රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ හමුදාව ශබ්දයේ වේගය මෙන් දස ගුණයක් වේගයෙන් ගමන් කරන අති දරුණු හයිපර්සොනික් මිසයිලයක් යුක්‍රේනයේ බටහිර ඉලක්කයකට එල්ල කළා. රුසියාවේ රියා නොවොස්ති රාජ්‍ය පුවත් සේවය කියන්නේ මේ යුද්ධයේ දී කින්සාල් (Kinzhal) හයිපර්සොනික් අවියක් යොදා ගත් පළමු අවස්ථාව මෙය බවයි. මේ ප්‍රහාරය එල්ල කළේ සිකුරාදායි.
2018 දී පුටින් ජාතිය ඇමතූ අවස්ථාවේ දී පැවති යුද අවි සංදර්ශනයේ දී මේ අවිය හඳුන්වා දෙමින් ඔහු කියා සිටියේ මේ කින්සාග් (කිනිස්ස) මිසයිලය ඉතා අපූරු එකක් බවයි. ශබ්දයේ වේගය මෙන් දස ගුණයක් වේගයෙන් යා හැකි මේ අවිය දැන් බටහිර ජාතීන් සතුව ඇති කිසිම ආරක්ෂක උපකරණයකට නැවැත්විය නොහැකියි කියායි. ඒ අවස්ථාවේ නව අවි රැසක් පුටින් ඉදිරිපත් කළා. මේ අවි දැනට ලෝකයෙන්ම ඇත්තේ රුසියාව සතුව පමණයි.
රුසියාව පමණක් සතුව ඇති බිහිසුණු අවියක් දැනටමත් පාවිච්චි කරලා!
පැයකට කිලෝමීටර් 9000ක වේගයෙන් සැතැපුම් 1250ක දුර ඉලක්කයකට විදිය හැකි මේ මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් වුවත් සවි කළ හැකියි. එහෙත් මේ අවස්ථාවේ එයට යොදා තිබුණේ න්‍යෂ්ටික යුද ශීර්ෂයක් නොව සාමාන්‍ය පිපිරුමකට අවශ්‍ය යුද ශීර්ෂයක් බවත් පසුගිය සෙනසුරාදා රුසියන් ආරක්ෂක අමාත්‍යාංශය කීවා. "කින්සාල් ගගනයානා මිසයිල පද්ධතියට අයත් මේ ගගන ප්‍රක්ෂේපණ මිසයිලය යවනු ලැබුවේ අයිවනෝ-ෆ්රෑන්කිවිස්ක් පළාතේ ඩෙලියාටින් ගම්මානයේ පිහිටුවා ඇති භූගත ගබඩාවක සඟවා තිබූ ගගනයානා නාශක මිසයිල හා පතරොම් තොගයක් විනාශ කිරීමට" යයි ඔවුන් කියනවා.
එහිදී රුසියන් මේජර් ජනරල් ඉගෝ කොන්ෂෙන්කෝ කීවේ මේ අයුරින් ම රුසියන් හමුදාව බැස්ටියන් නෞකාහාරක මිසයිල පද්ධතිය යොදා ගෙන කළු මුහුදේ ඔඩෙසාහී යුක්‍රේන් හමුදා කඳවුරු වලටත් පහර දුන් බවයි. මේ කින්සාල් මිසයිල ප්‍රහාරය පිළිබඳව වීඩියෝ පටයක් ද ඔවුන් විසින් නිකුත් කර තියෙනවා.
චන්ද්‍රිකා ඡායාරූපවලින් ඒ ප්‍රහාරය එල්ල කළ ආකාරය ඒ විඩියෝවට ඇතුළත්ව තියෙනවා. හිමෙන් වැසුණු ඒ ප්‍රදේශයේ ඇති දිග ගොඩනැගිලිවලින් එකකට මේ ප්‍රහාරය එල්ල වන අයුරුත් ඉන්පසු ගිනි ජාලාවක් නිකුත්වන අන්දමත්, එහි සුන්බුන් ඉහළ වාතයට විසිර යාමත්, දුමාරයත් සමග මිනිසුන් සීසී කඩ විසිර යන ආකාරයත් ඒ විඩියෝවෙන් දැක ගත හැකි වුණා.
මේ පුපුරුවා හරින ලද මිසයිල ගබඩාව පිහිටා ඇති බටහිර යුක්‍රේනයේ අයිවනෝ-ෆ්රෑන්කි විස්ක් පළාත මායිම්ව ඇත්තේ සැතැපුම් 30ක දේශ සීමාවක් සහිත නේටෝ සාමාජික රටක් වූ රුමේනියාවටයි.
මේ වීඩියෝවෙන් කින්සාල් ගගනයානා මිසයිලය නරඹන්න!
පෙබරිවාරි 24 වැනිදා පුටින් ආරම්භ කළ යුදමය ක්‍රියාවලිය ආරම්භ වූයේ නැගෙනහිර යුක්‍රේනයෙයි. ඒ ප්‍රදේශ දෙකක සෝවියට් දේශය පවතිද්දී පදිංචි කළ රුසියන් ජාතික ජනගහනයක් ජීවත්වෙනවා. ඔවුන් අතරින් පුටින්ට පක්ෂපාත සටන්කාමීන් පිරිසක් යුක්‍රේනයේ පාලනය සමග සටන් කළ අතර පුටින් ඔවුන්ට ආධාර කිරීමට ඉදිරිපත්ව ඒ කලාප දෙක තමන්ට නතු කර ගත්තා. වත්මන් යුක්‍රේනයේ ජනාධිපති බලයට පත් වූයේ ඒ පළාත් දෙක යළි රුසියාවෙන් නිදහස් කර පවරා ගන්නා බවට දුන් ඡන්ද පොරොන්දුවක් මතයි. ඔහු ඒ සඳහා ක්‍රියාමාර්ග ගනිමින් තිබිය දී පුටින් කළේ ඒ ප්‍රදේශවල රුසියානු දේශ සීමාවට හමුදා රැස් කිරීමයි.
ඒ අවස්ථාවේ රුසියන් ආක්‍රමණයකට අර අඳින්නේ යැයි යුක්‍රේන ජනාධිපතිවරයා හා නේටෝ සංවිධාන කළ චෝදනා පුටින් ප්‍රතික්ෂේප කළා. ඔහු කීවේ රුසියාවේ ආරක්ෂාවට දේශසීමාවට හමුදා යැවූ බවයි. අවශ්‍ය තරම් හමුදා රැස් කරගත් පුටින් යුක්‍රේන හමුදාව රුසියන් ජනයා පෙළන්නේ යැයි චෝදනා කරමින් ඔවුන් ඒ කරදරවලින් මුදවා ගැනීමට යැයි කියමින් යුක්‍රේනයට ඇතුලු වුණා. දැන් මාසයකට අධික කාලයක් තිස්සේ රුසියාව යුක්‍රේනය අල්ලා ගැනීමට වළිකනවා. යුක්‍රේන හමුදාවේ ප්‍රතිප්‍රහාර නිසා එය කළ නොහැකිව තියෙනවා. මෙහි දක්වා ඇති සිතියමෙහි රතු පැහැයෙන් දක්වා ඇත්තේ රුසියානු සටන් කරන ප්‍රදේශයි.
රුසියානුවන්, පමණක් නොව චෙච්නියානුවන් දෙපැත්තේම හමුදාවල සටන් කරනවා. ඒ නිසා බොහෝ විට ඔවුනොවුන් මරා ගැනීමක් සිද්ධ වෙන්නේ.
කලින් පැවති සෝවියට් දේශය විසුරුවා හැර ඒ රටවල් නිදහස් රාජ්‍ය බවට පත් වුවද පුටින්ට අවශ්‍යව ඇත්තේ ඒ රටවල් බටහිරට බර නොවී රුසියාවට පක්ෂපාත පාලනයන් ඒ රටවල ඇති කිරීමටයි. ඒ නිසා තමයි මේ යුද්ධයටත් මග පෑදුණේ. ප්‍රමාණයෙන් රුසියාවට පමණක් දෙවැනි වන යුක්‍රේනය, නව නායකත්වය යටතේ යුරෝපයට වඩාත් සමීපවීම නිසා තමයි, මේ අර්බූදය ඇති වුණේ. යුරෝපයේ ස්විට්සර්ලන්තය මෙන් නොබැඳි පිළිවෙතක් අනුගමනය කළා නම් රුසියාවටත් යුරෝපයටත් මැදි වූ මේ රාජ්‍යයට යුද්ධයකට මුහුණ දීමට සිදු නොවන්නට ඉඩ තිබුණා.
මේ වෙන කොට යුක්‍රේන වාසීන් 35 ලක්ෂයක් පමණ යුරෝපයට පලා ගොස් තියෙනවා. මරියුපෝල් නගරයෙන් පමණක් පන් ලක්ෂයක් ජනතාව සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට ගොස් ඇති අතර තවත් ලක්ෂ තුනහමාරක් පමණ ඒ නගරයෙහි කොටු වී සිටිනවා. ඔවුන්ට කෑම, ජලය පමණඛ් නොව සීතලට ආරක්ෂාවක් වත් නැතුවයි, එහි අසරණ වෙලා ඉන්නේ.
මරියුපෝල් රඟහලට එල්ල කළ රුසියානු ප්‍රහාරවලින් විනාශ වූ රඟහලේ රැකවරණ ලැබ සිටි ළදරුවන් හා මවුවරුන් 1300ක් පමණ රඟහලේ සුන්බුන් යට බිම් මහලේ සිරවී ඇතැයි විශ්වාස කෙරෙනවා. ඔවුන් ගලවා ගැනීමට පිරිස් වෙහෙසෙන්නේ තවමත් එල්ල වෙන රුසියන් ෂෙල් වෙඩි ප්‍රහාර මැදයි.
දැනට සිදුවී ඇති දේ කෙටියෙන් මෙහෙමයි
- මේ වන විට රුසියන් හමුදාවේ 15,000 සටන්වල දී තුවාල ලැබූ බව යුක්‍රේන හමුදාව කියනවා. ඊට හමුදා ප්‍රධානීන් 5 දෙනකු ද ඇතුළත් වෙතැයි සඳහන් වෙනවා.
- වහාම තමා සමග ඍජුවම සාකච්ඡාවට එන ලෙසට, රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලන්ස්කි, එසේ නැතහොත් රුසියාවට යථා තත්වයට පත් වීමට පරම්පරා කීපයක් ගතවනු ඇතැයි කීවා.
- ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ජනාධිපති පුටින් 'යුද අපරාධකරුවකු' යැයි චෝදනා කළා.
- පුටින්ගේ හිතවතකු වූ රුසියානු ෆෙඩරේෂණයේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් කියා සිටියේ බටහිර සම්බාධකවල ප්‍රතිඵලයක් ලෙස රුසියන් - චීන සබඳතා තව තවත් ශක්තිමත් වන බවයි.
- ඇමරිකන් ජනාධිපති බයිඩන් හා චීන ජනාධිපති ෂී ජින්පි අතර පැවති මාර්ගගත සාකච්ඡාවේ දී වීනය රුසියාවට සහය දක්වන්නේ නම් එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුවනු ඇතැයි කීවා.
- බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කීවේ 'ම්ලේච්ඡ' පුටින් පෙළෙන 'භීතිකාව' යුක්‍රේනයේ දී පරාජය කළයුතු බවයි.
- රුසියාව හා යුක්‍රේනය අතර සාම සාකච්ඡා රුසියානු හමුදාවන්ට ඔවුන්ගේ ස්ථාන ශක්තිමත් කරගෙන ඉදිරියට යාමට යොදා ගත් උපක්‍රමයක් යැයි බ්‍රිතාන්‍ය විදේශ ඇමතිනි ලිස් ටෲස් කීවා.
- යුක්‍රේනයේ සුප්‍රසිද්ධ වේදිකා නිළියක් කියෙව්හී මහල් නිවාසයක නිදා සිටියදී රුසියන් රොකට් ප්‍රහාරයකින් මිය ගියා.
- රුසියානු ප්‍රහාරයෙන් මියගිය ළදරුවන් 109 දෙනා සිහිවීම පිණිස 'ළදරු කරත්ත' (pram) පෙළට තබා විරෝධතාවක් ද මරියුපූල් නගරයේ දී පැවැත් වුණා.
දෙරටේ ම සාමාන්‍ය වැසියන් යුද්ධයට කැමති නැහැ. ඒත් නායකයන්ගේ අත්තනෝමතික තීරණ නිසා සාමාන්‍ය වැසියන් පීඩාවට පත් වෙනවා. සුළු පිරිසකගේ තීරණ අනුව සමස්ත ජනතාවම වින්දිතයන් වීම මා නම් හිතන්නේ මේ ශිෂ්ටසම්පන්න ලෝකයේ සිදු නොවිය යුතු දෙයක්. අපත් වසර 30ක් තිස්සේ අත්දැක්කේ එවැන්නක්. ඒ අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒත් යුක්‍රේනයේ සිදුවන්නේ නිදහස් රටක් තවත් රටක් විසින් කරන ආක්‍රමණයක්. පුටින් මොනව කිව්වත් ශිෂ්ටසම්පන්නකම නම් සාකච්ඡාවලින් ප්‍රශ්නය විසඳා ගැනීමයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැඩි බලපෑම් කරන්න විධියක් නැහැ. රුසියාව නිෂේධ බලය පාවිච්චි කර එය ඉවත දමනවා. මේ දෙපාර්ශ්වය සමග සාකච්ඡා කිරීමට නොබැඳි සංවිධානය තිබුණා නම් මේ ප්‍රශ්නයට නොබැඳි සංවිධානයේ නායකයන්ට තිබුණා. ඒත් අද එය අක්‍රියයි. අනිත් බලවත් රටවල් මේ දෙපැත්තට ම බෙදිලා. සක්‍රිය ව ඉදිරියට එන්න බයයි, තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වෙයි කියා. ඒ වගේ දෙයක් ඇති වුණොත් මුළු ලෝකය ම විනාශ වෙනවා. එහෙම නොවේවායි පතමු.
- පර්සි ජයමාන්න
0 Comments