අලියාගේ වඩාත් විස්මයජනක ලක්ෂණය වන්නේ හොඬවැලයි. ඔබට සිතා ගන්නට පුලුවන්, ඔබේ නැහැයෙන් හා උඩු තොලින් අල්ලා ඇද්දොත්, නොකඩවාම දිගටම ඇද ගෙන ගියොත්, මොනවගේ දෙයක් හැදේවිද? වසර මිලියන ගණනාවක් මෙසේ දික්වීමේ ප්‍රතිඵලයක් තමයි, ඔබ හොඬවැල ලෙස දකින්නේ. දික් වෙන් වෙන්න එය ශක්තියෙන් වැඩි වුණා. අද එය මස් පිඬ්‍ර 60,000කින් සමන්විතයි. එය ක්‍රියා කරන්නේ ඒ මස්පිඬුවලින්. අලියාට ඒ අපූරු අවයවය විවිධාකාරයෙන් හැසිරවීමට හැකි වී ඇත්තේ ඒ නිසයි.
හොඬවැල ඒ වගේ ම බීමට ජලය මුව තුළට ගෙන ඒමටත් භාවිතා කරනවා. ඌ වරකට ජලය ලීටර 7ක් විතර මේ හොඬවැල තුළට උරා ගෙන එහි කෙළවර ඇති තුඩෙන් එය හොඳින් වසා ගෙන හොඬවැල කරකවා ඒ ජල ප්‍රමාණය එකවර ම කටට දමා ගැනීමට දක්ෂයි. ජලය හොඳ තත්වයේ ඇත්නම් අලියකුට දවසකට වතුර ලීටර 135ත් 225ත් අතර ප්‍රමාණයක් බොන්න පුලුවන්. පොළොව මතුපිට ආසන්නයේ ජලය ඇත්නම් ඒ බව සොයා ගන්නට අලියා හොඬවැල පාවිච්චි කරනවා. තැන හරියට ඉව කර සොයා ගත්තට පස්සේ උගේ දැවැන්ත දළවලින් පොළොව කැණ ඒ ජලය මතුකර ගෙන බොන්නට අලියා දක්ෂයි.
මේ දළවලින් ගස්වල පොතු ගලවාගෙන කන්න ඌට පුලුවන්. දළ වශයෙන් වැඩී ඇත්තේ උගේ උඩු ඇන්දේ ඉදිරි දත් දෙකයි. ඒවා ටිකෙන්ටික දික්වී විශාල වී වැඩී වැඩෙනවා. අවසානයේ දී ඒවා සටන් කිරීමක දී සවිමත් අවියක් ලෙසත්, ආහාර ගැනීමේ දී ඒවා බිඳ ගැනීමටත් හැකි වන තරමට දැවැන්ත ඒවා බවට පත් වෙනවා.
ලෝකයේ මෙතෙක් හමුවූ දැවැන්තම දළයෙහි දිග මීටර් 3.5ක් වුණා. ඒ තරම් දිග දළ හරිම දුර්ලභයි. බොහෝ විට සාමාන්‍ය දළයක් ඒ ප්‍රමාණයෙන් අඩකටත් අඩුයි. අලියකු හෝ ඇතකු හෝ බර වැඩි වස්තුවක් ගෙනයාමේ දී දළ දෙකත් හොඬවැලත් එකතු කර ගෙන 'ෆෝක්ලිෆ්ට්' එකක් ලෙසට හසුරුවනවා, ඔබ දැක ඇති.
හොඬවැල නාන විටත් ඇතාට ප්‍රයෝජනවත් වෙනවා. ඝනකම සෙ. මී. 2ක් තරම් වන උගේ සම ඉතා හොඳ තත්වයේ තබා ගැනීමට අවශ්‍ය නිසා දිනපතාම නෑමට ඌ කැමතියි. නාන විට ඌ හොඬය උපයෝගී කර ගෙන පසු පස පෙදෙසට වතුර විදිනවා. රත් වූ කාලගුණයක දී සිරුර සිසිල් වීමට එය හේතුවක් වෙනවා. මඬවගුරක සිටී නම් ඇතා මඩ දිය කර ජලය සමග ඉසීමට හොඬය පාවිච්චි කරනවා. ඒ මඬ තට්ටු සම මත තැවරී සමට හානි කරන සතුන්ගෙන් සම ආරක්ෂා කර ගන්නවා. බිම ඉතාමත් වියළි නම් ඇතා මඬ වෙනුවට හොඬෙන් ගන්නා දූවිලි දක්ෂ ලෙස සම මත විසුරුවා හරිනවා. ඒ ආකාරයට දූවිලි නා ගත් ඇත්තු ඔබ කොතෙකුත් දැක ඇති.
අලි ඇතුන් හරිම දක්ෂ පිහිණුම්කරුවන්. ගැඹුරු ජලයේ දී ඌ හොඬය ශ්වසන බටයක් ලෙස පාවිච්චි කරනවා. එය ඉහළට ඔසවා ගෙන හුස්ම ගනිමින් ඕනෑම ගැඹුරු ජලයක, මුහුදේ පවා පිහිනීමට ඌට පුලුවන්. ගොඩ බිම දී වුනත් අමුතු සුවඳක් දැනුනොත් හොඬය උඩට ඔසවා එය හඳුනා ගැනීමට ඌ තැත් කරනවා. හොඬයේ තුඩ හසුරුවා ඒ සුවඳ එන දිසාව තේරුම් ගැනීමට ඌට හැකියාව තියෙනවා. ඒ අනුව එය අනතුරක් නම් එය තමා ළඟට එනතුරු නොසිට ඉදිරියට ගොස් ඊට අවශ්‍ය පියවර ගන්ට ඌට පුලුවන්.
හොඬය සුපිරි නැහැයක් නිසා ඌ ස්පර්ශ කරන ඕනෑම දෙයක් 'ඉවෙන්' හඳුනා ගන්න ඌට හැකියි. ඇතකු උගේ හොඬයේ තුඩින් කුඩා මලක් ඉව කර හඳුනාගන්නා හැටිත්, ඒ වගේ ම ඒ හොඬයේ තුඩින්ම තම සගයකුගේ සිරුර පිරිමදින හැටිත් දැකීම විස්මය දනවන දෙයක්. මේ හොඬේ තුඩින් මෘදු ලෙස ස්පර්ශ කිරීම අලින් ආදරය පළ කරන විදියක්. මිතුරන් අතරත් එකිනෙකා වෙත සුහදතාව පළ කරන මඟක්. අලි අම්මලා පැටවුන් ගැන සොයා බලන්නේත් හොඬයේ තුඩෙන්, ස්පර්ශ කිරීමෙනුයි. සතුරු අලි ඇතුන් එකිනෙකා හා සටන් වදිද්දී මේ හොඬවල් පටලවා ගන්නවා.
අනතුරක සේයාවක් දැනුන විට අලි ඇතුන් මේ හොඬයෙන් තවත් වැඩක් ගන්නවා. එය යෝධ කාහලයක් සේ යොදා ගන්නවා. මෙසේ නැහැයෙන් කෑ ගහන හඬ හරියට ඇහෙන්නේ සුසිර සංගීත වාද්‍ය භාණ්ඩයකින් නැගෙන හඬක් වගෙයි.
ඉතින් මේ කරුණු අනුව ඇතතුගේ හොඬය, සියුම් නැහැයක්, සංවේදී තොලක්, දැඩි අතක්, සවිමත් බාහුවක්, ප්‍රබල බටයක්, දියයට කිමිදීමට යොදා ගන්නා ස්නෝකල් නළයක්, මහ හඬ පිට කළ හැකි හොරණෑවක්, යන මේ සියල්ල එක්තැන් කළ විස්මිත උපාංගයක්. මුළු සත්වලෝකයේ ම අපට මෙවැනි විස්මිත අවයවයක් තවත් හමු වන්නේ නැති තරම්.
අලියාගේ හොඬවැල ගැන, එය යොදා ගන්නා විවිධ භාවිතාවන් ගැන අප මෙසේ විස්මයට පත් වුණාට, උගේ දැවැන්ත සිරුරමත් විස්මයට කාරණයක්. මුළු සත්වලෝකයෙන් ම ගොඩ බිම හමුවන දැවැන්තම සතා අලියායි. මේ සතකු හොඳින් වැඩුණු විට කිලෝ ග්රෑම් 6,000ක් පමණ බරයි. උපදින විට කුඩා පැටියකු පවා වැඩුණු මිනිසකුට වඩා බරින් වැඩියි.
මේ සිරුරේ ලොකුකම දෙයාකාරයකින් ඌට උපකාරීවෙනවා. එකක් එයින් ඉතා උස් තැන්වල ඇති අතු ඉති කඩා කෑමට ගන්න පුලුවන්. ඒ වගේම සතුරු විලෝපිකයකුගේ ගොදුරක් වීමත් වළක්වනවා. වනයේ වෙසෙන සිංහයන්, ව්‍යාඝ්‍රයන්, වන සුනඛයන් වැනි රංචු වශයෙන් දඩයමේ යන සතුන්ට වුනත්, අලියකු දඩයම් කිරීම ලේසි නැහැ. වැඩුණු සතුන් පැටවුන් විශේෂයෙන් රැක බලා ගන්නා නිසා අලුත උපන් පැටවුන් ගොදුරු කර ගන්න ඒ විලෝපියන්ට හැකියාවක් නැහැ.
අතින්නියක හෝ කෙණෙරක හෝ ගැබ්ගෙන වසර දෙකක් තරම් කාලයකට පසුවයි, පැටියා ප්‍රසූත කරන්නේ. සත්වලෝකයේ දීර්ඝතම ගැබ්කාලය මෙයයි. පැටියකු ප්‍රසූත කළ පසු රැලේ අනෙක් ගැහැනු සතුන් පැටියාට උදවු කරන්නට ඉදිරිපත් වෙනවා. ඔවුන් වින්නඹුවන් වාගේ පැටියා පිරිසිදු කොට නැඟී සිටීමට ආධාර කරනවා. හැම ආකාරයකින් ම ආරක්ෂා කරනවා. පැටවුන් මැදි කරගෙනයි, අලි අම්මලා ගමන් බිමන් යන්නේ. ඒ නිසා ම කිසිම විලෝපිකයකුට ඔවුනට ළංවීමට කිසිසේත් ඉඩක් ලැබෙන්නේ නැහැ.
වැඩුණු ඇතින්නියන් සමීප රංචුවක් වශයෙන් එක්වෙලයි, ජීවත්වන්නේ. මේ රංචුවකට සම වයසේ කෙණෙර සතුන් කීප දෙනෙකු මෙන් ම පැටවුන් සමඟ අලි ආච්චි අම්මා කෙනෙකුත් ඉන්නවා. මේ අලි ආච්චි අම්මා තමයි, එ් රංවුවේ නායකයා. ඒ වගේ ම පාලකයා. මොන යම් හෝ අනතුරක් ගැන ඉවක් දැනුනොත් ඉස්සෙල්ලම දැනෙන්නේ එයාටයි. අමුතු සුවඳක්, අමුතු ශබ්දයක්, අනපේක්ෂිත සෙලවීමක් දැනුනු වහාම ඇය ඊට මුහුණ දීමට සූදානම් වෙනවා. ඒ අතර පිරිසේ අනෙක් ඇතින්නියන් හිස ඉදිරියට දමාගෙන, පැටවුන් ඇතුළු වන ආකාරයට ආරක්ෂක වළල්ලක් සේ සිට ගන්නවා.
අලි ආච්චි අම්මා තමයි, ඒ පිරිසේ ඉන්නා විශාලතම සත්වයා. ඇයට ශක්තිය හා ධෛර්යය තියෙනවා ඇගේ පුංචි රංචුව රැක ගන්න. ඉස්සර කාලේ අලි දඩයමේ ගිය මිනිසුන් හිතුවේ අලි රංචුවේ නායකයා වන්නේ දැවැන්ත පිරිමි සතකු කියලයි. ඒත් දැන් අප දන්නවා, ඒ හැම විට ම පිරිසේ ඉන්නා විශාලතම කෙණෙර බව.
වසර ගණනාවකට පස්සෙ, මිනිසුන් අලි ඇතුන් ගැන පරිස්සමෙන් හදාරන්නට පටන් ගත්තා. එතැනදි තමයි, ඔවුන්ට පෙනී ගියේ පිරිමි සතුන් රංචුවෙන් පිට වෙන් වී ජීවත්වෙන බව. නායක ඇත් රංචුවේ ඉන්න ඇතින්නියට වඩා ශක්තිමත් ඇතුන් හුදෙකලාව ජීවත්වෙනවා. ඒ ඉන්න සතකුට තම ශක්තිය යොදවලා නායිකාව පරද්දන්න පුලුවන්. එහෙම පරාද කරලා රංචුවේ නායකත්වය ගන්න ආවොත් ඒකට රංචුවේ ඉන්න ගැහැනු සතුන් ඉඩ දෙන්නේ නැහැ. ඒ අය එකතු වෙලා පහර දීලා ඌව පන්නා දමනවා.
පිරිමි සතුන්ට රංචුවට එක්වෙන්නට ඉඩ දෙන්නේ ගැහැනු සතුන් එක් වීමට සූදානම් කාලයට විතරයි. එයින් පසු පිරිමි සතුන් රංචුවෙන් පිට වී ගොස් තනිව, හුදෙකලා දිවියට පුරුදු වෙනවා. මේ විදියට රංචුවෙන් පිට වී යන අලින් කීපදෙනකු විසිරුණු රංචුවක් ලෙස ජීවත්වෙනවා ඉඳහිට දකින්න පුලුවන්. ඒත් ඒ ආකාරයට ඔවුන් වැඩි කලක් එකට ජීවත්වන්නේ නැහැ. ගැහැනු සතුන් වගේ එකිනෙකාට උදවුවෙමින් සමීප ජීවත්වීමේ පුරුද්දක් ඔවුන්ට නැති නිසා.
අලුත උපන් පැටියකු ඉතා ඉක්මනින් වැඩෙනවා. ඉපදී අවුරුදු තුනකට වැඩි කාලයක් මවුකිරිවලින් තමා වැඩෙන්නේ. ඌ කිරි උරා බොන්නේ හොඬවැලෙන් නෙවෙයි, කටිනුයි. කිරි වැරූ පසු ඌ ශාක වර්ග කෙළින් ම කටින් කඩා ගන්නේ නැහැ. හොඬවැල භාවිතා කර අතුරිකිලි කඩා මුව තුළ රුවා ගැනීමට ඌ පුරුදු වෙනවා.
වයස අවුරුදු හයක් විතර වෙනකොට, අලි ගැටයා උපදින විට හිටිය බර වගේ දහ ගුණයක් විතර වෙනවා. තවත් වසර හතරක් විතර ගියාම කෙණෙරකට පැටවුන් බිහි කරන්න පුලුවන්. කෙණෙරකට වසර තුනකට වරක් පැටියකු බිහි කළ හැකියි. මෙය මරණය තෙක් හෝ මහලු වී පැටවුන් බිහි නොකළ හැකි තත්වයට පත් වන තෙක් හෝ සිදු කළ හැකියි.
අලියකුට රංචුවෙන් පිට වුණාට පස්සෙ, හුදෙකලාව ජීවත්වීමට සිදුවෙනවා. එහෙම ඉන්න අලියකු හෝ ඇතකු බොහෝ විට අවුරුදු 30කට වඩා ජීවත් වන්නේ නැහැ.
සුන්දර කතාවක් තියෙනවා, අලි ඇතුන් ජීවිතයේ අවසානය ළඟා වුණා ම මැරෙන්න රහස් තැනක පිහිටි 'විශේෂිත ඇත් සොහොන් බිමක'ට යනව කියලා. ඒ පුරාණ කතාව හැදෙන්න ඇත්තේ වනාන්තරවල ගවේෂණයෙහි යෙදුනු අයට එක තැන තිබී, අලි ඇටකටු විශාල ප්‍රමාණයක් හමුවීම නිසා විය හැකියි. මේ සොහොන් බිම්වල ඇත්ත කතාව නම් ඇත් දළ ගැනීමට මිනිස් දඩයක්කාරයන් විසින් එක විට ඇත් රංචු සමූලඝාතනය කර ඇත් දළ රැගෙන යාමයි. ඒ කතාවේ අසුන්දර ඇත්ත නම් ඇතකු මරණයට ළං වූ විට සිදුවන්නේ එක්වරම මැරී වැටීමයි. තැන කොතැන වුවත් ඇත්ත ඒකයි. සොහොන් බිමක් සොයා යාමක් සිදු වන්නේ නැහැ.
අප්‍රිකා මහාද්වීපයේ දළ ඇතුන් බහුල නිසා මහා පරිමාණයේ දළ කොල්ලකරුවන් ඉස්සර හිටියේ ඒ රටවලයි. දැන් එය නීතියෙන් තහනම් කර ඇති නිසා හොර රහසේ තමයි, සිදුවන්‌නේ. ඇතුන් මරා ලබා ගන්නා අලංකාර ඇත් දළ ඈත පෙරදිග රටවලට හොරෙන් අරන් අරන් ගියා. එහිදී ඇත් දත් කැටයම් කරුවන් විසින් මිල අධික වටිනා භාණ්ඩ බවට පත් තරනවා. ඇත් දළවලින් කරන සියුම් අලංකාර කැටයම් නිසා ඒවා බටහිර රටවල ඉතා අධික මිල ගණන්වලට විකිණෙනවා. මේ ජාවාරම නිසා ඒ වෙළඳුන් මහා ධනවතුන් බවට පත් වුණා. අප්‍රිකානු දළ ඇතුන් මේ විදියට මරණයට පත් කරන්නට සිදුවීම ගැන ඒ අය ටිකක්වත් කම්පා වුණේ නැහැ. ඒ තවත් විශාල ප්‍රමාණයක් අප්‍රිකා මහාද්වීපයේ ඉන්නා නිසා.
දැනට ලෝකයේ ජීවත්ව ඉන්නේ ආසියානු අලියා හා අප්‍රිකානු අලියා යන අලි ඇතුන් දෙවර්ගය පමණයි. එයින් ආසියානු අලියා අප්‍රිකානු අලියාට වඩා කුඩායි. ආසියානු අලියා ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, මලයාසියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, චීනය ආදි රටවල වනාන්තරවල ජීවත්වෙනවා.
ආසියානු අලියා හා අප්‍රිකානු අලියා අතර වෙනස්කම් කීපයක් ම තියෙනවා. ආසියානු අලියා හිස පාතට නැඹුරු කර ගෙන ඉන්නා අතර අප්‍රිකානු අලියා හිස ඉහළට ඔසවාගෙනයි, ඉන්නෙ. ආසියානු අලියාගේ පිටඋඩු අතට ඉස්සිලා පිහිටනවා. අප්‍රිකානු අලියාගේ පිට කොන්ද මැද පහත් වීමක් තියෙනවා. ආසියානු අලියාගේ කන් කුඩායි. අප්‍රිකානු අලියාගේ කන් ඉතා විශාලයි. එසේ විශාලව ඇත්තේ දැඩි උෂ්ණත්වයක් අප්‍රිකානු මහාද්වීපයෙහි ඇති නිසයි. කන්වලින් කෙරෙන්නේ සිරුර සිසිල් කිරීමට පවන් සැලීමයි. ආසියානු ඇතින්නගේ දළ පිටතට නොපෙනෙන අතර අප්‍රිකානු ඇතින්නගේ දළ පිටතට පෙනෙනවා.
ආසියානු අලියා හීලෑ කර ගැනීම පහසුයි. ඒ නිසා ඌ හීලෑකොට මිනිසා නොයෙකුත් වැඩට යොදා ගන්නවා. ඌ හීලෑ කොට පෙරහරවලට, බර අදින්නට, සර්කස් කණ්ඩායම්වලට, වනාන්තරවල කොට අදින්නට යොදා ගන්නවා. අප්‍රිකානු අලියා එහෙම නොමෙයි. ඒ නිසා ම මිනිසාගේ විවිධ වධ බන්ධනවලට ඌට ලක් වීමට සිදු වන්නේ නැහැ. ඒ අතින් අප්‍රිකානු අලියා වාසනාවන්තයි. ඌව දළ ගන්න මරනවා ඇරෙන්න වෙන වද දීමකට ලක් වන්නේ නෑ.
වසර මිලියන ගණනක් තිස්සේ පැවත ආ මේ සත්වයා වඳවීයාමට ආසන්නවයි, දැන් ඉන්නේ. මේ තරම් දැවැන්ත සත්වයකු පණ පිටින් දැක ගන්නට ලැබීමට තරම් වාසනාවන්ත වීම ගැන අප හැමෝම සතුටු වෙන්න ඕනෑ.
ඩෙස්මන්ඩ් මොරිස්ගේ දැනුම එතැනින් අවසන්. මටත් එකතු කරන්න දෙයක් තියෙනවා. මං මෙහිදී ඇතා, ඇතින්න, අලියා, කෙණෙර ආදි වචන කීපයක් පාවිච්චි කළා. අලියාගේ ස්ත්‍රී ලිංග පදය 'කෙණෙර' යන්නයි. ඇතාගේ ස්ත්‍රී ලිංග පදය 'ඇතින්න'යි. ඇතාට කියන තවත් නම් ගණනාවක් ම තියෙනවා. ඇත්, ඉබු, ඉහ, කරි, කිරි, කුඤ්ජර, කුරුණෑ ගජ, ගජිදා, දිරි, නා, නාග, පිනිපා, මතංග, වනජයා, වරණ, වාරණ, වරණිඳු, සඳ, සරඟ, සින්ධුර, සිඳුරු, හස්ති, හැත් ඉන් කීපයක්.
ඇතින්නට ඇති නම් අතර ඇතිනිය, කණේරුකා, කරේණුකා, කිරඟන, කෙණෙර, කෙණෙරඟන, නාලිය, හස්තිධේනුව, හස්තතිනී, හැතා ඉන් කීපයක්. (මේවා මා උපුටා ගත්තේ මා සම්පාදනය කළ 'සරසවි හෙළ වදන් රුවන - සිංහල සමානාර්ථ පද කෝෂය' නම් සරසවි ප්‍රකාශයෙනි.)
- පර්සි ජයමාන්න
0 Comments