HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ දරුවන්ට කැප වූ නීලා මධුර ස්වරය ඉතිරි කර නික්ම යයි

නීලා වික්‍රමසිංහ පසුගියදා ඇගේ අවසන් වියෝ ගීය ගැයුවේ නොසිතූ මොහොතකය. ඇය ගී ගැයූ ඒ මියුරු ස්වරය අපට කිසිදාක අමතක නොවේ. ඇය ගැන විශේෂ සටහනක් තබන්නට අදහස් කළේ අපට තවත් අමතක නො වන මතක සටහනක් තබන්න ඇය සමත් වූ නිසයි.


විශ්ව ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මුළු ශ්‍රී ලංකාවේ ම ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ විශේෂ වැඩසටහනක් 1989 දී පැවැත්වුණු අවස්ථාවේ ඊට සහාය වීමට මට ද ඇරයුමක් ලැබුණා. යුනිසෙෆ් (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) ආයතනයේ මාධ්‍ය උපදේශකයකු ලෙස වසර දෙකකට මා ඔවුන් හා එක් වුණා. දිවයින පුරා ළමයින් සඳහා පූර්ණ ප්‍රතිශක්තිකරණ වැඩ සටහන දියත් කරමින් එය සම්පූර්ණ කරන දරුවන්ට සිය ගණනක් රන් පංචායුධ පරිත්‍යාග කිරීමට තීරණය කෙරුණා. ළමා කාලයේ ළමයින් රෝගි කරන රෝග සඳහා මෙම ප්‍රතිශක්තිකරණ වැඩ සටහන ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා රටවල් 196ක එක විට දියත් කරනු ලැබුවා. 

ඒ සඳහා ප්‍රචාරක කටයුතු බාර දී තිබුණේ එවකට ග්‍රාන්ට් කෙන්යන් සමාගමටයි. සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්වී කළ මෙම වැඩ සටහන සාර්ථකව කර ගෙන ගියත් අම්මලා පිටගැස්ම, ගලපටලය, කක්කල් කැස්ස සඳහා දෙන එන්නත් ලබා ගත්තත් නව එන්නතක් වූ පෝලියෝ මුඛ එන්නත ලබා ගැනීමට ළමයින් කැටුවේ ආවේ නෑ. ඒක සෞඛ්‍ය අමාත්‍යංශයටත් යුනිසෙෆ් ආයතනයටත් ගැටලුවක් වුණා. 

ඒ සඳහා පැවති විශේෂ සාකච්ඡාවක දී එයට පිළියම් වශයෙන් කුමක් කළ යුතු දැයි විමසූ විට මා ඔවුන්ට කීවේ ඒ සඳහා ජනප්‍රිය නීලා වික්‍රමසිංහ යොදා ප්‍රචාරක පටයක් සකසා දිවයින සෑම විද්‍යුත් මාධ්‍යයක් හරහා ම විකාශය කළහොත් කාර්යය ඉටු කර ගත හැකියයි මා කීවා ම එහි සිටි සියල්ල ම මවිතයට පත් වුණා. 

'ඇයි එයාව ම තෝරා ගන්නේ ?' කීප දෙනෙකු ම එකවරම ඇසුවා.

'එයා පෝලියෝවට ගොදුරු වුණු කෙනෙක්. එයා ලවා ගීත කණ්ඩයක් මඟින් අම්මලා ඇමතීමෙන් කටයුත්ත සාර්ථක කර ගත හැකියි' මා ස්ථිර ස්වරයකින් කීවා.

'එයා කැමති වෙයිද ?' ඊළඟ ප්‍රශ්නය වුණා.

'කැමති වේවි. එයාට එක පැහැදිලි කරලා දුන්නාම අකමැති වෙන්න හේතුවක් නෑ.' කී මම ඒ සභාවේ සිටි එක් සම්පත් දායකයකු වූ එච්. එම්. ගුණසේකර මහතා පෙන්වමින් 'එතුමා තමයි ගුවන් විදුලියේ ඉන්නා කාලේ නීලාට අත දුන්නේ. අවශ්‍ය නම් මා යන්නට කැමතියි එතුමාත් සමග ඇය මේ සඳහා කැමති කරවා ගන්නට.' මා කීවා. ගුණසේකර මහතාත් යුනිසෙෆ් ආයතනයේ ප්‍රවෘත්ති නිලධාරි නිසාර් මහතාත් මගේ අදහස අනුමත කළා. 


එතෙක් සිය ආබාධය වේදිකාවේ දී නොපෙන්වීමට වග බලා ගත් නීලා ශ්‍රී ලංකාවේ ළමයින් වෙනුවෙන් ඒ කාර්යය සාර්ථක කර ගන්න එන්නට එක පයින් ම කැමති වුණා. ඇගේ ස්වරය හා ඇගේ ආබාධයට හේතුව අපේ රටේ අම්මලාගේ හදවත් සසල කළා. තමන්ගේ දරුවන්ට ආදරේට නීලා කළ ඉල්ලීම කෙතරම් බලවත් වුණා ද කීවොත් අපට සති කීපයක් ඇතුළත අපේ ඉලක්කවලට යාමට හැකි වුණා. ශ්‍රී ලංකාව අනිත් රටවලට වඩා කලින් පෝලියෝ රටින් තුරන් කිරීමටත් හේතු වුණා. 

නීලා ඒ පෝලියෝ ප්‍රචාරක පටය සිය දායකත්වය දුන්නේ කිසිම ගෙවීමක් නැතිව පුණ්‍ය කටයුත්තක් හැටියට සලකලයි. ඒ වුනත් මේ ප්‍රචාරක පටය යද්දී ඊර්ෂියාකාරයන් කීප දෙනෙක් ඇයට පුවත් මගින් අදහස් දක්වමින් එය නො කළ යුත්තක්, නොහොබිනා ක්‍රියාවක් ලෙස කියා සිටියා. එයින් නීලාගේ හිත රිදුණා. 

ඇය ඒ ගැන අගේ නොසතුට පළ කළා ම මට යළිත් වරක් ඉදිරියට එන්නට සිදුවුණා. මා යුනිසෙෆ් එන්නට කලින් පුවත්පත්වල සේවය කළ නිසා මිතුරන්ට කතා කොට ඇය සමඟ සම්මුඛ සාකච්ඡා පළ කර ඇය කළ මෙහෙය අගය කරන ලෙස ඉල්ලීමක් කළා. එහි ප්‍රතිඵලය වුණේ නීලා ලොව පුරා රසිකයන්ගේ ගෞරවයට ලක් විමයි. ජපානයේ රසිකයෙක් ඇයට දියමන්ති මාලයක් පවා තෑගි කර එව්වා. 

නීලා කළ මෙහෙය තරම් මෙහෙයක් කළ ගායිකාවක් ලෝකයේ තවත් නැහැ. ඇය අපේ දරුවන්ට කළ මෙහෙය අපේ අම්මලාටත් කිසිදාක අමතක වෙන එකක් නැහැ. 


නීලා වික්‍රමසිංහ උපන්නේ 1950 මාර්තු 30 වැනිදා වත්තල දී ව්‍යාපාරික දොන් ෆ්‍රැන්සිස් වික්‍රමසිංහ හා විතානාරච්චිගේ දෝන යසවතී ගුණසේකර යුවළගේ දෙවැනි දරුවා ලෙසයි. ඇගේ අක්කා අරුණී ය. හයමස් දැරියකව සිටිය දී ඇය බරපතල ලෙස රෝගී වුණා. ඒ කාලයේ ඇය පෙළුණු රෝගය ගැන මාපියන්ට දැනුමක් තිබුණේ නැත. ඇගේ අම්මා සිඟිති දියණිය රැගෙන ඇය සුව කර දෙන ලෙස ඉල්ලමින් වෛද්‍යවරුන් සොයා හැම තැන ම ගියාය. ඇයට දෙපයින් සිට ගැනීමට නොහැකි වුණා. කථා කළ ද හඬ පිට වූයේ නැත. ඇය පෝලියෝ මයිලයිටිස් රෝගයට ගොදුරු වී ඇති බව දැන ගත්තේ ඉන් පසුවයි. 

ඇය මුලින් පාසල් ගියේ වත්තල කිරිමැටියාගාර ප්‍රාථමික විදුහලටයි. මාස හයකට පසු අම්මාගේ ගමට යන ඇය 1954 කැස්බෑව ආණ්ඩුවේ පාඨශාලවට ඇතුළත් වුණා. එහිදී ඇගේ ගායන සංගීත හැකියාව හඳුනා ගත්තේ අමරා අතුකෝරළ නම් ගුරුමාතාව තමයි. එහි දී සංගීතයේ අත්පොත් තැබූ ඇය එතැනින් මාම්පේ ශ්‍රී ශෝභිත මහා විද්‍යාලයටත්, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයටත්, අධ්‍යාපනය සඳහා ගියා. 

ඇය සංගීතය ඉගෙනීම නො කඩවා කර ගෙන ගිය අතර ඇගේ සංගීත ගුරුවරුන් වූයේ වින්සන්ට් සෝමපාල හා ආනන්ද ජයසිංහ යන සංගීතඥයින් දෙපළයි. දෙපා වාරු නැතත් සිතට දිරිය ගෙන ඇය සංගීතය ඉගෙන ගන්නට හොරණ ශ්‍රීපාලියේ කන්ද නැග්ග හැටි කියන්නේ සතුටින් සිනාසෙමින්.

ඇය මුලින් ම ගුවන්විදුලියේ ගීයක් ගැයුවේ 1959 දී 'ආධුනික හඬ' නම් වැඩ සටහනටයි. පසුව ඇගේ මුල් ම සරල ගීය පටි ගත කළේ 1967 දී එවකට 'රේඩියෝ සිලෝන්' නමින් හැඳින්වුණු ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියකදියි. ඇගේ මුල් ම ගීය 'සැන්දෑ අඹරේ නිශා මල් යට' ලිව්වේ ඩෝල්ටන් අල්විස් සංගීත ලයනල් අල්ගමගෙයි. 1968 වසරේදී ඇය බී ශ්‍රේණියේ ගායිකාවක ලෙස තෝරා ගනු ලැබුවා. 1973 දී ඇය ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස නම් කෙරුණේ ගුවන්විදුලි සංස්ථාවේ පර්යේෂණ අංශය වෙනුවෙන් කළ ගායනා නිසයි. උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමෙන් පසු ඇයට 1974 දී සංගීත විශාරද උපාධිය පිරිනමනු ලැබුවා. 

ඇගේ මුල් ම චිත්‍රපට ගීය වූයේ සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි' චිත්‍රපටයට ඇය ගැයූ 'වීයෝ ගී ගැයූ හදේ' රචනය සුනිල් ආරියරත්නගේ රචනයක්. සංගීතය නිමල් මෙන්ඩිස්ගෙයි. ඇය ගැයූ ජනප්‍රිය ගී අතර ටී. එම්. ජයරත්න සමග ගැයූ ගීත රාශියක් ඇතුළත් වෙයි. ඒවා අතර 'දෑතට වළලු', 'සදා උකුළු තල', 'දවසක් දා වසන්ත සැණකෙළියේ', 'මාස්ටර් සර්', 'තුන් සිත දැහැන් ගත වෙලා', 'මේ අවන්හලේ', 'සුදු මුතු රළ පෙළ', 'පාරමීදම් පුරමු අපි දෙන්නා', 'නිල් අහස් තලේ', 'රන් ටිකිරි සිනා', 'පුංචි සිතේ' ආදිය ද වෙනවා. 

1969 දී වින්සන්ටි සෝමපාලගේ ගයත්‍රී කලායතනයට බැඳී ගුරු පුහුණුව ලැබූ ඇය පාසල් ගණනාවක සංගීතය ඉගැන්වූ ඇය වසර 23ක තුනක සේවා කාලයෙන් පසු විශ්‍රාම ගත්තා. ඇය අවසන් වරට වසර අටක කාලයක් ඉගැන්වූයේ කොළඹ විශාඛා විද්‍යාලයේයි. ඇය උදරයේ පිළිකාවක් නිසා බලවත් ලෙස රෝගාතුර වුවද සැත්කමකින් පසුව පුවත් වුණා. 

ඇය චිත්‍රපට 67කට පසුබිම් ගී ගයා තියෙනවා. ඒවා අතරින් ඇය 'ඈතින් ඈතට' චිත්‍රපටයට ගැයූ 'බෝධියේ විහාරයේ' ගීතයට ඇයට වසරේ හොඳම ගායිකාවට හිමි සරසවි සම්මානය පිරිනමනු ලැබුවා. ඊට අමතරව 1968, 1992 හා 2000 දීත් සරසවි සම්මාන ඇයට හිමි වුණා. 1986 දී ඇයට ජනාධිපති සම්මානයෙන් ද පුදනු ලැබුවා. 1996 දී සංක්‍රාන්ති සමය ටෙලි නාට්‍යයේ තේමා ගීතය සඳහා ඇයට සුමති ටෙලි සම්මානය හිමි වුණා.

2012 දී ඇගේ සංගීත දිවියට වසර 45ක් පිරීම නිමිත්තෙන් 'මාස්ටර් සර්' නමින් ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුවා. 2013 දී ඇය 'නිකිනි වැස්ස' ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළා. 

2021 දී සැප්තැම්බරයේ ඉතාලියේ මිලාන්හී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස පත්වීමක් ලබා ගියා. එහි සේවයේ යෙදී සිටියදී 2022 ජනවාරි 17 වැනිදා හදිසියේ හෘදයාබාධයක් වැළඳීමෙන් පසුව මිලාන්හී සැන් රෆායල් රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා. පසුව එය ශ්‍රී ලංකාවට ගෙනෙනු ලැබ අවමඟුල කනත්තේ දී සිදුකෙරුණා. 

නීලා කයෙන් අප හැර ගියත් ඇගේ මියුරු ස්වරය අප හැර ගියේ නැහැ. එය ලොව පුරා අන්තර් ජාලය ඔස්සේ ලෝක රසිකයන්ට සදා කල් අසන්නට ලැබෙන නිසා ඇය සදා අමරණීය වෙනවා. -

 පර්සි ජයමාන්න

Post a Comment

0 Comments