HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද 7 වැනිදා අදට මට 77යි! එන්න! අතීතයට යන්න!

අද 2022 පෙබරවාරි 7 දා මට අදට අවුරුදු 77යි! ජීවිත කාලෙට ම 7 ඒවා තුනක් එකට යෙදෙන එකම දුර්ලභ අවස්ථාවක්. ඒ හින්දා ආපහු හැරිලා ගෙවුණු ජීවිතේ දිහා බලන්න මට හිතුණා. එතකොට එක පාරට ම මගේ සිත දිව ගියේ මගේ පුංචි ම පුංචි කාලේට. එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. මගේ පැරණිම මතකය ඇත්තේ ඒ කාලයටයි. ඒ නිසා මං කල්පනා කළා, දැන් එහෙත් නැති, අද රටේ කොහේවත් නැති, ඒ කාලේ තිබුණු ඒ අමුතු පරිසරයට ඔබව ගෙනියන්න. 


ඒ කාලේ අපේ අම්මයි තාත්තයි රස්සාව කළේ නිකවැරටිය නගරයෙන් සැතැපුම් 18ක් එහා පිහිටි පුංචි ඉස්කෝලෙක. පුත්තලම පාරේ ආනමඩුවෙන් හැරිලා හලාවත පාරේ ආනමඩුව පැත්තට වෙන්නයි මේ පහළ මාවතගම කනිටු පාසල පිහිටලා තිබුණේ. ඒකෙ මුළු ගුරු මණ්ඩලේට ම හිටියෙ අපේ අම්මයි තාත්තයි විතරයි. ළමයි 72යි හිටියෙ. අටේ පන්තියෙ ළමයි 7 දෙනයි. හෝඩියෙ නම් හිටිය දොළහක් විතර. අනික් පන්තිවල ඒ අතර ගණනක් තමයි හිටියෙ. පන්ති වෙන්කර තිබුණෙ නෑ. පොල් අතු හෙවිල්ලපු පල දෙකේ වහලයක් එක්ක වටේ කොට බිත්ති සහිත තනි ගොඩනැඟිල්ලක් විතරයි තිබුණෙ. 

මේ ඉස්කෝලෙ ගමේ ළමයින්ට උගන්නනවා ඇරෙන්න තැපැල් දෙපාර්තමේන්තුවට සම්බන්ධ 'ලියුම් බාර ගැනීමේ කන්තෝරුව'ක් තිබුණා. නිදහස ලබන්න ඉස්සර ඉඳල ම බෝඩ් එකකුත් ගහලා තිබුණා. ඒකේ ඉංගිරිසියෙන් ලියලා තිබුණෙ 'Receiving Post Office' කියලයි. මුල් ගුරුතුමා තමයි, ඒක බාරව උන්නු නිලධාරියා. අමතර කිසිම ගෙවීමක් කළේ නැහැ. හැබැයි නිකවැරටිය තැපැල් කන්තෝරුවට ලියුම් ටික ගෙන්න යන්න පණිවිඩ කරුවකුට මාසෙකට ම රුපියල් පහක් ගෙව්වා. ඉස්කෝලෙ ඉස්සරහ වඩුමඩුවක් තිබුණා. ඒ බාස් උන්නැහැගෙ තරුණ පුතා තමයි බයිසිකලෙන් හැතැප්ම 18ක් දුර ගිහින් ලියුම් අරන් ආවෙ. ඒ ගමේ මිනිස්සුන්ට එහෙමටෙයි කියලා ලියුමක් ආවේ නෑ. හැබැයි ඉස්කෝලෙ ඉඳලා හැතැප්ම හතරක් දුරින් තිබුණා, නාගන්සෝල ස්ටේට් කියලා පොල් වත්තක්. ඒ පොල් වත්තට ආණ්ඩුවෙ ලියුම් නිතරම වගේ ආවා. 

ඒ වත්ත අයිතිකාරයා ජීවත්වුණේ කොළඹ. එයා තමයි, එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය දැරූ වෝල්වින් ඒ. ද සිල්වා මහතා. ඔහුගේ පුතා මණික් ද සිල්වා මා ලේක්හවුසියේ සේවය කරද්දී ඩේලිනිවුස් පත්‍රයේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළා. මුළු දිවයිනේ ම අධ්‍යාපනය භාර ප්‍රධානියා නිසා ඔහු හදිසියේ ම වත්තට යන විට පාසලටත් ගොඩ වදින නිසා තාත්තා නිවාඩු දවස්වලත් වැඩිපුර කොහේවත් ගියේ නෑ. 

නිකවැරටිය ප්‍රධාන තැපැල් කන්තෝරුවෙන් ලියුම් ගෙනාවාම ඒවා අයිතිකරුවන්ට දීමට පළමු විශේෂ පොතක සටහන් කරන්න තිබුණා. තැපල් කරන්න ගේන ඒවාත් ලියන්න වෙනම පොතක් තිබුණා. තැපැල් කන්තෝරුව කර ගෙන යාමට අමතරව තවත් රාජකාරියක් තාත්තාට පැවරී තිබුණා. ඒ නිකවැරටිය රජයේ රෝහලේ දොස්තර මහත්තයා මාසෙකට වාතාවක් අන්තිම සෙනසුරාදට එක සේවකයෙක් එක්ක ආවා ජංගම ඩිස්පැන්සරියත් අර ගෙන ඉස්කෝලෙට. අවට ගම්මාන පහක ලෙඩ්ඩු එනව එදාට බේත් ගන්න. ඒ කාලේ මලේරියාව තදින් පැතිරිලා තිබුණ නිසා වැඩිපුර බේත් දුන්නේ ඒ ලෙඩේටයි. ඉතුරුවුණු බේත් ටිකක් තාත්තටත් දීල යනවා හදිසියේ මැලේරියා ලෙඩෙක් අතරමග දිනෙක ආවොත් දෙන්න කියලා. එදා ඉඳලා ඊළඟට දොස්තර මහත්තයා එන දවස වෙනකන් තාත්තා තමයි මැලේරියා දොස්තර වෙන්නේ. 

ඒ ඉස්කෝලෙට අක්කර හතරක් විතර ලොකු වත්තක් තිබුණා. පාසල් ගොඩනැඟිල්ලට ටිකක් ඈතින් කාමර දෙකක ගුරු නිවාසයක් තිබුණා. ඒකෙ තමයි අපි ජීවත් වුණේ. ගේ ඉස්සරහ ලොකු දිවුල් ගහක් තිබුණා. දෙළුම් පඳුරකුත් තිබුණ මට මතකයි. පාසල් වත්තෙ නිවාසය පසුපස කෑල්ලේ කෙසෙල් පඳුරු කීපයක් එහෙමත් තිබුණා. ඉස්කෝලෙට ආසන්නව ලොකු මා දං ගහක් තිබුණා. 

පාසල් වත්තට ඉඳහිට තිත් මුවන් කීප දෙනක් වත්තේ ඈත කෙළවරින් මතු වී ඔවුන්ගේ ලස්සන හැඩ වැඩ ප්‍රදර්ශනය කරමින් ඉඳ යනවා දකිනවා මට මතකයි. සාවුන් නම් නිතරම වාගේ එනවා. නරි හූ කියන සද්දෙත්, බස්සන්ගේ බකමූණන්ගේ නාදයත් රෑට ඉඳහිට ඇසුණත් කවදාවත් දකින්න ලැබුණෙ නෑ. කලාතුරකින් හැන්දෑවට අඳෝනාවකට සමාන කටහඬක් ඇහෙනවා. ඒ බෝදිලිමගෙ කියලයි ලොකු පන්තිවලට එන අයියලා කිව්වෙ. ඒත් ඒ සතා කවදාවත් පේන්නට ආවෙ නෑ. 

හවස් වරුවෙ ගුරු නිවාසයෙ පසුපස ජනේලයක් වැරදිලාවත් ඇරිලා තිබුණොත් වැටෙන් එහා පැත්තේ කැළෙන් එන රිලවෙක් කුස්සියට රිංගලා ලිප මුල්ලේ කඩදාසියකින් කට බැඳල තිබුණු මුට්ටියට අත දමලා ඒකෙ තියෙන හාල්මැස්සන් අහුරක් අරන් කනවා ඇහෙනවා. 'සරස් සරස්' ගාන හඬ ඇහෙනවත් එක්ක ම ඉක්මනට ගියත් දකින්න ලැබෙන්නේ නෑ. ඒකට හේතුව ඒ කාලෙ අපි දාපු කට්ට සෙරෙප්පු. ලීවලින් හදපු ඒ සෙරෙප්පු කකුලට සවි වුණේ හම් කැබැල්ලකින්. ඇවිදින විට ඒ සෙරෙප්පුව සද්ද වුණු නිසා යම්තම් සද්දෙ ඇහෙන කොට ම ඌ පැනලා යනවා. ඉක්මනින් ජනේලෙ ගාවට ගිහින් බැලුවොත් දැක ගන්න පුළුවන්, 'හාල් මැස්සන් හොරා' වැට උඩින් කැලේට පනිනවා. 

දවසක් ඒ 'සරස් සරස්' සද්දෙ ඇහෙන කොට අපේ අම්මා සෙරප්පු නොදා හෙමින් සීරුවේ ගිහින් බලලා තියෙනව කව්ද ඒ කියලා. බලපුවාම ඒ පැටියෙක් බඩ බැඳ ගත්තු රිලා අම්ම කෙනෙක්. ඌ හරි අහිංසක විධියට බයාදු බැල්මකින් අම්මා දිහා බැලුවලු. සතෙක් වුනත් කිරි දෙන අම්ම කෙනෙක්නෙ කියලා අපේ අම්මාට දුක හිතුණලු. ඒ හින්ද ඔන්න ඔහෙ කාපුවාවෙ කියලා හිතලා ආපහු හැරෙන කොට ඒ ඇසිල්ලෙන් ජනේලෙන් පැනලා ගියාලු. 

ඒ ගුරු නිවාසය පසුපසින් තමයි, වැවට යන අඩි පාර වැටිලා තිබුණෙ. වැට අයිනෙ තිබුණා ලොකු කරඳ ගහක්. ඒ කරඳ ගහ ළඟින් වත්තෙන් පිටට යන කඩුල්ල තිබුණා. ඒ කඩුල්ලෙන් පැන්නාම පිට්ටනියක් හම්බවෙනවා. ඒ පිට්ටනිය මැද්දෙන් වැටුණු අඩි පාර දිගේ ගිහින් තමයි, වෑකන්දට ගොඩ වුණේ. ඒ වෑකන්දට නැග්ගාම දකුණු පැත්තේ පහතින් ගම්මානය පේනවා. 

වරිච්චි බිත්තියෙන් හදපු පොල් අතු, මානා ආදිය හෙවිල්ලපු පුංචි ගෙවල් තිහක් තිස්පහක් එක ළඟ එක ළඟ හදලා තියෙනවා. ඒවට ටිකක් එහායින් තිබුණෙ ආරච්චිලගෙ ගෙදරයි. ඒකෙ විතරයි ඉස්සරහට විහිදිච්ච කාමරයක් තිබුණෙ. ඒ කාමරෙන් පිල දිහාට අරින්න වෙන ම දොරක් තිබුණා. ඒ හැම ගෙයක්ම හදලා තිබුණෙ පොළොවෙන් ටිකක් ඉස්සිලා පිලක් වාගෙ හිටින්නයි. කකුල් දෙක මිදුලෙ තියෙද්දිම වාඩිවෙන්න පුලුවන් වෙන විදියට. සමහර ගෙවල්වල පිලේ ඉඳන් වහල උස්සගෙන උන්නු කණුවයි ගෙයයි අතර කොට බිත්ති කෑල්ලක් බැඳලා තිබුණා. ඒක උඩ බොහෝ විට බුලත් වෙනුවට තලාකොළ එක්කළ, හුණු, පුවක්, දුන්කොළ ආදිය දමාපු වට්ටියක් තිබුණා. ඒ පළාත්වල බුලත් කොළ වෙනුවට ගත්තේ තලාකොළයි. එහේ තලාකොළ වැව කියල ගමකුත් ඒ නමින් වැවකුත් තිබුණා. 

වෑකන්ද දිගේ ඇවිද ගෙන යන කොට වැවේ අනික් පැත්තේ වැව දෙසට බරව ඇති ගල්තලාව මත පන්සල පිහිටා තියෙනවා. අතීතයේ බොහෝ ගම් මේ ආකාරයෙන් පිහිටියත් අද ඒ කිසිවක් දක්නට නැහැ. ගමයි පන්සලයි ඇසුරු කර ගත් මෙවැනි කුඩා වැව් අහස් දිය එක්රැස් කර ගෙන ඊළඟ වැහි කාලය එනතෙක් වතුර අවශ්‍යතාව සපුරලා දෙනවා. 

මේ ගමේ මිනිස්සු කරන්නේ හේන් ගොවිතැනයි. කුරක්කන්, තල, මෙනේරි, බඩ ඉරිඟු, ‍ගොඩ වී, මිරිස්, කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා, එළබටු, වම්බටු ආදිය ඇතුළත් හේන් වගාවක් තමයි, මේ ගමේ මිනිස්සු කළේ. 

ඒ ගමේ මිනිස්සු අපූරු මඟුලක් කෑ හැටි ඊළඟට කියන්නම්.

 - පර්සි ජයමාන්න

Post a Comment

4 Comments

  1. ඔබතුමාට සුබ උපන් දිනයක් සහ දිගාසිරි පතනවා. මේ සටහන හරිම ආසාවෙන් කියෙව්වා. දිගටම ලියන්න. තවත් හරිම රසවත් කරුණු ඇති කියල හිතනවා. හරියට වාර්තා චිත්‍රපටියක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔබට පිං මා දිරිමත් කළාට. ඉදිරියටත් ලියනවා

      Delete
  2. දැන් හරි! දැන් මේ ලිවිම නවත්තන්න නම් එපා! එක හුස්මට ලියන්න. ඉතිරිය බලන්න ආසාවෙන් ඉන්නවා. දවසක මේක පොතක් හැටියට එළි දැක්වුවොත් මටත් එක චිත්‍රයකට පිටුවක් දෙන්න. ඒ වෙන ඔබට වෙන ගව්රයක් කරන්න හැකි අයුරක් මතකට නොඑන නිසා! නිදුක් නිරෝගි සුවය ලැබේවා!

    ReplyDelete
  3. විමල්, ඔබේ ඉල්ලිමට පිටු එකක් න‍ෙමෙයි දෙකක් දෙන්නම්

    ReplyDelete