HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එදා ගෝඨාභයගේ රබර්-සහල් ගිවිසුමෙන් මෙදා ගෝඨාභය ගොඩ යයිද?

ඈත ඉතිහාසයේ දී චීනය සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කළ බවට ‌‌සඳහන් වෙතත් ඉංගිරිසින්ගේ යටත් විජිතයක් වූ පසු ඒ සබඳතා නැති වී ගියා. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඒ් තත්වය වෙනස් වුණා. 1952 දී චීනය සමඟ වසර පහකට ඇති කරගත් චීන රබර්-සහල් ගිවිසුම තමයි, අප සමග යළිත් ගනුදෙනු කරන්න චීනයට මඟ පෑදුවේ. ඒ ඓතිහාසික ගිවිසුමට මේ වන විට 70 වසරක් සපි‌රෙනවා. ඒ නිමිත්තෙන් අප දැනට මුහුණ පා ඇති ආහාර අර්බූදයට සහල් ටොන් දශ ලක්ෂයක් අපට පරිත්‍යාග කරන්න චීන රජය කැමති වී තියෙනවා. ඒත් අපට ඒ වෙනුවට රබර් දෙන්න ක්‍රමයක් දැන් නම් නැහැ. මොකද දැන් අපිත් රබර් ගෙන්නන්නෙ පිටරටින්. ඒකත් කෘත්‍රිම රබර්. 

එදා අපේ කුඹුරුවල වගා කෙරුණේ ජනගහනයෙන් තුනෙන් එකකට සරිලන සහල් ප්‍රමාණයක් විතරයි. ඒ නිසා අඩු ප්‍රමාණය පිටරටින් ගෙනවුත් දීමට එවකට පැවති රජය ක්‍රියා කළා. ඒ කාලේ අපට හාල් කූපන් පොතක් රජයෙන් දීලා තිබුණා. ඒ මගින් කූපන් කපා ගෙන සමුපකාර මගින් හා බලය ලත් වෙ‍ෙළඳුන් මගින් සතියකට එක් අයකුට හාල් සේරු දෙක බැගින් දුන්නා. 'මිල්චාඩ්' හා 'සුදු හාල්' යන නම්වලින් හැඳින්වුණු ඒ සහල් වර්ග දෙක තමයි, කූපන් පොතෙන් සහල් ලබාගත් අයට බඩ පුරවා ගන්නට ලැබුණේ. ඒවා ගෙනාවේ තායිලන්තය, බුරුමය චීනය වගේ රටවලින් තමයි. 

චීන - ලංකා රබර් සහල් ගිවිසුම 
සිහිපත් කරමින් නිකුත් කර මුද්දරයක්

ඒ කාලේ මහවැලි වැනි වැඩ සටහන් ආරම්භ කර තිබුණේ නැති නිසා අපේ පාරම්පරික වගා බිම්වල සාම්ප්‍රදායික වී වර්ග තමයි වගා කෙරුණේ. ඒ සාම්ප්‍රදායික වීවල අස්වැන්න කොහොමත් අඩුයි. ඒ කාලේ අපේ කුඹුරුවලින් වී අස්වැන්න වශයෙන් ලැබුණේ අක්කරයකින් බුසල් 13ක් පමණක් බව එකල පළ වූ කෘෂිකාර්මික සඟරාවල පළ වී තිබුණා. අදත් ඒ සාම්ප්‍රදායික වීවලින් අස්වැන්න මොන පොහො

වර්තමාන ගොවීන් කුමන පොහොර වර්ගය දැම්මත් වර්තමානයේ අප භාවිත කරන වී වර්ගවලින් තුන් හතර ගුණයක අස්වැන්නක් ලබා ගන්නවා. එයට හේතුව අපේ කෘෂි විශේෂඥයන් විසින් පසුගිය කාලේ සංවර්ධනය කළ නව ප්‍රහේදයි. ඒවායේ පැළ ගොයම, බණ්ඩිය, කරල ආදී ඒ හැම එකකට ම විවිධ අවස්ථාවල යෙදිය යුතු පොහොර වර්ගත් පර්යේෂණය කර නිපදවනු ලැබුවා. ගොයමට හානි කර වන වල්පැළෑටිවලටත්, විවිධ කෘමීන් සඳහාත් පළිබෝධ නාශක හඳුන්වා දුන්නා. මෙය එක රැයෙන් කළ දේවල් නොවේ. වසර ගණනාවක් තිස්සේ සැලැසුමක් ඇතිව කළ දේවල්. අපේ රටේ ජනතාවට කෑමට ප්‍රමාණවත් සහල් තොග දැන් අප සතුව ඇතැයි රජයේ මැති ඇමතිවරුන් උදම් ඇනුවා. 

තත්වය මෙසේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක රැයෙන්, එක කන්නයෙන් ම, රසායනික පොහොර හා පළිබෝධ නාශක භාවිතය තහනම් කොට ඒවා ගෙන්වීම නවතා දැමුවා. එතුමාට කවුරුන් හෝ වැරදි මතයක් දී තියෙනවා, වකුගඩු රෝග හැදෙන්නේ මේ රසායනික භාවිතය නිසයි කියා. එවැනි විද්‍යාත්මක මතයක් ලෝකයේ කිසිම තැනක නැහැ. අනිත් අතට ලෝකයේ ජනගහනය වැඩි වීම නිසයි අඩු බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්නයි, නව බීජ ප්‍රහේද හා රසායනික පොහොර හා පළිබෝධ නාශක හඳුන්වා දුන්නේ. විද්‍යාත්මක චින්තනයක් සහිත පාලකයන් හා උපදේශකයන් සිටින ලෝකයේ දියුණු රටවල කිසි විටෙක මෙවැනි පියවරක් ගන්නේ නැහැ. කාබනික පොහොර යොදා වගා කිරීම ඒ රටවල සිදු කෙරෙන්නේ ඉතාමත් සුළු වශයෙන්. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට පහකටත් අඩුයි. සියයට 75ක් පමණ කෘෂිකර්ම‍ය ජීවිකාව කර ගත් ගොවීන් නො විමසා ඔවුන්ගේ ජීවිතවලට බලපාන එවැනි තීරණයක් ගත්ත එක වැරදියි. හරි නම් මෙවැනි තීරණයක් ගන්න පෙර ජනමත විචාරණයක් තියන්න ඕනෑ. 

ගෝඨාභය සේනානායක මහතා 1952 දී චීනය සමග චීන - ලංකා රබර් සහල් 
ගිවිසුම අත්සන්  කළ අවස්ථාව.

තාමත් එතුමා වෙනස් වෙන්න සූදානම් නැති බවයි පෙනේනේ. එතුමා කියන්නේ, 'මට කාවවත් සතුටු කරන්න ඕනෑ නෑ. මට හරි දේ කරන්නයි ඕනෑ.' කියලයි. හරි දේ කළොත් කවුරුත් සතුටු වේවි. ඒත් හරි දේ සාපේක්ෂයි. තමන්ට 'හරි' දේ ලක්ෂ ගණනකට වැරදි නම් ඒක 'හරි' වෙන්නේ කොහොමද? 

අද අපට අද විදේශ ගනුදෙනු කරන්න ඩොලර් හිඟයක් තියෙනවා. ඒ නිසා යම් යම් ආනයන සීමා පනවා තියෙනවා. අපට අපේ රට ඇතුළේ නිපදව‍ෙන හා නිපදවිය හැකි දේ විදේශ වලින් මුදල් දී ගෙන්වා ගැනීමට සීමා පැනවීම හොඳ දෙයක්. අපට අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වා ඒවායින් කරන නිෂ්පාදන පිටරට යවා රට සල්ලි නිපදවිය හැකි ඒවාට අවශ්‍ය ඩොලර් ලබා දීම අවශ්‍යයි. අපෙන් පිටරට යැවෙන අමු ද්‍රව්‍ය එසේ නො යවා අගය එකතු කර වැඩි ආදායමක් ලැබිය හැකි නම් ඒ කර්මාන්ත දිරිමත් කළ යුතු වෙනවා. 

මේ වගේ තත්වයක් 1952 දිත් ඇති වුණා. විදෙස් රටවලින් බඩු ගෙන්වන්න අවශ්‍ය ඩොලර් හිඟයක් ඇති වුණා. ඒත් එය අද මෙන් බිලියන ගණන් වලින් නොව මිලියනවලින්. ඒ නිසා ඒ වසර එතරම් සුබ එකක් වුණේ නැහැ. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී. ඇස් සේනානායක මහතා මාර්තු 22 දා අසු පිටින් වැටී මිය ගියා. ඊළඟට එතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා දෙවැනි අගමැති ලෙසින් දිවුරුම් දුන්නා. එතුමන් ඊට පෙර දරමින් සිටියේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධූරයයි. 

ඒ දවස්වල බුරුමය, තායිලන්තය වැනි රටවල සැපයුම්කරුවන් සතුව ප්‍රමාණවත් තොග නොතිබීම නිසා ඇමෙරිකාවෙන් හා එක්වදෝරයෙන් වැඩි මිලට හෝ හාල් ගෙන්විමට විමසීම කළ ද ඒ හාල අපේ රටේ ජනයාට රුචි නො වීම නිසාත් සම්පූර්ණ අවශ්‍යතාව සඳහා විදේශ විනිමය නොතිබීමත් හේතුවෙන් එය ඉටු වුයේ නෑ. අපේ විදේශ විනිමය අඩු වූයේ බටහිර රටවල් මිල දී ගන්නා තේ, පොල්, රබර් ආදියට ගෙවූ මිල ගණන් ඒ කාලයේ විශාල ලෙස අඩු වීම නිසයි. 

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබා ගැනීමට ඉල්ලුම් කළ ද ලැබුණේ නැත. සියයට 23කින් අඩු වූ රබර් මිල වැඩි කර ගැනීමට කළ උත්සාහයද ව්‍යර්ථ වුණා. මේ අවස්ථාවේ දී එවකට සිටි වෙළඳ හා වාණිජ ඇමති ආර්. (රිචඩ්) ජී. (ගෝඨාභය) සේනානායක මහතා අලුත් යෝජනාවක් ගෙනාවා. චීනයට රබර් යැවීම තහනම් කරමින් එක්සත් ජාතීන් විසින් මැලේසියාවට පනවා තිබූ තහංචිය නිසා චීනයට රබර් හිඟයක් ඇති වන බැවින් අපේ රබර් දී ඔවුන්ගෙන් සහල් ලබා ගැනීමට ඔහු යෝජනා කළා. ඒ අදහසට අමාත්‍ය මණ්ඩලයේ වැඩි දෙනෙකු විරුද්ධ වුණා. කොමියුනිස්ට් රටක් සමඟ ගනුදෙනු කිරීමට යාම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අමනාප වීමට ඉඩ ඇතැයි යන්න ඔවුන්ගේ තර්කය වුණා. එවකට මුදල් ඇමතිව සිටි ඇමරිකාවට පක්ෂපාත ජේ. (ජූනියස්) ආර්. (රිඩඩ්) ජයවර්ධන මහතාත්, අලුත පිහිටවූ මහ බැකුවේ අධිපතිවරයාත් තදින් ම විරුද්ධ වුණා. ඩඩ්ලි සේනානායක අග්‍රාමත්‍යවරයා කුමන ප්‍රශ්න ආවත් ජනතාවට ලැබෙන බත් පත ගැන සිතා ගෝඨාභය සේනානායක මහතාගේ යෝජනාවට සහය දුන්නා. 

1952 අත්සන් කළ චීන - ලංකා රබර් සහල් ගිවිසුම නම් වූ ඒ ගිවිසුම අත්සන් කළේ වසර පහකටයි. අවශ්‍ය වුණොත් කොන්දේසි වෙනස් කරමින් ගිවිසුම අලුත් කළ හැකියි. තත්ව සමාලෝචනය කරමින් හුවමාරු කර ගන්නා භාණ්ඩ ප්‍රමාණයන් තීරණය දෙරටේ ම එකඟත්වය මත සිදුවෙනවා. ඒ අනුව 1953 දී අපට සහල් ටොන් 2,70,000ක් ලැබුණු අතර අපෙන් රබර් ටොන් 50,000ක් චීනයට යවනු ලැබුවා. ගෝඨාභය සේනානායක මහතාගෙන් පසුව ඒ පදවියට පත් අමාත්‍යවරුන් පක්ෂ බේදවලින් තොරව 1958, 1962, 1972 සහ 1977 යන අවුරුදුවල මේ ගිවිසුම අලුත් කිරීමට කටයුතු කිරීම තුළින් පෙනී යන්නේ ඒ ගිවිසුමේ සාර්ථකත්වයි. මෙතෙක් ශ්‍රී ලංකාව අත්සන් ගිවිසුම් අතරින් වඩාත් සාර්ථක ගිවිසුමක් ලෙස බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ ඒ නිසයි. 

දේශීය සහල් අභිජනනයට පිහිටුවා තිබුණු පර්යේෂණායතනයන් හී සේවය කළ අපේ විද්‍යාඥයන් වැඩි අස්වනු ලබා දෙන නව වී ප්‍රභේද බිහි කිරීම නිසා අපේ අස්වනුවල විශාල වශයෙන් ඉහළ යාමත් මහවැලි ව්‍යාපාරය වැනි දැවැන්ත කෘෂි ව්‍යාපෘති බිහිවීමත් නිසා 1982 න් පසුව ගිවිසුම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුණේ නැහැ.

මේ ඓතිහාසික ගිවිසුමට මුල් වූ රිචඩ් ගෝඨාභය සේනානායක මහතා නිදහස් සටනේ පුරෝගාමියකු වූ ඇෆ්. ආර්. සේනානායකගේ (ඩී. ඇස්. ගේ අයියා) වැඩිමල් පුතායි. තවත් විදියකින් කීවොත් ඩඩ්ලිගේ මහප්පාගේ පුතායි. 

රිචඩ් යන්නට කෙටි යෙදුම 'ඩිකී' යන්නයි. ඒ නිසා ඇමරිකාවට පක්ෂපාත වූ නිසා ජේ. ආර්.ට 'යැංකි ඩිකී' කියූ අතර චීන ගිවිසුම නිසා ආර්. ජී. 'චීන ඩිකී' වුණා. ඔවුන් දෙදෙනා අතර ඇති වූ දේශපාලන අරෝව අවසන් වූයේ ඊළඟට එළඹි මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණෙන් දඹදෙණියට තරඟ වැදුණු 'චීන ඩිකී' ඒ අතර ම 'යැංකි ඩිකී' තරඟ කළ කැලණියට ද තරඟ කරමින් ආසන දෙකම දිනා ගැනීමයි. ඒ වතාවේ එක්සත් පක්ෂය අටට බැස්සා. ජේ. ආර්. එදා පැරදුණත් ඉන් වසර 20කට පසු 1977දී ජනාධිපති ධුරයට තේරී පත් වුණා පමණක් නොව හයෙන් පහක ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් ද ලබා ගත්තා. 

එදා ගෝඨාභය සේනානායක මහතා සමග ඇති කර ගත් චීන - ලංකා රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම සිහිපත් කරන චීනය අපට ඉදිරියට අවශ්‍ය සහල් ලබා දී කැමැත්ත පළ කර තිබීම ගැන අප සතුටු වියයුතුයි. 1952 දී ලෝක බලවතුන් චීනයට එරෙහිව යද්දී එදා ගෝඨාභයගේ රබර්-සහල් ගිවිසුමෙන් පුංචි ලංකාව පෙන්වූ හොඳහිතට ප්‍රතිචාරයක් ලෙස සහල් පරිත්‍යාග කරන්න චීනය ඉදිරිපත් වීම ඉදිරියේ එතැයි සැලකෙන ආහාර අර්බූදයෙන් ගොඩ යන්නට මෙදා ගෝඨාභයට උපකාරයක් වේවිද? 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments