HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත සැත්කමක්! මිනිසකුට ඌරු හදවතක්!

ලෝකයේ පළමු වතාවට ඌරකුගේ හදවතක් මිනිසකුට සාර්ථකව බද්ධ කළ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ සැත්කම කර ඇත්තේ මේරිලන්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ශල්‍ය විශේෂඥයන් පිරිසක්. මේ ඓතිහාසික හදවත් සැත්කමට මුහුණ දී ඇත්තේ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් (David Bennett) නම් රෝගියෙක්. පැය හතක් තිස්සේ කළ මේ ඓතිහාසික සැත්කමෙන් පසු දැන් ඔහු සාර්ථකව ගෙවන හත් වන දවස අදයි. 


මේ මස මුලදී ඩේවිඩ් බෙනට් සමග ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි පී. ග්‍රිෆිත් ගත් ඡායාරූපයක්


මෙම සැත්කම සලකනු ලබන්නේ වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් පෙරළන එකක් ලෙසයි. මේ නිසා ලොව පුරා හදවත් සැත්කම් අපේක්ෂාවෙන් අවුරුදු ගණන් පෝලිම්වල සිටින රෝගීන්ට නව අපේක්ෂා ඇති කරවනවා. ඒත් මෙවැනි බද්ධයක් සිදු කිරීම සදාචාරාත්මක ද යන්න ගැන දැන් විවාදයක් මතු වී තිබෙනවා. රෝගියාගේ ආරක්ෂාව ද සත්ත්ව අයිතිවාසිකම් ද ආගමික විශ්වාසයන් ද වඩා වැදගත් වන්නේ යන්න මෙහිදී මතු වන ප්‍රශ්නයි. 

මෙය ලොව ප්‍රථම වතාවට කෙරෙන අත්හදා බැලීමේ සැත්කමක්. ඒ නිසා රෝගියාට විශාල අවදානමක් තියෙනවා. ඉතා ‍හොඳින් ගැළපෙන මිනිස් හදවතක් වුනත් බද්ධ කිරීමෙන් පසු රෝගියාගේ සිරුර විසින් බොහෝ විට ප්‍රතික්ෂේප කෙරෙනවා. ඒ නිසා සතකුගේ අවයව කොටසක් බද්ධ කිරීමේ අවදානම තවත් වැඩියි. 

බද්ධ කිරීම සඳහා සත්ත්ව කොටස් යොදා ගැනීම වෛද්‍යවරුන් විසින් දශක ගණනාවක් තිස්සේ කරනු ලබන දෙයක්. පාරක අවයව බද්ධය (xenotransplantation) කියා හැඳින්වෙන මේ සැත්කම්වලින් ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිඵලයි. 


ශල්‍ය ‍වෛද්‍ය මුහමඩ් එම්. මොහිඋද්දීන් සහ පිරිස ඒ ඌරු හදවත වෙන්කර ගෙන 
සැත්කම සඳහා ගන්නාතුරු විශේෂ යන්ත්‍රයක් තුළ තැන්පත් කළ අයුරු

1984 දී කැලිෆෝනියාවේ වෛද්‍යවරුන් පිරිසක් බැබුනයකුගේ හදවතක් බද්ධ කොට ජීවිතය ලබා දුන්නා. ඒත් ඇය ජීවත් වූ දින 21ක් පමණයි. මෙවැනි සැත්කම්වල ඇති අවදානම කිව නොහැකි තරම් විශාලයි. ඒත් වෙනත් විකල්පයක් නැති තැන රෝගියාගේ කැමැත්ත ලබා ගෙන මෙවැනි සැත්කම් කිරීම තවමත් වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබනවා. 

"සැත්කම සාර්ථක වුනත් ඒ අවසානයේ දී අවාසනාවන්ත ලෙස රෝගීන් මිය යන අවස්ථා තියෙනවා. ඒ වුනත් සැත්කමේ අවදානම නොගෙන බැහැ." යයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුලියන් සැවුලෙස්කු කියනවා. ඔහු ප්‍රායෝගික ආචාර ධර්ම විද්‍යාව පිළිබඳ අංශයේ ප්‍රධානියායි. "මේ සැත්කම් පිළිබඳව ඇති අවදානම හොඳින් හඳුනාගෙන මේ වගේ විප්ලවකාරී සැත්කම්වලට පුද්ගලයකු එකඟවීම වරදක් නොවෙයි. මෙහිදී සැත්කමට භාජනය වන තැනැත්තාට ඔහු ඉදිරියේ ඇති විකල්ප ප්‍රතිකාර ක්‍රම, එනම් යාන්ත්‍රික හදවතක් හෝ මිනිස් හදවතක් බද්ධ කිරීම වැනි දේ ගැනත් පැහැදිලි අවබෝධයක් ඔහුට ලබා දෙන්න ඕනෑ. ඒ වගේ ම සැත්කමට පෙර මිනිස් නොවන පටක දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීම අවශ්‍යය "යි ඔහු වැඩිදුරටත් කියනවා. 


විශේෂඥ ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි පී. ග්‍රිෆිත් ඇතුළු පිරිස හදවත් බද්ධය සිදු කළ අයුරු

බෙනට්ට මේ සැත්කම කළ වෛද්‍යවරුන් කියන්නේ වෙනත් කිසිම විකල්පයක් ඔහුට නොමැති නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඇති එකම විකල්පය ලෙස මේ සැත්කම කළ බවයි. 

මේ සැත්කම සැලසුම් කළ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ක්‍රිස්ටීන් ලෝ කියන්නේ ඔවුන් දශක කීපයක් තිස්සේ ප්‍රයිමේට්ස් සතුන්ට අදාළ මෙවැනි පර්යේෂණ ගණනාවක් කර ඇති බවයි. මෙය මිනිසුන් සඳහා යොදා ගත හැකි තත්ත්වයට අප ළඟා වී ඇති නිසයි, මේ සැත්කමට යොමුවුණේ. ඇය එසේ පවසා තිබුණේ බීබීසියටයි. 

සැත්කම සඳහා කෙළින් ම වැඩුණු ඌරන්ගෙන් අවයව ලබා ගන්නේ නැහැ. මිනිස් සිරුර ප්‍රතික්ෂේප නොකරන ආකාරයට ජනාමය වශයෙන් සකස් කළ ඌරන් රසායනාගාරය තුළ ඉතා පරිස්සමෙන් ඇති දැඩි කරන්න ඕනෑ. කපාට හෝ හදවත හෝ ගන්නවා නම් මිනිස් සිරුරේ ප්‍රමාණයට ඒවා වර්ධනය කර ගැනීම අවශ්‍යයි. මිනිස් සිරුරට ගැළපෙන ලෙසට ජානමය වශයෙන් සකස් කළත් මිනිස් සිරුර විසින් ඒවා ප්‍රතික්ෂේප වළක්වන ඖෂධ රෝගියා විසින් නොකඩවා ගත යුතු වෙනවා.


මේරිලන්ඩ් හි බැල්ටිමෝර් නගරයේ දී සිදු කරන ලද මේ ඓතිහාසික සැත්කම 
නිම කිරීමට පැය හතකට වැඩි කාලයක් ගත විය.

 මේ සැත්කම නිසා සත්ත්ව හිමිකම් ආරක්ෂක සංගම් විරෝධය පාන්නට පටන් ගත්තා, සත්ත්ව අවයව කොටස් මිනිසුන්ට බද්ධ කිරීම පිළිබඳව. එයින් එක් සංවිධානයක් වූ පෙටා (PETA -People for the Ethical Treatment of Animals) තදින් ම විරෝධය පළ කළා, බෙනට්ට ඌරු හදවත බද්ධ කිරීමට එරෙහිව. "සතුන් කියන්නේ බුද්ධිමත් ජීවියකු වූ මිනිසාගේ අවශ්‍යතා පිරිමහන අවයව ගබඩා නොවේ යයි" ඔවුන් කියා සිටිනවා. 

උද්ඝෝෂකයන් කියන්නේ මිනිසාට ගැළපෙන විධියට සතුන්ගේ ජාන වෙනස් කරන එක වැරදියි කියලයි. විද්‍යාඥයන් ඌරකුගේ ජන වර්ග 10ක් වෙනස් කරලා තියෙනවා, බෙනට්ගේ සිරුර ප්‍රතික්ෂේප නොකරන විධියේ හදවතක් උගෙන් ලබා ගන්නට. සැත්කම දවසේ උදේ තමයි ඒ ඌරාගෙන් හදවත ලබා ගත්තේ. එක්සත් රාජධානියේ සත්ත්ව හිමිකම් රකින සත්ත්ව ආධාර වැඩ සටහනෙහි නියෝජිතයකු කීවේ, මොනම හේතුවක් නිසාවත් අවයව බද්ධයට හෝ ජාන වෙනස් කිරීම හෝ සත්ත්ව අවයව ලබා ගැනීම හෝ නොකළ යුතු බවයි. 

"සතුන්ට ඔවුන්ගේ ජීවිත නිසි පරිදි ගත කරන්නට ඉඩ සැලසීම සත්ත්ව අයිතිවාසිකමක්. සතුන්ගේ සිරුරු වෙනස් කර ඔවුන් පීඩාවට පත් කරමින් ඉන්ද්‍රියයන් ඔවුනට ස්වභාවික නොවන ආකාරයට වර්ධනය කර බද්ධ කිරීමට ගන්න එක සම්පූර්ණයෙන් ම වැරදියි.' ඒ සංවිධානය කියනවා. .

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෛව සාරධර්ම අංශයේ ආචාර්ය කැත්රීන් ඩෙවෝල්ඩර් කියන්නේ, "ජාන වෙනස් කර අවයව තනා බද්ධ කිරීම ඒ සතුන්ට අනවශ්‍ය ලෙස පීඩා ගෙන දෙන අයුරින් ‍නොකිරීමට වග බලා ගැනීම වැදගත් වෙනවා" කියායි. ඇය තවදුරටත් කියන්නේ එසේ නම් මසට ඌරන් ඇති කිරීමත් ප්‍රශ්නයක්. ඊට වඩා මිනිස් ජීවිත බේරා ගැනීමට ඒ සතුන් යොදා ගැනීම වරදක් වෙන්නේ කොහොමද?" ඇය ප්‍රශ්න කරනවා. 

අනික් අතට ආගමික අතින් බැලුවොත් ඒ සත්ත්ව අවයව තමන්ට බද්ධ කරනවාට සමහර ආගම්වල අය අකමැති වෙන්න පුළුවන්. මෙහිදී ඌරා තෝරා ගැනීමට හේතුව උගේ හදවත ප්‍රමාණයෙන් මිනිස් හදවතට බොහෝ සේ සමාන වීමයි. අනික් අතට ඌරන් කොටු කර පහසුවෙන් ඇති කළ හැකි සතුන් විශේෂයක්. ඒ වගේ ම බෝ කිරීමත් බොහොම පහසුයි. 

ඒ සතා වෙනුවෙන් විශේෂ නීති පනවා ඇති යුදෙව් හා ඉස්ලාම් ආගම්වලට අනුව ඒ ලබ්ධිය අදහන අයට මෙය බලපාන්නේ කොහොමද? 

"යුදෙව් නීතිය අනුව ඌරන් ඇති කිරීම, ඌරු මස් කෑම සපුරා තහනම් කර තිබුණත් ඌරකුගේ හෘදයක් බද්ධ කිරීමෙන් ආහාරයට ගැනීමේ යුදෙව් නීති උල්ලංඝනය වීමක් සිදුවන්නේ නැහැ. යුදෙව් නීතියේ දී මිනිසාගේ ආරක්ෂාවටයි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ නිසා මිනිසා ජීවත් කරවීම සඳහා අවයව බද්ධ කිරීමේ ඇති වරදක් නැහැ" යි ලන්ඩනයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ රාබි වරයකු වූ රාබී ෆ්‍රීඩ්මන් බීබීසි සේවයට පවසා තියෙනවා. 

ඉස්ලාම් ආගමික නීති පනවන, මධ්‍යම අධිකාරිය වූ ඊජිප්තුවේ ධාර් අල් ඉෆ්ටා පවසන ආකාරයට අනුව ඔවුන් විසින් කලින්, මිනිස් ජීවිත බේරා ගැනීමට, ඒ ජීවිත සුවපත් කිරීමට, ඌරන්ගේ හෘද කපාට බද්ධ කිරීමට අවසර දී තියෙනවා. ඒ නිසා මෙහිදීත් ගැටලුවක් ඇති නොවන බවයි ඔවුන් කියන්නේ. 

ඒත් මහාචාර්ය සැවුලෙස්කු කියන්නේ ආගමික වශයෙන් විරුද්ධයි කියා ඔවුන්ට මිනිස් හදවත් ලබා ගැනීමේ පෝලිමෙන් පිට අවස්ථාව ලබා නොදිය යුතු බවයි. 

දැනටත් ඇමරිකාවේ පමණක් හදවත් බද්ධ සැත්කම් සඳහා ලක්ෂයක් පමණ රෝගීන් පෝලිමේ ඉන්නවා. මාසයකට හය දහසක් පමණ අවස්ථාව නොලැබීම නිසා අතරමග දී මිය යනවා. ඒ නිසා මෙවැනි සැත්කමක් සාර්ථක වුණොත් එය ලක්ෂ ගණනක් රෝගීන්ට ලොකු සහනයක් වෙනවා නො අනුමානයි. 

 - පර්සි ජයමාන්න 

කැප්ෂන් 

 

මේරිලන්ඩ් හි බැල්ටිමෝර් නගරයේ දී සිදු කරන ලද මේ ඓතිහාසික සැත්කම නිම කිරීමට පැය හතකට වැඩි කාලයක් ගත විය. 

 

Post a Comment

0 Comments