HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩෙස්මන්ඩ් මොරිස් වගේ සතුන් දෙස බලන්න පුරුදු වෙන්න!

බීවරයකු වේල්ලක් බඳින්නේ ඇයි? සීබ්‍රාට පාට තීරු තියෙන්නේ මොකටද? ඔටුවා වතුර නැතුව ජීවත් වෙන්නේ කොහොමද? හිපෝ උගේ කුඩා වලිගය වනන්නේ ඇයි? දිගම සින්දුව කියන සතා කවරෙක්ද? සිංහ පියා මැරුණ පසු සිංහ පැටවුන්ට සිදු වන්නේ කුමක්ද? පැන්ඩාවන් උණ බට වනාන්තරවල දිවි රැක ගන්නේ කෙසේද? 

ඩෙස්මන්ඩ් මොරිස්

සත්ව ලෝකය තුළ විස්මයජනක සොයා ගැනීම් බොහෝයි. සමහර අය සිතන්නේ අප සතුන් ගැන බොහෝ දන්නවා කියාය. තවත් දැන ගන්නට ඇත්තේ ටිකක් පමණක් කියායි. ඒ අය කොයිතරම් නම් වැරදිද? ඇත්ත නම් අප සතුන් ගැන තවත් දැන ගතයුතු බොහෝ ඇති බවයි. සෑම වසරකම අප දන්නා සතකුගේ අප නොදන්නා දෙයක් අපට දැන ගන්නට ලැබෙනවා. මේ කුඩා ග්‍රහලෝකය තුළ අප සමඟ එක්ව වෙසෙන අමුතු විස්මිත සතුන් ගැන අලුතින් සොයා ගත දෙයක් දැනගෙන අපට ඔවුන් පිළිබඳව වඩාත් පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකියි. 

අද පෘථිවිය මත වෙසෙන සෑම සතෙකුට ම දිවි රැකගෙන ජීවත්වීමට, තමන්ට එල්ලවෙන ගැටලු විසඳා ගැනීමට තමාගේ ම ක්‍රමවේදයක් තියෙනවා. මේ හැම සතෙක් ම සත්ව විද්‍යාඥයන්ට අභියෝගයක් එල්ල කරනවා. ඉතාමත් තරඟකාරී මේ ලෝකය තුළ සතුන් දිවි රැක ගන්නට දරන ප්‍රයත්න හෙළිදරවු කර ගැනීම අද සත්ව විද්‍යාඥයන් ඉදිරියේ ඇති ලොකුම අභියෝගයයි. 

අපට අලුතින් සතකු හමුවන හැමවිටම ඌ ගැන අසන්න ප්‍රශ්න සිය ගණනක් අපට තියෙනවා. මේ කරුණ ලෝක ප්‍රකට සතකුට වුනත් සාධාරණයි. කලින් කීප වතාවක් ම අපට ටෙලිවිශනයෙන් පින්තූර මගින් හෝ සතුන් වත්තක දී හෝ හමු වූ සතකු ගැන වුනත් එහෙමයි. 

බීබීසී සේවයේ වනජීවී වැඩසටහන් ඉදිරිපත් කළ  
ඩේවිඩ් ඇටන්බරෝ, ඩෙස්මන්ඩ් මොරිස් හමු වී..

අප අතර ජනප්‍රිය සත්ව 'තරු' ගැන අප තුළ විවිධ අදහස් තියෙනවා. ඒත් ඒවා බොහොමයක් සැබෑ තතු මත පදනම් වූ ඒවා නොවෙයි. අප සතුන් ගැන දන්නා කරුණු අතර චමත්කාරජනක ඒවා ඇතත් බොහෝ විට ඒවා ඔවුන්ගේ සැබෑ ජීවිතයේ දී දක්නට ලැබෙන ඒවා නොවෙයි. සමහර සතුන් කාටූන් චරිතවලට නඟද්දී අපට හිනා උපවන්නට යොදා ගත්තත් ඒ හැම දෙයකින් ම ඔවුන්ගේ සැබෑ ජීවිතය පෙන්වන්නේ නැහැ. 

සමහර සතුන් 'ම්ලේච්ඡ', 'කෑදර', 'කපටි', 'නපුරු', 'බොළඳ', 'සුරූපී', 'ප්‍රසන්න' හෝ 'දුක්මුසු' ආදී වශ‌යෙන් අපට සිතෙන්නේ ඒ සතුන්ගේ මුහුණු දකින විට, ඒ හා සමාන මුහුණු ඇති මිනිසුන් අප අතර ඉන්නා නිසයි. ඒත් එවැනි හංවඩුවක් බොහෝ විට සැබෑ ජීවිතයේ දී ඒ සතුන්ට ගහන්න අමාරුයි. අපට ඔවුන් ව හොඳින් තේරුම් ගන්න නම් ඔවුන් දෙස විවෘත මනසකින්, නව ඇසකින් බැලීම අවශ්‍යයි. 

කොහොමද මේ සෑම සතකු ම ආහාර සොයා ගන්නේ? ඒ වගේ ම තවත් සතකුගේ ප්‍රණීත ආහාරයක් බවට පත් වීමෙන් වළකින්නේ කෙසේ ද? ඔවුන් නිදන්නේ කොහේ ද? ඌ කැදැල්ලක් හෝ ලෙනක් හෝ ගුලක් තිබේ ද? ඌ සටන් කරන්නේ කෙසේ ද? උගේ සහවාසය කෙසේ ද? පැටවුන් ඇති දැඩි කරන්නේ කෙසේ ද? උගේ මිතුරු ස්වභාවය කෙසේ ද? ඌ ජීවත්වන්නේ විශාල කණ්ඩායම් වශයෙන් ද? නැත්නම් තනිවම ද? ඒ සතා හරියට හඳුනා ගන්න නම් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම අවශ්‍යයි. 

සතුන්ට වඩාත් ළංවී බලන්න නම් ඔවුන් ලෝකය දෙස බලන ආකාරයට බලන්න ඔබත් පුරුදු වෙන්න. අප ඔවුන්ට වඩා උසස් යැයි නොසිතා ඔවුන් දෙස බලන්න. ඉහළ තලයක හිඳිමින් සතුන් දෙස බලන්න ගියොත් කවදාවත් ඔවුන්ව හරියට තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. සතුන් ළඟට ගොස් ඔවුන් දිහා බලන විදියට ඔවුන් දෙස බලන්න. එතකොටයි, අපට ඔවුන්ව හරියට ම දැක ගත හැක්කේ. 

ඩෙස්මන්ඩ් මොරිස්ගේ 'නිරුවත් වානරයා'

මෙච්චර වෙලාවක් මා දැක්වූයේ මගේ අදහස් නො‍වෙයි. ඩෙස්මන්ඩ් මොරිස් නම් ලෝක ප්‍රකට සත්ව විද්‍යාඥයා සතුන් ගැන දැක් වූ අදහස්. සතුන් ගැන මිනිසුන් ගැන විස්මය දනවන තොරතුරු රැසක් හෙළි කළ ඔහු ඒ ගැන අපූරු පොත් රැසක් ලියා තියෙනවා. ඔහුගේ 'නිරුවත් වානරයා' (Naked Ape), 'මනුසත් උයන' (Human Zoo) එස්. එම්. බන්දුසීල විසින් සිංහලට නගා තියෙනවා. සත්ව චර්යාවන් ගැන ඔහු සිත් ගන්නා අයුරින් ඒ පොත් තුළින් කරුණු දක්වා තියෙනවා. ‍ඔහු 'ඇනිමල් සූ' කියා ජනප්‍රිය ටෙලිවිෂන් වැඩසටහන් පෙළක් ද ඉදිරිපත් කළා. 

ඩෙස්මන්ඩ් මොරිස් 1928 ජනවාරි 24 වැනිදා උපන්නේ එක්සත් රාජධානියේ පර්ටන්වලයි. දැන් 94 වියේ පසුවන ඔහු මෑතක් වනතුරු ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ්වලයි, ජීවත් වූයේ. බිරිඳ මියගිය පසු අයර්ලන්තයේ වාසය කරන පුතා ළඟට ගිය ඔහු දැන් වාසය කරන්නේ කිල්ඩෙයාර්වලයි. 

ඔබ දන්නා ප්‍රකට සතුන් ගැන ඔහු කියා දෙන ඔබ නොදන්නා තොරතුරු ඉදිරියේ දී 'මල් කැකුළු' තුළින් ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments