HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

භාරතයේ ගීත කෝකිලාව, ලතා මංගේෂ්කාර් ඇගේ වියෝගීය ගයයි!

භාරතයේ ගීත කෝකිලාව, සිනමාවේ රිදී සීනුව, සංගීත ලොවේ ගායක රැජින 2022 පෙබරවාරි 6 වැනිදා මුම්බායි බ්‍රීච් කැන්ඩි රෝහලේ දී නිහඬ වුණා. ඇය කොවිඩ් -19 වැළඳී රෝහල් ගත කළේ පසුගිය ජනවාරි 8 වැනිදායි. මිය යන විට 92 හැවිරිදි වියේ පසු වුණා. පසුගිය සති කීපය තිස්සේ ම ඇය ප්‍රතිකාර ලබමින් සිටියේ ඒ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි. පසුගියදා ඇගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරුණ ද ඉන්පසු හදිසියේ ම එය වෙනස් වූ අතර ඇය අද (පෙබරවාරි 6 වැනිදා) මුළු භාරතයම පමණක් නොව මුළු ලොව සෝ සයුරක ගිල්වමින් සිය වියෝ ගීය ගැයුවා. 


"ලතාඩිඩිගේ වියෝවීම අසා මම කම්පාවට පත් වූ තරම වචනවලින් විස්තර කරන්නට බැහැ. අපට ආදරය කරුණාව දුන් ලතාඩිඩි අපේ ජාතිය තුළ ඉතිරි කර ගිය හිඩස පිරවිය නොහැකියි. ඉන්දියානු සංස්කෘතියේ මහා තාරකාව ලෙස පරම්පරා ගණනාවක් තිස්සේ ඇය බුහුමන් ලබනු ඇත. ජනතාව මෝහනයට පත් කළ හැකි ඇගේ අසම සම මධුර මනෝහර හඬ කිසිදා මැකී නොයනු ඇත." ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ටීවිටර් පණිවිඩයෙන් කියා සිටියා. 

ඇය වෙනුවෙන් ශෝකය පළ කරන්නට සිටි, ඇගේ ආදරය දිනූ බොහොම දෙනෙක් මේ වන විට ඇයටත් කලින් මෙලොව හැර ගොසිනි. ඇය 25,000ත් 30,000ත් අතර ගී ප්‍රමාණයක් දශක හතකට වැඩි ඇගේ ගායන ජීවිත කාලය තුළ ගයා ඇතැයි පැවසෙනවා. ඇය වෙනුවෙන් ඉන්දීය රජය දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශ කර තියෙනවා. ඇගේ අවසන් කටයුතු මුම්බායි හී ශිවාජි උද්‍යානයේ දී සවස 6.30ට රාජ්‍ය ‍ගෞරව සහිත සිදු කිරීමට නියමිතයි. 

ඇගේ 92 වැනි උපන්දිනය වෙනුවෙන් 2021 ඔක්තෝබර් 4 වැනිදා 'මල් කැකුළු' වල මා විශේෂ ලිපියක් පළ කළා. ඒ ලිපිය මා ආරම්භ කළේ මෙහෙමයි. 

ඇය භාරතයේ ගීත කෝකිලාවයි. ලෝක ගායන ලෝකයේ රැජිනයි. මෙතෙක් ලොව වැඩි ම ගීත ගණනාවක් පටිගත කළ ගායිකාවයි. ලොව භාෂා වැඩි ම ගණනකින් ගී ගැයූ අසහාය ගායිකාවයි. ඒ එක භාෂාවක් සිංහල වීම අපට විශේෂයි. දශක අටක් තිස්සේ එක සේ ගී ගැයූ ‘සදාහරිත’ ගායිකාව ඇයයි. ඉන්දියාවේ විශ්ව විද්‍යාල හතරකින් ආචාර්ය උපාධි හතරකින් පිදුම් ලැබූ එකම කාන්තාව ද ඇයයි. ප්‍රංශ රජය එරට පිරිනමන ‘ලීජන් ඔ‍ෆ් ඔනර්’ නම් ඉහළ ම සම්මානයෙන් ඇයට ගෞරව කළා. ඉන්දියාව ද එරට ඉහළ ම සම්මානය වූ ‘භාරත රත්න’ සම්මානයෙන් පිදුවා. 

ඇය උපන්නේ ඉන්දියාවේ ඉන්දෝර්වලදී 1929 සැප්තැම්බර් 28 වැනිදායි. උපතින් ‘හේමා’ වූ ඇගේ නම පසුව ‘ලතා’ යනුවෙන් වෙනස් කෙරුණේ ඇගේ පියාගේ ජනප්‍රිය නාට්‍යයක් වූ ‘බාව් බන්ධාන්’හී ප්‍රධාන කාන්තා චරිතය වූ ‘ලතිකා’ නිසයි. වේදිකා නාට්‍යකරුවකු, නළුවකු, ගායකයකු වූ ඇගේ පියා, දීනානාත්, ගෝවේ මංගේෂි නගරයේ උපන් අයකු වූ නිසා ඒ අනන්‍යතාව තබා ගැනීමේ අදහසින් ඔහු උපන් ගම ඇසුරෙන් වාසගම ‘මංගේෂ්කාර්’ කියා හදා ගත්තා. ඒ අනුව ඇය ලතා මංගේෂ්කාර් වුණා. 

පසුව ලතාගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මරණයට පත් වන විට ලතාගේ වයස අවුරුදු 13ක් වූ අතර මුළු පවුලේ බර කරට ගැනීමට ඇයට සිදු වුණා. පවුලේ වැඩිමලා වූ ඇයට මීනා, ආෂා, උෂා හා හෘදයනාත් කියා බාල ‍සහෝදර සහෝදරියන් හතර දෙනකුගේ බර ද ඇගේ කරට වැටුණා. පියාගේ හිතවතකු වූ මාස්ටර් විනයාක් ඔහුගේ චිත්‍රපටවලට ගායිකාවක හා රංගන ශිල්පිනියක ලෙස බඳවා ගත්තා. 1945 දී ඔහුගේ චිත්‍රපට සමාගම මුම්බායට ගෙන එද්දී ලතාටත් එහි ඒමට සිදු වුණා. එහිදී එකල ප්‍රකටව සිටි ප්‍රශස්ත ගායකයන් වූ උස්තාද් අමාන් අලි ඛාන් සාහිබ් සහ අමනාත් ඛාන් යන දෙදෙනාගෙන් හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය හා ගායනය පිළිබඳ පුහුණුවක් ලැබීමට ඇයට හැකි වුණා. 

ඇය මුලින් ම චිත්‍රපට ගීයක් ගැයුවේ 1942 දී මරාති චිත්‍රපටයකටයි. ඒ වසන්ත ‍ජොග්ල්කාර්ගේ ‘කිටී හසාල්’ නම් වුණා. ඒත් ඒ ගීය ඇතුළත් කොටස සංස්කරණයේ දී ඉවත් කෙරුණා. ඉන්පසු ඇය හින්දි ගීයක් ගැයූවේ ‘ගජබාහු’ (Gajaabaahu -1943) නම් තවත් මාරාති චිත්‍රපටයකටයි. ඇයගේ ජනප්‍රිය වූ ප්‍රථම හින්දි ගීතය, ගුලාම් හයිඩර් සංගීතවත් කළ ‘මජ්බූර් (Majboor - 1948) චිත්‍රපටයට ඇතුළත් වුණා. 

ඇය පසුබිම් ගායනය කළ හින්දි චිත්‍රපට ගණන විතරක් දෙදහසකට වැඩියි. ඇය හින්දි, මරාති, උර්දු, බෙංගාලි ඇතුළු ඉන්දියානු භාෂා 36කින් ගී ගැයුවා. ඊට අමතරව සිංහලෙන් ද ගීයක් ගැයුවා. 'සැඩසුළං' චිත්‍රපටයට ඇය ඒ සිංහල ගීය ගැයූ ආකාරය පිළිබඳ පසුබිම් පුවතත් විස්මිත එකක්. ඒ විස්මිත සිදුවීමට උර දුන්නේ සුවිශේෂ පුද්ගලයන් දෙදෙනෙක්. එක් කෙනෙක් යුග ගී ගායනය අපට හඳුන්වා දුන්, අපේ ජාතික ගීයේ නිර්මාතෘ වූ ආනන්ද සමරකෝන්. අනෙක් තැනැත්තා සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රථම දෙමළ ජාතිකයා වූ ටී. සෝමසේකරන්. 

ආනන්ද සමරකෝන් ඒ කතාව එදා කීවේ මෙහෙමයි. ‘ඉන්දියාවෙදි, සෝමසේකරන් මහත්තයා ලතාජී එක්ක කතා කරලා මට කිව්වා, එයා ලවා ගායනය කරන්න බලාපොරොත්තු වන ගීය පිළිබඳ විස්තර කරන්න කියා. ඒ ගීය ටිකක් දිග එකක්. විනාඩි අටක් විතර දිගයි. මං හින්දියෙන් එතුමියට කතා කරලා ගීයේ අදහස, වචන, තනු‍ව ගැන විස්තර කරලා දුන්නා. එතුමියට එදා අවිවේකී දවසක්. ඒත් එතුමියව ගුවන් යානයකින් අපේ රෙකෝඩින් තිබුණු ප්‍රාන්තයට ගෙන්වා ගෙන අවසන් වූ වහා ම ආපසු යවන්න සෝමසේකරන් කටයුතු සූදානම් කරලා තිබ්බා. කෙළින් ම රෙකෝඩින්වලට ගිය ඇය හින්දියෙන් ගීය කියවා බලා වචනවල උච්චාරණය ගැන සැක ඇති තැන් මා ලවා පැහැදිලි කරවා ගත්තා. විනාඩි කීපයක් ඇතුළත ඒවා නිරවුල්ව ‍තේරුම් ගත් ඇය තමා පටිගත කිරීමට සූදානම් බව කීවා.

ඉන්පසු පුදුමය නම් විනාඩි 8ක් දිය ඒ ගීය කිසිදු වරදක් නොවී එකවර ම පටිගත කිරීමයි. ඇයගේ පටි ගත කිරීමේ දක්ෂතාව ගැන මා ඇයට ප්‍රශංසා කළා. ඊට නිහතමානී හිනාවකින් පිළිතුරු දුන් ඇය ඒ සඳහා තමාට දුන් සහය ගැන මට ස්තුති කළා විතරක් නෙමෙයි, ඒ සඳහා ගෙවන ගාස්තුව මට දෙන ලෙසට සෝමසේකරන් මහත්තයාට කීවා. ඇය විනාඩි විස්සක් විතරමයි, එතැන රැඳී සිටියේ. ඊළඟට සෝමසේකරන් මහතා ඇයව ගුවන්තොටුපළට යැව්වා. ඇත්තට මට අදත් ඒක හීනයක් වගෙයි.’ ආනන්ද සමරකෝන් පසුව ඒ අත්දැකීම ගැන ලංකාදීපයට පැවසුවේ එහෙමයි.

ලතා ජීට වසර 92ක් පිරුණු වේලේ මා ලියූ සම්පූර්ණ ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න http://www.malkakulu.com/2021/10/92.html . ඇය ගැයූ එකම සිංහල ගීයට ද එහිදී ඔබට සවන් දෙන්න පුලුවන්. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments