HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අඩක් ගැහැනු අඩක් පිරිමි පුදුම සතෙක් හමුවෙයි!

අප වෙසෙන මේ ලෝකය විස්මයෙන් පිරුණු හරි අපූරු තැනක්. මෙහි ඉඳහිට අමුතු සතුන් හමුවෙනවා. ඒ සතුන් අතර අඩක් ගැහැනු අඩක් පිරිමි සතුන් ද ඉන්නා බව කීවොත් ඔබ නිසැකවම පුදුම වෙනවා. මේ එවැනි එක් සතෙක්! උගේ නම 'චාලී'. 

චාලි සුරතලයට ඇති කළ ලොරේන් උගේ වෙස් පෙරළිය දැක මවිත වුණා.

සත්ව විද්‍යාවට අනුව 'චාලී' දඬු කෘමියෙක් (stick imsect) සාමාන්‍ය ව්‍යවහාරයේ වන්දා කියන කෘමියාට බොහෝ සේ සමාන මේ සතා සුරතලේට ඇති ක‌ළේ ලොරේන් ගාෆීල්ඩ් මහත්මියයි. ඇය දැන් එක්සත් රාජධානියේ වෝල්ඩ්රිග්ෆීල්ඩ් පළාතේ, සුෆෝක් නගරයේ වෙසෙන්නියක්. ඇයගේ විනෝදාංශය කෘමි සතුන් ඇති කිරීම සහ බෝ කිරීම වන අතර, ඇගේ නිවසේ කෘමි සතුන් වෙනුවෙන් වෙන ම පුංචි කුටියකුත් තියෙනවා. මේ අපූරු සතා නිසොල්මනේ සිටිද්දී, කොළ පැහැති බෝංචි කරළක් වගෙයි. 

පසුගිය දා 'චාලි' හැව ඇරියා. මේ සතුන් වැඩෙන්නේ හැව ඇරීම මගිනුයි. එයා සත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ රූපාන්තරණය කියායි. ඒ අවස්ථාවෙදි තමයි, චාලි ගැහැනු සතකු මෙන්ම පිරිමි සතකු බව ලොරේන්ට දකින්න ලැබුණේ. ඇය පුදුමයට පත් වුණා. හැව ඇරීමට පෙර, 'චාලී' බෝංචි කරළක් වැනි කොළ පැහැයෙන් යුතු වුණා. හැවඇරීමෙන් පසු 'චාලී'ගේ සිරුර දීප්තිමත් කොළ පැහැයකට හැරුණා. ඒ, ගැහැනු සතකුගේ පැහැයයි. පියාපත් නිර්මාණය වුණා. ඒවා දුඹුරු පැහැතියි. දුඹුරු පියාපත් ඇත්තේ පිරිමි සතුන්ටයි.

මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ගැහැනු සතා (දකුණේ) 
පිරිමි සතා (වමේ) වෙන් කර දැක ගත හැකි 
ඇය ළඟ ඇති කරන වෙනත් දෙදෙනෙක්.

 චාලිගේ 'පෙරැළිය' ගැන ලොරේන් මවිතයට පත්වුණා විතරක් නොවෙයි, ඇය ඒ ගැන මුහුණු පොතේ සටහනක් ද පළ කළා. 'මා අවුරුදු කීපයක පටන් දඬු කෘමීන් ඇති කරනවා. ගැහැනු සතකු හා පිරිමි සතකු වෙන් කරන හඳුනා ගන්න මට පුළුවන්. ඒත් දැන් මා ළඟ ඉන්නවා පුංජයානුරූපී (Gynandromorph) කෘමියෙක්. ඒ සටහනෙහි දැක්වුණා. 

ඉන්පසු ඇය මේ අපූරු සතා ගැන ලන්ඩන් ස්වභාව විද්‍යා ඉතිහාස කෞතුකාගාරයේ විද්‍යාඥයන්ට දැනුම් දුන්නා. අවසානයේ දී විද්‍යාත්මක පර්යේෂණ සඳහා 'චාලි' කෞතුකාගාරයට පරිත්‍යාග කිරීමට පවා ඇය කටයුතු කළා. අඩක් ගැහැනු, අඩක් පිරිමි, මෙවැනි සතකු හැඳින්වෙන්නේ පුංජයානුරූපී ජීවියකු ලෙසයි. ඇත්තෙන් ම මෙය සත්ව විකෘතියක්. මෙවැනි විකෘතීන් කෘමීන්, පක්ෂීන්, සර්පයන් සහ පොකිරිස්සන් අතරේ හමුවන්නේ යැයි විද්‍යාඥයන් කියනවා. 

ලොරේන්ගේ නිවසේ දී හැව ඇරිය පසුවයි, මේ පුංජයානුරූපී 
එනම් අඩක් පිරිමි අඩක් ගැහැනු රුව මතු වුණේ.

සාමාන්‍යයෙන් 'චාලි' වැනි පිරිමි සතකුගේ සිරුරේ දිග සෙන්ටි මීටර් 9 ත් 13 ත් අතර වෙනවා. ගැහැනු සතකුගේ දිග සෙන්ටි මීටර් 14 ත් 18 ත් අතරයි. 'චාලි'ගේ මේ අපූරු 'පෙරළිය' දැක සතුටට පත්වුණු තවත් අයෙක් නම් ඇගේ කුඩා පුතුයි. ඔහු 'චාලි' පාසලට ගෙන ගොස් පන්තියේ යාළුවන්ට පෙන්නූ බවත් කියනවා. ඒ, ලන්ඩන් ස්වභාව විද්‍යා ඉතිහාස කෞතුකාගාරයට චාලි පරිත්‍යාග කිරීමට පෙරයි.

''චාලිට ඒ නම දැම්මේ මගේ දරුවෝ. චාලි සුවිශේෂයි. මෙවැනි ගැහැනු සහ පිරිමි සත්ව විශේෂයක් හමුවීම කලාතුරකින් වෙන දෙයක්. චාලි ගැන ලොවට කියන්න ලැබීම ගැන මා ඉන්නේ හරිම සතුටින්" යැයි ලොරේන්ගේ මුහුණු පොතේ සටහනේ වැඩිදුරටත් සඳහන් වෙනවා. 

මේ දඬු කෘමින් ඇගේ සතුන් වත්තේ තවත් ඉන්නවා. 
උන් කීප වතාවක් හැව අරින බවයි ඇය කියන්නේ.

'චාලි' වැනි දඬු කෘමියෙක් අයත් වන්නේ යෝධ සත්ව විශේෂයකට අයත් වෙනවා. මෙවැනි සතුන් ශාන්ත වින්සන්ට්, ග්‍රෙනේඩා, ශාන්ත ලුසියා ආදී කැරිබියානු දූපත්වලට ආවේණිකයි. වැසි වනාන්තරවල ජීවත් වෙන මෙම සතුන්ගේ ප්‍රධාන ආහාරය කොළ වර්ගයි. ආයු කාලය වසරක් පමණක් වෙනවා. මේ සත්ව විශේෂයට නෑකම් කියන 'වන්දා' නම් අපේ කැළෑවලදී මා දැකලා තියෙනවා. 

ඌට අපේ ගැමියන් 'වන්දා' කියන්නේ අත් දෙක එකතු කර පුසඉිමේවඳින ස්වරූපයක ඉරියව්වක් වෙලාවකට ගන්නා නිසයි. නිසොල්මනේ බොහෝ වේලාවක් කෝටු අතර ඒ පසුබිම් වර්ණයට අනුව වෙස්වළාගෙන ඉන්නා නිසාත් ඉතා හෙමින් චලනය වන නිසාත් උගේ කෝටු හැඩය නිසාත් දඬු කෘමියා (stick imsect) කියා හඳුන්වනවා.

 - පර්සි ජයමාන්න. 

 

Post a Comment

0 Comments