HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පරිවාර චන්ද්‍රයක් තුනක් ඇති ග්‍රහකයක් සොයා ගනියි!

 චන්ද්‍රයන් තුන් දෙනෙකු ඉන්නා ග්‍රහකයක් සොයා ගෙන තියෙනවා. සැතැපුම් 160ක් පළල ඉලෙක්ට්‍රා 130 (Elektra- 130) නමින් හැඳින්වෙන මේ ග්‍රහකය වටේ චන්ද්‍රයන් තුන් දෙනෙකු සිටීම මීට කලින් හමු වූ දෙයක් නොවෙයි. නව සෙයා ගැනීමක්! බ්‍රහස්පතී හා අඟහරු අතර ඇති ග්‍රහක වළල්ලේ පිහිටි මේ ඉලෙක්ට්‍රා ග්‍රහකය මුලින් ම සොයා ගත්තේ 1873දියි. ග්‍රහ වස්තූන් හතරක් ඒකට පිහිටි පද්ධතියක් සොයා ගත පළමු වන වතාව මෙයයි. 

ඉලෙක්ට්‍රා 130 (Elektra- 130) නමින් හැඳින්වෙන මේ ග්‍රහකය 
වටේ චන්ද්‍රයන් තුන් දෙනෙකු සිටීම පළමුවරට කළ සොයා ගැනීමක්.

ග්‍රහකයන් වටා භ්‍රමණය වන චන්ද්‍රයන් සිටීම අරුමයක් නෙවෙයි. දැනට සොයා ගෙන ඇති ග්‍රහක වළල්ලේ ඇති ලක්ෂ 11ක් පමණ වන ග්‍රහකවලින් 150කට වත් අඩු තරමින් එක චන්ද්‍රයකු හෝ ඇතැයි විශ්වාස කෙරෙනවා. ඒත් ඒවා දැක ගැනීම ඉතාමත් අසීරු දෙයක්. 

1973 දී බ්‍රහස්පතී හා අඟහරු අතර ඇතැයි සොයා ගත් ඉලෙක්ට්‍රා ග්‍රහකයට අයත් පළමු චන්ද්‍රයා සොයා ගත්තේ වසර 130කට පසුවයි. දෙවැනි චන්ද්‍රයා සොයා ගත්තේ 2014දියි. මේවා දැක ගැනීමට ඇති අපහසුව වන්නේ ඒවායේ දීප්තිය අඩුකමයි. 

මේ චන්ද්‍රයන්ට නම් තබා නැහැ. ඇත්තේ හඳුනා ගැනීමේ ඇංක විතරයි. ඒවා නම් S/2003 (130) 1, S/2014 (130) 1 and S/2014 (130) 2.  මේ ඉලෙක්ට්‍රා ග්‍රහකය සොයා ගත්තේ 1873 දී ඇමෙරිකාවේ නිව්යෝක්හි ලිච්ෆීල්ඩ් ග්‍රහ නිරීක්ෂණාගාරයේ ක්‍රිස්ටියන් පීටර්ස් තාරකා විද්‍යාඥයා විසිනුයි. ඉලෙක්ට්‍රා කියන්නේ ග්‍රීක මිථ්‍යාවල එන 'පළිගන්නා' යන අරුත දෙන වචනයක්. 

මේ ඉලෙක්ට්‍රා ග්‍රහකය වටා චන්ද්‍රයන් 
පිහිටා ඇති අන්දම සිත්තරකු දුටු හැටි.

මේ නව සොයා ගැනීම කර ඇත්තේ තායිලන්තයේ ජාතික තාරකා විද්‍යා පර්යේෂණ ආයතනයේ ඇන්තනි බර්ඩෝ (Anthony Berdeu) ප්‍රමුඛ තාරකා විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් කියන්නේ "මෙය චතුශ් පද්ධතියක් හමු වූ පළමුවන අවස්ථාව බව"යි. 

මේ පද්ධතියේ පළමු වන චන්ද්‍රයා කි.මී. 6ක් (සැ. 3.7ක්) පළලයි. එය ඉලෙක්ට්‍රා වටා යන්නේ කි.මී. 1,300ක (සැ.807ක) කක්ෂ දුරකින්. දෙවැනි චන්ද්‍රයා කි.මී. 2ක් (සැ. 1.24ක්) පළලයි. එය ඉලෙක්ට්‍රා වටා යන්නේ කි.මී. 500ක (සැ.310ක) කක්ෂ ඉලෙක්ට්‍රාට වඩා දුරකින්. මෙවර අලුතින් සොයා ගෙන ඇති තුන්වැනි චන්ද්‍රයා ඒ අතරින් කුඩා ම එකයි. කි.මී. 1ක් (සැ. 1.6ක්) පළල එය ඉලෙක්ට්‍රා වටා යන්නේ සෑම පැය 16.3කට වරක්, කි.මී. 340ක (සැ.211ක) කක්ෂ දුරකින්. එහි දීප්තිය ඉලෙක්ට්‍රා ග්‍රහකයට වඩා 15,000 ගුණයකින් අඩුයි. මේ නව චන්ද්‍රයා සොයා ගන්නට ඒ තාරාකා විද්‍යාඥයන් භාවිත කළේ දෙවැනි චන්ද්‍රයා සොයා ගන්න යොදා ගත් දත්ත සමුදායමයි. 

මේ චන්ද්‍රයන්ට නම් තබා නැහැ. ඇත්තේ හඳුනා ගැනීමේ අංක විතරයි. 
ඒවා නම් S/2003 (130) 1, S/2014 (130) 1 and S/2014 (130) 2

මේ තාරාකා විද්‍යාඥයන් කණ්ඩායම මේ සොයා ගැනීම කළේ චිලි රාජ්‍යයේ ස්ථාපිත කර ඇති යුරෝපීය දකුණු තාරකා නිරීක්ෂණාගාරයෙන් ලබා ගත් දත්තවලින්. ඒ දත්ත අලුත් සකසා ගත් දත්ත සමුදායක් හරහා යවමින්, එහි ඇති අනවශ්‍ය ශබ්ද කපා හරිමින් ප්‍රධාන ග්‍රහකයේ අති දීප්තිය අඩු කරමින් පිරික්සන විටයි, මේ තුන්වැනි චන්ද්‍රයා මතු වූයේ. මේ නව ක්‍රමවේදය යොදා ගෙන අනාගතයේදිත් මෙවැනි අඩු දීප්තියෙන් යුත් ග්‍රහ වස්තූන් හඳුනා ගැනීමට හැකි වේවි යැයි ඔවුන් විශ්වාස කරනවා. මේක තාරකා විද්‍යාව අතින් තැබූ විශාල ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකියි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments