HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බිර්බල් අක්බාර් අධිරාජයාට රාජධානියේ කපුටන් ගණන කී හැටි!

නස්රුදින්ට සමාන කළ හැකි, ඊටත් වඩා දස්කම් ඇති බිර්බල් ඔබට හඳුන්වා දුන්නා. මහේෂ් බාබු නමින් උපන් ඔහු 1528-1586 අතර කාලය තුළ ඉන්දියාවේ අක්බාර් නම් මෝගල් අධිරාජයාගේ රාජ සභාවේ සිටි පඬිවරුන් නව දෙනාගෙන් කෙනෙක්. ඒ වගේ ම ඒ අධිරාජයාගේ විනිශ්චය සභාවේ ප්‍රධානියා මෙන් ම ඒ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූයේත් බිර්බල්. අද අපි ඔබට තවත් බිර්බාල්ගේ කතාවත් ඉදිරිපත් කරනවා. 



බිර්බල් අක්බාර් අධිරාජයාට රාජධානියේ කපුටන් ගණන කී හැටි! 

එක උදෑසනක අක්බාර් අධිරාජයා රාජකීය උද්‍යානයේ බිර්බාල් සමග කථා කරමින් සිටියා. අධිරාජයා මඟුල් උයනේ ඉන්නා කපුටන් දැකලා බිර්බාල්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා.

"බිර්බල්, මේ උයනේ කපුටන් රාශියක් ඉන්නවා. මගේ මුළු රාජධානියේ ම කපටුන් කොච්චර ඉන්නවාදැයි ඔහෙට කියන්න පුලුවන් ද?" 

බිර්බල් ටිකක් වෙලා කල්පනා කරලා ඉඳල මේ විදියෙ උත්තරයක් දුන්නා. 

"රජතුමනි, ඔබතුමාගේ රාජධානියෙ ඉන්න කපුටන් ගණන හරියට ම අනූ දහස් දෙසිය හතළිස් අටයි." 

බිර්බල්ගේ ඒ උත්තරයෙන් අධිරාජයා විස්මයට පත් වුණා. 

"ඒ තරම් ඉක්මනට කොහොම ද කිව්වෙ? හොඳයි අපි කපුටන් ගණන් කරල බැලුවොත් ඒ ගණන ඊට වඩා වැඩි වුණොත් බිර්බල් මොකද කියන්නේ?" අධිරාජයා ඇහුවා. 

"එහෙනම් ඒ වැඩිපුර කපුටන් අල්ලපු රාජධානියේ ඉඳලා මේ රාජධානියට සංචාරයක් සඳහා ආපු අයයි." බිර්බල් කීවා.

"හොඳයි ඔහෙ කිව්ව ගානට වඩා කපුටන් ගණන අඩුවුණොත් මොකද කියන්නේ?" අධිරාජයා පෙරළා ප්‍රශ්න කළා. 

"එහෙනම්, ඒ අඩු කපුටන් නිවාඩුව ගත කරන්න අල්ලපු රටට විනෝද සවාරියක් ගිහින්." බිර්බල් ගණනකට නැතිව උත්තර දුන්නා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments