HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවීන උපමා කතාවක් - ඔර්ලෝසු හොරා ඉගෙනගත් අන්තිම පාඩම!

අපේ රටේ ඉන්නවා පරිපාලන සේව‌යෙන් විශ්‍රාම ගත්තාට පස්සේ ලේඛන කලාවට පිවිසුණු අය රැසක් ම. රැකියාව කරන කාලේ ලියන්න කියන්න විවේකයක් සොයා ගන්න බැරි වුණු අය විශ්‍රාම ගත්තාට පස්සේ හරි ඒ කටයුත්තට අත ගහන එක පාඨක අපේ වාසනාවයි. එයින් බොහෝ දෙනෙක් ග්‍රන්ථ පරිවර්තනයටයි, අත ගහලා තියෙන්නෙ. සමහරුන් කවි ලියනවා. නවකතා ලියනවා. එහෙම ලියලා සම්මානත් ගන්නවා. විවිධ සාහිත්‍ය සේවාවල යෙදෙනවා. මා මේ ටීකාව ලියන්න හේතුව එවැනි මිතුරකු ගැන කියන්නයි. ඔහු මහනුවර ධර්මරාජ විදුහලේ අපේ සමකාලීන මිතුරෙක්. විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු වූ ඔහු ලලිත් හීන්ගමයි. ඔහු පරිවර්තකයෙක් වශයෙන් දැන් පාඨකයන්ට ලොකු මෙහෙයක් කරනවා. 


ඔහු ජෝයි ඇඩම්සන්ගේ බෝන් ෆ්‍රී පොත් ‍පෙළ 'එල්සා' නමින් පරිවර්තනය කරලා තියෙනවා. අනෙක් පරිවර්තන අතර 'ලින්කන් ඝාතනය', ඇගතා ක්‍රිස්ටිගේ 'සිව් මහා බලවතුන්' 'කඩතුරාව' ආදියත් වෙනවා. ඊට අමතරව 'නෙත ගැටුණු රේගු වංචා' '1001 එදිනෙදා ගැටලුවලට විසඳුම්', 'සිංහයා සහ දැරිය', 'තෙවන දැරිය' 'ලංකා ඉතිහාසයේ ආදි යුගය' හා 'කිල්ලෝටය' යන කෘතීන් මෙන් ම 'සිරිමත් ඩී. බී. ජයතිලක' චරිතාපදානයත් තියෙනවා. ඔහු 'ලංකාදීප' පත්‍රයට 'කිල්ලෝටය' කියා පුංචි කතා තීරුවක් ලියනවා. එහි අලුත් ම කතාව මෙසේ 'මල් කැකුළු' තුළින් ගෙන එන්නේ ඒ කතාවේ ඇති අපූර්වත්වය නිසයි. 

නිහඬ ආදර්ශයක් 

විදුහලේ ආදි ගුරු භවතුන්ගේ හා ආදි සිසුන්ගේ එකතුවක් පාසල් භූමියේ දී පවත්වන්නට යෙදුණි. ආදි සිසුන් එකිනෙකා හමුවීම මෙන් ම තමන්ට දැනුම ලබා දුන් දැනට විශ්‍රාම ගොස් සිටින ගුරු භවතුන්ද මුණ ගැසිමට ලැබීම සියලුදෙනාගේම සතුටට කරුණක් විය. ආදි සිසුන් එකිනෙකා හමුවී තමන් කරන රැකියාව පවුලේ විස්තර ආදිය දැන අදහස් හුවමාරු කර ගත්තා සේ ම තමන්ට දැනුම ලබා දුන් ගුරුවරුන් හමුවී තොරතුරු ලබා ගැනිම සිදුවිණි. 

බොහෝ කලකට පසු තම ගුරුවරුන් හමුවන නිසා එකිනෙකා හඳුන්වා ගැනීමටත් ඇතැම් අවස්ථාවල සිදු වූයේ ගුරුවරුන්ට සෑම සිසුවෙකු ගැන ම මතක තබා ගැනී අපහසු නිසාය. 

"සර්ට මාව මතක නැතුව ඇති." එක් ආදි සිසුවෙක් විශ්‍රාමික ගුරුවරයකුගෙන් ඇසුවේය. 

"ඔව් දරුවා මගෙන් ඉගෙන ගත්තු දහස් ගණනක්. එක්කෝ අති දක්ෂ ළමයෙක් වුණා නම් හරි මොනයම් කාරණයක් නිසා හරි මතක හිටින දෙයක් වුණා නම් එහෙම අයගේ නම් මගේ සිහියේ රැඳෙනවා. ඔය දරුවා දැන් මොනවද කරන්නේ?" ගුරුභවතා විමසුවේය. 

"සර් මාත් ගුරුවරයෙක් වුණා. ඊට මට මඟ පාදා දුන්නේ සර් තමා. මම ඒ ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. 

"ගුරුවරයෙක් වන්න කිසියම් උපදේශයක් සිද්ධියක් ඔබට පිටිවහල් වුණා ද?" 

"ඔව් සර්. සර්ට මතකද සර්ගේ පන්තියෙදි දැනට වසර දහයකට විතර ඉස්සර ඔර්ලෝසු හොරකමක් වුණා?" 

"කියන්න බලන්න ඒක ගැන විස්තර මට මතක් කර ගන්න." ගුරුතුමා කීවේය. 

"සර් අපේ පන්තියෙ ළමයෙක් දවසක් අලුත් අත්ඔර්ලෝසුවක් පාසලට ගෙනවුත් තිබුණා. මට ඒ ඔර්ලෝසුවට හරියට හිත ගියා. ඒ දවස්වල පන්තියේ කාටවක් අත් ඔර්ලෝසු තිබුණෙත් නැහැ. මම ඒක ඒ ළමයාගෙන් හොරෙන් ගත්තා. පස්සෙ ඔර්ලෝසුව කවුරුහරි හොරකම් කරලා කියලා ඒ ළමයා සර්ට පැමිණිලි කළා. සර් පන්තියේ හැමෝටම කිව්වා ඔර්ලෝසුව ගත්තා නම් දෙන්න කියා. කවුරුත් නිහඬව සිටියා. 

"ඊට පස්සේ සර් පන්ති කාමරේ දොර වැහුවා. අපි හැමෝටම කිව්වා පන්තිය ඇතුළේ කවයක් හැදිලා හිට ගන්න කියලා. අපි එහෙම කළාට පස්සෙ සර් කිව්වා අපිට 'ඇස් පියා ගන්න' කියලා. සර් ඊළඟට, 'මං හැම ළමයෙක් ම පරීක්ෂා කරනවා. ඒක ඉවරවෙලා මං කියන කං ඇස් අරින්න එපා!' කියලාත් කිව්වා. 

"සර් මාව පරීක්ෂා කරලා මගේ සාක්කුවේ තිබුණු ඔර්ලෝසුව ගත්තා. ඊට පස්සෙත් හැම ළමයකුම ඒ වගේ ම පරීක්ෂා කළා. පරීක්ෂණය ඉවරවුණාට පස්සේ හැමෝට ම ඇස් අරින්න කිව්වා. ඔර්ලෝසුව හම්බ වුණා කියලා කිව්වත් ඒක කා ළඟ තිබුණාද කියා කීවේ නැහැ. මාව පැත්තකට ගෙන අවවාද කළෙත් නැහැ. සර්ට ඒ සිද්ධිය මතකද?" ළමයා විශ්‍රාමික ගුරුවරයාගෙන් විමසුවේය. 

"දැන් මට ඒ සිද්ධිය මතක් වෙනවා. ඒත් ඔය ළමයා ඒක කළ බව මම දන්නේ නැහැ. ළමයින් පරීක්ෂා කරන විට මමත් ඇස් වසා ගෙන තමා හිටියෙ. ඔබ කළ බව මා දන්නේ නැහැ." ගුරුවරයා කීවේය. 

"මට එදා ඇතිවුණු ලජ්ජාව අපමණයි. ඒත් ඔබතුමා මගේ ගෞරවය රැක දුන්නා. වචනයක් වත් කතා නොකර මට නිහඬව සිට දැඩි අවවාදයක් ආදර්ශයක් දුන්නා. මම එදා තීරණය කළා කිසිදාක හොරකමක් නොකරන්නට, හොඳ අයෙක් වන්නට. ඔබතුමා කළ දේ මගේ සිත තදින්ම වැළඳ ගත්තා. මම එදා තමා තීරණය කළේ ගුරුවරයකුට කළ හැකි දේ ගැන. මම තීරණය කළා හොඳ ගුරුවයෙක් වන්නට. ඔබ තුමා දුන් ආදර්ශයෙන් මම අද තෘප්තිමත් ගුරුවරයෙක් වුණා." ශිෂ්‍යයා කීවේය. 

('ලංකාදීප' පත්‍රයේ පළවන ලලිත් හීන්ගමගේ 'කිල්ලෝටය' විශේෂාංගයෙනි.) 

මේ විශේෂාංගය යටතේ කලින් පළ වූ කතා එක්කොට ඔහු 'කිල්ලෝටය' කතා පොත් තුනක් දැනටමත් පළ කරලා ති‍යෙනවා. පුංචි වුනත් මේ රසකතාවක ඇති හාස්‍යයත්, ඒ තුළින් ජනිත වන දැනුමත් එක විට මතු කරන එක ලේසි පහසු දෙයක් නොවෙයි. ඒ සඳහා හොඳ ලේඛන හුරුවක් අවශ්‍ය වෙනවා. ඒ හුරුව ඔබට ඇති බව 'කිල්ලෝටය' තුළින් ගෙනෙන හැම කතාවකින්ම පෙනෙනවා. ලලිත්, අපට නුවණත් දැනුමත් බෙදන මෙවැනි දෑ ලියන්නට දිරියත් සවියත් ලැබේවා! අපේ සුබ පැතුම්! 

 - පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. "කිල්ලෝටේ" ලස්සන තීරු ලිපියක්!

    ReplyDelete