‍යයේ අයිරාංගණී සේරසිංහ 
හා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍

ජාතික රූපවාහිනිය ආරම්භයේ දී ම අපටම ආවේණික වූ ටෙලිනාට්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට ධම්ම ජාගොඩට අවශ්‍ය විය. අපේ සංස්කෘතියට ගැළපෙන, ‍හැම වයසකම ප්‍රේක්ෂකයන්ට එකට ඉඳ රසවිඳිය හැකි, උසස් රසවින්දනයක් ලබා දිය හැකි ටෙලිනාට්‍ය නිපදවීම ඔහුගේ අරමුණ විය. ඔහු සරසවිය' කර්තෘ මණ්ඩලයට ආවේ ඔහුගේ සිතේ ඇති දේ මා සමග කියන්නටය. ඔහුට ටෙලි නාට්‍ය තිර නාටක ලියන්නට රචකයකු අවශ්‍ය ව සිටි බව කීවේය. මම මා ළඟ කෙටි චිත්‍රපටයක් සඳහා ලියූ තිර නාටකයක් තිබුණේය. මම ලාච්චුව ඇර ඒ පිටපත ඔහු අත තැබුවෙමි. 

"කාගෙද මේ පිටපත. හරිම අපූරුයි නෙ. කවුද මේක ලිව්වෙ? ඔයාද?" පිටපත කියවා ඔහු ප්‍රබෝධමත් හඬකින් ඇසුවේය.

'නෑ මම නෙමෙයි, සෝමවීරගෙයි. සතියකට කලින් මං මුල්ක් රාජ් ආනන්ද්ගේ කෙටිකතාවක් දුන්නා., කාට හරි කෙටි චිත්‍රපටයකට අවශ්‍ය කෙනෙකුට දෙන්න, තිර නාටකයක් ලියන්න කියලා. ඒකයි මේ. එයා තවමත් ඇවිත් නෑ. දැන් ඒවි" මම කීවෙමි. ධම්ම, සෝමවීර සේනානායක එනතෙක් රැඳුණේය. රූපවාහිනිය සඳහා ධම්ම අධ්‍යක්ෂණය කළ මංගල ටෙලි නාට්‍යය වූ 'පළිඟු මැණිකේ' තිරනාටකය ලියමින් සෝමවීර තිරකාටක රචකයකු ලෙස දිගු ගමනක් ඇරඹුවේය. සෝමවීර සමග කතාබස් කරමින් නිෂ්පාදනයට අවශ්‍ය ආකාරයට එය ගලපා ගැනීමට බොහෝ කාලයක් ගත කළ ධම්ම පසුව මා සමග කීවේය. 

සෝමවීර ධම්මගේ හමුවීම සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි. 'පළිඟු මැණිකේ' මුද්‍රිත කෘතියේ සෝමවීර, ධම්ම ගැන සඳහන් කරන්නේ මෙසේය. “මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති ආදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වෙතින් නාට්‍ය කලාව ද ගුණසිංහ ගුරුන්නාන්සේ ආදීන් ගෙන් කෝළම් නාට්‍ය කලාවද විදේශ රටවලින් බටහිර නාට්‍ය කලාවද හදාරා සිටි ධම්ම ටෙලි නාට්‍ය කලාවට පිවිසීම රූපවාහිනී මාධ්‍යයේ භාග්‍යක් ලෙසයි මට හැඟුනේ. එවැන්නකුගේ දැනුම් සම්භාරය කොතෙක් නම් වැදගත් වන්නේද.” (පළිඟු මැණිකේ. පිටුව 28) 

ධම්ම නාට්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන්, මෙරට ටෙලි නාට්‍ය කලාවට ආරම්භයේ දී ම සම්බන්ධ වූ ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, දයාරත්න රටගෙදර, අනුර මාධව ජයසේකර, සුදත් සේනාරත්න, තිලක් ගුණවර්ධන, නාලන් මෙන්ඩිස්, විමලරත්න අධිකාරි, සුදත් දේවප්‍රිය හා පරාක්‍රම නිරිඇල්ල වැනි ප්‍රතිභාපූර්ණ නාට්‍යකරුවන් පිරිසකගේ සහාය ඇතිව නාට්‍ය අංශයට හොඳ පදනමක් දැමුවේය. 

1993 කළු ජූලිය අවස්ථාවේ ධම්ම ඒකාංගික ටෙලි නාට්‍යයක් කළේය. “සඳක කතාව” නම් වූ එහි තිර රචකයා වූයේ හෙන්රි ජයසේනය. ධම්ම එහිදී කිසිම දවසක රඟ පා නැති රූපවාහිනී සංස්ථාවේ ඉදිරිපත් කිරීමේ නිලධාරිනිය වශයෙන් සේවය කළ චන්ද්‍රානී ලියනආරච්චි, විශේෂ අනුමැතියකින් අවසර ලබා ගෙන ඔහු ඇය එහි චරිතයකට යොදා ගත් අන්දම එවකට රූපවාහිනියේ සේවය කළ මා මිතුරු පියදාස රත්නසිංහ මහතා මා සමග කීවේ ධම්මගේ දස්කම් ගැන ආවර්ජනය කරමිනි. 

ඒ දිනවල රටේ පැවැති තත්වය අනුව ආරක්ෂක හේතූන් මත බැහැරින් නිළියක ගෙන්වා ගැනීම කළ නො හැක්කක් වූයෙන් ධම්මට වෙනත් විකල්පයක් නොවීය. "මට මතක හැටියට සැන්ටින් ගුණවර්ධන ප්‍රධාන නළු චරිතය නිරූපණය කළේ. ධම්ම එදා, කිසිදාක වේදිකාවක රඟ පා නැති චන්ද්‍රානී එම නාට්‍යයේ අපූරු චරිතයක් නිරූපණය කිරීමට පුරුදු පුහුණු කළ ආකාරය ඇත්තෙන්ම පුදුම හිතෙනවා. නාට්‍ය ගුරුවරයකු වශයෙන් ධම්ම සතු කුසලතාව විස්මිතයි" රත්නසිංහ මහතා වැඩිදුරටත් කීය. 

තමා ඇසුරු කළ විෂයයන් සඳහා පාරිභාෂික වදන් හඳුන්වා දීමට ද ධම්ම නොපැකිළව ඉදිරිපත් විය. ඔහු ඒ වදන් එක් රැස් කොට පිටපත් කර සගයන් අතර බෙදා දුන්නේය. Television Drama ටෙලිනාට්‍ය වූයේත්, Studio ශාලිකා වූයේත්, Tele Serial ප්‍රාසාංගික ටෙලි නාට්‍ය වූයේත් Single Episode Teledrama ඒකාංගික ටෙලි නාට්‍ය වූයේත් ඔහුගේ යෙදුම් නිසාය. විවිධ විෂයයන් සඳහා ඒවා භාවිත කරන අය යොදන සිංහල වදන් එක් රැස්කිරීම මගේ ද විනෝදාංශය බව දැන ගත් දා සිට එවැනි වදන් මා සමග හුවමාරු ගැනීම ඔහු පුරුද්දක් කර ගත්තේය. එසේ පාරිභාෂික වදන් හුවමාරු කරගත් අනෙක් මිතුරා ධම්ම සමඟ රූපවාහිනියේ සේවය කළ පියදාස රත්නසිංහ මහතාය. 

මගේ පුරෝගාමීත්වයෙන් මීට වසර 40කට පෙර මුල් වරට විජය රූපවාහිනී සම්මාන උළෙල ආරම්භ කරද්දී ධම්ම, රත්නසිංහ මහතාටත් මටත් දුන් සහය අපට කිසිදාක අමතක කළ නොහැක. සම්මාන නම් කිරීමේ සිට සම්මාන රාත්‍රියේ අවසාන සංදර්ශනය දක්වා හැම එකකට ම ඔහුගේ දායකත්වය දිවා රෑ නොබලා ලබා දුන්නේය. 

ධම්ම වසර 47 ක් වැනි සිය කෙටි ජීවිත කාලය තුළින් දසක තුනකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය රැසකට දායකත්වය දුන්නේය. ධම්මගේ උස් වූ ඍජුකාය දකින හැමවිටම මට සිහිපත්වන්නේ රාවණාය. රාවණාට හිස් දහයක් තිබූ බව කියති. ඒ ඔහු විවිධ අංශවලින් දැක් වූ කුසලතා නිරූපණය කරන්නට විය හැකිය. 

ඒ අනුව ධම්මට හිස් දහසයක් ඇතැයි මට සිතේ. ඔහු විටෙක වේදිකා රංගධරයෙකි; තවත් විටෙක වේදිකා නාට්‍ය රචකයෙකි; නිෂ්පාදකයෙකි; තවත් විටෙක රංග කලාව පිළිබඳ න්‍යායාචාර්ය වරයෙකි; රංග කලාව ඉගැන්වූ ගුරුවරයෙකි; පාඨමාලා අධ්‍යක්ෂවරයෙකි; ජාතික රූපවාහිනිය ආරම්භ වූ යුගයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ මාධ්‍යවේදියෙකි; පාරිභාෂික වදන් සකසන්නෙකි; සමබර මනසක් තිබූ කලා හා නාට්‍ය විචාරකයෙකි; ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකි; නාඩගම් ගී ගායනයෙහි නිපුණයෙකි; මද්දල් වාද්‍ය ශිල්පියෙකි; විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකි; නාට්‍ය වැඩමුළු හා සම්මන්ත්‍රණ සඳහා නැතුව ම බැරි සම්පත්දායකයෙකි. මේ සියල්ලට ම වඩා මනුෂ්‍යත්වය අගය කළ සැබෑ මිනිසෙකි. 

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ 'කීර්තිශේෂ' කෘතියෙහි තවත් අපූරු සඳහනක් එයි. අලුත් වැඩක් කිරීම තුළින් ලබන තෘප්තිය මිස තනතුරු ලාබ නොතැකූ ධම්මගේ චරිත ස්වභාවය ගැන ඉඟියක් ඉන් අපට දෙයි. "කුඩා කල සිටම එවක සංකල්පගතව පවා නොතිබුණු නිර්මාණාත්මක සන්නිවේදනය කෙරෙහි ආසක්ත වූ ධම්ම ජාගොඩ, රූපවාහිනී ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ මහත් බලාපොරොත්තු සහගත උද්යෝගයකිනි, ළැදියාවකිනි, භක්තියකිනි. අනුරාධපුරයේ කවර තැනක සිට වුවත් 'මහා සෑය' පෙනෙන්නාක් මෙන් නො සැඟවිය හැකි කැපී පෙනෙන - පුරෝගාමී සේවාවක් ඉටු කළ ද ධම්ම 1988 වන විටත් සිටියේ ස්ථාන ගත වී හිටි තැනමය. 1982 දී සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් බැඳුණු ඔහු වසර 6කට පසුව 1988 දීත් සහකාර අධ්‍යක්ෂමය." ('කීර්තිශේෂ' 294 පිටුව) 

1988 ජනවාරි 4 වැනිදා ඔහු ඉන්දියාවට ගියේ ලෝක නාට්‍යකරුවන්ගේ වැඩමුළුවකට සභාගිවීමටය. ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා මධ්‍යස්ථානයේ ඇරයුමකට අනුවය. සමුළුවෙන් පසු ඔහු කේරළයේ සංචාරයක ද නිතර විය. දූර්දර්ශන් රූපවාහිනියට ද ගිය ධම්ම දෙරටේ සහයෝගයෙන් කිරීම සඳහා ඉදිරි වැඩසටහන් රැසක් සැලසුම් කළේය. ඉන් එකක් වූයේ 'කාලිදාසගේ ශාකුන්තලය' මාලා නාටකයක් ලෙස දෙරටේම හවුල් නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය කිරීමය. ඒ සඳහා තම බිරිය මානෙල් හා දරුවන් සමග අප්‍රේල් මාසයේදී ඉන්දියාවට යාමට ඔහු අදහස් කර ගෙන සිටියේය. එහෙත් එය ඉටුවූයේ නැත. 

1988 පෙබරවාරි 3 වැනිදා ඒ. ජේ. ගුණවර්ධන හා ට්‍රිලීෂියා සමග 'ශාකුන්තලය' නිෂ්පාදනය කරන අයුරු ගැන ඔවුන්ගේ නිවසේ දී දීර්ඝ කතාබහක නියැළී සිටියේය. ඒ කතාබහ අතරතුර ඔහු හදිසියේ ම රෝගී විය. ඒ මොහොතේ ම ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබීය. එහෙත් පසුදා ඔහු අපේ ජාතික නිදහස් දා පාන්දර අනපේක්ෂිත අයුරින් අපෙන් සමු ගත්තේය. ධම්මගේ 'ශාකුන්තලය' දැක ගන්නට අපට පමණක් නොව භාරත රසිකයන්ටත් වාසනාව නැති විය. 

1947 අප්‍රේල් 25 වැනි දා ඇමරිකන් සෙනට් මන්ත්‍රී මණ්ඩලය ආරම්භ වූ අවස්ථාවේ දී පීටර් මාෂල් විසින් ම පළ කළ අදහසකින් මේ ලිපිය අවසන් කිරීමට කල්පනා කරමි. මේ කියමනත් මීට වසර වසර 34කට උඩ දී ජාතික නිදහස් දා අප අතරින් වියෝ වූ ධම්ම ජීවිතය දෙස බැලූ ආකාරය හා ගැළපෙන්නකි. "නිදහස යනු අපට කැමති පරිදි කිරීමට දී ඇති අයිතියක් නොව, නිවැරදි දේ කර සතුටු වීමට දී ඇති අවස්ථාවකි." (Freedom is not the right to do as we please, but rather the opportunity to please to do what is right.) 

 - පර්සි ජයමාන්න



Post a Comment

3 Comments

  1. අපූරු සටහනක්. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete