HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සඳ මත ඇවිදින්නට යන ඇමෙරිකන් 'සඳවතිය' කවරෙක්ද ?

 

ඉදිරි වසර දෙක තුන ඇතුළත ඇමෙරිකාව යළිත් සඳට යෑමට සූදානම් වෙනවා. මෙවර ඇමෙරිකාව සැරසෙන්නේ කාන්තාවක් සඳ මතට ගෙන යාමටයි. දැන් අපට දැන ගන්නට ඇත්තේ සඳ වෙතට යන සඳවතිය කවුරුන්ද යන්නයි. ඒත් තවම ඒ ගැන තීරණයක් ගෙන නැහැ. 

සඳ වෙතට යන සඳවතිය කවුරුන්ද

දැනට මේ සඳහා වැඩිදුර පුහුණු වෙමින් සිටින අජටාකාශගාමීන් 18 දෙනාගෙන් නව දෙනෙක් කාන්තාවන්. ඒ නව දෙනා නම්, කේට් රූබින්ස්, ක්‍රිස්ටිනා කෝච්, ජෙසිකා මෙයර්, ඈන් මැක්ලේන්, ස්ටෙෆ්නි විල්සන්, නිකොලි මාන්, කේලා බැරන්, ජැස්මින් මොගබෙලි යන අයයි. අභ්‍යවකාශයේ අත්දැකීම් ඇති පළපුරුදු කාන්තාවන් කීප දෙනෙක් ම ඒ අතර ඉන්නවා. සඳට පය තබන මේ ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමේ දී 'සඳවතිය' වන්නේ කවුරුන්දැයි තීරණය කරන්නේ ඉදිරියේ දියි. නාසා ආයතනය මෙම චන්ද්‍ර මෙහෙයුම නම් කර ඇත්තේ 'ආටිමීස්' කියායි. 

මීට වසර 50කට පෙර නාසා ආයතනය පළමුවරට ගගනගාමීන් සඳට යැවීම කළේ 'ඇපලෝ' මෙහෙයුම යටතේයි. ග්‍රීක දේව පුරාණයට අනුව, ඇපලෝ යනු සූර්යයාට අධිපති දෙවියායි. 'ආටිමීස්' යනු ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරියයි. ඇය දඩයමට අධිපති දෙවඟනයි. 

චන්ද්‍රයා සම්බන්ධ කර ගනිමින් 'ආටිමීස්' යනුවෙන් නාසා මෙහෙයුමක් නම් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. අද වන විට සඳුගේ කක්ෂයට වී, සඳ ගවේෂණයේ යෙදෙන රොබෝ ගවේෂණ යානා දෙකක් ද 'ආටිමීස්' ලෙස නම් කරනු ලැබුවා. ඒ, සඳ සහ හිරු අතරේ ඇති සම්බන්ධය කෙබඳුදැයි සොයා බැලීමේ අරමුණින්. ඒ රොබෝ යානා නාසා විද්‍යාඥයන්ට සඳ සම්බන්ධ ඉතා වටිනා තොරතුරු ලබා දීම සිදු කරන්නේ 2011 සිටයි. එපමණක් නොව, 2024 'ආටිමීස්' මෙහෙයුම යටතේ යළි සඳට යෑම සිදුවනු ඇත්තේ ද මෙම රොබෝ යානාවලින් ලබා ගන්නා දත්ත අනුවයි. 

ආටීමීස් වැඩ පිළිවෙළට යොදා ගන්නා රොකට්ටුව

2024 මෙහෙයුම 'ආටිමීස්' යනුවෙන් නම් කර ඇති බැවින්, සඳුගේ කක්ෂයට යැවුණු 'ආටිමීස්' රොබෝ යානාවල නම ‘තේමිස් ආටිමීස්' යනුවෙන් වෙනස් කිරීමට නාසා බලධාරීන් කටයුතු කර තියෙනවා. 

ඇමෙරිකාවේ නාසා ආයතනය මෙවර යළිත් වරක් සඳ තරණයට සැරසෙන්නේ 1972 වසරේ ‘ඇපලෝ’ සඳ ගවේෂණ මෙහෙයුම් අවසන් වීමෙන් පසු පළමු වතාවටයි. ඒ අනුව පළමු වරට සඳට පය තබන එම තැනැත්තිය ‘සඳට පා තබන පළමු කාන්තාව’ ලෙස ඉතිහාසයට එක් වේවි. පසුගිය 40 වසර පුරාම උඩුගුවනට ගිය නාසා ගගනගාමීන් පැලඳ ගෙන ගියේ, කළ විශේෂිත ඇඳුම් කට්ටලයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ සුළු වෙනස්කම් කළත්, නව ඇඳුම් කට්ටලයක් නිර්මාණයක් කෙරුණේ නැහැ. පසුගියදා නාසා ආයතනය කීවේ 2024 ආටිමීස් චන්ද්‍ර මෙහෙයුමට නව ගගන ඇඳුම් දෙකක් නිර්මාණය කළ බවයි. 

ස්ටෙෆ්නි විල්සන්


‘ආටිමීස්’ මෙහෙයුම සඳහා ගගනගාමීන් පලඳින එම නව ගගන ඇඳුම් හඳුන්වාදීම වොෂින්ටන් අගනුවර නාසා මූලස්ථානයේදී සිදුවුණා. නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඩෙන්ස්ටීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ දැක්මට නාසා විද්‍යාඥයන් මෙම නව ගගන ඇඳුමින් සැරසී මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටියේ විලාසිතා දැක්මකට එක්වුණු නිරූපණ ශිල්පීන් පිරිසක් වගෙයි. ඔවුන් බිම දිගා වෙමින්, උස් පහත් වෙමින්, විවිධ ඉරියව්වලින් ඇඳුම් ප්‍රදර්ශනය කරන්න වූයේ රැස්ව සිටි පිරිසට අපූරු අත්දැකීමක් ලබා දෙමිනුයි. ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන්, නාසා ආයතනයේ නිලධාරීන්, මාධ්‍යවේදී ඇතුළු බොහෝ පිරිසක් ඒ අවස්ථාවට එක් වී සිටියා. 

නාසා ආයතනයේ ගගන ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධානියා ක්‍රිස් හැන්සන් සහ ගගනගාමීන්ගේ ඇඳුම් සැලැසුම් කිරීම සහ නිර්මාණ කිරීමේ ප්‍රධාන ඉන්ජිනේරුවරිය වන එමී රොස් මෙම අවස්ථාවට එක්ව සිටියා. "වසර 40කින් අප නාසා ගගනගාමීන්ට ඇඳුමක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙයයි. ඔබට මේ දකින්න ලැබෙන්නේ නව තාක්ෂණයෙන් නව අමුද්‍රව්‍යවලින් අභ්‍යවකාශයේ පීඩනයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කළ ගගන ඇඳුම් කට්ටල"යි ක්‍රිස් හැන්සන් මාධ්‍යවේදීන්ට පැහැදිලි කළා. 

ජෙසිකා මෙයර් හා ක්‍රිස්ටිනා කෝච් පුහුණුවන අතරතුර


එයට අලුතින් නිර්මාණය කළ ඇඳුම් කට්ටල දෙකක් ඇතුළත් වුණා. තැඹිලි පැහැගත් ඇඳුම් කට්ටලය ගගනගාමීන් පලඳිනු ඇත්තේ කැප්සියුලය තුළ සිටිද්දීයි. සඳ මතට පය තබද්දී සහ ගගන සක්මන්වල නියැළීමේදී, ස්තර කීපයකින් යුතුව නිර්මාණය කළ, තරමක් විශාල, සුදු පැහැති ගගන ඇඳුම භාවිතයට ගනු ඇති. "කලින් භාවිත කළ ගගන ඇඳුම් වගේ නොවෙයි. මේවා වෙනස්. සැහැල්ලුයි. ගගනගාමීන්ට මේවා පැලඳ සිටීම පහසුයි. ඔවුන්ට මේ ඇඳුම් පැලඳගෙන දුවන්න, පනින්න විතරක් නොවේ ඕනෑම ක්‍රියාකාරකමක් පහසුවෙන් කිරීමට පුළුවන්. අපට ඕනෑ ගගනගාමීන් විද්‍යාඥයන් ලෙස කටයුතු කරනවා දැකීමට" යැයි නාසා ආයතනයේ ගගන ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධාන ඉන්ජිනේරුවරිය එමී රොස් පැහැදිලි කළා. 

2019 වසරේ දී 1969 ඇපලෝ 11 සඳ ගමනට වසර 50ක් සැපිරුණා. පළමු සඳ ගමනට එක් වුණු ගගනගාමීන් තිදෙනාගෙන් මේ වන විට ජීවතුන් අතර සිටින එඩ්වින් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස්, ඔවුන්ගේ පවුල්වල අය ද සමඟ ධවල මන්දිරයට පැමිණ සිටියේ, විශේෂ සැමරුම් උත්සවකට සහාගි වීමටයි. නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඩෙන්ස්ටීන් ද එහි ගොස් සිටියා. 2024 දී යළිත් වරක් සඳට යා යුතුයැයි ජනාධිපති ට්‍රම්ප් එහි දී පැවැසූ අතර, ආටිමීස් මෙහෙයුම කඩිනමින් ආරම්භ කළේ යැයි ඒ අනුව යයි ජිම් බ්‍රයිඩෙන්ස්ටීන් පැවසුවා. 

ජැස්මින් මොගබෙලි පුහුණුවන අතරතු


ඇපලෝ වැඩ පිළිවෙළ යටතේ සඳට මිනිසුන් ගෙන ගියේ විශාල වියදමක් දරා තැනූ දැවැන්ත 'සැටර්න් -5' රොකට්ටුව යොදා ගෙනයි. අද එය භාවිතයට ගන්නේ නැත. දැනට මේ ආටිමීස් සඳහා වෙන විධියක වියදම් අඩු රොකට්ටුවක් නාසා ආයතනය නිපදවීමට සැලැසුම් කර ඇති අතර එය තවමත් ඇත්තේ පර්යේෂණ මට්ටමේයි. 

කෙසේ නමුත් නාසා ආයතනයේ ගගනගාමීන් යොදා ගනිමින් කෙරෙන ගගන මෙහෙයුම් භාරව කටයුතු කරන කීනෙත් බෝවර්සොක්ස් පසුගිය දා ඇමෙරිකන් කොංග්‍රස කාරක සභාවක් ඉදිරියේ කියා සිටියේ, 2024 මෙහෙයුම නියමිත පරිදි කිරීමට නොහැකි වනු ඇති බවත් එය තව වසර කීපයක් කල්ගත වනු ඇති බවත්ය. ඊට ප්‍රධාන හේතුව ගගනගාමීන් රැගත් කැප්සියුලය උඩු ගුවනට රැගෙන යෑමට සුදුසු රොකට්ටුවක් තවමත් නොතිබීමය. නාසා ආයතනය මේ වනවිට ප්‍රබල රොකට්ටුවක් නිර්මාණය කරමින් පවතී. ඒ, ‘ස්පේස් ලෝන්ච් සිස්ටම්’ ය. කෙටියෙන් ‘එස්.එල්.වී.’ ලෙස හඳුන්වයි,. මෙම රොකට්ටුව තවම පර්යේෂණ මට්ටමේ පවතී. 

කේලා බැරන් සඳ මත යන ඇඳුම් කට්ටලයෙන් සැරසී


මේ නව චන්ද්‍රගවේෂණ වැඩ පිළිවෙළ යටතේ ගගනගාමීන් රහිතව මුල්ම ආටිමීස් යානය වූ ආටිමීස් 1 යැවීමට නියමිතව ඇත්තේ 2022 මාර්තු මාසයේදියි. එහි දී භාවිත කෙරෙන්නේ ‘ස්පේස් ලෝන්ච් සිස්ටම්’ (SLS) නම් වූ නව රොකට්ටුවක්. සඳ මත දී සඳගාමීන් ගෙන යාමට නියමිත නව ඔරයන් බහුකාර්ය වාහනය (MPCV) කි.මී. 380,000ක් දුර ගෙවා සඳ කරා ගෙන යන්නේ ඒ රොකට්ටුවෙන්. 

 ඊළඟට යන ආටිමීස් 2 යානයෙන් ගගනගාමීන් සඳ වෙත ගෙන ගිය ද ඔවුන් සඳ මතට ගොඩ බසින්නේ නැත. එවර අවුරුදු 50කට පසු පළමු වතාවට මිනිසා සඳ ආසන්නයට යනවා. මීට කලින් මිනිසා අවසන් වරට හඳට ගියේ 1970 දී ඇපලෝ 17 යානයෙනි. ඉන්පසු ඇපලෝ මෙහෙයුම් නවතා දමනු ලැබුවා. 

මෙවර ප්‍රථම වරට කාන්තාවක් සඳට යවන්නට සැලසුම් කර ඇත්තේ ආටිමීස් 3 මෙහෙයුමේදියි. මේ ගමනේ දී කළු ජාතිකයකු ද යැවීමට ඇමරිකාව බලාපොරොත්තු වෙනවා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments