HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 100ක් සපුරන පරමාදර්ශී මාසික සඟරාව

ලෝක ප්‍රකට 'රීඩර්ස් ඩයිජෙස්ට්' සඟරාවට මේ වෙන කොට අවුරුදු 100ක් සම්පූර්ණ වෙලා තියෙනවා. ලෝකය පුරා පොදු පාඨකයා වෙනුවෙන් ප්‍රසිද්ධ කරන මේ සඟරාව ලෝකයේ රටවල් 70 ක භාෂා 21කින් මුද්‍රණ 49කින් පළ වෙනවා. මේ තරම් භාෂා ගණනකින් පළ වෙන තවත් සඟරාවක් ලෝකයේ ඇත්තේ නැහැ. මේ සඟරාවේ අලෙවිය පිටපත්වලින් ගත්තොත් කෝටි 4ක්. 


1922 පළ වූ මුල් රීඩර්ස් ඩයිජස්ට් සඟරාව

'රීඩර්ස් ඩයිජෙස්ට්' සඟරාව ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේ විලියම් රෝයි ඩිවිට් වොලස් (William Roy DeWitt Wallace) ටයි. ඔහු 1889 නොවැම්බර් 12 වැනිදා ඇමරිකාවේ මිනෙසෝටා ජනපදයේ සාන්ත පෝල් නගරයේ උපන්නෙක්. ඔහුගේ පියා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. මවුන්ට් හර්මන් පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව මැකලැස්ටර් විද්‍යාලයටත්, බර්ක්ලිහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයටත් ගියා. 1912 දී සාන්ත පෝල් නගරයට ආ ඔහුට කෘෂිකර්ම සඟරාවක රැකියාවක් ලැබුණා. 

පළමු වන ලෝක සංග්‍රාමයේ දී ඇමරිකන් හමුදාවට එක් වීමට ඔහුට සිදුවුණා. යුද බිමේ දී තුවාල ලැබූ ඔහු මාස හතරක් ප්‍රංශයේ රෝහලක රෝගීව ගත කළා. ඒ ගමන තමයි, ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඔහු රෝහලේ ඇඳට වී වෙන කළ හැක්කක් නොවූ නිසා ඔහුට ලැබුණු ඇමරිකන් සඟරා කියෙව්වා. 

ඔහු කල්පනා කළා මේ සඟරා හැම එකක් ම සොයා ගෙන කියවීම තනි පාඨකයකුට අසීරු කරුණක්. ඒ නිසා ඒවායින් පොදු පාඨකයාගේ රස වින්දනයට සුදුසු ලිපි විශේෂාංග තෝරා ඒවා සංක්ෂිප්ත කොට අලුත් සඟරාවක් පළ කළොත් අවිවේකී ඇමරිකන් පාඨකයන් ඊට කැමති වෙවි කියා. ඒ සිතිවිල්ල ඇතිව ආපසු ඇමරිකාවට ආ ඔහු දිනපතා ම ගත කළේ මිනියාපොලිස් මහජන පුස්තකාලය තුළයි. එහි රැඳී ඔහු කළේ විවිධ සඟරාවල ගිය ලිපි හා විශේෂාංග තෝරා සරල සුගම බසින් සංක්ෂිප්ත කර යළි සැකැසුවා. එහෙම කරපු සාම්පල සඟරාව ඔහු සිය මිතුරියකට පෙන්නුවා. ඇය ඒ ලිපි කියවා ඉතා සතුටු වුණා. ඔහු සිය අදහස ඇයට කීවාම ඇය එක්වරම කීවේ 'මුද්‍රණය කරන්න හොඳට ජනප්‍රිය වෙිවි' කියායි. ඇය නමින් ලයිලා බෙල් ඇචෙසන්. ඔහුගේ  සරසවි මිතුරකුගේ සොහොයුරියක්. 

නිව් යෝක් මහජන පුස්තකාලයේ මේ 108 කාමරය දැන් හැඳින්වෙන්නේ ඩීවිට් වොලස් සඟරා කාමරය කියලයි. 1920 දශකයේ ඩීවිට් වොලස් මෙහි පැය ගණන් රැඳෙමින් ලිපි සංක්ෂිප්ත කළා. මෙහි ඒ සඟරා සියල්ල ම පාහේ තැන්පත් කර තියෙනවා.

ඒ කටයුත්තට සහය දෙන්නත් ඇය කැමති වුණා. ඔහු තෝරා ගත් ලිපි හැම එකකම මුල්ම පාඨකයා වුණේ ඇයයි. ඔවුන් මේ නව අදහස ක්‍රියාත්මක කරන්න නිතර නිතර හමුවුණා. ඔහු ඇය ගැන තදින් පැහැදුණා. අන්තිමේ දී ඔහු ඇයට විවාහ ‌යෝජනාවක් කළා. ඇය ඊට එකඟ වුණා. 1921 ඔක්තෝබර 15 වැනිදා ඔවුන් විවාහ වුණා. ඉන්පසු ඒ දෙදෙනා එක්ව සඟරාවේ වැඩ කටයුතු කරන්නට පටන් ගත්තා. 

ඔවුන් දෙදෙනා තීරණය කළේ සඟරාව මුද්‍රණය කළ පසු කෙළින් ම තැපෑලෙන් අළෙවි කරන්නයි. එහි නම 'පාඨකයන් සඳහා සාරාංශ කළ' යන අරුත් ඇතිව, නව සඟරාව 'රීඩර්ස් ඩයිජෙස්ට්' කියා නම් කළා. එහි මංගල කලාපය පෙබරවාරි 5 වැනිදා නිකුත් කළා. මංගල කලාපයෙන් ම එය පාඨකයන් ආකර්ෂණය කර ගන්න පටන් ගත්තා. වැඩි කල් නොයා එය ලොව වැඩිම අළෙවියක් ඇති සඟරාව බවට පත් වුණා. මේ වන විට එය 100 වසරක් සම්පූර්ණ කරනවා. 


1922 පළ වූ මුල් රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ මුල්පිටුව

ඔවුන් පුවත්පත් දැන්වීමක් දමලා පාඨකයන්ට නව සඟරාව ගැන කිව්වා. ඒ ඉල්ලීම උඩ ආ අයට සඟරාව යැව්වා. ඒ ගැන මිතුරන්ට හඳුන්වා දෙන්න කියලා ඉල්ලීමකුත් කළා. මිතුරන් 10ක් හඳුන්වා දෙන අයට සඟරාව නොමිලයේ දුන්නා. අවුරුද්දකට කලාප 12ක් නිකුත් කළා. කලාප 12 ටම දායකත්වය එවන අයට වට්ටමක් දුන්නා. එයින් නැවතුණේ නැහැ. තෑගිත් දුන්නා. පාසල් ශිෂ්‍යයන්ට, සරසවි උපාධි අපේක්ෂක සිසුන්ට විශේෂණ සහන මිලකට දුන්නා. ඔවුන් කැමති පොතපත තෑගි කළා. මාත් මහනුවර පාසල් යන කාලේ රීඩර්ස් ඩයිජෙස්ට් ප්‍රවර්ධන වැඩසටහනකට සම්බන්ධ වෙලා හිටියා. ඒ කලේ මාත් පොකට් මනි හැටියට ඉන් ලොකු ආදායමක් ලැබුවා. 

රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව බ්රේල් ක්‍රමයටත්, ඩිජිටල් ක්‍රමයටත්, හඬ ක්‍රමයටත් නිකුත් කෙරෙනවා. ඒ හැරෙන්නට රීඩර්ස් ඩයිජෙස්ට් ලොකු අකුරු සඟරාවකුත් නිකුත් කෙරෙනවා. එය ප්‍රමාණයෙනුත් ලොව බොහෝ සඟරාවලට වඩා කුඩායි. ඒ වගේ ම සංක්ෂිප්තයි. 2005 වන තෙක් එහි තේමා පාඨය වූයේ 'ඇමරිකාව ඔබේ සාක්කුවට ගේන' (America in your pocket) සඟරාව යන්නයි. දැන් එහි තේමා පාඨය 2008 ජනවාරියේ සිට වෙනස් කර තියෙනවා. ඒ අනුව 'ජීවිතයට හොඳින් බෙදා ගන්න' (Life well shared) කියා දැන් භාවිත කරනවා. 

නිර්මාතෘ ඩීවිට් වොලස් හා ලයිලා බෙල් ඇචෙසන් 
සහ ටයිම් සඟරාව පළ කළ උපහාර අංකය

1922 දී රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව ආරම්භ කරද්දී එහි නිර්මාතෘ ඩීවිට් වොලස්, ඔහුට හමු වූ විවිධ සඟරාවලින් පළ වූ දෑ සංක්ෂිප්ත කර උපුටා ගෙන පළ කළා. සමහර ලිපි නැවත ලිව්වා. කෙසේ වෙතත් එහි පළ වූයේ 'සාරය' කියලයි ඔහු කීවේ. 'රසවත්ම දේ සොයා ඒවා හරවත්ව කෙටියෙන් ඉදිරිපත් කිරීම' යන අදහසයි, ඔහු සමාජයට දුන්නේ. ඒත් එයින් ඇත්තට ම සිදු වූයේ 'නිදහස' පිළිබඳ ඇමරිකානු සංකල්පය ලොව පුරා ව්‍යාප්ත වීමයි. ඒ වගේ ම ඔහු දැරූ මතවලට එරෙහි දෙයක් ඔහු කිසිවිට එහි පළ කිරීමට ගත්තේ නැහැ. ඔහු 'ඇමරිකානුවා පරමාදර්ශී පුද්ගලයා'ය යන අදහස ලොවට දීමට හැම විට ම උත්සාහ ගත්තා. ඒ වගේම කොමියුනිස්ට් විරෝධී මතවලට වැඩි ඉඩක් ලබා දුන්නා. 

තිස්ස දේවේන්ද්‍ර මහතා පේරාදෙණි විශ්විවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයකුව සිටි අවධියේ රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ අහඹු වශයෙන් තෝරා ගත් සඟරා කලාපයක් ගෙන ඒ පිළිබඳ විමසුමක් කර ලිපියක් 1951 දී ලංකා විශ්ව විද්‍යාල සඟරාවෙහි (Ceylon University Magazine) පළ කර තියෙනවා. වසර 71කට පෙර පළ කළ ඒ ලිපියට අනුව ඔහු ඒ සඟරාවේ ලිපි සාරංශ කර ඇති නිසා එහි සාහිත්‍යමය අගය ගැන විමසුමක් කරන්නට අදහස් කර නැහැ. ඒ වෙනුවට ඔහු ඒ කලාපය සඳහා තෝරාගෙන තිබූ ඒ ඒ ලිපිවල තේමාවන් හා ඒවායේ අන්තර්ගත අදහස් පිළිබඳ විමසුමක් කරමින් එය ප්‍රශස්ත ලෙස ඇමරිකානු වාදය ජනගත කරන්නට ගත් ප්‍රයත්නයක් ලෙස හඳුන්වා දුන්නා. වසර 100ක් සපුරන මේ මොහොතේ මටත් එහෙම හිතෙනවා. 

එදා ඇමරිකාවේ පළ වූ සඟරාවලින් කරුණු ගැනීමේ දී ඔහුට ඇමරිකන් විරෝධී ලිපි හා විශේෂාංග හමු නොවන්නට ඇති. අද අමෙරිකන් විරෝධී නිදහස් මත එරට සඟරාවල පළ වුනත්, එදා පළ නොවන්නට ඇති. අනෙක් අතට ලිපි තෝරා ගැනීම, ඒවා සංක්ෂිප්ත කිරීම, ප්‍රකාශයට පත් කිරීම යන සියල්ල කළ තනි පුද්ගලයකු හැටියට ඔහු ඒ ලිපි තම අභිමතය පරිදි තෝරා ගන්නටත් ඇති. මේවා තේරුම් ගෙන තමන් මධ්‍යස්ථව සිට කියවීමේදී පාඨකයාට ඔහුගේ ඇමරිකන් ප්‍රචාරණයෙන් හානියක් වන්නේ නැහැ. 

යුද්ධයෙන් බැට කෑ ඔහු යුද විරෝධී පිළිවෙතක් අනුගමනය කළා. සාමය ගැන ලියැවුණු ලිපිවලට වැඩි ඉඩකඩක් දුන්නා. ඇමරිකානුවන් 'නිදහස' දකින දෘෂ්ටිකෝණයෙන් තමයි ඔහුත් ඒක දුටුවේ. ඒක වරදක් නෙමෙයි කියලයි, මං හිතන්නෙ. ඇමරිකාව ලෝක බලවතෙක් වෙන්න ඉස්සර ඇමරිකන් ජාතිකත්වය පිළිබඳ හැඟීම ඔවුන් තුළ ඇති වෙන්න ඇති. එවැනි අභිමානයක් ඇතිව කටයුතු කළ නිසා වොලස්ගේ මේ ප්‍රයත්නය ඇමරිකාව ගැන යහපත් ප්‍රචාරයක් ලොව පුරා ව්‍යාප්ත කරන්නට ඇති. 

1929 වන විට රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව අතිශයෙන් ජනප්‍රිය එකක් වුණා. වාර්ෂිකව දායකත්වය ලබා ගත් සංඛ්‍යාව 290,000ක් වුණා. වසරකට ආදායම ඩොලර් 900,000ක් වුණා. ප්‍රථම වරට එහි අන්තර්ජාතික මුද්‍රණයක් එක්සත් රාජධානියේදි නිකුත් වුණේ 1938 දියි. එහි 40 වසර සමරන විට රටවල් 40ක අන්තර් ජාතික මුද්‍රණ නිකුත් වුණා. ඒ වගේ ම රටවල් 13ක භාෂාවලින් ද පළ වුණා. බ්රේල් භාෂාවෙනුත් මුද්‍රණය වුණා. ඒ වන විට චීනය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, ස්වීඩනය, පේරූ යන රටවල ඒ රටේ පළ වූ සඟරා අබිබවා රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව අළෙවි වෙලා තියෙනවා. එහි ජාත්‍යන්තර අළෙවිය මිලියන 23ක් වුණා. 

ආරම්භයේ සිට රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ එක් කලාපයකට ලිපි 30ක් (දිනකට එකක් බැගින් කියවීමට) ඇතුළත් වුණා. ඒ ලිපිවලට අමතරව, 'ඔබේ වදන් දැනුම වැඩි කර ගන්න' (Increase your word power) පෞද්ගලික ජීවිතයෙන් බිඳක්' (Personal Glimpses), 'සිනහව නිරෝගීවන්න හොඳම ඔසුව' (Laughter, the Best Medicine) 'එදිනෙදා ජීවිතයේ සිනා කතා' (All in a Day's Work), 'ඇමරිකා එක්සත් ජනපදවල ජීවිතේ' (Life in these United States), 'වටිනා අදහස්' (Points to Ponder), 'සිනාගේන රසකතා' (Amusing Anecdotes), 'හමුදාවල රස කතා' (Humor in Uniform) 'උපුටන්නට වටින උපුටන' (Quotable Quotes), 'ජීවිතේ එහෙමයි' (Life's Like That), ඒවා වගේම පසුව අලුතින් එක් වුණා අතථ්‍ය හාස්‍යය (Virtual Hilarity) වැනි පොකුරු විශේෂාංග මාස්පතා පළ වුණා. ඒවාට පාඨකයන්ට ලියා එවන්න ඇරියුම් කළා. ඉතා කෙටි ලිපි වූ ඒවාට ඩොලර් 50 සිට 150 දක්වා මුදල් ත්‍යාග දුන්නා. 

ඒ හැරෙන්නට ලිපි අවසන් වූ විට ඒ පිටුව අගට එහි ඇති ඉඩ අනුව රසමුසු හෝ විස්මිත කතා පළ වුණා. ඒවාටත් ඔවුන් පාඨකයන්ට ගෙවීම් කළා. ඒ ආකාරයෙන් ඔවුන් පාඨකයන් ඇද බැඳ තබා ගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවා. ඒවායින් ඔවුන්ට සඟරාව පරිපූර්ණ කරන්නත්, පාඨකයන්ට වඩාත් සිත් ගන්නා අයුරින් සඟරාව පවත්වා ගන්නට හැකි වුණා. මාත් පාසල් යන කාලයේ මේ කෙටි ලිපි ඔවුන් වෙත යැව්වා. කීපයක් ම පළ වුණා. එ්වාට ලැබුණු මුදලින් මට ඒ සඟරාවට දායකත්වය දෙන්නත් තවත් ඔවුන් විසින් පළ කළ වාර්ෂික ප්‍රකාශන, විශේෂ දැනුම සංග්‍රහ හා වෙනත් පොත්පත් මිල දී ගන්නට මට හැකි වුණා. 

රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ සාරාංශ ලිපිවලට අමතරව විශේෂයෙන් පළ වූ පොතක සාරාංශ කළ කුඩා පොතකුත් පළ කළා. 'මගේ අමතක නොවන චරිතය' (My Most Unforgettable Character) නම් විශේෂාංගයක් ද ඊට එක් කෙරුණා. 'දිවි රැක ගත් විස්මිත කතා' (Drama in Real Life) තෝරා පළ කළා. උපුටා නොගත් විශේෂයෙන් ලියූ ලිපිත් එහි පළ කෙරුණා. 1989 අගෝස්තු කලාපයේ අපේ දළදා මහ පෙරහැර ගැන විශේෂ ලිපියක්, Sri Lanka's Glorious Perehera කියා පළ කළා. ලෝකයේ පළමු වතාවට ඇස් දන්දීමත් එහි ආරම්භක වෛද්‍ය හඩ්සන් සිල්වා ගැනත් විශේෂ ලිපියක් පළ කළා. එසේම සෞඛ්‍යය ගැන විශේෂ ලිපි පළ කළ අතර පිළිකාවට මඟ පාදන දුම්වැටිවලට එරෙහිව ලිපි වැඩියෙන් පළ කළා. විස්මිත දේ ගැන ලිපි පළ කළා. 

2006 වසරෙන් පසු එය ස්ලෝවේනියා, ක්‍රොයේෂියා, රුමේනියා, සර්බියා යන රටවල භාෂාවලිනුත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පළ වුණා. මහජන චීන සමූහාණ්ඩුව 2008 සිට රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ චීන බසින් පළ කරනවා. 

වසර 100 සපිරීම නිමිත්තෙන් පසුගිය කලාපවල එකතු, විශේෂ තේමා යටතේ නිමවූ ග්‍රන්ථ ලෙසත් සිහිවටන රැසක් නිකුත් වෙලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් අන්තර් ජාලයෙන් සොයා බලා මිල දී ගන්න පුලුවන්. 

විලියම් රෝයි ඩිවිට් වොලස් නම් අපූරු චරිතය තනියම සිතාමතා බිරිඳත් සමග ලොවට දායාද කළ මේ විස්මිත 'රීඩර්ස් ඩයිජෙස්ට්' පරමාදර්ශී මාසික සඟරාව, 1981 මාර්තු 30 වැනිදා සිදුවූ ඔහුගේ අභාවයත් සමග ලෝකයේ වැඩි අවධානයක් දිනාගත් සඟරාව ලෙස තවමත් ලොවේ කීර්තිය පතුරවමින් තියෙනවා. දැන් මෙහි ඩිජිටල් අංකයකුත් පළ වෙනවා. 

මේ පරමාදර්ශී මාසික සඟරාව අනුගමනය කරමින් මේ සියවස තුළ ලොව පුරා සඟරා රැසක් බිහිවුණා. අපේ රටේත් 50 දශකයේ පළ වූ 'පාඨකයා' සඟරාව ඉන් එකක්. එය දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ සංස්කරණයක්. වසර දහයක් විතර කාලයක්  තිස්සේ  'පාඨකයා' පළ කෙරුණා. අයෝජකයන්ගේ ප්‍රශ්නයක් නිසා එය නැවැත්වුණු ද පසුව 'දැනුම' කියන නමින් එය නවමුහුණුවරකින් 60 දසකයේ දී යළි පළවුණා. එයත් සාර්ථකව වසර ගණනාවක් පවත්වාගෙන ගිය ද 'රීඩර්ස් ඩයිජෙස්ට්' මෙන් මෙතෙක් කලක් නොපැවුණේ  එහි ලේඛනයේ හෝ නිර්මාණයේ අඩුවක් නිසා නොව 'රීඩර්ස් ඩයිජෙස්ට්'වලට තිබුුුණු විධිමත් කළමනාකාරිත්වය එහි නොතිබුණු නිසයි. 

මට සඟරා සංස්කරණයට පරමාදර්ශී වූයේ ද 'රීඩර්ස් ඩයිජෙස්ට්' සඟරාවයි. ඉන් යම් යම් ආභාසයන් මටත් ලැබුණා. 1965න් පසු විමලසිරි පෙරේරා මහතා 'නවයුගය' ප්‍රධාන කර්තෘ ධූරයට පත් වූ පසු එතුමාට සහය වූ මා එහි සංස්කරණය කරන්නට අවශ්‍ය සංකල්ප සොයා ගත්තේ මගේ වසර ගණනාවක් තිස්සේ එකතු කළ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවලින්. මගේ විශේෂාංග ලියන පාඨක මිතුරු රටාවට අනුප්‍රාණය සැපයුවේත් රීඩර්ස් ඩයිජෙස්ට් රචනා ශෛලිය සහ ඉදිරිපත් කිරීමේ රටාවයි. 

නිදසුනක් වශයෙන් 'නවයුගය'ට මා ඉදිරිපත් කළ 'පුංචි ළිඳේ වතුර රසයි' විශේෂාංගය අපේ පාඨකයන් එවන උපුටන වෙනුවෙන් වෙන් කළේ රීඩර්ස් ඩයිජස්ට් දිහා බලලයි. 'ජීවිත මීවිත' යන විශේෂාංගය ලෝ පතල එක් වර්ණවත් චරිතයක රසමුසු සිදුවීම්වලින් සැරසුවේ එක් 'රීඩර්ස් ඩයිජෙස්ට්' සඟරාවක පළවූ ඇමරිකන් ජනාධිපති ලින්කන් ගැන පළ කළ ලිපියක්  අනුව යමින්. ඒ අනුව මෙරට කීර්තිමත් අයත් අපි ඒ ලිපි පෙළට යොදා ගත්තා. නවයුගය තේමා පාඨය ලෙස යොදා ගත් 'නුවණ - දැනුම - විනෝදය' යන්න තනා ගත්තේත් වොලස් මහතාගේ සංකල්පයක් අනුවයි.

'මල් කැකුළු'වලටත් රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ සෙවණැල්ල වැටී ඇතැයි ඔබට සිතෙන්න පුලුවන්. එය වැරදි නැහැ. ලෝකයේ ඉංග්‍රීසි සඟරාවල, පමණක් නොව පුවත්පත්වල ද ඒ ආභාසය අපට දැකිය හැකියි. වත්මන් ලෝකයට පාඨක මිතුරු බසක අවශ්‍යතාව පෙන්නා දුන් ඩීවිට් වොලස්ගේ 'රීඩර්ස් ඩයිජෙස්ට්' සඟරාවට තවත් පරම්පරා ගණනකට සේවය කරන්නට වාසනාව ලැබේවා! 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments