HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගත කෘෂිකර්මයේ මහ පෙරළියකට අර අඳින ජෝන් ඩියර්

2021 වසරේ දොරට වඩින අලුත් ම බෙන්ස් ඉලෙක්ට්‍රික් මෝටර් රථය ගැන පසුගියදා 'මල් කැකුළු' තුළින් ඔබ වෙත ගෙනවා. මෙවර ඉලෙක්ට්‍රොනික පාරිභෝගික වෙළඳ ප්‍රදර්ශනයට තවත් අපූරු නිර්මාණ රැසක් ලොව රටවල් රැසකින් ම ඉදිරිපත් කර තිබුණා. ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවති වාර්ෂික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළඳ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ විප්ලකාරී නව නිර්මාණයක් ගැන කියන්නයි, මේ අප සූදානම් වන්නේ. ඒ අන් කිසිවක් නොව රියැදුරෙකු නැතිව සියලු වගා කටයුතු කරන ටැක්ටරයක් ගැනයි. ජෝන් ඩියර් (John Deere) සමාගම තමයි, නව ස්වයංක්‍රීය ට්‍රැක්ටරය තනා තියෙන්නේ. ඔවුන්ගේ 8 ආර් ට්‍රැක්ටරයයි, මේ විධියට හදලා තියෙන්නෙ. 

මේ ස්වයංක්‍රීය ට්‍රැක්ටරය ගොවියාට දුරස්ථව සිට ස්මාට් ෆෝනයකින් හසුරුවන්න පුළුවන්.

පහත වීඩියෝවෙන් නව ට්‍රැක්ටරය ක්‍රියාත්මක කරන හැටි බලන්න 


ඒ වගේ ම ජෝන් ඩියර් සමාගම සැලසුම් කරලා තියෙනවා, කුඩා ප්‍රමාණයේ මේ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර 20ක් පමණ නවෝත්පාදන හැටියට ඉදිරිපත් කරන්නට. වාර්ෂික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළඳ ප්‍රදර්ශනය ආරම්භක දිනයේ දීම මේ නව ටැක්ටරය ප්‍රදර්ශනය නැරඹූ කාගේත් සිත් දිනා ගත්තා. රියැදුරු රහිත මේ ස්වයංක්‍රීය ට්‍රැක්ටරය ගොවියාට දුරස්ථව සිට ස්මාට් ෆෝනයකින් හසුරුවන්න පුළුවන්. 

මේ නව ටැක්ටරය සඳහා කැමරා යුගල හයක් හා ආසන්න අඟලක් දක්වා ක්‍රියාත්මක වන පරිගණක කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන තියෙනවා. ඒ නිසා හදිසියේ ඉදිරියෙන් බාධකයක් ඇතිවුවොත් හෝ සතකු ඉදිරියෙන් ගියොත් එය ක්ෂණිකව නවතිනවා. 8 ආර් ට්‍රැක්ටරයකට එක් දිනක් තුළ මේ උපකරණ සවිකළ හැකි බවයි, ඔවුන් කියන්නේ. මේ උපකරණ කට්ටලය ඔවුන්ගේ නිෂ්පාදන 20කට සවි කළ හැකියි. උපකරණ කට්ටලය වෙනම විකුණනවාද යන්න ගැන තවමත් ඔවුන් තීරණය කරලා නැහැ. 

ජෝන් ඩියර් (John Deere) සමාගම තමයි, නව ස්වයංක්‍රීය ට්‍රැක්ටරය තනා තියෙන්නේ

ගොවියාට ගොවි බිමට නොබැස දුරස්ථව නව ට්‍රැක්ටරය පාලනය කළ හැකි නිසා කටුක දේශගුණයක් ඇතත්, රාත්‍රි කාලයේ දී පවා නොනවත්වා වැඩ කළ හැකියි. සී සෑම පමණක් නොවෙයි, සම්පූර්ණයෙන් බිම සැකසීම, පේළියට පැළ හෝ ඇට සිටුවීම ආදියත් කරන්න පුළුවන්. ගොවිබිමකට යොමු කළාට පසු ඒ නියමිත බිම තුළ එහා මෙහා යමින් බිමේ සීමාවේදී හැරී අනෙක් අතට යමින් සියලු කාර්යයන් මිනිස් සහය නැතුව නිවැරදිව කරන්න ඊට පුළුවන්. 

"2050 වන විට ලෝක ජනගහනය බිලියන 8 සිට 10ක්වා වැඩි වන නිසා වගා බිම් වැඩි කළ යුතු වෙනවා. ඒ නිසා සේවක හිඟය වැනි ප්‍රශ්නවලට මෙවැනි ස්වයංක්‍රීය උපකරණවලින් විසඳුම් සෙවිය හැකියි." කියා ජෝන් ඩියර් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ජාමි හින්ඩ්මන් කියනවා. 

මේ නව ටැක්ටරයට කැමරා යුගල හයක් හා පරිගණක කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන තියෙනවා.

මේ ට්‍රැක්ටරය ගොවිබිමට ගෙන යාම ස්මාට් ෆෝනය ස්පර්ශ්යෙන් කළ හැකියි. ඊට පසුව වගා බිම තුළ ට්‍රැක්ටරය හැසිර වීම ෆෝනය දෙස බලා ඒ තුළින් ලැබෙන රූප අනුව කරන්න ඕනෑ. මේ සඳහා GPS තාක්ෂණය යොදා ගන්නවා. එය ගොවියා නුහුරු දෙයක් නොවෙයි. වසර 20ක් තිස්සේ GPS තාක්ෂණය යොදා ගෙන මග සොයා ගෙන, ට්‍රැක්ටරය, හාවස්ටරය වැනි යන්ත්‍ර සූත්‍ර පදවා ගෙන ගියේ. විශාල ගොවි ක"බිම්වල හරි කෙළින් සීසෑමත්, බීජ හෝ පැළ රෝපණයත් කළේ ඒ GPS තාක්ෂණය යොදා ගෙන තමයි. හැබැයි ඒ සියල්ල කළේ ගොවියා පදවන ගමිනුයි. මේ නව ක්‍රමය නිසා කාර්යාලයකට වී දුර සිට ස්වයංක්‍රීය ට්‍රැක්ටරයක් යොදා ඒ සියල්ල කරවා ගත හැකියි. 

ජෝන් ඩියර් විතරක් නොවෙයි, ඇමරිකාවේ ඇති නිව් හොලන්ඩ්, ජපානයේ කුබෝටා යන සමාගම් ද මේ ස්වයංක්‍රීය ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ යන්ත්‍ර සූත්‍ර නිපදවීමට දැනටමත් සැලසුම් කර තියෙනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments