HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රේඩියෝ තරංග නිකුත් කරන ගුප්ත භ්‍රමණ වස්තුවක් හමුවේ!

මින් පෙර දැක තිබෙන සියලු ආකාශ වස්තූන්ගෙන් වෙනස් වන, නාඳුනන භ්‍රමණය වන වස්තුවක් ක්ෂීරපථයේ සැරිසරන බව නිරීක්ෂණය වී ඇතැ යි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් කියනවා. මේ අනාවරණය කර ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු විසිනුයි. ඔහුු ටිරෝන් ඕ'ඩොහර්ටි වන අතර ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයට අනුබද්ධ රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICRAR) තාරකා භෞතිකවිද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් (Natasha Hurley-Walker) ගේ මෙහෙයවීම යටතේ අධ්‍යයනයෙහි යෙදෙන කණ්ඩායමක සාමාජිකයෙක්. 

ක්ෂීරපථයේ ඈතින් නිකුත් වෙන දැවැන්ත රේඩියෝ ශක්ති තරංගයක් ඇතැයි ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු විසින් සොයා ගෙන තියෙනවා.

සිය පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා විශ්වයෙන් පැමිණෙන රේඩියෝ තරංග අධ්‍යයනය කරද්දී තමයි, ටිරෝන් ඕ'ඩොහර්ටිට, මෙම වස්තුවෙන්, සෑම මිනිත්තු 18කටම වරක් මිනිත්තුවක් පුරා රේඩියෝ තරංග ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය කිරීමට හැකි වී තියෙන්නේ. 

ඔහු මේ සොයා ගැනීම කර ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටුවා ඇති 'මර්චිසන් වයිඩ්ෆීල්ඩ් ඇරේ' (Murchison Widefield Array) කියා හැඳින්වෙන රේඩියෝ දුරේක්ෂය උපයෝගී කර ගෙනයි. මේ රේඩියෝ දුරේක්ෂය පිහිටුවා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ ජනශූන්‍ය කාන්තාර ප්‍රදේශයකයි. 

රේඩියෝ තරංග හසු කර ගැනීමට ටිරෝන් ඕ'ඩොහර්ටි නව ක්‍රමවේදයක් සකස් කර ගෙන තිබුණු අතර, මේ අසාමාන්‍ය වස්තුවෙන් නිකුත් කෙරෙන රේඩියෝ තරංග හසු කර ගැනීමට හැකි වූයේ ඒ අනුවයි. අහඹු ලෙස කළ එම සොයා ගැනීම, මුළු ලොව ම මවිතයට පත් කිරීමට හේතු වේවි යැයි ඕ'ඩොහර්ටි සිතුවේ නැත. දැන්, ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයන් එම අසාමාන්‍ය වස්තුව ගැන උනන්දු වී ඇති අතර ඒ ගැන දැනටමත් විමර්ශනය කිරීම පටන් අරන්. මේ ගැන ලෝකයාට දැනගන්නට ලැබුණේ ඒ අනුවයි. 

විශ්වයේ රැඳී තිබෙන ශක්තිය නිකුත් කරන වස්තූන් ගැන තොරතුරු බොහෝ දුරට ලේඛන ගතව තියෙනවා. නමුත් විද්‍යාඥයන් කියන්නේ නො කඩවා මිනිත්තුවක් පුරා ස්පන්දනය වන වස්තුවක් ඉතා අසාමාන්‍ය බවයි. "අපගේ නිරීක්ෂණ කටයුතු සිදු වූ පැය කීපයක කාලයක් තිස්සේ එය පෙනෙමින් නොපෙනෙමින් පැවතුනා. එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක්. එය තාරකා විද්‍යාඥයෙකුට නම් යම් ආකාරයක බියක් ගෙන දෙන දෙයක්. මොකද මෙවැනි හැසිරීමක් පෙන්වන ආකාශ වස්තුවක් ගැන කිසිම දෙයක් අපි මින් පෙර දැන සිටියේ නැහැ." යි ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් කියනවා. 


 ඕස්ට්‍රේලියාවේ පිහිටුවා ඇති 'මර්චිසන් වයිඩ්ෆීල්ඩ් ඇරේ' (Murchison Widefield Array) රේඩියෝ දුරේක්ෂය උපයෝගී කර ගෙනයි, මේ සොයා ගෙන කර ඇත්තේ.

ඔවුන් සතුව ඇති වසර ගණනාවක දත්ත පරීක්ෂා කිරීමෙන් පසු, මෙම අසාමාන්‍ය වස්තුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000ක් පමණ දුරින් පිහිටා ඇති බවත්, එය ඇදහිය නො හැකි තරම් දීප්තිමත් එකක් බවත්, ඒ වගේ ම එහි අතිශයින් ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් ඇතැයි තහවුරු කර ගැනීමට කණ්ඩායමට හැකි වූ බව ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් වැඩිදුරටත් කියනවා. 

මෙම ආකාශ වස්තුව කුමක් විය හැකි ද යන්න ගැන මෙතෙක් ඉදිරිපත්ව ඇති න්‍යායන්ට අනුව එය නියුට්‍රෝන තාරකාවක් හෝ, 'සුදු වාමනයා' ලෙස හඳුන්වන අන්දමේ හැකිළුණු තාරකාවක නටබුන් විය හැකි බව ද කියවෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධ බොහෝ තොරතුරු තවමත් අභිරහසක්. 

"තවදුරටත් කරන පර්යේෂණ මඟින් තාරකා විද්‍යාඥයින්ට දැනගන්න පුළුවන් වේවි මේක එක් වරක් සිදුවන ආකාරයේ දුර්ලභ සිදුවීමක් ද, නැතිනම් අප මින් පෙර කිසිදා දැක නැති විශාල නව ග්‍රහයෙක් ද කියලා. මම මෙම වස්තුව තවදුරටත් තේරුම්ගන්න වගේම, පසුව ඒ ගැන තවදුරටත් සොයන්න බලාපොරොත්තු වෙනවා," ආචාර්ය හර්ලි-වෝකර් වැඩිදුරටත් පැවසුවා.. 

මේ පිළිබඳ සවිස්තර අධ්‍යයන වාර්තාව Nature ජර්නලයේ පළ වී තියෙනවා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments