HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රුසියාව යුක්‍රේනයට කඩා වැදී කරන යුද්ධය ලොවම කලඹයි!

රුසියාව අසල්වැසි යුක්‍රේනය සමඟ යුද්ධයක් ආරම්භ කර ඇති ඔබ දැනටමත් දන්නවා. යුද ශක්තිය අතින් බැලුවොත් අහසට පොළොව මෙන් වෙනසක් ඇති මේ දෙරට යුද්ධයකට පැටලීම හිතන්නවත් බැරි තරම් ඛේදවාචකයකට මඟ පාදන්නක්. රුසියන් ජාතිකයන් විශාල පිරිසක් යුක්‍රේනයේ වෙසෙනවා. බොහෝ රුසියානුවන් සලකන්නේ යුක්‍රේන අගනුවර වන කීව් ඔවුන්ගේ ජාතියේ උපන් ස්ථානය ලෙසයි. 

 

රුසියන් ජනාධිපති පුටින් (දකුණේ) හා යුක්‍රේන ජනාධිපති 
වොලොඩිමියර් සෙලෙන්ස්කි

සෝවියට් දේශය සමන්විත වූ රටවල් එදා සෝවියට් සංගමය ආරම්භයේ දී ඊට එක් වූ රුසියාව සහ යුක්‍රේනය මිතුරු සාමාජිකයින් දෙදෙනෙකු වුනත්, රුසියාව දැන් සලකන්නේ යුක්‍රේනය පසමිතුරු රටක් ලෙසයි. සෝවියට් දේශය විසිර යාමත් සමඟම ඊට අයත් රටවල් වෙනම ස්වතන්ත්‍ර පාලිත රාජ්‍ය බවට පත් වූ අතර යුක්‍රේනය ද නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වුණා. මුලදී පත් වූ නායකයන් රුසියාවට හිතවාදි වුවත් මෑතදී පත් වූ නායකයා බටහිර බලවතුන් දෙසට නැඹුරු වුණා. ඒ අනුව යුක්‍රේනය යුරෝපයේ පිහිටි බටහිර රාජ්‍ය සමඟ ගිවිසුම්වලට එළඹීම, නේටෝ සංවිධානයට බැඳීමට යෝ්ජනා වීම, රුසියාවේ කෝපයට හේතු වුණා. දැනට යුක්‍රේනය මොන විදියකින්වත් රුසියාවට තර්ජනයක් නොවුනත්, මේ ක්‍රියාකාරම් නිසා යුක්‍රේන භූමිය අනාගතයේ දී ලොකු තර්ජනයක් විය හැකි යැයි රුසියාව විශ්වාස කරනවා. ඒ නිසයි, යුක්‍රේනය සමඟ යුද්ධයක පැටලී සිටින්නේ. 

නේටෝ සංවිධානයට අයත් රටවල් ආරක්ෂා කිරීම ඒ සංවිධානයේ වගකීමක් වුනත් රුසියාවට එරෙහිව ප්‍රතිපක්ෂයට මිලිටරි සහය දෙන්නට නේටෝව හෝ ඊට සම්බන්ධ යුරෝපීය රටවල් කිසිවක් ඍජුව ම ඉදිරිපත් වන්නේ නැහැ. ඒ තෙවන ලෝක සංග්‍රාමයකට මඟ පෑදෙතැයි ඇති බිය නිසයි. ඒ වුනත් යුද ටැංකි නාශක අවි වැනි ප්‍රතිප්‍රහාර දිය හැකි අවි, දුර ඉලක්කවලට විදිය හැකි නවීන මිසයිල ආදිය සැපයීම දැනටමත් සිදු කරමින් යනවා. සමහර විට දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ සිදුවිය හැකි විශාලතම යුදමය ක්‍රියාවලියට මෙය විය හැකියි. 

මේ තත්වය ඇති වුණේ කොහොමද? 

යුක්‍රේනය රුසියාවේ පසමිතුරු රටක් වන්නට තුඩු දුන් අවස්ථා කීපයක් මෙහිදී මගේ මතකයට නැඟෙනවා. 

2014 පෙබරවාරි - යුක්‍රේනයේ ඇති වූ විරෝධතාවක ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ අවශ්‍යතා මත ඒ දෙසට නැඹුරු වූ එවකට ජනාධිපතිව සිටි වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කරනු ලැබුවා. බටහිර බලපෑම් මත ඇති වූයේ යැයි සැලකෙන ඒ විරෝධතා නිසා 100 කට අධික පිරිසක් මිය ගියා. විරෝධතා වලින් පසු බලයට ආ අන්තර්වාර රජය යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුමක් අත්සන් කළා. එය රුසියාව උරණ වීමට මුලින් ම හේතු වුණා. 

රුසියන් හා යුක්‍රේන දෙරටේ අවි බලය මෙහෙමයි

2014 අප්‍රේල් - රුසියාව යුක්‍රේන අර්ධද්වීපයේ පිහිටි ක්‍රිමියාව අත්පත් කර ගෙන රුසියාවට ඈඳා ගත්තා. ඉන්පසුව යුක්‍රේනය හා එක්ව සිටි, අසල්වැසි ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩු දෙක බෙදුම්වාදය නිසා යුක්‍රේනයෙන් බිඳී වෙන රාජ්‍ය බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශය එරට පාලනයෙන් ගිලිහුණු අතර එහි යුද ගැටුම් තවමත් පවතිනවා. මේ වන විට ඒ සටන්වලින් යුක්‍රේන භටයන් වගේම සිවිල් වැසියන් 13,000 ක් පමණ මියගොස් තියෙනවා. 

2014 සහ 2015 - රුසියාව, යුක්‍රේනය, ප්‍රංශය හා ජර්මනිය 'මින්ස්ක් ගිවිසුම්' ලෙස හඳුන්වන සටන් විරාම ගිවිසුම් කීපයකට අත්සන් කළත් ඒවා ගැටුම් ඇති වීම වළක්වන්න තරම් සවිමත් නැතැයි බොහෝ දෙනා සලකනවා. 

2019 අප්‍රේල් - හිටපු ප්‍රහසන නළුවෙකු වන වොලොඩිමියර් සෙලෙන්ස්කි යුක්‍රේනයේ නව ජනාධිපති ලෙස විශාල බහුතරයකින් තේරී පත් වූයේ ඩොන්බාස් නැවත රටට ලබා දෙන බවට වූ පොරොන්දු වූ නිසයි. 

2021-2022 - රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය, ඇමරිකා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර බටහිර රටවල් දෙසට නැඹුරු වීම වැළැක්වීමට උත්සාහ කළා. යුක්‍රේනය මධ්‍යස්ථව සිටින බවටත් කිසිවිටෙකත් බටහිර කණ්ඩායමට එක් නොවන බවටත් සහතික වන ලෙස යුක්‍රේනයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම නේටෝ සංවිධානයෙනුත් ඉල්ලීමක් කළා, 1997න් පසු එක් වූ රටවල ස්ථානගත කර ඇති හමුදා කඳවුරු ආපසු කැඳවා ගන්නා ලෙසට. එසේ ඉල්ලා සිටින්නේ රුසියාවේ ආරක්ෂාව වෙනුවෙන් බවයි, පුටින් කීවේ. 

මේ කිසිවක් යුක්‍රේනයවත් නේටෝ සංවිධානයවත්, බටහිර බලවතුන්වත් පිළිගත්තේ නැහැ. පුටින් දිගින් දිගටම මේ ගැන කියා සිටියා. යුක්‍රේනය ආක්‍රමණය කරන්නේ නැතැයි කියමින් පුටින් කළේ හමුදා කණ්ඩ යුක්‍රේන දේශ සීමාවට හා යුක්‍රේනයෙන් වෙන් කොට තමන්ට පාක්ෂපාත කර ගත් රාජ්‍ය දෙකටත් යුද බලයෙන් අල්ලා ගත් ක්‍රිමියාවටත් පිටත් කර යැවීමයි. 

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වූ ඛාකීව්(Kharkiv)වලට ගුවනින් ගෙන ගිය රුසියන් භටයන් වීදි සටන් පවා කළත් නගරය අල්ලා ගැනීමට තවමත් හැකිවී නැහැ.

එහි දී පුටින් මුලින් ම කළේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් වෙනම රාජ්‍යයන් ලෙස පිළිගැනීමයි. ඉන්පසු ඒ රාජ්‍යවලට යුක්‍රේනයෙන් ප්‍රහාර එල්ල වන්නේ යැයි ද දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනය වන්නේ යැයි ද කියා තමාගෙන් ආධාර ඉල්ලූ බව පුටින් කීවා. එතැනදීත් පුටින් අවධාරණය කළේ යුක්‍රේනයට ප්‍රහාර එල්ල නො කරන බවයි. එසේ කියමින් පුටින් කළේ යුක්‍රේනය වට වන සේ තමාට පක්ෂපාත රටවලට ඇතුළුව යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ රුසියන් හමුදා ස්ථාන ගත කිරීමයි. ඔහු එය හඳුන්වා දුන්නේ ආත්මාරක්ෂාවට ගත් පියවරක් හැටියටයි. 

පෙබරවාරි 23 දා ලෝකය අමතමින් පුටින් කීවේ රුසියාව ආත්මාරක්ෂාවට මේ පියවර ගත්තේ කරුණු දෙකක් මුල් කර ගෙන බවයි. ඒවා නම් යුක්‍රේනයෙන් වෙන් වී ගිය සමූහාණ්ඩු දෙකට හා එහි වැසියන්ට ආරක්ෂාව සැලැසීමට හා ආධාර කිරීමටත්, තම රටට එරෙහිව අනාගතයේ එල්ල විය හැකි තර්ජනයක දී අවශ්‍ය ආරක්ෂාව කල්තියා සලසා ගැනීමක් හැටියටත් බවයි. 

එසේ කියූ ඔහු පෙබරවාරි 24 දා හදිසියේ ම රුසියන් හමුදා යොදාවා යුක්‍රේනයට මහා පරිමාණයේ මිලිටරි ප්‍රහාරයක් එල්ල කළා. එහිදී රුසියන් මිසයිල ඉලක්ක කර ගත්තේ යුක්‍රේන හමුදා මර්මස්ථානයි. රුසියන් හමුදා මෙහෙයුම සාධාරණීකරණිය කරන්නට පුටින් නීති තර්ක ගෙනාවා. 

ඩොන්බාස්හි මහජන සමූහාණ්ඩුව උදව් ඉල්ලමින් රුසියාව දෙසට හැරුණු බව පැවසූ පුටින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වැනි වගන්තිය යටතේ ඔහුගේ හමුදා ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළත් සාමූහික ආත්මාරක්ෂාව සඳහා රාජ්‍යයකට ඇති අයිතිය පවතින්නේ ඊට අයත් ප්‍රාන්ත සම්බන්ධයෙන් පමණයි. රාජ්‍යයකට වෙනත් රටක පුද්ගලයින් වෙනුවෙන් මානුෂීය මැදිහත්වීමක් සඳහා ජාත්‍යන්තර නීතියෙන් ඉඩක් නැහැ. යුක්‍රේනයෙන් බෙදුම්වාදය ඔස්සේ වෙන්වුණු සමූහාණ්ඩු කලාප දෙකෙහි රාජ්‍යත්වය එක්සත් ජාතීන් හෝ ලොව වෙනත් රාජ්‍ය පිළිගෙන නැහැ. පිළිගෙන ඇත්තේ රුසියාව පමණයි. 

ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ රුසියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවයි. බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ තහනම උල්ලංඝනය කිරීම, වෙනත් රාජ්‍යවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමේ වගකීම උල්ලංඝනය කිරීම සහ මැදිහත්වීම පිළිබඳ තහනම උල්ලංඝනය කිරීම මෙහිදී රුසියාව අතින් සිදු වන බවයි. නමුත් රුසියාව තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට තමන්ට රිසි පරිදි නීතිය අර්ථ දක්වතත් බටහිර නීති විශාරදයන් හා එක්සත් ජාතීන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඒ තර්ක පිළිගන්නේ නැහැ. 

ඩොනෙට්ස්ක් (Donetsk), ලුහාන්ස්ක් (Luhansk) සහ සාමූහික ආත්මාරක්ෂාව 

ජාත්‍යන්තර නීතිය අනුව ප්‍රාන්තයක කොටසක වෙසෙන වැසියන්ට එම ප්‍රාන්තයෙන් වෙන්වීමේ අයිතිය ලබා දෙන්නේ නැහැ. ‘ජනතාවක’ ස්වාධීනත්වයට ඉඩ සලසන ස්වයං-නිර්ණ අයිතිය, වලංගු වන්නේ වෙනත් රාජ්‍යයක් විසින් අත්පත් කර ගෙන සිටින යටත් විජිතවල සහ වෙනත් විදේශීය ප්‍රදේශවල සිටින ජනතාවට විතරයි. ස්වයං-නිර්ණයේ අනෙක් අංගය 'අභ්‍යන්තර' වන අතර, මින්ස්ක් ගිවිසුම් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් සඳහා ලබා දීමට උත්සාහ කළ පරිදි - දේශපාලන තත්ත්වය නිදහසේ තෝරා ගැනීමට සහ රාජ්‍යය තුළ හිඳිමින් තමන්ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනය හඹා යාමේ අයිතිය ඊට ඇතුළත් වෙනවා. 

ජාත්‍යන්තර නීතියේ තරමක් විවාදයට තුඩුදෙන න්‍යායක් තියෙනවා, ඒ අනුව කිසියම් ප්‍රජාවකගේ මානව හිමිකම් අතිශයින් අපයෝජනයට සහ ක්‍රමානුකූල පීඩනයකට ලක් වන්නේ නම්, බලපවත්නා රජයෙන් ඔවුන්ගේ හිමිකම් ආරක්ෂා නොවන්නේ නම්, එවැනි රාජ්‍යයකින් වෙන්වීමේ අයිතිය ඒ ප්‍රජාවට ඇති බව එහි සඳහන් වෙනවා. නමුත් මෙම න්‍යායට ජාත්‍යන්තර උසාවිවලින් කිසිදු සහයක් ලැබෙන්නේ නැහැ. 

පෙබරවාරි 21 වැනි දින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කියා ඇත්තේ වෙන්වී ගිය කලාපවල ස්වාධීනත්වය පිළිගැනීමට රුසියාව ගත් තීරණය 'යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් වන අතර එය ප්‍රඥප්තියේ මූලධර්මවලට අනුකූල නොවන බවයි. 

එහෙත් පුටින් කියන්නේ නේටෝ හෙවත්‍ උතුරු අත්ලාන්තික් සන්ධානයේ යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම, යුක්‍රේනය භූමිවල මිලිටරි සංවර්ධනය, අපේ ස්වෛරීභාවයට හා අවශ්‍යතාවලට පමණක් නොව, පැවැත්මට ද සැබෑ තර්ජනයක් විය හැකි බවයි. 

යුක්‍රේනයට එක්සත් ජාතීන් තුළ කිසිදාක ‘සැබෑ රාජ්‍ය තත්වයක්’ නොතිබීමක් ගැන රුසියාව කරන ප්‍රකාශයෙන් ද රුසියාවේ ආක්‍රමණයට කිසිදු නීතිමය සාධාරණීකරණයක් ලබා නොදෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පදනම් වී ඇත්තේ එහි සියලුම සාමාජිකයින්ගේ ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයයි. යුක්‍රේන සෝවියට් සමාජවාදී ජනරජය ලෙස එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු වූ යුක්‍රේනය සෝවියට් සංගමය විසුරුවා හැරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය රඳවා ගත්තා. ඒ අනුව රුසියාවට සමාන අයිතියක් ඒ රටට ද තිබෙනවා. නැත්තේ නිෂේධ බලය පමණයි. 

රුසියාවේ ක්‍රියාවන්ගේ නීතිමය ප්‍රතිවිපාක මොනවාද? 

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සාමයට තර්ජනයක් ඇති විට ක්‍රියා කිරීමටත් වරමක් ඇත්තේ ආරක්ෂක මණ්ඩලයටයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සාමය සඳහා මොන විදියේ යෝජනාවක් ගෙනාවත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයකු වන රුසියාව සිය නිෂේධ බලය යොදා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඒක පසුගියදා එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ දී සිදුවුණා. ඒ නිසා එක්සත් ජාතීන්ට සාමය සඳහා ඉල්ලීම් කරනු හැරෙන්නට රුසියාවට එරෙහිව කළ හැකි වෙනත් කිසිවක් නැහැ. 

බටහිර රටවලට කළ හැකි එකම දේ තම තමන් වෙන වෙනම රුසියාවට එරෙහිව යම් යම් සම්බාධක පැනවීම පමණයි. ඒ අනුව දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක් සිය ගුවන් කලාප තහනම් කිරීම ඇතුළු විවිධාකාරයේ සම්බාධක රුසියාව වෙනුවෙන් දැනටමත් පනවා තිබෙනවා. යුරෝපා සංගමය රුසියානු මහ බැංකුව සමඟ ගනුදෙනු තහනම් කර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2014 සිට රුසියාව ක්‍රිමියාවෙන් වහාම සහ කොන්දේසි විරහිතව ඉවත් විය යුතු බවට යෝජනා මාලාවක් සම්මත කර ගත්තත් මහා සභාවට ආරක්ෂක මණ්ඩලයේ බලතල නොමැති නිසාත්, රුසියාව ආරක්ෂක මණ්ඩලයේ සිට නිෂේධ බලය යොදා වළක්වන නිසාත් සාම සාධක භටයන් හෝ බලය යෙදවීම අනිවාර්ය කළ නොහැකියි. 


රට බේරා ගන්නට යුද්ධයට එක් වූ යුක්‍රේන සිවිල් වැසියන්

නියමිත කාලය තුළ මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වී ඇත්නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශන කොමිසමක් දියත් කිරීමේ අවශ්‍යතාව ඇති විය හැකි අතර රුසියාවට එරෙහිව යුරෝපීය මානව හිමිකම් අධිකරණයේ මානව හිමිකම් නඩු පැවරිය හැකියි. නමුත් දැන් සිදුවෙමින් පවතින යුද්ධය නැවැත්වීමට අවශ්‍ය බලතල ඒ ජාත්‍යන්තර ආයතනවලට නැහැ. 

යුද්ධය හතරවන දිනයටත් ගියා. රුසියන් භටයන් සමග යුක්‍රේන භටයන් කියූ නගරයේ වීදිවල දරුණු ලෙස සටන් කරන බව කියවෙනවා. තුන්වැනි දිනයේ දී පුටින් වත්මන් පාලනය පෙරළා දමා ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ජනාධිපති අල්ලා තමාට බාර දෙන්නැයි යුක්‍රේන හමුදාවලින් ඉල්ලීමක් කළා. යුක්‍රේන හමුදාවල රුසියන් භටයන් විශාල පිරිසක් ඉන්නවා. තවම නම් එය ඉටුකළ බවක් පේන්න නම් නැහැ. ඒ අතර ඇමරිකන් ජනාධිපති බයිඩන් කීවා, අවශ්‍ය නම් ජනාධිපති සෙලෙන්ස්කිට ආරක්ෂා සහිතව රටින් පිටවීමට ඉඩ සැලසිය හැකියි කියා. ඔහු තම ජනතාව අතරමං කර නො යන්නේ යැයි කියා එය ප්‍රතික්ෂේප කළා. 

එක්සත් ජාතීන් කියන්නේ රුසියාව ප්‍රහාරය ආරම්භයේදී ම යුක්‍රේනියානුවන් 360,000ක් රටින් පලා ගොස් ඇති බවයි. යුරෝපයේ රටවල් රැසක් වීසා නොමැතිව එන යුක්‍රේන වැසියන් බාර ගැනීමට සූදානමින් ඉන්නවා. ඒ වාගේම ලොව සෑම රටකින් ම බිට්කොයින් මුදල් විශාල වශයෙන් යුක්‍රේනය වෙත ගලා එමින් තියෙනවා. 

ඒ අතර රුසියානු ජනාධිපති පුටින් රුසියානු න්‍යෂ්ටික අවි නාශක බල ගනයට සීරුවෙන් සිටින සේ අණ දී තියෙනවා. සෝවියට් සංගමයෙන් වෙන්වෙද්දී න්‍යෂ්ටික අවි විශාල ප්‍රමාණයක් යුක්‍රේනය සතුව තිබුණත් න්‍යෂ්ටික අවිහරණ ප්‍රතිපත්තිය නිසා ඔවුන් ඒවා විනාශ කර දැමුවා. 

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මේ වන විට කියා තියෙනවා, යුක්‍රේනියාව කැමති බව, සාම සාකච්ඡාවට. ඒ රුසියානු ජනාධිපති පුටින් බෙලාරුස්වලදී සාම කතා බහකට එන්නැයි කළ යෝජනාවකට ප්‍රතිචාර දක්වමින්. යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි යෝජනා කර ඇත්තේ බෙලාරුස් යුක්‍රේන දේශ සීමාවේ සාමා සාකච්ඡා පවත්වමු කියායි. 

කලින් ප්‍රකට විකට නළුවකු වූ යුක්‍රේන ජනාධිපතිවරයා හදිසියේ ම යුක්‍රේන වැසියන්ට යුද වීරයකු බවට පත් වී තියෙනවා. රුසියන් හමුදාව යුක්‍රේනයට කළ හදිසි ආක්‍රමණයට, සිතුවාට වඩා හොඳින් මුහුණ දීමට යුක්‍රේන හමුදා සමත්වී තියෙනවා. රුසියන් හමුදාවට තවමත් එක නගරයක්වත් සම්පූර්ණයෙන් නතු කර ගැනීමට හැකි වී නැහැ. දෙපාර්ශ්වයට විශාල වශයෙන් හානි සිදු වී තියෙනවා. තත්වය තවත් බරපතල වෙන්නට කලින් සාම සාකච්ඡාවට දෙපැත්තේම යහපතට හේතු වේවි. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments