HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්තර්ජාලය හරහා මුළු ලොවක් කැළඹූ විස්මිත වදන් ක්‍රීඩාවක්

ඉන්ටර්නෙට් ඔස්සේ ආ වදන් ක්‍රීඩාවක් පසුගියදා ලෝකය හෙල්ලුවා. ඔබේ වදන් සවිය උරගා බලන මේ විස්මයජනක ක්‍රීඩාව දැන් එන්න එන්නම ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ ක්‍රීඩාවේ නම වර්ඩ්ල් (Wordle) මේ තරම් වේගයෙන් ජනප්‍රිය වූ ඔන්ලයින් වදන් ක්‍රීඩාවක් තවත් නැහැ. මෙය දැනටමත් ඇමරිකාවේ නිව් යෝර්ක් සමාගම දැවැන්ත මුදලකට මිල දී ගෙන තියෙනවා. 

මේ තරම් වේගයෙන් ජනප්‍රිය වූ ඔන්ලයින් වදන් ක්‍රීඩාවක් තවත් නැහැ.

මේ ක්‍රීඩාව ඔබටත් ඔන්ලයින් ඔස්සේ ක්‍රීඩා කරන්න පුලුවන්. ඔබට තියෙන්නේ දිනපතා වර්ඩ්ල් ඉදිරිපත් කරන අකුරු පහේ වදන උපරිම අවස්ථාවන් හයක් තුළ දී අනුමාන කිරීමයි. වැඩේ ඉතාමත් සරලයි. ඒත් අභියෝගාත්මකයි. මේ නිසා දැන් අන්තර් ජාලයට සම්බන්ධ අති විශාල පිරිසක් මෙය ආකර්ෂණය වී තියෙනවා. සමහරුන් දැන් හැමදාම දවස අරඹන්නේ මේ ක්‍රීඩාවෙන්. දැනටමත් භාෂා ගණනකින් මෙහි නව අනුවාද පවා ඇවිත් තියෙනවා. 

වර්ඩ්ල් වදන් ක්‍රීඩාවේ යෙදෙන අයකුට කරන්න තියෙන්නේ අනුමාන කිරීම් හයකින් එදිනට නියමිත අකුරු පහේ වචනය සොයන්නයි. ඔබ හරි කොටුව ඇතුළේ හරි අකුර දැම්මොත් කොටුව කොළ පාට වෙනවා. අකුර හරි වුනත් ඇත්තේ වැරදි කොටුවේ නම් ඒ කොටුව කහ පාට වෙනවා. ඔබ දැම්මේ ඒ වදනට අයත් වචනයක් නොවේ නම් කොටුව අළුපාට වෙනවා.

දැනටමත් වර්ඩ්ල්හි අනුවාද භාෂා 79කින් බිහිවී ඇති අතර 
මෙහි දැක්වෙන්නේ ස්පාඤ්ඤ අනුවාදයයි

 මේ අපූරු වදන් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නේ ජොශ් වර්ඩ්ල් (Josh Wardle) නම් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්. එංගලන්තයේ වේල්සයේ උපන් ඔහු දැන් ජීවත්වෙන්නේ ඇමරිකාවේ නිව් යෝක්හී බෲක්ලින්වලයි. ඔහු මේ නව නිර්මාණය කර ඇත්තේ ඔහුගේ පෙම්වතිය වූ පලක් ෂා කොවිඩ් සමයේ හුදෙකලාව සිටින අතරතුර ඇය ආසාවෙන් වදන් ක්‍රීඩාවල යෙදෙනු දැක ඇයට කරන්නට අලුත් දෙයක් ලබා දෙන අදහසිනුයි. මිතුරන් සහ පවුලේ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබීම නිසා, ඔහු මීට මාස තුනකට පෙර ඇගේ ඉල්ලීම මත වෙබ් අඩවියක් සකසා එය අන්තර්ජාලය පරිහරණය කරන්නන් සඳහා ඉදිරිපත් කළා. දැන් එය ලොව පුරා මිලියන ගණනක පරිශීලකයින් ආකර්ෂණය කර ගෙන තියෙනවා. 

වර්ඩ්ල් කියන්නේ, පසුගිය වසරේ ඔක්තෝබරයේ දී ඔහු මේ වදන් ක්‍රීඩාව එළිදැක්වූ දා පටන් එයට ලැබුණු ප්‍රතිචාරවලින් ඔහු මවිතයට පත් වී ඇති බවයි. ඔහු ඒ ගැන ටිවිටර් සටහනක් තබමින් මෙහෙම කියනවා. "වර්ඩ්ල් දියත් කළ දා සිට එය ක්‍රීඩා කළ සෑම කෙනෙකුගේම ප්‍රතිචාරය ගැන මම පුදුමයට පත් වෙලයි ඉන්නේ, මේ ගේම් එක තනි කෙනෙක් ගැන හිතලා හැදුවත්, මම හිතුවෙවත් නැති තරමට ඒක ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වුණා." .

මාස කිහිපයක් තුළ දී වර්ඩ්ල් ආකර්ෂණීය පරිශීලකයන් පිරිසක් 
                 ගොඩනඟාගත් අතර, නිව් යෝක් ටයිම්ස් ආයතනය විසින් දැවැන්ත මිලක්              ගෙවා හිමිකාරිත්වය ලබා ගෙන තියෙනවා.

වර්ඩ්ල්හි සාර්ථකත්වය හමුවේ එය අනුකරණය කරමින් විවිධ භාෂාවලින් මේ වදන් ක්‍රීඩාවේ නව අනුවාද බිහිවෙමින් තියෙනවා. මේ වදන් ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වුණු හේතුව සොයන්න බීබීසී සේවය ඒ වදන් ක්‍රීඩාවේ යෙදුණු අයගෙන් අදහස් විමසුවා. 

ඉන්දියාවේ මුම්බායිහි වෙසෙන කතුවරියක් සහ මාධ්‍යවේදිනියක් වන අනින්දිතා ඝෝස් කීවේ මෙහෙම කතාවක්. "මම උදේ කෑම වෙලාවේ මගේ ලකුණු ගාණ නිව් යෝක්වල ඉන්න මගේ සහෝදරයා එක්ක ශෙයාර් කරනවා. අලුත් ප්‍රහේලිකාවක් වැටෙන්නේ රෑ දොළහට නිසා එයාට රෑට ඇහැරිලා ඉන්න වෙනවා කියලා එයා මට නෝක්කාඩු කියනවා" ඇය කීවා.  

"දුර හිටියාට අපි දෙන්නා එකිනෙකාට සමීපයි, මේ ප්‍රහේලිකාව දිනපතා ශෙයාර් කරන එකෙන් අප අතර අලුත් ආකාරයේ බැඳීමක් ඇති වුණා." යයි කියන ඇය වැඩිදුරටත් කියන්නේ, "උත්සාහයන් හයකින් දිනන්න පුළුවන් නිසා පරාජය වෙන ප්‍රමාණය අඩු යි. ඒත් මේ ක්‍රීඩාවේදී තමන්ට ජයග්‍රහණය කරන්න වෙනත් කෙනෙක් පරාජය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ." කියායි. 

හොංකොංහි ජීවත්වන බ්‍රිතාන්‍යයේ ජාතික ගුරුවරයෙකු වන සෑම් ලේක් කියන්නේ ඔහුගේ මිතුරන්ට මේ ක්‍රීඩාව 'හොඳටම අල්ලලා ගිහින්' ඇති බවයි. "දිනපතාම ගොඩක් කට්ටිය තමන්ගේ ලකුණු ශෙයාර් කරනවා. එච්චරට ඒක ප්‍රසිද්ධයි. ඒ වගේම මං හිතන්නේ ලොව පුරා 100%ක්ම සෙල්ලම් කරනවා ඇත්තේ ගේම් එකේ ඉංග්‍රීසි වර්ෂන් එක කියලා," ඔහු පවසනවා. 

ඔබ හරි කොටුව ඇතුළේ හරි අකුර දැම්මොත් කොටුව කොළ පාට වෙනවා.

භාෂාවන් කීපයකටම නිපුණ සෑම්, ලොව පුරා සිටින මෘදුකාංග සංවර්ධකයින් තම තමන්ගේ මව් භාෂා වලින් සාදන ලද වර්ඩ්ල්හි විවිධ අනුවාද ක්‍රීඩා කරන්නට ඔහු උත්සාහ කරලා තියෙනවා. ඔහු ඉංග්‍රීසි මෙන්ම ස්වීඩන්, මැන්ඩරින්, සහ කොරියානු භාෂාවලින් ද ක්‍රීඩා කිරීමට උත්සාහ දරා ඇත. නමුත් ඒවා සාර්ථක වූයේ විවිධ මට්ටෙම්වලිනි. 

"ස්වීඩන් භාෂාවට ස්වර අකුරු නවයක් තිබුණේ නැත්නම් ඒක ලේසි වෙන්න තිබුණා. චීන භාෂාවේ එක නම් මුළුමනින්ම වෙනස් සැකසුමක් තියෙන්නේ, මොකද අකුරු පහේ වචන අඩුයි, ඒ වගේම වචන 2ක් හදන්නත් වෙනවා," ඔහු පැහැදිලි කළා. 

ඉංග්‍රීසි අනුවාදයේ සාර්ථකත්වය නිසා, මෘදුකාංග සංවර්ධකයින් ඔවුන්ගේ නිදහස් කාලය තුළ විවිධ අනුවාදයන් සෑදීමට පෙළඹීම පුදුමයක් නොවේ. මේ වන විට ඒ ක්‍රීඩාවේ අනුවාද 222ක් භාෂා 79කින් සාදා තියෙනවා. 

ඉන්දියාවේ චෙන්නායිහි මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකු වන පී සංකර්, මේ ක්‍රීඩාවේ අවස්ථා හයේ සීමාව සම්පූර්ණයෙන්ම ඉවත් කර මෙම ක්‍රීඩාවේ දෙමළ අනුවාදයක් සකස් කළා. දෙමළ භාෂාවේ ස්වර 12ක් සහ ව්‍යාංජනාක්ෂර 18ක් ඇති අතර, ඒවා ඒකාබද්ධ වූ විට සංයුක්ත සංකේත 200කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. එනිසා උත්සාහ හයකින් නිවැරදි පිළිතුර අනුමාන කිරීම දුෂ්කරයි. 

කාලීන, 'රැල්ලට' ගැළපෙන වෙළඳ දැන්වීම් පළකිරීමට ප්‍රසිද්ධ ඉන්දීය කිරි නිෂ්පාදන සමාගමක් වන අමුල්, මුම්බායිහි ඉදිකර ඇති මේ මෙම දැන්වීම් පුවරුව 
කියන්නෙත් වර්ඩ්ල් ගැනයි.

"කට්ටිය මට එයාලාගේ ලකුණු එවනවා. සමහර අය ලකුණු 70 සිට 80 දක්වා ලබාගන්නා බව මම දැකලා තියෙනවා," සංකර් බීබීසීයට කීවා. "මම මේක මුලින් ම හැදුවේ දෙමළ භාෂාව හොඳින් කතා නොකරන, ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න මගේ නව හැවිරිදි දුව වෙනුවෙන්." යැයි ඔහු "එයා දැන් අම්මයි ආච්චියි එක්ක අලුත් දෙමළ වචන ඉගෙන ගනිමින් කාලය ගත කරනවා, ඒ නිසයි මේක සාර්ථකයි කියා මා දකින්නේ." 

මුලදී සංකර් සිතුවේ ඔහුට මේ සඳහා ක්‍රීඩකයින් පස්හයදෙනෙකුට වඩා ලැබෙන එකක් නෑ කියලයි. ඒත් දිනකට 1,500ක් පමණ ඔහුගේ වදන් ක්‍රීඩාවේ යෙදෙනවා. 

නමුත් වර්ඩ්ල් සහ එහි අනුවාදයන් රැසක් මෙතරම් ඉක්මනින් සාර්ථක වුණේ කොහොමද? ඒක අලුත් දෙයක් නොවෙයි. 1970 ගණන්වල නිර්මාණය කළ ජනප්‍රිය පුවරු ක්‍රීඩාවක් වන මාස්ටර්මයින්ඩ් (Mastermind) වලට සමානයි. ඒත් වර්ඩ්ල් අමුතුයි. ඒක සරල වෙබ් අඩවියක් මිසක් අමුතු දෙයක් කරන්න උත්සාහ කරන එකක් නෙවෙයි. ඒත් ඒකෙන් මිනිස්සු පුදුම වෙනවා. ඒ වදන් ක්‍රීඩාවේ යෙදුණු අය වැඩි දෙනෙක් කියන්නේ.  "ඒක ඔබේ අවධානයෙන් විනාඩි පහක් ඉල්ලගෙන, ඔබට විනෝදාස්වාදයක් විඳින්න දීලා, ඔබට යන්න හරිනවා."  කියලයි.

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments