HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කාටූන් චරිතවලට මිනිස් මුහුණු දුන් විස්මිත සිත්තරා

පරිගණකය යොදා ගෙන කළ හැකි දේ බොහෝයි. බ්‍රසීලයේ චිත්‍රශිල්පියෙක් පරිගණකයේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා ජනප්‍රිය කාටූන්වල එන ප්‍රසිද්ධ චරිතවල මුහුණු හැබෑ ජීවිතයට ගෙන ආවොත් කොයි වගේ වේවිද කියලා සොයා බැලුවා. මෙන්න එයාට ලැබුණු ප්‍රතිඵල. 

සිම්ප්සන් කාටූනයේ එන අල්ලපු ගෙදර මිතුරා 
නෙට් ෆ්ලෑන්ඩර්ස් හා ජෙස්මින් කුමාරි

මේ චිත්‍රශිල්පියාගේ නම හිඩ්‍රෙලි ලෙලි දියෝ (Hidreley Leli Diao). ඔහු කුඩා කල සිට ම කාටූන් බලන්න ආසයි. සිම්ප්සන්ස් (Simpsons), හැනා-බාබරා (Hanna-Barbera) කාටූන්, ඩිස්නි (Disney) සජීවීකරණ නිර්මාණවල ආදී හැම එකක ම හමු වන චරිත ඔහු මේ කෘත්‍රිම බුද්ධි සජීවිකරණ කටයුත්තට යොදා ගත්තා. 

කාටුන් චරිතවල ආ මුහුණු සැබෑ ලෝකයේ ජීවත්වෙන අයගේ නොවෙයි. ඒ නිසා ඔහුට අවශ්‍ය වුණා, ඒ චිත්‍ර තුළින් සැබෑ මුහුණු දකින්න. ඒ නිසා කාටුන් රූ අනුව සැබෑ රූ බිහි කළ හැකි මෘදුකාංගයක් ඒ සඳහා ඔහු යොදා ගත්තා. 

"පරිගණක කෘත්‍රිම බුද්ධිය ගැන අවබෝධ කර ගත්තාට පස්සේ මට හිතුනා ඇයි අපට මේ බුද්ධිය යොදා ගෙන කාටූන් චරිතවලට මිනිස් රුව දෙන්න බැරි කියලා. එසේ බාර ගත්තු අභියෝගය තමයි මේ නිර්මාණ බිහි කරන්නට උපකාර වුණේ." දියෝ කියනවා. 


ටිංකර්බෙල් හා මොආනා කාටූනයේ මොආනා

සිම්ප්සන්ලාගේ කාටූනයේ එන ඔවුන්ගේ අල්ලපු ගෙදර මිතුරා නෙට් ෆ්ලෑන්ඩර්ස් හා ස්ප්‍රිංෆීල්ඩ් බීම හලේ මෝඒ සිස්ලැක් දෙදෙනා මේ සඳහා තෝරා ගත්තා. ඒ වගේ ම පීටර් පෑන්, ටිංකර්බෙල්, ඇලඩින්, ජෙස්මින් කුමාරි, රපුන්සෙල්, පොකැන්ටාස්, ද ලිට්ල් මර්මේඩ් කාටූනයේ ආ ඒරියල්, මොආනා කාටූනයේ මොආනා හා මුලාන් ආදීනුත් යොදා ගත්තා. 

"මේ කාටූන් චරිත මිනිස් ප්‍රමාණයට සකසන විට මොන වගේ වෙයිද කියලා කලින් හිතා ගන්නවත් බැහැ. කාටූන්වල දී ඒ නිර්මාණයේ ප්‍රමාණය ගැන නොසලකා අපි අවිවාදයෙන්ම පිළි ගන්නවා. ඒත් සැබෑ ජීවිතයේ මිනිසකු බවට පත් කරන විට එහෙම පිළිගනියි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා ඊට ගැළපෙන චරිත තෝරා ගන්න මං පෙලඹුණා." දියෝ වැඩිදුරටත් කියනවා. 

 

මේ සමහර චරිත නිර්මාණයේ දී දියෝ ජංගම දුරකථන සඳහා සැකසූ පරිගණක යෙදුම් තුනක් භාවිත කළා. ඒවා නම් ෆේස්ඇප් (FaceApp), ග්‍රේඩියන්ට් (Gradient) හා රෙමිනි (Remini)යි. ඒවා කෘත්‍රිම බුද්ධිය භාවිත කර සංස්කරණය කළ හැකි පරිගණක යෙදවුම්. 

ෆේස්ඇප් යනු කෘත්‍රිම බුද්ධිය සහ හැඟීම් පෙන්වන මුහුණුවල එන හැඩතල භාවිතා කර ඡායාරූපවල රූපාකාරය මතු කර ගත හැකි යෙදවුමක්. ග්‍රේඩියන්ට් ප්‍රසිද්ධියට පත් වූයේ ස්මාට් ෆෝන්වල සෙල්ෆි සමග වෙනත් සේයාරූ සසඳා බැලිය හැකි යෙදවුමක් හැටියටයි. ඒ හැකියාවත් මෙහිදී ප්‍රයෝජනයට ගනු ලැබුවා. රෙමිනි යනු ඡායාරූප ප්‍රතිසංස්කරණ කළ හැකි හා ඒවා වැඩිදියුණු කළ හැකි යෙදවුමක්. ඒවායේ ඇති උපක්‍රම භාවිත කරමින් රූපයක ඇති සෑම අංගයක් ම රේඛාවෙන් රේඛාව එක් කරමින් දැඩි වෙහෙසක් ගෙන මේවා නිර්මාණය කළ යුතු වුණා. 

කාටූන් චරිතවලට ගැළපෙන පරිදි මුහුණේ ලක්ෂණ ඇති පුද්ගලයන්ගේ විවිධ ඡායාරූප අන්තර්ජාලය පුරා සෙවීමටත් ඔහුට සිදු වුණා. එසේ සොයා ඒ අදහස් ගොණු කර ගැනීම එක්තරා විධියක සූක්ෂ්ම ක්‍රියාවලියක් වුණා. කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගත්ත ද දියෝ තමා තුළ ඇති නිර්මාණ හැකියාව යොදා ගෙන, මේවා එකට එකතු කිරීමෙනුයි මේවායේ අවසාන රූපය ගත්තේ. 

ඔබට මේ නිර්මාණ සියල්ල නැරඹීමට අවශ්‍ය නම් ඔහුගේ Instagram account එකට යන්න. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments